” මට තේරෙන්නේ නෑ බං. මොක උනත් මෙවෙලේ මන්දාරම් නිකන්ම නිහඬ වෙන ලෑස්ති නෑ. දවසකට හරි අක්කව මන්දාරම්ට මුණගස්සන්න වෙනවා…….”
දිලුම් ජිනේන්ද්‍රගෙන් හිතවත් පිළිතුරක් බලාපොරොත්තුවෙන් කීවේය.
” ඒත් උඹ මේකත් මතක තියා ගනිං. උඹලාට ඕන විදියට මන්දාරම්ව ආයේ ආයේ රවට්ටන්න මම ඉඩ තියන්නෙ නැහැ…”
නුදුටු, නොදැන උන් ස්වකීය සහෝදරයා වෙනුවෙන්, ජිනේන්ද්‍ර ගේ ලෙය උණුසුම්ව තිබුණේය.
” උඹ මොකද්ද කියන්නේ ජිනා…?
” මන්දාරම් කියන්නේ මගේ සහෝදරයා…. මෙච්චර කාලයක් සහෝදරයෙක් නැතුව ඌ තනියෙන් ඉඳලා තියෙනවා. මමත් මෙච්චර කාලයක් සහෝදරයෙක් නැතුව තනියෙන් හිටියා. හැබැයි මේ ඉස්සරහට අපි දෙන්නට අපි දෙන්නා …… මං ඌට වැරැද්දක් වෙන්න දෙන්නේ නැහැ…….අන්න ඒකයි මම කිව්වේ …”
දිනුම් කිසිත් නොපවසා බලා සිටියේය. තමා සතු වූ යම් ශක්තියක් ගිලිහී යෑමේ වේදනාව ඔහුට දැනුනා සේ විය. දිලුම් එය වැටහුනා සේ හිස සැලුවේය. ජිනේන්ද්‍ර පවසන සහෝදරකම කුමක් වුවද , එය තමා හා ඇති බැඳීම ඉක්මවා යන යමක් බව ඔහු ඉන්තේරුවෙන්ම තහවුරු කරගත්තේය.
තමා පැවසුවා පැවසූ වචන යම් තරමකින් තද බව ජිනේන්ද්‍ර ට වැටහුණේ දිලුම්ගේ මුහුණ දුටු පසුවය ඔහු හිස දෙපසට සලමෙන් තමා පැවසූ වචන යළි ස්මරණය කරගන්නට උත්සාහ කළේය. පසුතැවීම දිලුම්ට පවසන්නට උවමනා විය.
“….දිලූම්…… උඹ මට මගේම එකා තමයි….. ඒත් මට නිම්නාවී ත් එක්ක තියෙන තරහා තවදුරටත් පාලනය කර කර ඉන්න කරගෙන ඉන්න බැහැ බං…… කාව්‍යා මාව දාලා ගියේ නිම්නාවී ඉමක් කොනක් හිතන්නේ නැතුව කරපු වැඩ නිසා.. ඒකි උඹව ලොකු කරගෙන මට මාව නැති කලා…. මන්දාරම් ….. මට ඌ හම්බවුණා විතරයි මට ඌව නැති කරගන්න බැහැ… ඌ පිස්ස්සෙක් වෙනවා මම බලාගෙන ඉන්නේ නැහැ….”
දිලුම් එය වටහා ගත් බව පෙන්වමින් හිස සැලුවේය.
” හරි කියලා හිටහං…. මොකද්ද මන්දාරම් කියපු ඒ අයියා මල්ලි කතාව…”
” උඹ දැනට දැනගන්න ඕනේ මෙච්චරයි…….. මන්දාරම්ගේ අම්මයි, මගේ තාත්තයි දෙන්නා මීට අවුරුදු ගානකට කලින් ආදරේ කරපු දෙන්නෙක්…… ඒත් මොකක් හරි කරුමෙකට ඒ දෙනාට එකතුවෙන්න බැරිවෙලා……. ඊට පස්සේ අපේ තාත්තා අම්මව බැඳලා, මන්දාරම්ගේ අම්මා මන්දාරම්ගෙර් තාත්තා බැඳලා…අපේ අම්මා නැති වෙන වෙලාවේ අපේ අම්මා මන්දාරම්ගේ අම්මව මුණගැහිලා, තාත්තා ගැන සියලු විස්තර කියලා තියෙනවා… ඉන් පස්සේ ඒ දෙන්නගෙ හිතවත්කම් අලුත් වෙලා. ඒ වෙද්දි මන්දාරම්ගේ තාත්තත් නැති වෙලා තමයි ඉඳලා තියෙන්නේ…. ඉතින් දැන් ඌ මගේ සහෝදරයා… මන්දාරම්ගෙ අම්මා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ අපේ තාත්තව බලන්න එනකොට ….”
දිලුම් එයට කිසිත් පැවසුවේ නැත. ඔහුට කිසිත් පවසන්නට තිබුණේද නැත. පැවසූ කතාවේ හැටියට මන්දාරම් ජිනේන්ද්‍ර ගේ ලේ ඥාතීවරයෙක් නොවූවද ජිනේන්ද්‍ර මන්දාරම්ව හදවතින්ම සහෝදරයෙකු ලෙස පිළිගෙන අවසන් බව දිලුම්ට වැටහුනේය. ඒවා කොහොමටත් සංසාරයෙන්ම පතාගෙන එන කතන්දර විය හැක.
දිලුම් එය වැටහුණ බව පෙන්වන්නට හිස සැලුවේය.
නිම්නාවී දිනය ගෙවා දැමුවේ අතිශය අපහසුවෙන් ය. සෙත්ද , මන්දාරම් ද ඔවුන් දෙදෙනාට අනන්‍ය වූ එක් එක් වේශයන්ගෙන් මතුවී නිම්නාවී ට කරදර කරමින් උන්නෝය. ඒ කරදර ඉතා සුන්දර ඒවා වුවද නිම්නාවී ට ඒවා එලෙසින් විඳගන්නට අවසර තිබුණේ නැත. ඇයම සෙත් සහ මන්දාරම් යන දෙදෙනාම නැතිනම් සෙත් සහ මන්දාරම් යන එක්කෙනා ඇගේ ජීවිතෙන් ඉවත් කර දැමීමට තීරණය කර තිබුණි. ඕ විසින්ම ඒ සුන්දර කරදරයද විඳීමේ අවසරය තහනම් කරගෙන උන්නාය.
නිම්නවී උන්නේ යම් තරමක මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය මොහොතකය. ඇය ඇගේ අතීතයේ සිදුවූ සිදුවීම් සමග වර්තමානය ගළපා ගනිමින් , ඒ අනුව ඇයට අවශ්‍ය පරිදි ජීවිතයේ සියලු තීරණ ගනිමින් උන්නාය. ඇතම්විට ඕ මේ ඉන්නේ ඕ උන්නේ පියවි සිහියෙන් නොවේ විය හැකිය.
අතීතය සිදුවී අවසන් බවත්, වර්තමානයේ සිදුවන දේවල් වලට අතීතයේ සිතුවූ දේවල් සම්පූර්ණයෙන්ම අදාළ කර ගත යුතු නොවන බවත් නිම්නාවී වටහා දෙන්නට කවර කවරෙකු හෝ අවශ්‍ය විය. ඇය අතික්‍රමණය කරන යම් අයෙකු ඇයට ඒ වැටහීම ලබා දිය යුතුව තිබුණි.
ඇගේම මව ඇයට වෙත එල්ල කරන ලද මානසික පීඩාවන්ගේ ප්‍රතිඵල වසර දහයකට පසුව වුවද ඇය මත ඉතාමත් තද කැළැල් සහ රිදුම් තනමින් තිබිණ. ඇය ස්වකීය කැමැත්තෙන්ම එම කැළැල් යළි යළි පාරාගෙන තවත් වේදනා විඳින්නට සූදානම් වෙමින් උන්නාය.
අතීතයේ කැලැල් දැන් සුවපත්ව ඇති බවත් , ඒවා යළි යළි පාරා ගැනීම කළ නො යුතු බවත් , ඇයට වටහා දෙන්නට යම් අයකුගේ අවශ්‍යතාවය ඇයට දැනෙන්නේ නැත . එවැන්නක් නොදැනෙන තරමටම ඇය හිතුවක්කාරව ඇගේ ජීවිතයේ වටිනාකම සහ ඇගේ ජීවිතය ගැන ඇයට ඇති අයිතිය අතැර උන්නාය.
සෙත් වෙනුවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රාර්ථනා කරමින් ප්‍රේමය, ඇගේ හිත තුළ ඈ රැකවුන් ප්‍රේමය ඕනෑ දෙයක් වෙද්දෙන් කියා මියැදී යන්නට තීරණය කිරීම ඇයට පහසුව අත්දැකීමක් වූයේ නැත
ඕ දිනය පුරාම සයනය ඒ මේ අත පෙරළමින් උන්නාය. ආහාර ගන්නට උත්සාහ කළත් ආහාර ගැනීමට පහසු වූයේ නැත . ඕ සීතල වතුර බෝතල් කිහිපයක්ම හිස් කළාය. කිහිප වතාවක්ම වේදනානාශක පානය කළාය. සයනයේ ගුඉ වී යලි යලි ඒ මේ අත පෙරළුණාය. නාන කාමරය තුළට වී හඬා වැටුණාය. රාත්‍රී ආහාරයද අනෙක් අයට පෙනෙන්නට බොරුවට අනුභව කළ නිම්නාවී යළි කාමරය තුළට වැදුනේ දිලුම්ට ඇමතුමක් ගන්නට උත්සාහ කරමිනි. එහෙත් දිලුම්ගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිතව තිබිණි.
දිනය පුරාම අතිශය වෙහෙසකාරී මානසික තත්ත්වයක් සමගින් සටන් කරමින් උන් නිසාම නිම්නාවී ට ඇගේ ජීවිතයේ ඊළඟ තත්පරය ගැන යම් අවිනිශ්චිතතාවයක් දැනෙමින් තිබිණ. තත්පර කිහිපයකට පෙර තමා සෙත් නමින් වූ ප්‍රේමය ප්‍රතික්ෂේප කර,එවැන්නක් නැති බව තමාටම ඒත්තු ගන්වමින්, සෙත් ගේ ප්‍රේමයද තමාට නොදැනෙන බව ඒත්තු ගන්වා ගනිමින් සියල්ල අත් හරින්නට තීරණය කළා වුවද,
මේ තත්පරය ඇයට සෙත් අවැසි බව දැනෙන්නේ ය. සෙත් ගේ ප්‍රේමයට ගුලි වෙන්නට සිතෙන්නේ සිතෙන්නේය . සෙත් වෙත ගොස් ඔහු තමා නොදන්නා කාලයේ පටන්, තමා ඔහු දෙස රහසේ බලා සිටි බව කියන්නට සිතෙන්නේය.
ඔහුට ලියූ දහසක් ලියුම් ගැන කියන්නට සිතෙන්නේ ය. සුවඳ කවා ඒ ලියුම් දෙස බලා කඳුළු හෙලූ කාලය ගැන කියන්නට සිතෙන්නේය. එහෙත් එක්වරම නිම්නාවීට සිහි වන්නේ තමා අතින් සෙත් ගේ මවට සිදුවූ දෙයය. තමා එය සඟවාගෙන මෙතරම් කාලයක් ඔවුන් අසලටම මේ සිටි ආකාරය ගැනය. කිසිවක් යහපත් ලෙසින් විසඳෙන්නේ නැති බව නිම්නාවී ට යළිත් සිතෙන්නේය. ජීවිතය මෙතරම් කටුක වන්නේ ඇයි දැයි ඇය සිතන්නීය.
දිලුම් නිවසට එන විට රාත්‍රිය එකොළහද පසුවීවී තිබුණි. ඔහු නිම්නාවී ගේ කාමරයට එබී බැලුවේය. නිම්නාවී උන්නේ සයනයේ ගුලි ගැසීගෙනය. දිලුම් කාමරය තුළට ඇතුළු වි අක්කාව ඇහැරවා ගත්තේය. එහෙත් ඒ වහාම අක්කාගේ ස්වරූපයක් දුටු දිලුම් ඉතාමත් භීතියට පත් විය.
ඇගේ වත ඉදිමී තිබුණි. . දෑස් රත් පැහැ ගැන්වී තිබුණි. දෑස් වටා ඉදිමී තිබුණේ ඇය දිනය පුරාම එක තත්පරයක්වත් නවතන්නේ නැතුව හැඬූ පරිද්දෙනි.
දිලුම් වහා නිම්නාවී තමා වෙත වත්තන් කරගත්තේය.
” ඇයි දෙයියනේ අක්කේ …. මොකක්ද මේ වුණේ? අයියෝ මට කෝල් එකක් දුන්නේ නැත්තේ ඇයි .. මම කියලානේ ගියේ …. අඩුම ගානෙ රන්දුලාට කතා කරන්න තිබුණනේ….?” ..
” මට සෙත් ඕනෙ මල්ලි …. සෙත්ට ආදරෙයි… මම ….”
“සෙත් කියන්නෙ අර…..”
අක්කා කෙදිනකවත් තමා සමග කතා කරන්නට උත්සාහ නොකළ , සම්පූර්ණයෙන්ම අමතක කල බව පැවසූ ඇගේ පාසල් ප්‍රේමවන්තයාගේ නම සෙත් බව දිලුම්ට නිකමට මතක තිබුණි. ඔහු විදෙස් ගත වූ බ, ඉන් පසුව ඔහු යළිත් ලංකාවට පැමිණෙන්නට අදහසක් නැති බවද දිනක් සෙත් ගේ මිතුරෙක් තමාගේ මිතුරෙකු හා පවසා තිබූ බවද සිහි විය.
වදෙන් පොරෙන් කලකට ඉහත නිම්නාවී ගෙන් සෙත් ගැන විමසූ පසු නිම්නවී පැවසුවේ ඔවුන්ගේ පාසලේම මිතුරියක් හා විවාහ වී විදෙස් ගතවී ඇතිි බවය.
” ඔව්…… ඔව්…….. මගේ සෙත් ……!! මං එයාට තවමත් සෙත් ආදරේ මල්ලී…. මට එයාව ඕනේ, සෙත්ට කියන්නකෝ… මගේ ඇස් ඉස්සරහම ඉඳගෙන මට ආදරෙයි කියද්දි මං කොහොමද සෙත්ව මග අරින්නේ? තවත් බැහැ. තවත් මට මේක කරන්න බැහැ…. මම මැරේවි….” .
දිලුම් උන්නේ අගක් මුලක් කෙලෙසකින් වත් වටහා ගන්නට නොහැකිවය
අපේක්ෂා ගුණරත්න