එකම එක හාදුවක් – 21

0
4671

21

“ආදරය නම් මෙය විය යුතුය

නොදැක්කත් හිත මල් පිබිදිය යුතුය

දහදිය වගුරුවන මොහොතක වුව

හිත වසත් උයනක් සේ සැරසිය යුතුය”

ඒ කවිය ශාර්වරී නෙවින් වෙනුවෙන් ලිව්ව, නෙවින් විසින් හිත අස්සේ හින් සැරේ වගාකරමින් උන් අමුතුම අන්දමේ හැඟීම් සමුදායක් ගැන ලිව්ව පලවෙනි කවිය විය. ඒ කවිය ශාර්වරීගේ ශාරා රයිට්ස් පිටුවේ පලවුනේ පින්ටරස්ට් එකෙන් හොයාගත්ත අහස උසැති අපාටමන්ට් එකක එක කාමරයක විදුලි එලි දල්වා තිබෙන රූපයක් සමගින් ය. 

“මට කවි ලියන්න තේරෙන්නෙ නෑ. මං කවි ලියන්න දන්නෙත් නැ. ඒ උනාට මේ කවිය ලියල තියෙන්නෙ මං වෙනුවෙන් කියන එක මම නොදන්නවා නෙවෙයි” කියා නෙවින් ශාර්වරි අප්ලෝඩ් කර තිබූ ඒ කවිය සහිත පෝස්ටුව ආයෙම වරක් ශාර්වරීමට ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ එව්වේ ඒ පණිවිඩය එක්කය.

කම්මුල් රතු කරගන්නවා ඇරෙන්න එවෙලේ ශාර්වරීට වෙන කියන්න කරන්න දෙයක් තිබුනේ නැත. අයේශ්වරී උන්නේ මේ ඔක්කොම හොර ඇහැකින් බලන ගමන් ය.

“මා සිතට අහම්බෙන්

ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්

සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්”  කියා නංගී ඔය ගයන්නේ තමන්ට කෝචෝක් එකක් බව ශාර්වරීට ඉතින්  නොතේරෙනවා නොවේ. මේ වගේ විහිලු හිත උඩට සීතල හිරිකඩ වැටෙනවා වගේ සනීප දායක වුණත් ශාර්වරීගේ හිතට තිබිච්ච බය අඩියක් දෙකක් එහයින් ඉඳගෙන රෙදි මහන අම්මට මේ නංගිගෙ මල විකාර තේරෙවි කියන එකය.

අම්මා උදේ ඉඳන් මහන කරන එක දකිද්දී “අනේ අම්මට කවදා නම් නිදහසේ හුස්මක් ගන්න වෙයිද?” කියන එක ශාර්වරී හිතූ වාර ගණන අනන්තය. ඒ නිසාම ලෙක්චර්ස් වගේම පාට් ටයිම් වැඩ නැති වෙලාවට නංගි එක්ක එක්කහු වෙලා අම්මගෙ ඇඳුම් බිස්නස් එකට පොඩි පහේ හෝ උදව්වක් දෙන්න ශාර්වරී දෙපාරක් හිතන්නේ නැත.

අම්මා මහන ගමනුත් කල්පනා කරන්නෙ හෙට දවසේ මොනවයින් මොනවා වෙන්නද කියන එක ගැන බව ශාර්වරීට නොරහසකි. එහෙම මනුස්සයා ඉස්සරහ පිට නංගි කරන මේ මල විකාර දකිද්දී ඉතින් තරහ යන එක සාධාරණය. අම්මා ඉස්සරහ “විකාර කරන්න එපා යකෝ” කියල කියන්න බැරි හන්දාම ශාර්වරී ඇස් දෙකත් කටත් ඔහෙක් මෙහෙක් කර කර අංගචලන වලින් අයේශ්වරීට ඒක කිව්වාය.

ඒ උනාට අයේශ්වරී නම් උන්නේ අක්කා කියන ඒවා ලේසියෙන් අහන්න හිතාගෙන නොවේ. ඉස්සර වැඩ ඇරී හෝ ලෙක්චර්ස් ඇරී හෝ ආව ගමන් ඇඳට වැටී නිදාගන්න එක හෝ විභාග කාල වලට රැ වෙනතුරු පාඩම් කරන අක්කා දැන් ෆෝන් එකට මූණ ඔබාගෙන හිනවෙවී ඉන්නේ “සිතට අහම්බෙන් කවුරුන් හෝ එබිකම් කල” නිසා බව අයේශ්වරීට නොතේරෙනවා නොවේ. මෙහෙම චාන්ස් හැමදාම එන්නේ නැත. එහෙම එකේ මේ චාන්ස් එක ආව වෙලාව පත්තුවෙන අක්කාගෙ හිත උඩ රොටිය පුච්චගන්න ඕනය. 

“මා සිතට අහම්බෙන්

ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්

සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්” 

අම්මා මහන ඇඳුම්වල නූල් කපන ගමන් අයේශ්වරී ඔය සින්දුව කියන්නේ අක්කාගේ මූණ දිහා එක තප්පරේකටවත් බලන්නෙ නැතුවය. එහෙම බැලුවොත් අක්කා මූණෙන් අංගලචලන වලින් එපා කියන එක හිත බැරිවෙලාවත් අහවි කියා හිතෙන හන්දා නූල් කපන ඇඳුම දිහා ඇරෙන්න අයෙශ්වරී වෙන කොහෙවත් බැලුවේ නැත. 

“කා විසින් කා හට කිව්ව දෙයක්ද ඔය?” කියා අම්මා වෙච්ච අනෝමා කතාවට එන්ටර් වෙයි කියා හැබැයි අක්කත් නංගිත් දෙන්නම හිතුවේ නැත. 

තමන් අහපු ප්‍රශ්නෙට අක්කා නගෝ දෙන්නාගෙන්ම උත්තරයක් නැති තැන අනෝමා මැශිම නවත්තන්නෙ නැතුවම ඇස් දෙක එහෙ මෙහෙ කර දෙපැත්තේ බිම වාඩිවෙලා උන්නු කෙල්ලො දෙනා දිහා බැලුවාය.

“ඈ චුට්ටි, කාටද දැන් ඔයා ඔය සින්දු කියන්නෙ?”

“කාට සිංදු කියන්නද අම්මෙ මම? මං සිංදු කියනව අහන්න ඉන්නෙ ඉතින් අම්මයි අක්කයි විතරනෙ”

“ආ ඒකියන්නෙ දැන් හිතට අහම්බෙන් එබිකම් කරපු කෙනා එබිකම් කරලා තියෙන්නෙ අක්කගෙ හිතට ද?” කියා අම්මා ඇස් කරකවා තමන් දිහා බලද්දී ශාර්වරී උන්නේ කරකියා ගන්න දෙයක් නැතුවය. නංගී තමන්ව මේ වගේ අමාරුවක දාවි කියා ශාර්වරී හිතුවේ නැත.

“අනේ මේ නංගිට පිස්සුනෙ අම්මෙ. මගේ හිතට එබිකම් කල කවුරුවත් නැ. මෙයා මේ ගෙදර කිසි වැඪක් නොකර බත් ගිල ගිල නිකන් ඉන්න ගමන් හිතන මල විකාර තමයි මේවා. පිස්සුනෙ මෙයාගේ. අම්මත් ඉතින් මෙයා කියන ඒව තමයි පිළිගන්නෙ. අනික කවුරුවත් මොකටද මගෙ හිතට එබ්කම් කරන්නෙ?” කියා ශාර්වරී කියාගෙන කියාගෙන යන ගමන් නංගී දිහා බලා එරෙව්වාය. 

“මුකුත් නැත්තම් ඉතින් ඔච්චර ඕකට කරුණු පහදන්න ඕනය පුතේ?” කියාගෙන හීනි හිනාවකට දෙතොල් මත පිපෙන්න ඉඩ දෙන අතරම අනෝමා ආයෙ වතාවක් තමන්ගේ දෙනෙත් මහමින් උන් ඇඳුම වෙත රඳවගත්තාය.

“ආන් එච්චරයි අම්මෙ මාත් කියන්නෙ. මං මේ සිංදුවක් කිව්වා කියල අක්කට ඔච්චර ඩෝං යන්න ඕන නෑනෙ මුකුත් නැත්තම් නේද?”

“අක්කයි නංගියි දෙන්නම දැන් ඉතින් පොඩි ලමයි නෙවෙන හන්දා මං කියන්නෙ. දැන් චුට්ටිත් කැම්පස් ගියයින් පස්සෙ හොඳ ළමයි ඕනතරම් හම්බෙයි. ඒ හින්දම මම මේක කියල තියන්නම්කො. හිතට එබිකන් කරන මිනිස්සු ඕන තරම් ඉතින් අපි ඉස්සරහට එනවා පුතේ. හැබැයි එබිකම් කරන හැම කෙනාටම ඉතින් හිත ඇතුලෙවත් ජීවිතේ ඇතුලෙවත් අපිට නවාතැන් දෙන්න පුලුවන්කමක් නෑනෙ. ඒ නිසා කවුරු එබිකම් කරත්, ඒ එබිකම් කිරිලි කොච්චර ඔයාලගෙ හිත අස්සෙ සන්තෝසෙ ගොඩ ගැහුවත් එබිකම් කරන අයගෙන් ජිවිතේ නතරකරගන්න ඕන කවුද කියන එක හොඳට හිතලා බලලා තමයි තීරණේ කරන්න ඕන.

පතොක් මල් වල ලස්සන පේන්නෙ කාන්තාරෙක පිපෙන හන්දා විතරනෙ පුතේ, ඒ වගේම තමයි ඔය නුවර එලියෙ පැත්තෙ වගේ පිපෙන මල් වලට කාන්තාරෙක ගිහිල්ලා ජීවිතයක් ලබන්න බෑ.

කොච්චර ලස්සන උනත් අපි පතොක් මල් නුවර එලියෙවත් නුවර එලියෙ මල් කාන්තාරෙකවත් වවන්න හදලා වැඩක් නෑනෙ. ඒ නිසා මේ තරුණ කාලෙ ඔයාලගෙ හිතට එබිකන් කරන කෙනා කවුරු හෝ වේවා ඒ අය තමන්ගේ ජීවිතේ ඉස්සරහ කාලෙ ගෙවන්න, නතරවෙන්න පුලුවන් කාන්තාරයක්ද නුවර එලියක්ද කියන එක හොඳට හිතන්න ඕන. තමුන් ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕන තමන් පතොක් මලක් ද කඳුකර මලක් ද කියලා.

ඒ අනුව තමයි පුතේ නතරවෙන තැන හිතාගන්න ඕන” කියා අම්මා කියද්දි නංගී මොනවා හිතුවද කියාද දන්නෙ නැති උනාට ශාර්වරීට නම් හිතන්න බොහෝ දේ තිබුණාය.

තමන් ඇත්තටම ගත්තම පතොක් මලකි. එදා වේල කන්නෙ කොහොමද කියන එක බලන්න දවස පුරා මැශිමක් ඉස්සරහට වී මහන අම්මා කෙනෙකුගේ දුවෙකි. ඉගෙන ගන්න අතරෙම තමන්ගෙ වයසෙ අනිත් ළමයි ඉතාම සැහැල්ලු ජීවිතයක් ගෙවද්දී පාට් ටයිම් වැඩත්, ෆ්‍රී ලාන්ස් ලියන කියන වැඩත් කරගෙන කීයක් හො වැඩිපුර හොයාගන්න හදන කෙනෙකි.

එහෙම පතොක් මලකට ඇත්තටම නුවර එලියේ මල් වත්තක, තව සුන්දර කඳුකර මල් සිය ගණනක් මැද්දේ අගයක්, වටිනකමක් ලැබේවිද කියා නොසිතා ඉන්න ශාර්වරීට පුලුවන් උනේ නැත. 

තමන් පිපෙන්නේ ඕන තමන්ට මුල් අදින්න පුලුවන් බිමකය කියා අම්මා කියන මේ කතාව ඉතින්  ඇත්තකි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here