මහානාම ගෙදරත් මල්වත්තගේ ගෙදරත් මංගල ශ්‍රීයකින් ඉතිරී ගියේ ය. ගෙවල් දෙකට ම මංගල කාරණා උදා වී තිබේ. මල්වත්තගේ ගෙදර දියණිවරු දෙදෙනෙක් ම මනාලියන් වීමට සැරසෙති. ඔවුන් ගේ විවාහයන් අනවශ්‍ය වියදම් වලින් තොරව, අත්‍යවශ්‍ය අංගයන්ගෙන් පමණක් සමන්විතව ඉෂ්ඨ සිද්ධ කරන්නට සහෝදරියන් දෙදෙනා ම තීරණය කරගත්හ. ඔවුන් රැකියා කොට ඉතිරි කරගත් සුළු මුදලක් ඇති මුත් බරපැන මූලික වශයෙන් දැරිය යුතු වන්නේ තාත්තා විසින් නිසා අනවශ්‍ය වියදම් කපා හරින්නට ඔවුන් ට ඕනෑ විය.
“පිස්සු නැතුව ආස විදිහට හැම දේම ලෑස්ති කරගන්නවල. දෙපාරක් බඳින්නෑනෙ. මාත් සල්ලි ටිකක් ඉතුරු කරං ඉන්නෙ මෙහෙම වෙලාවක ගන්න. ඔෆිස් එකෙන් ලෝන් එකකුත් ඉල්ලලයි තියෙන්නෙ මං”
සන්දේශ් පවුලේ එක ම සහෝදරයා වශයෙන් සිය යුතුකම් ඉටුකරන්නට සැදී පැහැදී සිටියේ ය.
“ඒ වුණාට ලෝකෙට පේන්න මගුල් කන්න රටට ණයවෙන්න ඕන නෑ. අනවශ්‍ය වියදං කරල මගුලෙන් පස්සෙ අවුරුදු ගාණක් ණය ගෙවන එකයි දැං කාලෙ ගොඩක් මිනිස්සු කරන්නෙ. මං කියන්නෙ ඒ අනවශ්‍ය වියදං නැතුව ඉතුරු වෙන මුදලක් දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් තියාගන්න එකයි මොළේ තියන අයනං කරන්න ඕනෙ”
දුරේශ් ගේ එවන් දූරදර්ශී අදහස් කුඩා කල පටන් අසා දැක ඇති නිසා ගෑනු ළමයින් ගේ ආකල්ප සැකසී ඇත්තේ ද සරල ජීවන ක්‍රමයකට අනුගතව ය. නමුත් විවාහ මංගල්ලයක මූලික අංග සියල්ල අඩු නැතිව ද සරල ලෙස ද සංවිධානය කරගන්නට අක්ක නගෝ සමත් වූහ. ඔවුන් දෙදෙනා ගේ ම ඇඳුම් ආයිත්තම් එක ම මෝස්තරයකට නිමවන්නට සැලසුම් කළහ. ඒ අනුව මනාලයන් දෙදෙනාට ද එක ම විලාසිතාවකින් සැරසෙන්නට සිදු වේ. එක ම ශාලාවක පොදු ඥාති හිතවතුන් පිරිසක් පිළගත යුතු වන නිසා වියදම් අවම වන්නේ ය. දෙවැනි දිනයක් අනවශ්‍ය ලෙස සියලු දෙනාම එක් වී තීරණය කළෙන් වියදම තව දුරටත් කපා හැරිය හැකි විය. කපා හැරෙනා වියදම් නිසා ඉතිරි වන මුදල් සංග්‍රහ කටයුතු ඉහළ ම මට්ටමෙන් කිරීම කෙරේ යොමු කළ හැකි ය. දෙවන මනාල මනාලීන් ද මල් කුමර කුමරියන් ද අනවශ්‍ය ලෙස සැලකිණ. කණ්ඩායම් ඡායාරූප ගැනෙන්නට නියමිත වූයේ යුවළ දෙක යොදාගෙන ය.
අක්කාටත් නංගීටත් වැඩ වැඩි විය. එක් මංගල්ලයකට සූදානම් වීමට සිටි ඔවුන්ට අනපේක්ෂිත ලෙස කෙටි කලක් තුළ දී මංගල්ල දෙකකට සූදානම් වන්නට සිදු වීම තරමක් කලබලකාරී බවක් දනවයි. අ්‍ය්විනී හා සාන්වී දවස පුරා ම එහෙ මෙහෙ දුවමින් අදාල කටයුතු සැලසුම් කළහ.
“වීක් එන්ඩ්ස් වල එළියට යන වැඩ දාගන්නව. එතකොට මට පුළුවන්නෙ කා එක අරං එන්න”
ආර්ය ශාක්‍ය ට සිය සහයෝගය පළ කරනු වස් කීවේ ය.
“මට හොඳ තැනකින් රෙන්ට් එකට ගෙයක් තිබුණොත් කියනවකො. ලොකු වෙන්න ඕන නෑ. ෆැසිලිටීස් තියන පොඩි ගෙයක් හොඳයි”
ශාක්‍ය මේ දින කිහිපයේ ම වෙහෙස වූයේ එවන් තැනක් සොයන්නටයි. නමුත් හිතට ගැලපෙන තැනක් තවමත් හමු වූයේ නැත.
“රෙන්ට් එකට වෙන ගෙවල් වලට යන්නෙ මොකටද… මේ ගෙදර ඉන්න පුළුවන්නෙ…”
“ඒ වුණාට අයියෙ… ඉඩ මදිනෙ ඕයි. මං හෙමිහිට ගෙයක් හදනව. ඒ වෙනකල් රෙන්ට් එකට යන එක හොඳයිනෙ”
“පිස්සු නැතුව ඉන්නව. හරි තමුසෙල දෙන්නට නිදහසේ ඉන්න ඕනනං උඩ පදිංචි වෙනවලකො. මං කොල්ල එක් පහළ තමුසෙගෙ රූම් එකට එන්නං”
“ඒක හරියන්නෑ. ඩිවෝස් එකෙන් පස්සෙ අයිය ආයෙ බැන්දොත් උඩ තියෙන්න ඕනනෙ ඉන්න”
“පිස්සුද ඕයි… මං ආයි බඳින ඒව ගැන කාටද කියන්න පුළුවන්…”
ආර්ය ගෙන් සුසුමක් ගිලිහුණේ ඔහුටත් නො දැනීයි. ඔහු ගේ මුව කොනක සංවේගී මඳහසක් සැරිසැරුවේ ය. ශාක්‍ය ගේ ඇස් මඳ වෙලාවක් අයියා ගේ මුහුණ මත නැවතී තිබිණ.
“හරි හරි අපි ඉන්නවනෙ අවුලක් වුණොත්”
ආර්ය වහා ම ශාක්‍ය දෙස බැලුවේ ය.
“මොන අවුලක්ද…”
“අපිත් ඇස් කන් ඇරං ඉන්නෙ හරිද… තමුසෙට මාගි ලව් කියල අපි දැනං හිටියෙ පොඩි කාලෙ ඉඳං. මේ සැරේ කෙල්ල ලේසියෙං ගේම අතාරින්නෑ”
එවර ආර්ය ට බිම බැලිණ. ශාක්‍ය ට විරුද්ධව වචනයක් හෝ කියන්නට ඔහු ට හැකි වූයේ නැත.
“ආශ් මැරි කරල ගියාවෙකො. ඊට පස්සෙ බරේ අදින්න කවුරුත් නෑනෙ”
ශාක්‍ය ආර්ය ගේ උරයෙහි අතක් දමාගත්තේ ය. අමුතු හයියක් ආර්ය ට දැනිණ.
“මං හිතුවෙ තමුසෙල සුදූ ගැන හිතං ඉන්නව කියලයි”
“අපි හිතං හිටියට වැඩක් නෑ ඕයි. ඒකිගෙ හිතේ ඉන්නෙ තමුසෙනෙ”
ශාක්‍ය ගේ සිනහව උස් වූයේ ය. ආර්ය ට මඳ ලැජ්ජාවක් නො දැනුණා ම නොවේ. නමුත් ඔහු එය මැඩගෙන යළිත් අදාල මාතෘකාවට ආවේ ය.
“හරි හරි. තමුසෙල උඩ පදිංචි වෙනවකො. ගෙයක් හදපු කාලෙක යන්න බැරියැ. නිකං බොරුවට ගෙවල් කුළී ගෙවන්න ඕන නෑනෙ”
“හ්ම්. බලමුකො එහෙනං”
ගෙවල් දෙකට ම කලබලකාරී දවස් වූයෙන් බොහෝ විට ගෙවල් දෙකේ ම අය වෙනුවෙන් දිවා ආහාර පිසුවේ මණී ය. අශ්විනී හා සාන්වී නිතර දිවා කාලයේ වැඩ වලට පිටතට ගිය බැවිනි. එතකොට අමාගී මණී ට උදව් කළා ය. ගෙවල් දෙකේ ම අය වෙනුවෙන් කෑම මේසය දැමුණේ මහානාම ගෙදර වන බැවින් අමාගී දවසෙන් වැඩි කාලයක් ගත කළේ එහි ය. වැඩ වැඩිකම නිසා අශ්විනී ට අමාගී ගේ විවාහ යෝජනාව ගැන වැඩිපුර උනන්දු වීමට වෙලාවක් වූයේ නැත. කසුන් ගේ මිතුරා වන රජිත ඉඳහිට අමාගී ට කතා කළේ ය. ඇය ඒ වෙලාවට බොරුවට ඇහෙන්නේ නැති බවක් හඟවමින් දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.
“අනේ දුරේ මාගි කෙල්ලවනං රට පටවන්න හිතන්නෙපා අප්ප. මේ කෙල්ල නැති වුණොත් මන්දන්නෑ අපිට කවුද ඉන්නෙ කියල. මං මැරෙන වෙලාවක වතුර උගුරක් පොවන්න හරි මාගි අපිට ළඟ පාතකින් ඉන්නවනං… මං දෙයියංගෙන් ඉල්ලන්නෙ එච්චරයි”
කෑම කන වෙලාවක මණී දුරේශ් ට කීවේ ය. ඔහු හයියෙන් සිනහ වූයේ ය.
“කටට වතුර ටිකක් වැටෙන විදිහට අපි ඇඳ ළඟින් ටැප් එකක් හයි කරගමු මණී”
“කවුරු හිටියත් මටනං මේ කෙල්ල නැතුව කවුරුත් නෑ වගේ දැනෙයි. ඒත් ඉතිං එයාට හොඳම දේ තමයි වෙන්න ඕනෙ”
“හ්ම්. සිද්ද වෙන්න තියන දේවල් වලක්කන්න සක්කරයටවත් බෑ මණී. සුදූටත් එංගලන්තෙනං උරුමෙ… ඒක වෙයි”
නොමැති නම් එසේ නොවෙයි යන්න අමාගී සිතා ගත්තා ය. කෙසේ වෙතත් මේ එංගලන්තයෙන් පැමිණි විවාහ යෝජනාව ගැන මහානාම පුතුන් අමාගී ට විහිළු කරන්නට පටන් ගත්හ. අමාගී ට ඒ ගැන කේන්තියක් දැනුණේ ම නැත. නමුත් දිනක් ආර්ය කී කතාවකට නම් ඇය කේන්ති ගත්තා ය.
ඒ රැයෙහි ආර්ය ආයුව නිදි ගැන්වීමට උත්සාහ කරමින් සිටියේ ය. නමුත් අමාගී ව දුටු ගමන් දරුවා ඇය ලවා නිදි කරගන්නට ඕනේ කියමින් කරදර කරන්නට ගත්තේ ය.
“මාට කියල හැමදාම නිදි කරගන්න හම්බ වෙන එකක් නෑ. එයා රට යන්න හදන්නෙ”
ආර්ය අඩ සිනහවක් ඇතිව කීවේ දුර දිග සිතා නොවේ. නිකමට විහිළුවක් ලෙසයි. අමාගී අතට පැනගත් ආයු එක් වනම හඬන්නට පටන් ගත්තේ ය.
“මා යන්නෙපා… බබා දාල මා රට යන්නෙපා…”
කියමින් පටන් ගැනුණ ඒ හැඬුම මහා හැඬුමක් බවට පත් වූයේ ඇසිල්ලකිනි.
“නෑ මැණික… මගෙ ආයු පැටියව දාල මං කොහෙවත් යන්නෑ අනේ”
කියමින් අමාගී සැනසුම් බස් දෙඩුව ද ඔහු එක දිගට ම හඬන්ට වූයේ ය.
“මොන එකක්ද අනේ ඕගොල්ලො හැම තිස්සෙම කරන මේ විහිළුව… කවුද දැං කිව්වෙ මං රට යනවයි කියල… තම තමං හිතං ඉන්න බහුබූත හිතාගෙන පාඩුවෙ ඉන්නවනං කමන්නෑ. නිකං අපරාදෙ මේ ළමයවත් අවුස්සල ඇඬෙව්ව”
අමාගී ගේ කටේ සැරට ආයු හැරෙන්නට මුළු ගෙදර ම නිසල විය.
“මටත් කලින් මේ අයියල මල්ලිල ටික මාව රට පටෝල ඉවරනෙ. මොන විකාරයක්ද මේ… ආයෙ කවුරුහරි ඔය ගැන කියන්න කට ඇරපුදෙංකො..ඇත්තමයි මණී ආන්ටි මට ආයෙ දොස් කියන්නෙපා හොඳේ. කරන්නංකො හොඳ වැඩක්”
මණී කට තද කරගෙන ඉබි කටුවට රිංගන ඉබ්බියක සේ කුස්සියට රිංගුවා ය. ඊළඟ පුපුරා යාම ගැන බියෙන් වාගේ රුසිරු අමාගී දෙස ම බලා සිටියේ ය.
“ගාන්න මා තාත්තිට. පූ බාප්පිටත් ගාන්න”
ආයු මොහොතකට හැඬුම නවතා එසේ කීවේ පූජන එතෙක් හිර කරගෙන උන් සිනහව පුපුරා හැරි නිසාවෙනි. අමාගී අත මිට මොළවා පූජන ගේ පිට හරහා පහරක් ගැසුවා ය.
“ගොං අලිය”
“ගොං අලිය”
ආයු ද ඒ වචන දෙක පුනරුච්චාරණය කළ රිද්මයට කවුරුත් හඬ නගා සිනහ වූහ. අමාගී ට පවා සිනහ නැඟිණ. ඔහු අතින් වරදක් වී යයි සැක කළ ආයු නැවත ද මූණ බෙරි කරගෙන අමාගී ගේ උරහිසෙහි හිස හොවාගත්තේ ය.
“මේ ඔක්කොම නෝටියි. මගෙ මැණික විතරයි හොඳ. පැටිය දෝගන්න”
ඇය දෙපැත්තට වැනෙමින් ආයු ට නිදිබර පරිසරයක් මවාලීමේ උත්සාහයක් ගත්තා ය. ශාක්‍ය අමාගී දෙස බලා ආර්ය ගේ සවනට රහසක් කීවේ ය.
“පත්තිනි දේවි වගේ හිටියට කාලි වැහෙනව ඕකිට. කටිං අත දාල තමුසෙව කනපිට හරවන්නැද්ද බලනවකො. නැත්තං මං කන කපාගන්නව”
ආර්ය ගේ දෙතොල් අතරට ආ සිනහව ලැජ්ජාශීලී මුත් ලස්සන ය. ඒ සිනහව අමාගී ගේ මුහුණ ට ද බෝ විය.
“මොකද්ද කිව්වෙ පොඩීයිය…”
“නෑ මුකුත් විශේෂ දෙයක් නෑ මේ… “
“එහෙනං කණපිටක් ගැන කියනව ඇහුණෙ”
“නෑ මේ… අනිත් එක්කෙනත් මෙහෙට ආවහම මේ ගේ කණපිට හරවයි කියල කිව්වෙ”
“ඕ ඒක වෙන්න පුළුවනං ඉතිං. පිළිවෙළට හිටියෙ නැත්තං ඔයාවත් කණපිට හරවන්න පුළුවන්. වෙන කෙල්ලො දිහා බැලුවොත් ඇස් ඉගිල්ලෙන්න පුළුවන්. තව එතකොට ගහන්න අත උස්සගෙන එහෙම ආවොත් ඒ අත බෝංචි වගේ කැඩෙන්න පුළුවන්. බීගෙන ආවොත් එහෙම ඒ රෑම දොට්ට දැමෙන්නත් පුළුවන්”
අයියාත් මල්ලීත් මුහුණෙන් මුහුණ බලාගත්හ. ශාක්‍ය ඇස් බැම උස්සා නළල රැලි නැංවූයේ ය. ආර්ය සිනහව සඟවා ගත්තේ ය.