රාත්‍රියෙහි කිසිවෙකුට නින්දක් නොවූවා විය යුතු ය. අශ්විනී ද අමාගී ද එක කාමරයක විසල් යහනක දෙපැත්තට වී දිගට ම කඳුලු සැලූහ. ඔවුන් ගේ ඉකි හඬ ද සුසුම් හා හීල්ලුම් හඬ ද වරින් වර ඉස්මතු වී නැඟිණි. සාන්වී මාරුවෙන් මාරුවට දෙපැත්තට හැරෙමින් ඔවුන් සැනසුවා ය. දෑතින් අක්කාගේත් නංගීත් හිස් එකවර පිරිමැද්දා ය.
සන්දේශ් බරපතල පසුතැවීමක දැවුණේ ය. අක්කා ගේ වදන් ඔහු ගේ සවන් තුළ පිළිරැව් නැගේ. ඈ කීවේ මුසාවක් නොවේ. මේ හැම අර්බුධයක ම කෙළවරේ ඔහු ද සිටී. ඔහු ට කිසි දා මෙවන් ගැටළුවක බිජු වපුරන්නට උවමනා වූයේ නැත. නමුත් දැන් ඒ නො සිතා ම වපුරන ලද බිජුවට වල අස්වනු නෙලන්නට සිදු වී තිබේ.
සන්දේශ් බරපතල වැරදිකාර හැඟීමකින් පෙළෙමින් සිටියේ ය. සිය ලාබාල නැඟණිය ආර්ය වන් දික්කසාද පුරුෂයෙකුට, පියෙකුට ලං වූයේ තමන් දුර දිග නො බලා කළ අනුවණ ක්‍රියාව නිසා නොවේද යන සිතිවිල්ල ඔහු ගේ බොටුවෙන් අල්වා මිරිකාගෙන ඉන්නට ඇත. අශ්විනී වෙතින් ආර්ය ගේ යෝජනාව රහසක් ලෙස සඟවාගන්නට ඔහු අපොහොසත් වූයේ එබැවිනි. කොහොමත් හැඟීම් පිළිබඳ කාරණා වලදී තමන් දුර්වල බව සන්දේශ් දැන් දනී. නමුත් ඒ කාරණය අශ්විනී විසින් දැනගනු ලැබීමෙන් සිදු වූයේ දැවැන්ත පුපුරා යාමකි. අක්කා ඔය තරම් සාහසික ලෙස ඒ යෝජනාවට විරෝධය පානු ඇතැයි ඔහු සිතුවේ ම නැත.
මණී මේ කාරණය දැන ගත්තේ නිදන්නට යහනට ගිය පසු උපුල් මහානාම වෙතිනි. ඇය අතින් මුව වසාගත්තා ය. ඊළඟට රෑ ජාමේ මල්වත්තගේ ගෙදර පැත්තෙන් ඇහුණ අශ්විනී ගේ කෑගැහිල්ල ඔවුන් ට සිය යෝජනාව හකුලාගන්නට සිදු වන බව මොනවට කියා පෑවේ ය. මණී හිටියේ ගැහෙනා හදවතකිනි. පවුල් දෙක අතරේ විවාහයක් සිදු වෙන්නට ඔන්න මෙන්න ව තිබේ. මේ සිදුවීම ඊට බලපෑමක් නොකරන බව ඇය දන්නවා වුණත්, විදාරණයකට පසු ඇති වන සුන් බුන් තත්වය නිසා හදවතක් පහසුවෙන් පරණ තත්වයට නො එළඹෙන බව ද ඇය දනී. ඇගේ හදවත වැඩිපුර රිදෙන්නේ ලොකු පුතා ආර්ය වෙනුවෙනි. ඕ තොමෝ මුලින් ම මව් පදවිය ලැබුවේ ඔහු නිසාවෙනි. බිහි වූ දා පටන් ආර්ය අනිත් දරුවන් වාගේවත් කරදර කළ ළමයෙකු නොවේ. ඔහු අහිංසක ය. ලැජ්ජාශීලී ය. යොවුන් වියේදී හෝ ගෑනු ළමයෙකු සමගින් කිසිම විදිහක පැටලීමක් ඇති කරගත් බවට පැමිණිල්ලක් ලැබී නැත. නිධී ව විවාහ කරගන්නා බව ඔහු විසින් මණී ට දැනුම් දුන් වෙලාවේ ඇගේ ළය පිච්චී ගියේ ය. ඒ කාලයක් තිස්සේ ඇගේ මව්වත් හදවත පිපී තිබූ ප්‍රාර්ථනා කුසුමක් මිය ගිය බැවිනි. මල්වත්තගේ ගෙදර පිපුණු මලක් ඇගේ ගෙදර සරසරන්නට ලොකු පුතා විසින් තෝරාගනු නො ලැබූ සංකාවෙනි.
නමුත් ඒ ඔහු ගේ කැමැත්ත වන නිසා ඇය නිහඬ වූවා ය. නිධී ගේ නික්ම යාමත් සමග අමාගී ආයු ට බැඳෙමින් ආර්ය කෙරේ බලය පතුරුවනු දකිත්දී අලුත් බලාපොරොත්තුවක් ඇගේ හදවත පිළිසිඳුණු බැව් සැබවි. නමුත් ඒ පැතුම් කළලය කෙතරම් කාලයක් දරා ඉන්නට හැකි වේවි ද කියා ඕ තොමෝ නො දැන සිටියා ය. එය මේ තරම් ඉක්මනට, අකාලයේ ගබ් සා වනු ඇතැයි සිතෙත්දීත් ඇයට වාවා ගත නො හැකි ය.
ආර්ය ට එදා රැකියාවට යන හිතක් වූයේ නැත. නමුත් දිගින් දිගට ම නිවාඩු ගෙන තිබූ නිසා ද ශාක්‍ය ගේ විවාහය වෙනුවෙන් යළිත් නිවාඩු ගත යුතුව ඇති නිසා ද ඔහු යා යුතු ව තිබිණ. අමාගී වෙනදා වාගේ ආයු ට කිරි එක පොවන්නට ආවේ නැත. රාත්‍රියේ ඇසුණ අශ්විනී ගේ උස් හඬ නිසා ඔහු ගේ යෝජනාව මල්වත්තගේ ගෙදර මතබේධයට තුඩු දී ඇති බව සිතා ගත හැකි විය. ඔහු අමාගී ට වට්සැප් පණිවිඩයක් යැව්වේ ය. නමුත් එය ඇගේ දුරකතනය වෙත බාර ගැනීමක් සිදු වූයේ නැත.
“මා ඕනෙ”
කියමින් ආයු කිරි බෝතලය ප්‍රතික්ශේප කළේ ය. ආතරයිටිස් අසීරුතා ගැන නො තකා මණී කෙසේ හෝ මතුමහළට නැග ගත්තා ය.
“අනේ මයෙ අම්මනා තාත්තම්ම එක්ක කුක්කු අම්තා බොමු රත්තරනේ”
මණී බැගෑපත් වූවා ය. ආයු කිරි වලට කුක්කු අම්තා කියන්නේ ය. වතුරට ජෝ අම්තා කියන්නේ ය. බත් වලට හබුං අම්තා කියන්නේ ය. දොඩම් වලට ඔරේන්ජ් අම්තා කියන්නේ ය. ඒ ඇයි කියා කිසිවෙක් නො දනිති. නමුත් මණී ඇතුළු ගෙදර වැඩිහිටියන් ද සිඟිත්තා ගේ බස ම උච්චාරණය කරති.
“මා… එන්නකෝ… ඔයා එනකං බබා බලං ඉන්නෝනෙ මා…”
ජනේලයේ එල්ලී මල්වත්තගේ ගෙදර දෙස බලාගෙන ආයු හඬගෑවේ ය. ආර්ය ගේ ද මණී ගේ ද හිත් වල ගින්දර ඇවිළිණි. ආයු ගේ හුරතල් හඬ ඇසෙමින් අමාගී කාමරයට වී කොට්ටය බදාගෙන සිටියේ පුළුවන් කමකට නොවේ. ළැම කිරි බරින් බර වන්නා සේ ඇයට දැනිණ. හදවත සත් කඩකට පැලෙන්නට හැදුවේ ය. නමුත් ඇය දරාගත්තා ය.
“අපි පහළට යංකො. මා තාම දොයි ඇති. පස්සෙ එයි හොඳේ. එතකන් රූ බාප්පි එක්ක සෙල්ලං කරන්නකො”
කියා රවටාගෙන ආර්ය ආයුව පහළ මහළට ගෙන ආවේ ය. කවුරුත් ප්‍රසිද්ධියේ කතා කරන්නට මැළි වන රහසක් හිත් වල තියාගෙන සිටියහ. එය සුළු කොට තැකිය හැකි යමක් නොවේ.
“මට සමාවෙනවල”
ආර්ය එසේ කීවේ සහෝදරයන් තිදෙනා ම ආලින්දයේ සිටියදී ය. ඔවුහු උනුන් ගේ මුහුණු බලාගත්හ.
“මට දැන් තමයි තේරෙන්නෙ තමුසෙල කියපු දේවල බරපතලකම… මාගිව මේ ගෙදරට නැති කරන්නෙපා කියපු එක…”
ආර්ය ගේ හඬ බිඳී ආවේ උගුර යටිනි. පපුවෙහි දැවීමක් දැනුණෙන් ඔහු මුව මඳක් විවර කොට සීතල හුස්මක් ගත්තේ ය. නමුත් ළය ගින්න නිවන්නට එවන් හුස්ම කෝටි ගණනකටවත් නො හැකි වනු නියත ය.
“තමුසෙ ඉක්මන් වුණා වැඩිද මන්දා ඕයි…”
නො සැලකිලිමත් ලෙස එසේ කීවේ පූජන ය. නමුත් ශාක්‍ය දැරුවේ වෙනත් මතයකි.
“නෑ. මේක තමයි හොඳම වෙලාව. ආයෙ ඕකෙ හැංගිල ගහන්න ගේමක් නෑනෙ. ආශ් බරේ අදී. ඒත් දුරේ අංකල් එහෙම නෑ”
“ආශ් කියයිද දන්නෑ සාන්විව දෙන්නත් බෑ කියල”
“ඒව කොහෙද… පන්නං එන්නෙ”
සහෝදරයන්ට තරම් හෑල්ලු හදවතක් ආර්ය ට තිබුණේ නැත. ඔහු ට හිනා වෙන්නට පවා අමතක වී තිබිණ. මීට මාස කිහිපයකට පෙර ඔහු ගේ ජීවිතය කෙසේ පැවතිණි ද කියා සිහි කරගන්නටවත් දැන් නො හැකි ය. අමාගී ගේ පැමිණීම ඔහු ව අලුතෙන් ම ඉපිදවී ය. මේ කෙටි කාලයට ඇයට කෙතරම් ඇබ්බැහි වී ද යත් අද උදයෙන් ම ඈ දකින්නට නො ලැබීම ආර්ය ගේ පිරිමි හිත හෝන්දු මාන්දු කරවා තිබේ. මහත් මූසල නිස්සාර හැඟීමක් ඔහු ව වෙළාගනී.
“මාගි එයි තව ටිකකින්. එයාට ආයු නැතුවනං ඉන්න බෑ”
රුසිරු මිමිණුවේ ය. ආර්ය බාල සොයුරා ගේ උරහිස මතින් අත තැබුවේ ය.
“පොඩ්ඩා චුට්ටක් සුදූව බලනව හොඳේ”
රුසිරු හිස සැලුවේ ජීවිතයෙහි අගනා ම වගකීම ඔහු ට පැවරුණු සැටියෙනි.
“තමුසෙත් සාන්විට පොඩ්ඩක් කියනව. සුදූගෙ ෆෝන් එක ඕෆ්”
“අවුල් නොවී වැඩ ටික කරගන්නවකො. ඔතනින් හැමදේම නතර වෙන්නෑනෙ. ඉස්රහටත් දේවල් වෙයිනෙ. අපි බලමු”
ශාක්‍ය අයියා ගේ පිටට තට්ටුවක් දැමුවේ ය. නිධී යන්නට ගිය දා වාගේ ම ආයු සනසා ගැනීමේ වගකීම බාප්පලා තුන්දෙනා පිට පැවරිණ.
දුරේශ් එදා රැකියාවට නො ගියේ ය. සාමාන්‍යයෙන් ඔහු අත්‍යවශ්‍ය හේතුවකට මිස නිවාඩු ගන්නෙකු නොවේ. නමුත් එදා යන්නට බැරි හිතේ අමාරුවක් ඔහු ට දැනෙමින් තිබිණ. හරියට සිරුර වට කොට පොලු පහර ගණනාවක් එල්ල කොට ඇතිවා මෙනි. හිත් වේදනා ගතෙහි වේදනා සේ ද මතු විය හැකි ය. එයින් අදහස් කෙරෙනුයේ සිය ආත්මය ඒ අලුත් ම තත්වය තරයේ ප්‍රතික්ශේප කරනා බවයි. සොබා දහම එබඳු ය. අලුත් තත්ව වලට විරෝධය පෑම එහි මූලික ස්වරූපයකි. අලුත් තත්ව වලට හැඩගැහෙන්නට බැරි වුණෝතින් ඉරණම විනාශය වේ. නමුත් විනාශ වී යන්නට දුරේශ් ට ඕනේ නැත. කාලයක් ඔහු බරපතල බිඳ වැටීමක් තුළින් යළි හෙමි හෙමිහිට ගොඩනැගුණු මිනිසෙකි. ඉතිරි වී ඇති කෙටි ජීවිත කාලය සාමයෙන් පැවතීම ඔහු ගේ අවශ්‍යතාවයයි. උදම් රළ සමග පොරබදා වෙහෙසී වෙරළට සැපත් වූ මිනිසෙකු ගේ තෝරාගැනීම වූ කලී යළිත් දියඹ නොව වෙරළයි.
දුරේශ් සිටියේ තමා සමග ම සංවාදයක ය. ඒ සංවාදයේ ගැඹුර වැඩි වෙන්නට වෙන්නට ඔහු ගේ නිහඬ බව ද කල්පනාබර බව ද වැඩි වී දොඩමළු බව අඩු වූයේ ය. අවට සිදු වන දේවල් ගැන ඔහු ගේ අවධානයක් වූයේ නැත. ඒ තරමට තමන් තුළට නැඹුරු වී සිටියේ ය.
අශ්විනී වැඩිපුර කතා කළේ නැත. ඈ සිටියේ බුම්මාගෙනයි. ඉඳහිට හුදෙකලා කඳුලක් පවා පිසගත්තා ය. අමාගී සමග නම් ඇය කතා කළේ ම නැත. රාත්‍රියේ අක්කා ට තදින් කතා කළ එක ගැන අමාගී පසුතැවිලි වෙමින් සිටියා ය. මීට පෙර කිසි දාක ඈ එසේ අශ්විනී ට එකට එක කියා නැත. ඒ වෙලාවේ අශ්විනී බලා සිටියේ අදහා ගත නො හැකි යමක් සිදු වන්නා සේ ය.
අක්කා එක්ක තරහ වී සිටින්නට අමාගී දන්නේ නැත. ඒ වෙලාවේ හිතේ ආවේගයට කියවූ බව ඇත්ත ය. අනිත් අතට ඈ කීවේ තිත්ත ඇත්ත වේ. එතකොට එතනින් ඇගේ පැත්තෙන් කියන්නට ඇති කාරණ අවසාන ය. නමුත් එහෙමය කියා ඇයට අක්කා සමගින් තරහක් නැත. ටිකක් හිත රිදී තිබුණාට, ඒ රිදුම් තුනී වී ගිය තැන හදවතේ උඩමළුව අක්කා ය.
අශ්විනී ඉව්වාට අමාගී උදේට කෑවේ නැත. ආයු සිහි වන විට ඇයට කුස ගින්නක් නො දැනේ. සාන්වී අතේ කන්න ය කියා පණිවිඩ එව්වාට අමාගී කන්නට ගියේ නැත. ඈ කුසගින්නේ නිසා අශ්විනී කෑවේ ද නැත. අක්කා එක්ක තවත් කතා නොකර ඉන්නට බැරි තැන අමාගී මුළුතැන්ගෙට ගිහින් අශ්විනී පිටුපසින් ඈ වැළඳගත්තා ය.
“මාත් එක්ක කතා නොකර ඉන්නෙපා ලොකූ. මට ඔයත්තෙක්ක තරහ වෙලා ඉන්න බෑ”
අශ්විනී ගේ පපුව පැලෙන්නට ආවේ ය. ඇය හ්ම් කීවේවත් නැත. කතා කළේ වී නම් හැඬෙනා බැව් ඇය දනී. අමාගී ඇයව අත්‍හැරියේ ද නැත. නිහඬව ම අශ්විනී බත් පතක් බෙදුවා ය. කතා නොකර ම කටක් අනා අමාගී ට කැව්වා ය. ඒ බත් පිඬ උගුරේ අතරමගක හිර විය. අමාගී වතුර උගුරක් බීවා ය. ඊළඟ බත් පිඬත් ඈ වෙත පාත්දී අමාගී අක්කා ගේ අත අල්වා එය ඇගේ මුව වෙත ලං කළා ය.
“ලොකූත් කන්න”
ඈ කුසගින්නේ සිටියදී අක්කා ගේ කුස නො පිරෙන බව අමාගී මොනවට දනී. ඒ බත් පිඬ අශ්විනී ට ද හිර විය. අමාගී වතුර කෝප්පය අක්කා ගේ මුවට ලං කළා ය.