“හෙලෝ බිල් එක දෙනවද මට සයින් කරන්න?” කියා නෙවින්ට දෙපාරක්ම කියන්න උනේ ශාර්වරී ඇස් දෙක නලල දිහාවටත් කට කන් දෙක දිහාවටත් දික් කරගෙන එක එල්ලේ ලක්ශාන් දිහා බලාගෙන ඉද්දීය.
“ඔව්ව්…ඔව්ව්ව්. සර් බිල් එක… මේක සයින් කරන්න සර් මෙතන” කියා වචන පටලව පටලව් කතා කරන ගමන් ශාර්වරී ඉන්නේ මොකක් හරි දේකට හොඳටම කලබල වී බව නෙවින්ට නොතේරුනා නොවේ. ඒත් තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මේ ලක්ශාන්ව දැක කට ඇරගන්න තරම් ලක්ශාන්ගෙ මොනවද තියෙන්නෙ කියන එකය. සමහර විට මේ කෙල්ල පිරිමියෙක් මෙහෙම ටවල් එකක් ඇඳන් ඉන්නවා දකින පලමු වතාව මේක වෙන්න පුලුවන් ය.
“ඒ උනාට ඉතින් එහෙම වෙන්න පුලුවන් කමක් නෑනෙ, එදා පලවෙනියටම එයා කෑම අරගෙන ආව දවසෙත් මං ඇඳන් හිටියෙ ටවල් එකක්නෙ. එහෙනම් එදා මාව දැක්කමත් එයාගෙ කට ඇරෙන්න ඕනනෙ. මේ ලක්ශාන් වගේ බඩෙක්ගෙ ඇඟට වඩා කොච්චර ලස්සනද මගෙ ඇඟ?’ කියා හිතන ගමන් නෙවින් මාරුවෙන් මාරුවට ලක්ශාන්ගෙ මූණත් ශාර්වරීගේ මූණත් බලන ගමන් දහසක් දේ හිත ඇතුලෙන් කල්පනා කරන ගමන් ය.
ශාර්වරීගේ ඇස් තිබ්බේත් මාරුවෙන් මාරුවට තමන්ගේ අතෙන් ගත්ත බිල් පත සයින් කරන නෙවින්ගේ මූණත්, දුරකතනය කනේ තියාගෙන බඩ අතගාන ගමන් කාත් එක්කද මොන මොනවද කියන ලක්ශාන්ගේ මූණත් දිහාය.
“ඔව් අනේ නෙවින්ව බලන්න එන්න උනේම නැහැ මට ගොඩ දවසකින්. තාරුකා ගෙදරමනෙ හිටියෙ මේ ටිකේ. එයා ලෝන්ග් වීකෙන්ඩ් එකේ ගෙදර ගිය හන්දා, මට කොළඹ වැඩ ටිකකුත් තියෙන හන්ද මං නෙවිනයගෙ අපාට්මන්ට් එකට ආවා. ඔව් ඒක තමයි. ඔව් ඔව්ව්. ආයෙත් අහලා. මං කිව්ව. මං කිව්වා. අහන්නෙ නෑනෙ” ඉතින් කියමින් ඒ කොල්ලා කා එක්කද හිනා වෙවී කතා කරන අතරවාරයේ නෙවින් දිහා බලා ඇහැක් ගහද්දී තීක්ෂනා කිව්ව කතාව ඇත්ත බව පිළිගන්න තව ඕන තරම් කාරණා ශාර්වරීගේ හිත අස්සේ ගොඩ ගැහුණාය.
“ඔයා ෆේස්බුක් හරි අයි ජී හරි ඉන්නවද?” නෙවින් ඇහුවේ හීන් සැරේ සයින් කල බිල් පත ශාර්වරී අතට දෙන ගමන් ලක්ශාන් දිහා හොරහින් බලන ගමන් ය. නෙවින්ට තිබ්බ බය තමන් මේ පල්ලෙහා රෙස්ටුරන්ට් එකේ වැඩ කරන පොඩි කෙල්ලගෙන් එක එක ඒවා අහන එක ලක්ශාන් කාරයා දැක්කොත් ඕකා අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර මේ ලෝකෙන් හොයාගන්න බැරි ඒව වෙන හන්දාය.
“ඔව් ඇයි එහෙම ඇහුවෙ?”
“නිකන්, ඔයා බයයිද මට කියන්න?”
“මොකද්ද?”
“ඔයාගෙ අයි ජී හරි එෆ් බි හරි ප්‍රොෆයිල් නේම් එක”
“නෑ මොකටද බය වෙන්නෙ?”
“ඒක තමයි එහෙනං කියන්නකො”
අන්න ඒ මොහොතේ ශාර්වරී පොඩ්ඩක් විතර කල්පනා කලාය. “මෙයා මේ මං අයි ජී ඉන්න නම අහගෙන මොකටද දන්නෙ නෑ එන්න හදන්නෙ?” කියා නොහිත ඉන්න පුලුවන්කමක් නැත. එක පැත්තකින් තමන් සෝශල් මීඩියා ඉන්න නම මෙයාට කිව්වා කියා තමන්ට ලැබෙන්න හෝ නැතිවෙන්න දෙයක් නැත. තමන් සෝශල් මීඩියා ප්‍රොෆයිල් වල දාන්නේ තමන් ලියන කරන ඒවාය, වෙලාව තියෙන වෙලාවල් වල ඉඩ ලැබිච්ච හැටියට ලියන කවි ඒවා මේවාය. ඒ ඇරෙන්න දිනපතා තියා මාස්පතාවත් එක්කහු කරන්න ලස්සන පින්තූර ගන්න පුලුවන් විදියේ ලස්සන ජීවිතයක් තමන්ට නැත.
“මං තව ටිකක් කල්පනා කරලා බලල පස්සෙ කියන්නම්” ශාර්වරී කිව්වේ ආයෙම වතාවක් මාරුවෙන් මාරුවට නෙවින් දිහාත් ලක්ශාන් දිහාත් බලමිනි. ලක්ශාන් ෆෝන් එකෙන් කතා කරන ගමන්ම ආයෙම වතාවක් කාමරේ ඇතුලට ගියයින් පස්සෙ ශාර්වරී ආපහු වතාවක් පිටවීමේ දොරටුව වෙත යන්නට තියෙන කොරිඩෝව දිගේ ඇවිද යද්දි නෙවින් සුපුරුදු විදියට ශාර්වරී පස්සේ එන ගමන් ඇය දිහාව හොඳටම බැලුවේය.
“ඇයි දෙන්න බෑ කිව්වේ?”
“එහෙම ඉතින් ඉල්ලන පරක්කුවට දෙන්න ඕන කියලා එකක් නෑනෙ. මොකෝ මං ඔයාට ලියලා දීලද? නෑනෙ”
“මට ඕන නම් මම ලියාගන්නවා තමයි”
“ඒවා නම් හඳේ තමයි” කියා ශාර්වරී නෝණ්ඩි හිනාවක් දැම්මම නම් නෙවින්ට පොඩ්ඩක් විතර හිත රිදිච්ච එක ඇත්තකි.
“ඇයි ඔයා එහෙම කිව්වේ?”
“මං ඉතින් එහෙම කිව්වේ, එහෙම මේ කොහෙවත් ඉන්න අය ඉල්ලන ඉල්ලන විදියට මගේ විස්තර කියන්න ඕන එකක් නෑනෙ. මට යන්න දොර ඇරලා දෙනවද?”
“ඇරලා දෙන්නම්, ඒ උනාට යන්න කලින් කියන්නකො, ඇයි කියන්න බෑ කිව්වෙ කියලා”
“ඒක කියන්න බෑ ඔයාට. මං කල්පනා කරලා බලලා ඔයාට රික්වෙස්ට් එකක් දාන්නම්, එතකොට හරිනෙ. ඊටපස්සෙ ඔයා මාව ෆලෝ කරන්නකො”
“ඕකේ, ඕකේ, ලොකු සීන් නෙ, හරි කමක් නෑ. පැටලෙන්නෙ නැතුව යන්න. එදා වගේ වැටේවි නැත්තම්” කියා මනමාල හිනාවක් දාන්න නෙවින් ඔය ඔක්කොම කතා අස්සෙත් අමතක කරේ නැත.
“අද ඉතින් වැටෙන්න දෙයක් නෑනෙ. එදා වැටුණෙ ඉතින් ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ සෙරෙප්පු දෙකේ පැටලිලානෙ” කියා ශාර්වරී කිව්වේ අඩක් දුකෙනුත් අඩක් සමච්චල් සහගත හැඟීමකිනුත් ය. ඒ උනත් ඒ වචන ඇවිත් නෙවින්ගේ දෙසවන් අස්සේ හැප්පුණේ වඩා වේදනාබර, හිත හූරගෙන යන හැඟීමකිනි.
ඒ කතාවට තමන් දෙන්න ඕන කොයි වගේ උත්තරයක්ද කියා නොදන්න එකම තමන්ව කොච්චර අසරණ කරාද කියන එක එවෙලේ දැනගෙන උන්නේ නෙවින් විතරය, හිත අස්සේ ලියවිච්ච ඒ වේදනාව මේ කෙල්ල ඉස්සරහ කියා තේරුමක් නැති බව දන්නවා උනත් ජීවිතේ පලවෙනි වතාවට තමන්ගේ ජීවිත රටාව ගැන ඇටිකිච්චන් කෙල්ලෙක් ඉස්සරහ ලැජ්ජ හිතිච්ච එක ගැන නෙවින්ට පුදුමය.
“ඔව් ඒක තමයි” කියා කියනවා හැරෙන්න නෙවින්ට ඒ වෙලාවේ වෙන කියන්න දෙයක් හිතාගන්න බැරි හන්දාම නෙවින් දොර හැර ශාර්වරීට පිටවෙන්නට ඉඩකඩ හදා දුන්නේය.
කාමරේ ඇතුලේ උන්න ලක්ශාන් නෙවින්ට කතා කරේ ඒ වෙලාවේය.
“නෙවී පොඩ්ඩක් එන්න” කියා ලක්ශාන් කතා කරද්දී ශාර්වරීගේ මුණෙ ඇඳිච්ච කැත පෙනුමට හේතුව මොකද්ද කියා හිතාගන්න පුලුවන්කමක් ඇත්තටම නෙවින්ට තිබ්බේ නැත.
අනෙක් අතට ලක්ශාන් කතා කර ස්වරයේ තිබිච්ච මොකක් හෝ එකක් ශාර්වරීට ආයෙම වතාවක් නෙවින් දිහා අමුතුවට බලන්න හේතුවකි.
“ඇයි ඔයා ඔහොම බලන්නෙ?” නෙවින් ඇහුවේ ඇත්තටම ඒ බැල්මේ තිබිච්ච හැඟීම අඳුරගන්න බැරිවෙච්ච හන්දාය.
“ජරා මිනිහා” කියා මූණටම කියා තමන්ට පිටුපා ලිෆ්ට් එක දිහාවට ඇවිද යන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෙවින්ට ඒ වෙලාවේ තිබ්බෙ නෑ.
“පිස්සුද මන්දන්නෙ නෑ, මොකටද මට ජරා මිනිහා කියන්නෙ? මං මුකුත් කිව්වෙවත් කරේවත් නෑනෙ” කියා හිතමින් නෙවින් ලක්ශාන් හමුවෙන්න යද්දිත් ශාර්වරී ලිෆ්ට් එකේ පල්ලෙහට යන අතරවාරයේත් කල්පනා කලේ ගලි මවුත් මොනවා කිව්වත් මෙදා පාර නම් කියා තියෙන්නෙ ඇත්ත කතාවක් බව ශාර්වරී කල්පනා කරාය.
එදා ගෙදර ගිහිල්ලත් නංගිට පේන්න නිදාගෙන ඉන්නවා වගේ උන්නට ශාර්වරී උන්නේ නිදාගෙන නොවේ. ඒ රැයේත් ඇහැරගෙන කල්පනා කරන්න ඕන තරම් කාරණා එදා ශාර්වරීට තිබ්බාය.
නෙවින් එදා රැය පුරාම අවදියෙන් බලාගෙන උන්නේ ශාර්වරී දැන් තමාට රික්වෙස්ට් එකක් එවාවි කියා වුනත් ඒ බලාපොරොත්තුව නම් ඉශ්ට වුනේ නැත. අනෙක් අතට නෙවින්ට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ශාර්වරී තමන්ට ජරා මිනිහා කිව්වේ ඇයි කියන එක ය.
“එයා එහෙම කිව්වේ එයා දවස් දෙකක් මාව අර ගෑණු දෙන්නෙක් එක්ක දැක්ක එකද දන්නෙ නෑ. ශික්. මමත් උන් දෙන්නව මේක අස්සටම අරගෙන ආවනෙ. හරි ඉතින් ඒ දවස් වෙද්දි මං ඉතින් එයාව හම්බෙලා තිබ්බේ නෑනෙ. එහෙම උනානම් මං එහෙම දෙයක් කරන්නෙ නෑනෙ” කියා හිතෙන් කිව්වත් තමන් ඇත්තටම ශාර්වරී වගේ කෙල්ලක වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න ඕන ඇයි කියන එක ගැන නම් නෙවින්ට හිතාගන්න පුලුවන් උනේ නැත.