(අ)හිමි සිහින -194

ඊයේ ඔබ සමග බෙදාගත් පින්තූරයට ලැබුනු ප්‍රතිචාර හරිම සංවේදීයි.මට එයින් එක් දෙයක් වැටහෙනවා.ඔබටත් ඇත්තේ මට මෙන්ම ආදරය සෙනෙහස දැනෙන හදවත්.

ඔබ ආදරයක් ජයගත් වාසනාවන්තියක් වන්නට පුලුවන්.නැතිනම් එවන් ආදරයක් අහිමිව හදවතින් එය දරාගෙන යනවා වෙන්න පුලුවන්. සමහර විට ලෝකයටම අසම්මතයක් විය හැකි වුවත් මානුෂික බැඳීමකින් ඒකාත්මික වුණු ආදරයක් වෙන්න පුලුවන්. දිල්හානි වැනි ආදරයක් තබා කරුණාවක් හෝ නොතිබූ ගැහැනියක නොවී ඔබ වැනි සංවේදී බිරිඳක් සුධාරකට හිටියා නම් සුධාරකට මෙසේ නොවන්නට තිබුණා.

ඔහු බලා ආ දිනට පසුදාම මා කල පළමු දේ නම් සූධාරකගේ පවුලේ අය, දිල්හානිගේ නෑයන්, ළඟම යහලුවන් හා දෙපැත්තටම කේලාම් කියමින් හුන් කිහිපදෙනෙකු අමතා මේ කරන අහස පොලොව නුහුලන අපරාධය නවතාදමන ලෙසත් මේ රෝගියා සිරකර තබාගෙන මගෙන් පලිගන්නට හෝ මා වට්ටන්නට නොහැකි බවත් මේ සෙල්ලම් කරන්නේ ජීවිතයක් සමග බවත් පැවසීමයි.

අසාධ්‍ය රෝගියෙකු සිරකරගෙන අනුරාධාට රිදවන්නට අනුරාධාගෙන් පලිගන්නට හා ඇය වට්ටන්නට නොහැකි බව මා පැවසූවා.කිසිවෙකුට ණය නැති වංචාවක් බොරුවක් කර නැති ස්ථාවරයක් ගොඩනගාගත් ගැහැණියකට බාහිර බලපෑම් යනු ඇගේ වඳින සුලඟක් පමණක් බව මා ඔවුන්ට කීවා.Facebook හි මට අපහාසකර බොහෝවිට ඔවුන් මගේ රැකියාව නැතිවේ යැයි සිතන්නටත් ඇති.

ඕනෑම සුළි කුණාටුවකට ගංවතුරට හෝ ස්වාභාවික ව්‍යසනයකට මුහුණදීත් නොසැලී නැගීසිටින ගස් ඔබ දැක තිබෙනවාද? ඒ ඇයි? ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ඒ ගස්වල ශක්තිමත් මූල පද්ධතිය නිසාමයි.ඒ මුල් විසින් මහපොළොව තදින් බදා සිටින තාක් ඒ ගස් ඇද වැටෙන්නේ නෑ.කෙතරම් අරටුව ශක්තිමත් වුණත් මූල පද්ධතිය දුර්වල වූ දාට මහා රූස්ස ගස් පවා ඇදවැටෙනු ඔබ දැක ඇති.

ඔබත් ගහක් යැයි සිතා ඔබේ මූල පද්ධතිය ශක්තිමත් කරගන්නවානම් ඕනෑම දුෂ්කර අවස්ථාවක දී වුණත් ඔබට නිරුපද්‍රිතව සිටිය හැකියි.

වරලස,දිගු ඇස්,ඡවි කල්‍යාණය ගැහැණියකට ආභරණ යැයි පැවසූවාට එය අද කාලයට නොගැලපේ යැයි මම හිතනවා.මට අනුව නම් ගැහැණියකට අදට ඔබින ආභරණ වන්නේ අධ්‍යාපනය,ආර්ථිකය, පෞරුෂය, වංචා සහගත දේ නොකිරීම,බොරු නොකීම සහ චරිතය කෙලෙසා නොගැනීම
යි. ඒ සියල්ලෙන්ම ඔබ ශක්තිමත් නම් අවශේෂ මිනිසුන්ගේ චරිතසහතික අදාළ වෙන්නේ නෑ.

මම මගේ ජීවිතයේ සිදුවු කිසිම දෙයක් ගැන විස්සෝප වෙන්නේ නෑ.මට විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගන්නට නොහැකි දේ මගේම අත්දැකීමෙන් ඉගෙන ඇති මට හංගන්නට කිසිත් නැහැ.නැතිනම් මේ කිසිත් ඔබ සමග බෙදාගන්නේ ද නැහැ. නමුත් මා නොගත යුතු තීරණයක් ගෙන යම් පසුබෑමකට ලක් වුණා නම් ඔබ හෝ එවැනි දෙයක් කරන්නට පෙර මගේ කතාව මතක් කරගෙන ඉන් වැළකෙනවානම් එය මට ප්‍රමාණවත්.

සුධාරක වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට දේශපාලන සහය හෝ ලබාගන්නට කල්පනා කළ මම මගේ සහ සුධාරකගේ සමීප සගයන්ගේ සබඳකම් මත රාජ්‍ය අමාත්‍ය වරයෙකු මුණගැසෙන්නට කාලය වෙන්කරගෙන ඔහු හමුවීමට ගියා.මා සමග රටේ ප්‍රධාන විහාරස්ථානයක නායක ස්වාමීන්වහන්සේ නමක් ප්‍රසිද්ධ මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් දරන අපේ ළඟම මිතුරෙක් ද මේ ගමනට එක් වුණා.

සුධාරක අවසන් සටනේ කල දස්කම් හා වික්‍රමයන් හොඳින් දැන සිටි ඇමතිවරයා ඔහුට ඊට පසුව මුහුණදෙන්නට සිදුවූ පෞද්ගලික ගැටලුත් ඉන් අනතුරුව ඔහු ගිලන් වූ අයුරුත් අසා මට ශෝකය පළ කළ අතර දිල්හානි පුරවැසි භාවය ලබා ගැනීම වෙනුවෙන් අපේ රට පාවාදෙමින් සාක්කි දෙමින් පසුවීම ගැන තම අප්‍රසාදය පළකර සිටියා.

“ඉතින් කොහොමද අපේ රට ගැන පිටරටවල ප්‍රසාදයක් ඇතිවන්නේ රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කල ඉදිරිපෙළ නිලධාරියෙකුගේ බිරිඳක් ම මෙහෙම බොරු සාක්ෂි දෙනකොට”

ඇය සුධාරක මේ අවස්ථාවේදී සිරකරගෙන සිටීම සැක සහිත බව පැවසූ ඔහු ජාත්‍යන්තර පොලීසියට හා එංගලන්ත රජයට ඇය ගැන පැමිණිලි කොට ඇයට දඬුවම් පැමිණවිය හැකි අන්දම මට පැහැදිලි කොට ඒ සඳහා ක්‍රියාත්මක වන ලෙස පැවසූවා. ඊට අවශ්‍ය සියලු සාක්ෂි සහිත ලිපිලේඛන මා සතුව තිබුණද මේ එයට අවස්ථාව නොවන බව පැවසූ මා මගේ දැනට ඇති එකම අරමුණ සුධාරක කෙසේ හෝ සුවකරගන්නට උත්සාහකිරීම බව පවසා සිටියා.

ඒ කතා බහ අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැදගත් නිලයක් හෙබවූ සුධාරකගේ ආයතනයට සම්බන්ධ උසස් නිලධාරියෙක් ඔහු කැඳවූවා.

“ජෙනරාල් සුධාරකගේ තත්වය කොහොමද අපිට ඔහුගේ වර්තමාන ප්‍රතිකාර ගැන කියන්න පුලුවන්ද”

“ඔව් සර් ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර රෝහල තුළ කරමින් පවතිනවා.මේ අවස්ථාවේදී අපට වෙනත් කළ හැකි යමක් නැහැ.පිටරටකට හෝ ගෙනියන්න පවුලේ අය කිසිම ඉල්ලීමක් හෝ කරන්නේත් නැහැ. අපට ඒ සඳහා තීරණයක් ගැනීමටද අපහසුයි.එතැන ගැටලු ගොඩක් තියෙනවා සර්. ඒ අය හැමදේටම ඇඟිලිගසමින් බාධා පමුණුවනවා.අපි දැනට මේ රෝගියා maintain කරගෙන ඉන්නවා විතරයි”

ඒ කියන්නේ සුධාරක හුස්ම ගන්නා තෙක් ඔහු බලාකියාගන්නවා.කිසියම් මොහොතක හෝ ඒ හුස්ම නතර වුණොත්? දෙවියනේ! මට මහා වේදනාවක් පපුව හාරාගෙන යනවා දැනුණා.

තනිව මහා අගාධයක චැට් සිටින විට කෙසේ ගොඩ එන්නද? ඔහු ජීවිතය රැකගන්නට තනිව සටන්කරමින් ඉන්නවා.ඔහුගේ ඒ සටනට අත්වැලක් දෙන්නට කෙනෙක් නෑ. කරන්නට කෙනෙක් ඉදිරිපත් වෙන්නේ ද නෑ.අයිතිවාසිකම් කියාගන්නට මිනිස්සු හිටියාට ඔහු බේරාගන්නට ඔවුන්ට අවශ්‍ය නැහැ.

මා සමග ගිය ස්වාමීන්වහන්සේ ද මාධ්‍ය සගයාද කරුණු පැහැදිලි කරමින් අසාසිටියේ අපට මේ රෝගියා කෙසේ හෝ මේ උගුලෙන් ගලවාගෙන සිංහල වෙදකම් හෝ කරගෙන යාමට හැකියාවක් ඇති ද යන්නයි.

මේ සියලු දේ සාවධානව අසා සිටි ඇමතිවරයා මට පවසා සිටියේ හරි අපූරු කතාවක්.ඒ ගැනත් ඊට මා දුන් පිළිතුරත් සමඟ අපි හෙට හමුවෙමු

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles