සුදු ලූණු රස ගැන්වුණු – Garlic butter egg

බිත්තර කියන්නෙ පෝෂණ ගුණය අතින් මොනතරම් ඉහළ මට්ටමක තියෙන ආහාරයක්ද කියල අපි අපේ ලිපි වලින් නිතරම ඔබව දැනුවත් කරනවනේ. 

හැබැයි, මොනතරම් පෝෂණ ගුණයක් තිබ්බත් හැමදාම එකම විදිහට බිත්තර කාල එපා වෙලා නම් ඔබ ඉන්නෙ ඔන්න අද අපි වෙනස්ම විදිහකට බිත්තර පිළියෙල කරන ක්‍රමයක් අරගෙනයි මේ ඇවිල්ල ඉන්නෙ. 

අද අපි හදන්නෙ සුදුළූණු රස ටිකක් වැඩිපුර දැනෙන්න බිත්තර පිළියෙල කරගන්න ක්‍රමයක් ඔබට කියා දෙන්නයි. 

Garlic butter egg හදන්න වුවමනා ද්‍රව්‍ය මොනවද කියල අපි එහෙනම් බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

බිත්තර ස්ක්‍රැම්බල් සඳහා 

අළුත් බිත්තර 08 ක් 

ලුණු කුඩු තේ හැඳි ¼ ක් 

ගම්මිරිස් කුඩු තේ හැඳි ¼ ක් 

කෑලි මිරිස් තේ හැඳි ¼ ක් 

කුඩාවට කපාගත් සුදුළූණු තේ හැඳි 01 ක් 

තෙල් තේ හැඳි 01 ක් 

බටර් තේ හැඳි 03 ක් 04 ක් 

සෝස් තැවරුම සඳහා

බටර් මේස හැඳි 03 ක් 

කුඩාවට කොටු කපාගත් සුදුළූණු ගෙඩියක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක් 

කෑලි මිරිස් තේ හැඳි 01 ක් 

කෝන් ෆ්ලා / corn flour තේ හැඳි 01 ක් 

උණුකර නිවාගත් කිරි කෝප්ප 01 ක් 

එහෙනම් අපි බලමු මේ කළමණා වලින් අපි ගාලික් බටර් එග් හදාගන්නෙ කොහොමද කියල.

සාදාගන්නා ආකාරය

අපි මුලින්ම බිත්තර ස්කැම්බල් කරගත යුතුයි. 

බිත්තර වල කටුව හොඳින් සෝදා පිරිසිදු කරගන්න. 

ඊළඟට තරමක් විශාල භාජනයක් ගෙන එයට බිත්තර සියල්ල කඩා දමා ගන්න. 

ඒ භාජනයටම ලුණු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් සහ සුදුළූණු එකතු කර සියල්ල හොඳින් කලවම් කර පසෙකින් තබාගන්න. 

භාජනයක් මඳ ගින්නේ ලිප තබා එයට තෙල් සහ බටර් එකතු කරගන්න. 

බටර් හොඳින් දියවුණු පසු එයට සාදාගත් බිත්තර මිශ්‍රණය දමා සෙමින් හැඳිගාමින් බිත්තර සාමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කැඩෙන සේ බිත්තර ස්ක්‍රැම්බල් කරගන්න. 

සාදාගත් බිත්තර කැබැලි ලිපෙන් ඉවත් කරගන්න. 

දැන් ඒ භාජනයටම නැවත බටර් එකතු කර කුඩාවට කපාගත් සුදුළූණු එකතු කරගන්න. 

සුදුළූණු විනාඩියක් පමණ බැඳුණු පසු ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් සහ කෝන් ෆ්ලා එක්කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට කිරි එකතු කර විනාඩියක් පමණ හොඳින් කලවම් කරගන්න. 

අපි සෝස් තැවරුම සාදාගෙන අවසන්. 

දැන්, ලිපේ ගින්දර හොඳටම අඩුකරල අපි කලින් හදාගෙන තියෙන ස්ක්‍රැම්බල් කරගත්ත බිත්තර ටික එකතු කරල බිත්තර කැබලි වල සෝස් හොඳින් ගෑවෙන විදිහට කලවම් කරල ලිපෙන් ඉවත් කරගන්න. 

ඔන්න දැන් අපේ රසම රස garlic butter egg හදාගෙන ඉවරයි. 

ඔබ කැමති නම් මේ සෝස් එකතු කුඩාවට කපාගත්ත කොත්තමල්ලි කොළ මිටක් එකතු කරගන්නත් පුළුවන්. 

බත් වගේම පාන් එක්ක වුනත් මේ විදිහට හදාගත්ත බිත්තර උණුසුම්වම රසවිඳින්න ඔබට පුළුවන්. 

සටහන – දුලානි නවෝද්‍යා  

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles