රන් මල් දම් – 35

35

මන්දාරම් පැවසූ සියල්ල ජිනේන්ද්‍ර අසා උන්නේ විශ්වාස කිරීමට අපහසු සෙයකිනි. කතාවේ හැම කොනකම වූ සංවේදී අන්තයන් හි ජිනේන්ද්‍රද මන්දාරම් සහ චානක සෙයින්ම ගොලු වූයේය. ඔහු මන්දාරම් සහ චානකට වඩා කම්පනයට පත් වුවාය කීවාට එහිද වරදක් නැත.

 අවසානයේ ජිනේන්ද්‍ර මන්දාරම්ට සමුදුන්නේය.

” උඹ තාත්තා එක්ක කතා කරපං.. අපේ අම්මා ඔය කතාව මට කියපු බව අම්මා මෙලහකට තාත්තාට කියලා ඇති …”

” මට තේරෙන්නේ නෑ බං …”

මන්දාරම්ගේ මවගේ අනතුර සිදුවූයේ දිලුම්ගේ අක්කාගේ අතින් බව දැනගතහොත් තාත්තා කුමක් කරාවිදැයි සිතාගන්නට ජිනේන්ද්‍රට නොහැකි විය. සීසීටීවි දර්ශන නැති වීම පිළිබඳව තාත්තා කිහිප වතාවක් විමසීම දැන් ජිනේන්ද්‍රට ටක්කේටම ගැලපෙන්නේය. එහෙත් එය මන්දාරම්ටද පැවසිය  නොහැකිය. ජිනේන්ද්‍රගේ හිස  ගිණි දැල්වෙන කම්මලක් සෙයින් දැනුනේය.  මන්දාරම් වටා වූ වියවුල නම්, ඔහු මදක් හෝ ලිහාගෙන ඇත. එහෙත් දැන් සියලු වියවුල් තමා වටාය.

තාත්තා මන්දාරම්ගේ අම්මාට පැවසූ පරිදි තමා ඉපදුනේ සියඹලාණ්ඩුවේ නොවීම ඉන් එකකි.  අනෙක් අතට අම්මාද සියබලාණ්ඩුවේ නොව කුරුණෑගලය. අනෙක් අතට අම්මාගේ මේ අසීමාන්තික කැපකිරීමය. ඕ කොහොමටත් අතිශය සෞම්‍ය කාන්තාවක් වූ නිසා ඒ කල කී දෑ නම් ජිනේන්ද්‍ර වටහා ගත්තේය.

අනෙක් අතට මන්දාරම්ගේ අම්මා අනතුරට පත්වීමේ එක් පසෙක සිටින්නී දිලුම්ගේ අක්කා වීමය.  එක් පසෙකින් තාත්තාය. අනෙක් පසින් ඉතා කෙටි කලෙකින් කුළුපඟව සහෝදරයෙකු සෙයින් දැනෙන මන්දාරම් ය.  තමා මේ සියලු දෙනාම අගතියට පත් නොවන්නට සියලු අවස්තාවන් ගලපාගෙන හැසිරවෙන්නට දිය යුතු බව අවසානයේ  ජිනේන්ද්‍ර තීරණය කලේය.

පලමුව තාත්තා සමඟ මේ සියල්ල කතා කල යුතුය. ඔහුට මන්දාරම්ගේ අම්මා හමුවීමට යෑමට පහසුව සැලසිය යුතුය. අන් සියල්ල පසුවටය. ජිනේන්ද්‍ර උන්නේද වයස ඉක්මවා පරිණත ලෙසින් සිතමිනි.  මේ ගෙවී ඇති වසර තිස් හතරටම මෙවන් අභියෝගයකට මුහුන දෙන්නට සිදුවූ බවක් ඔහුට මතක නැත. එහෙත් ජීවිතය තුල මුහුන දෙන්නට වෙන ඇතැම් පරීක්ෂණ මෙහෙමය.

ජිනේන්ද්‍ර නිවසට යනවිටත් ප්‍රියලාල් උන්නේ ඔහු පැමිනෙන තෙක් මඟ බලමිනි. ජිනේන්ද්‍ර දෙදෙනාටම  කෝපි සකසාගෙන විත් ඉඳ ගත්තේය, ප්‍රියලාල් කෝපි කෝප්පය අතට ගත්තේය.

” ස්වර්ණා ආන්ටිගේ පුතා මාව මුණ ගැහුනා තාත්තේ .. මං සෑහෙන්න දේවල් දන්නවා.. මට අපැහැදිලි එක තැනක් තියෙනවා…. ස්වර්ණා ආන්ටි මන්දාරම්ට කියලා තියෙන්නේ, මම සියඹලාණ්ඩුවේ ඉපදුණා කියලා ඔයා කිව්වා කියලා… ඒත් මගේ උප්පැන්නේ තියෙන්නේ මම කුරුනෑගල ඉපදුණා කියලානේ.. අනෙක අම්මා කුරුනෑගල මිසක්, සියඹලාණ්ඩුවේ නෙවෙයි නේ…..   ඒපටලැවීම විතරක් ලිහුවම ඇති…”

ප්‍රියලාල්  හෙලූ සුසුම ජිනේන්ද්‍රටද බරට දැනුනේය. ඔහු කිසිවක් නොවිමසාම බලා උන්නේය.

” ඒ ඇත්ත කියලා ස්වර්ණාගේ ජීවිතේ අපායක් කරන්න බය හිතුනා පුතේ .. ඔයා එයාගේ ලොකු පුතා කියලා  එයා දැනගත්තාම, ඔයාගේ ජීවිතේ වෙනුවෙන් මම එයාව අතෑරලා හැංඟුණා කියලා දැනගත්තාම, කාන්ති නංගී ඔයාගේ අම්මා වෙලා අවුරුදු විසි ගානක් ඔයාව රැකගත්ත කියලා දැනගත්තාම ස්වර්ණා දෙවෙනි වතාවටත් පිස්සු වැටෙන බව දැන දැනම මට ඒ ඇත්ත අම්මට කියන්න බැරි වුනා පුතේ … අපේ අරපරෙස්සමක් නැති ජීවත් වීම් හින්දා ඔයාටයි ලොකුම අසාධාරණය වුනේ පුතේ …  කවදාවත් ස්වර්ණා ට මේ ඇත්ත දැනගන්න තියන්න එපා රත්තරන් පුතේ .. ඒ ගෑණි ඉන්නේ තවත් මේ පටලැවිලි දරාගන්න පුලුවන් තත්වේක නෙවෙයි ..”

ජිනේන්ද්‍ර හිස බඳාගෙන ප්‍රියලාල් අසල බිම හිඳ ගත්තේය. මේ  සිහිනෙකිනවත් අසන්නට බලාපොරොත්තු වූ කතාවක් නොවේය. ඒ නැතත් මේ තමාට කිසිලෙසකින්වත් සඟවාගෙන සිටින්නට හැකි කතාවක් නොවේය.

” ඇයි ?.. ඇයි තාත්තේ මටම එහෙම ?…. කොහොමද මට එච්චර අසාධාරණ කමක් කරන්නේ ?…”

ජිනේන්ද්‍ර කෑ ගසා විමසුවේය.  ප්‍රියලාල් තම දෙපා අසල හිඳගෙන කෑ ගසා හඬන පුතු අල්ලා ගෙන සනසන්නට උත්සාහ කලේය. එහෙත් ප්‍රියලාල්ට තමා අල්ලන්නට ජිනේන්ද්‍ර ඉඩ දුන්නේ නැත.

” බෑ .. බෑ .. එයා මගේ අම්මා නම්, එයා ඒක දැනගන්න ඕනි … එයා මන්දාරම්ට විතරක් ආදරේ කරන්නේ .. එයා මාව නිකම්ම අතෑරලා… මම මැරුණා කිව්ව පලියට මාව අතෑරලා .. මං ගැන හොයලාවත් නෑ … ඔක්කොම එකතු වෙලා මාව රැවැට්ටුවා… ඔක්ක්කොමලා….. අම්මා මැරෙන වෙලාවේ මට කිව්ව කතාව දන් තමයි මට තේරෙන්නේ …. ඔයා දන්නවාද, එයා කිව්වේ එයා නැති වුනාට මගේ අම්මා ඉන්නවනේ කිව්වා… මං හිතුවේ අම්මා අසිහියෙන් කියෙව්වේ කියලා.. මම ඒ කතාව එහෙමම අතෑරියා … දැනුයි තේරෙන්නේ ….”

ජිනේන්ද්‍ර උමතු වෙමින් උන්නේය. අවුරුදු 34ක් පුරාවට ඔහුට තිබුණේ සැහැල්ලු ජීවිතයකි. යම් හෝ ගැටලුවක් වූවා නම් ඒ නිම්නාවී ගේ සරසවි මිතුරියක  හා වූ ප්‍රේමය නිම්නාවීගේ දුර දිග නොසිතා කල ක්‍රියාවක් නිසා බිඳී යාමය. එහෙත් ජිනේන්ද්‍ර එයද දරා ගත්තේය. අම්මාගේ අහිමි වීම වෙනුවෙන්ද ඔහු සිත සූදානම් අක්‍රගෙන උන්නේය. ඉන් පසුව බැඳීම් අවම මට්ටමක පවත්වාගෙන, හැකි තරම් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් වෙහෙසෙන වැඩ කටයුතු කෙරෙහි ඔහු යොමු විය. ව්‍යාපාර කටයුතු මඟ කාර්‍යබහුල වන විට එම කටයුතු වෙනුවෙන් වැඩි වේලා වෙන් කරන්නට නොහැකි වුව්වද, ජිනේන්ද්‍රගේ අදහස වූයේ පියාද නැති කලෙක සියලු දේපල විකුණා විදෙස් ගතවී මහණ දම් පිරීමය. තායිලන්තයේ හෝ ජපානයේ පන්සලක නිවුණු ජීවිතයක් වෙනුවෙන් ඔහුට සැලසුම් තිබුණි.

එහෙත් දැන් ලෞකික  ජීවිතය  තුළට ඉතා තද ඇලීමක් දැනෙන්නේය. අම්මා ලෙසින් දැන් තත්පර කිහිපයකට පෙර දැනගත් කාන්තාවගේ දිලිසෙන ඇස් ,තම පියාගේ ජංගම දුරකතනය තුල තිබියදීම තමාට හුරු සේ දැනුනේ ඇයි දැයි එක්වරම සිහිවෙද්දී ජිනේන්ද්‍ර ගේ හදවත තුල මහා යකඩ බරුවක් සිරව ගියා මෙන් දැනෙන්නට විය.

තාත්ත ඔහුගේ ප්‍රේමය වෙනුවෙන් පමනක් සටන් වඳින අපූරුව ගැන සිතමින් ජිනේන්ද්‍ර නැගිට්ටේය. ප්‍රියලාල් ඔහු නවතා ගැනීමට උත්සාහ කලේය.

” අහන්නකෝ පුතේ … මං කියන එක අහන්නකෝ …”

” මට ටිකක් තනියෙන් ඉන්නයි ඕනි … තාත්තා කලබල වෙන්නෙපා… මේක මගේ ලැබීම කියලා මම හිත හදාගන්නම් ….”

” පුතේ …”

තමා  කෙතරම් අසාධාරණ මිනිසෙකුදැයි ප්‍රියලාල්ට නොවැටහෙනවා නොවේ. එහෙත්, ඔහු තරුණ ස්වර්ණා හැර දමා ආවේ ඇගේ  බාප්පලාගෙන් ඇගේ සහ කුඩා ජිනේන්ද්‍රගේ  ජීවිත ගලවා ගැනීම වෙනුවෙන් මය. කුරුනෑගල  දන්නා ම්තුරියක වූ කාන්ති මුණ ගැසුනේ දරුවාද සමඟ කිසිත් කර කියා ගන්නට නොහැකිව සිටියදීය. ඕ ඉතා කැමැත්තෙන් ජිනේන්ද්‍රගේ අම්මා වී තමාගේ මිතුරිය වූවාය. පසුව තමා ඇයටද පෙම් කල බව ප්‍රියලාල් දනී. ඇය එතරම් කාරුණික, මවුවත් ගැහැණියක වූවාය. ඉන් පසුව ජිනේන්ද්‍රගේ ජීවිතයට කිසිඳු අඩුවක් නොවි තිබෙන්නට තමන් දෙදෙනා වග බලා ගත් බව ප්‍රියලාල් දනී.

කාන්ති මිය යන්නට පෙර ඉල්ලා සිටියේම ස්වර්ණා පිළිබඳව ජිනේන්ද්‍රට පවසන ලෙසය. ඒ ගැන දැනගැනීමට ඔහුට අයිතියක් ඇති බවය.

එහෙත් ස්වර්ණා ජීවිත කාලය තුල රැවටී ඇති වාර ගාන පසුව ඇයගෙන් දැනගත් පසු මේ පිලිබඳව ඇයට පවසන්නට තරම් දිරියක් ප්‍රියලාල්ට වූයේ නැත. ඔහු ඒ අතීතය වළදා දමන්නට තීරණය කලේය.

දැන් ජිනේන්ද්‍ර ඒ සියල්ල දැනගෙනය. ඔහු කුඩා දරුවකු නොවේ.  මේ සියල්ල නොවැටහෙන්නෙකුද නොවේ. එහෙත් ඔහු පීඩා විඳින්නේය. අම්මා අහිමිවීමද, යලි අම්මා ලැබීමද ඒ අම්මාද අහිමිවීමද යන කාරණා ඔහු අසීමාන්තික පීඩාවක හෙලන බවට සැක නැත.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles