එකම එක හාදුවක් – 17

0
2688

“කරදර වෙන්න එපා, මට පුලුවන් මේ බර දරාගන්න. අනික ඉතින් මාව වඩාගන්න කෙනෙක් ඉන්නවනෙ. ඔයා කරදර වෙන්න එපා” කියා ශාර්වරී හිනාවෙවී කියද්දී නම් ඉතින් ඒ වචන නෙවින් ට දැනුනේ පිහි තුඩක් ඇවිත් හිතේ ඇමිණිච්ච ගානටය.

“මොන ෆ්ලෝ එකටද ඔයා යන්නෙ, අපාට්මන්ට් නම්බර් එක මොකද්ද?”

“අටසිය විස්ස”

“ඒ අපාට්මන්ට් එකේ කවුද ඉන්නෙ කියල දන්නවද?”

“නෑ, ඇයි”

“නෑ ඉතින් මේ හැන්දෑ වෙලාවෙ එහෙම තනියෙන් ඔයා යන එක හොඳ නෑනෙ. මම එන්නද ඔයා එක්ක යන්න?”

“පිස්සුද, ඒ මොකටද? අනික මං දැන් මාස ගානක් මෙහෙ වැඩ කරනවනෙ. මෙච්චර දවසක් කවුරුවත් ආවෙ නෑනෙ මාව එහෙම එක්කන් යන්න”

“ඒ ඉතින් වෙනදට මං කියලා කෙනෙක් උන්නෙ නැති හන්දනෙ. ඔයාගෙ ඔය බක පණ්ඩිත කතා වලින් මට වැඩක් නෑ. මං එන්නම් ඔයා යන තැනට. එහෙම තනියෙන් යවන්න හොඳ නෑනෙ දන්න කෙල්ලෙක්ව” කියා නෙවින් අටසිය ගණන්වල අපාට්මන්ට් තියෙන ෆ්ලෝ එකෙන් ශාර්වරී එක්කම බැස්සේ ඊලඟ තට්ටුවේ තමන්ගේ අපාට්මන්ට් එකට යන ගමන මොහොතකට නවතා දමමිනි. 

“ඔයා දැන් මගෙ පස්සෙන් ඒ අපාට්මන්ට් එක ලඟට ආවම ඒකෙ ඉන්න මිනිස්සු බලාවි. අන්තිමේ මට හොඳ නෑනේ. ඒ නිසා ඔයා එන්න එපා” ශාර්වරී එහෙම කිව්වේ ඇත්තටම තමන්ට අන්තිමේ මේ පිස්සු විකාර නිසා තමන්ගේ රස්සාවත් කරගන්න් බැරි වේය කියා හිතාය.

“හරි හරි මං එන්නෙ නෑ එතනට. ඔයා ගිහින් එනකම් මං ඉන්නම් මෙතන. වැටෙන්න එහෙම එපා ඔන්න. අපාට්මන්ට් එක ඇතුලට යන්නත් එපා මං කියන්නෙ. කවුද දන්නෙ ඕවයි කවුරු ඉන්නවද?” කියා නෙවින් කියද්දි ශාර්වරී උන්නේ හිනාව හංගගන්න පුදුම අපහසුවකිනි. අනෙක් අතට නෙවින් තමන් ඉදිරියේ මේ විදියට හැසිරෙන්නේ ඇයිද කියන ප්‍රශ්නයත් හිත අස්සේ කොණක හිඳ හෙමින් හෙමින් ඔලුව උස්සමින් උන්නාය.

 ශාර්වරී කෑම ටික භාරදෙන්න ඕන අපාට්මන්ට් එක ලඟට ගිහින් දොර සීනුව නාද කර හිස හරවා බලද්දිත් ඒ කොරිඩෝවේ කෙලවරේ විදුලි සෝපානය අසල බිත්තියට හේත්තු වී නෙවින් සේනාරත්න තමන් දිහාව බලාගෙන ඉන්නවා දුටුවාය. ඒ වනාහී හිත කිතිකැවෙන දෙනෙත් සැරයකි. හැඟීමකි. නෙවින් සේනාරත්න වන් මිනිසෙක් තමන් වගේ කෙල්ලක වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්නේ හුදෙක්ම ඔහු කාන්තා විෂය අතැඹුලක් සේ දන්න කෙනෙක් නිසාද කියන කතාව නොසිතා ඉන්න ශාර්වරීට ඒ මොහොතේත් පුලුවන් උනේ නැත. හිත කිතිකැවෙන එක ඇත්තකි. එහෙත් මේ හැසිරීම ප්‍රශ්නාර්තයක් නොවේද?

අදාල අපාට්මන්ට් එකේ දොර ඇරුණ පසු කෑම පිඟන් සහිත ට්‍රේ එක එහි කුස්සියේ කවුන්ටර් ටොප් එක මත තැබු ශාර්වරී බිල සයින් කරගෙන එන්න ගතවුණ විනාඩි කිහිපය තුල නෙවින් බොහෝ දේ සිතුවේය.

“මේ වගේ අපාට්මන්ට් අස්සට ගිහින් කෑම භාරදෙන්න වගේ වෙන රස්සාවක් කොච්චර ඩේන්ජරස් ද කියලා හිතන්න ඕනනෙ මොලයක් තියෙන කෙල්ලෙක් උනාම. සල්ලි ඕන කියල මේ වගේ නයිට් ශිෆ්ට්ස් කරන්න එනවද? ගෙවල්වලින් බනින්නෙ හොයන්නෙ කරන්නෙ නැද්ද මන්දන්නෙ නෑ? “ කියමින් කොරිඩෝවේ එහෙ මෙහෙ ඇවිද ඇවිද උන්නු නෙවින් ගේ හිතට හුස්මක් වැටුණේ ආපහු අපාට්මන්ට් එකේ දොර විවර වී ශාර්වරී එයින් පිටතට එනු දුටුවයින් පස්සේය.

“ඔයාට මං වෙන රස්සාවක් හොයල දෙන්නද?” නෙවින් ඇහුවේ ආපහු වතාවක් රෙස්ටුරන්ට් එකට යන්නට ලිෆ්ට් එකට නගින ගමන් ය.

“ඒ මොකටද? මට මේ රස්සාව තියෙනවනෙ”

“තියෙනව තමයි. ඒ උනාට මේ මිනිස්සු දහස් ගාණක් ඉන්න අපාට්මන්ට් අස්සෙ මෙහෙම රස්සාව කරන්න ඔයාට බය නැද්ද?”

“මොකටද බය වෙන්නෙ? අනික මාව මෙතනට දැම්මෙ අපේ එච් එන් ඩී එකේ ලෙක්චර්ස් දෙන්න ආව ලෙක්චරර් කෙනෙක්මයි. ඉතින් ඒ මනුස්සය මං හිතන්නෙ නෑ මාව එහෙම නරක සිකියුරිටි එකක් නැති තැනක වැඩට දාවි කියලා”

“ඒ මනුස්සයා දන්නෙ නෑ මේක අස්සෙ වෙන ඒවා. ඔයා ඔය කෑම දෙන අපාට්මන්ට් එකකර ගියාට පස්සෙ ඒකෙ ඉන්න උන් ඔයාගෙ අතකින් අල්ලල කරදරයක් කරන්න හැදුවොත් මොකෝ ඔය කියන ලෙක්චරර් එනවද ඔයාව බේරගන්න? අනික ඔය හොටෙල් ෆීල්ඩ් එකේ රස්සාවක්ම කරන්න ඕන කියලා උවමනාවක් නෑනේ. ඔයා වෙන තැනක පාට් ටයිම් කරන ගමන් ස්ටඩි කරන්න. මං කියන්නෙ ඒක තමයි හොඳ”

“කෑම දෙන්න ආවම අපාට්මන්ට් වල ඉන්න මිනිස්සු මොකටද මගෙ අතින් අල්ලන්න හදන්නෙ? පිස්සුවක් ඇතෑ”

“එහෙම තමයි මිනිස්සු දැන් කාලෙ ඉන්න”

“තමුන් ගැන වෙන්නැති ඔය කියනවා ඇත්තෙ”

“මොකද්ද කිව්වේ?”

“මුකුත් නෑ, ඔයා ඇයි දැන් මේ උඩ තට්ටුවට යන බට්න් එක එබුවෙ? මං යන්න ඕන පල්ලෙහටනෙ. රෙස්ටුරන්ට් එක තියෙන්නෙ පල්ලෙහනෙ”

“මං මෙච්චර ඔයා කෑම එක දීලා එනකම් බලාගෙන හිටියා. එහෙම එකේ මාත් එක්ක උඩ ෆ්ලෝ එකට ගිහින් මම බෑග් එක තියල සපත්තු ගලවල සෙරෙප්පු දෙකක් දාගෙන එනකම් ඔයාට ඉන්න බැරිද?”

“ඇයි ඔයා බබෙක්ද තනියෙන් ඔය ෆ්ලො එකට යන්න බැරි. මට එන්න බෑ. ඔයා මෙතනින් බැහැලා යන්න. මම රෙස්ටුරන්ට් එකට යනවා” කියා කිව්වට නෙවින් ගේ දෙනෙත් අස්සේ ඇඳී තිබුණ කුමක් හෝ බැල්මක් ශාර්වරීව ඒ ගමනින් වැලැක්වුවාය. තමන් මේ කරන්නේ හරි දෙයක්ද කියන සැකය හිත අස්සේ තිබුනත් ශාර්වරීගේ දෙපා ගොස් නතර වුණේ නෙවින් පසුපසින් ඔහුගේ අපාටමන්ට් එක ළඟය.

“ඔයා ඇතුලට එන්න එපා, මං විතරනෙ මේකෙ ඉන්නෙ, කවුරුහරි දැක්කොත් ඔයා ගැන වරදක් හිතාවි. මං විනාඩියෙන් එන්නම්” කියූ නෙවින්ට තමන් ඇත්තටම “ජරා මිනිහා” කියා බැන්න එක හරිද කියා ශාර්වරීට හිතුනේ අන්න ඒ වෙලාවේය.

ඒ උනාට මේ ඔක්කොම තමන්ව අල්ලගන්න නෙවින් සේනාරත්න දාන බොරු මායම් වෙන්නටත් පුලුවන් ය. 

ශාර්වරී එලියේ ඉන්න වෙලාවේ නෙවින් අපාටමන්ට් එක ඇතුලේ උන්නේ පුදුම කලබලයකිනි. මේ කලබලයම මීට අවුරුදු දහ පහලවකට කලින් තමන් පලමු වරටම පෙම්වතෙක් වෙච්ච වෙලාවේත් තිබිච්ච බව මතක් වෙද්දී කණ්ණාඩියෙන් මූණ බලාගෙන කොණ්ඩෙ අතින් හදමින් උන්නු නෙවින්ගේ මූණේ ඇඳුනේ ලස්සන හිනාවකි.

“පොඩි කෙල්ලො එක්ක ඉද්දි සමහරවිට තරුණයි වගේ හිතෙනවා ඇති” කියන සිතුවිල්ලත් හිනා යන්න හේතුවකි.

නෙවින් අපාටමන්ට් එකේ දොර ඇරගෙන එලියට එද්දි ශාර්වරී පේන්න උන්නේ නැත. කොරිඩෝවේ කොතැනකවත් ශාර්වරීව දකින්න නොලැබිච්ච තැන නෙවින් හිතුවේ ඈ තමන් අපාට්මන්ට් එක ඇතුලට ගියයින් පස්සේ ආයෙම ලිෆ්ට් එකේ නැගී රෙස්ටුරන්ට් එකට යන්නැති කියාය. 

හිත රිදුණ එක ඇත්තකි. සුසුමක් පිටවුණේ ඒ රිදිච්ච සිතුවිලි එලියට අරගෙන එන ගමන් ය.  නෙවින් ලිෆ්ට් එකේ උඩට එන බොත්තම ඔබා පල්ලෙහා තියෙන ලිෆ්ට් එක උඩට එනතුරු බලා ඉන්න ගමන් කල්පනා කරේත් “මාව අර කෙල්ලො එක්ක දැකලා එයා හිතන්න ඇති මම එයාට කරදරයක් කරන්න හදනවා කියලා” ය.

ලිෆ්ට් එකේ දොර ඇරුණේත් කොරිඩෝවේ වම් පස කෙලවරේ හිඳ ඕපන් ඒරියා එකේ හිඳ කවුරුන් දුවගෙන එන බවත්, ඒ පියවර හඬ අතරින් “යන්න එපා ඉන්න” කියා කියන හඬත් ඇහෙද්දී නෙවින් උන්නේ ඒ හඬේ හිමිකාරිනියට පිටුපා ය. 

ශාර්වරී ලිෆ්ට් එක වෙත දුවගෙන ආවේත් ලිෆ්ට් එකේ දොර වැසී නෙවින් සමුගත්තේත් තප්පර ගාණක පරතරයකිනි. රිදිච්ච හිතක් තිබ්බ නෙවින් ව අරගෙන ලිෆ්ට් එක පල්ලෙහට යද්දී රිදිච්ච හිතක් අරගෙන ශාර්වරී උඩ තට්ටුවේ රැඳී උන්නාය.

ශාර්වරී එක දිගට ලිෆ්ට් එකේ උඩට එන බොත්තම එබුවේ දුකත් කේන්තියත් එක්කය.

“එයාමයි මට ඉන්න කිව්වෙ, අන්තිමේ මං එද්දි එයා ගිහින්” කියා කිව්වට නෙවින්ට නොකියා ඕපන් ඒරියා එක බලන්න ගිය එක තමන්ගේ වරද බව යටි හිත කියන එක ශාර්වරී නෑසුනා සේ උන්නාය.

ලිෆ්ට් එක ඒ තට්ටුවට ආයෙම ආවේ බෙල් එක නාද කරවමිනි.විවර වුණු දොර එහා පැත්තේ උන්නේ ඒ මනස්කාන්ත ඇස් හිමි “ජරා මිනිහා” ය.

“ඇයි මාව දාලා ගියේ?” ශාර්වරී ඇසුවේ අලුත් වූ වේදනාවක් එක්ක ඒ මනස්කාන්ත ඇස් අස්සේ පැටලෙමිනි.

“අද විතරයි එහෙම වුණේ. ආයෙ කවදාවත් මං දාලා යන්නෙ නෑ” ඒ හඬ අයිති තමන්ටද කියා හිතෙන තරමේ ගැඹුරු, මාධූර්‍යාත්මක හඬකින් නෙවින් සේනාරත්න ශාර්වරීගේ දෙනෙත් අස්සේ පැටලුණේය.

ඇයට හිමිකරුවෙක් හිඳියේ නැත්තම් මේ මොහොතේ තමන් දෙවරක් නොහිතා ඒ දෙතොලේත්, ඒ සිහින් බඳ වටේත් පැටලෙන බව නෙවින්ට ස්ථිරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here