ළපෙති මල් – 19

“ඔයා ආයේ මැරි කරපු එක ලංකාට කේන්ති ගන්න හේතුවක් තමයි.එයා ගෑනියක්.ඉරිසියාව, වේදනාව ඇති වෙන්න පුලුවන්.දරුවෝ මැදිහත් කරගන් නැතුව එයා ඒ සම්බන්ධයෙන් මොනව කරත් සාධාරණයි..”

සිරිමා තම පුතුට පැවසුවේ ගැහැනියක ලෙස ලංකාට දැනෙන සහ හැඟෙන දෑ තේරුම් ගනිමිනි.රහල් අඩ සිනාවක් හෙළුවේ ය.

“ලංකාට ආයේ මැරි කරන්න තහනමක් නෑ කියලා මං කියලා කොයි කාලයක්ද අම්මේ.එයාට ඒ කාලෙම මැරි කරන්න තමයි මං ඩිවෝස් වෙන්න හැදුවෙත්.
දරුවන්‍ට හොඳ නෑ කියල බෑ කිව්වනෙ..”

අතීතයේ දිනයක් සිහි කරමින් රහල් පවසන්නේ කල්පනාකාරීව ය.ලංකාගේ අනියම් ඇසුරක් මන්දාරා දෑසින්ම දුටු පසු රහල් කම්පා වූයේ දියණියගේ මානසික තත්ත්වය සම්බන්ධයෙනි.දැරිය ඒ ගැන හෙළි කර තිබුණේ ඇගේ පෙර පාසල් ගුරුතුමියට ය.ළපෙති මලක මානසිකත්වය ගැන සෑහෙන තරමට කල්පනාකාරී වූ ගුරුතුමිය ඊට මාස කිහිපයකට පසු ඈ සම්බන්ධයෙන් ගත් ඇදහිය නොහැකි තීරණය ගැන රහල්ට තවම ඇත්තේ පුදුමයකි.

“අම්මට මතකද ලංකාගෙ ප්‍රශ්නෙ විසඳපු ටීච,බිනරි.”

ඔහු සිරිමාගෙන් ඇසුවේ ඒ සම්බන්ධයෙන් ඔහුට කියන්නට කාරණාවක් සිහි වූ හන්දා ය.

“අර හදිසියේ ජීවිතේ නැති කරගත්තෙ?”

සිරිමාට ඒ සිදුවීම මතක ය.බිනරිගේ විශිෂ්ටත්වය නොවන්නේ නම් මන්දාරා තවමත් මානසික රෝගී දැරියක වන්නට තිබූ ඉඩකඩ ඉතා වැඩි ය.

“මේ මෑතකදි අපේ අලුත් එකවුන්ටන්ට් පෝස්ට් එකකට ගෑනු ළමයෙක් ආවා.ඒ බිනරිගේ දුව.හරිම ටැලන්ටඩ් ගර්ල් කෙනෙක්.”

ශාක්‍යා සම්බන්ධයෙන් බොහෝ දෑ පැවසූ රහල් අම්මාට තවත් කාරණාවක් හෙළි කළේ ය.

“තේජනයි මෙවනුයි ඔෆිස් එකට අරන් මම හිමංගිටයි මන්දාරාටයිත් ඔෆිස් එකේ වගකීම් දෙන්න කල්පනා කරේ.ඔය ශාක්‍යා මෙයාලා ට්‍රේන් කරලා ගනී.වැඩේ තියෙන්නේ මන්දාරා දැන් ඉන්න මානසිකත්වෙ එක්ක ශාක්‍යාට ඔක්කොම පැත්තකින් තියලා රණ්ඩු බේරන්න වෙන එක..”

සිරිමා පුතු දෙස බලා සිටියේ කල්පනාකාරී බැල්මකිනි.ඇය මන්දාරාට බොහෝ ආදරය කළා ය.මන්දාරා ලංකාගේ ගතිගුණ වලින් තොරව යහපත් දැරියක සේ හැදී වැඩුණු අන්දම සිරිමාට ගෙන එන්නේ සැනසීමකි.

“ලංකා කරන්න ඕන මන්දාරාට විස පොවන්නෙ නැතුව ඉන්න එක..මන්දාරා ඔයා මැරි කරනවට අකමැති වුණේ නෑ කවදාවත්.මෙතන ප්‍රශ්නෙ ඒ හිමංගි වුණු එක.නැත්නම් එයාගේ ලෙක්චර කෙනෙක් ඔයා ගැන උනන්දුයි කියලත් මාත් එක්ක හරි සතුටකින් කියව කියලා හිටියා..”

කුමලිව සිහි වී රහල්ගේ මුහුණේ සිහින් සිනාවක් ඇඳී මැකී ගියේ ය.නමුත් ඒවා සිනා වන්නට කාරණා ද නොවේ.

“කුමලිට ඇත්තටම මං ගැන අයිඩියා එකක් තිබ්බා.නැත්තේ නෑ.කුමලිගේ දරුවගෙ ජීවිතේට තර්ජන එන්න ගත්තමයි එයා ලංකාවෙන් ගියේ.මට නොතේරෙන්නේ ලංකා ඒවා කරන්නෙ ඇයි කියලයි අම්මේ..”

රහල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බලා තීරණ ගත් මිනිසෙකු බව සිරිමා මැතිණිය දනියි.විවාහයකට විශාල උනන්දුවක් නොතිබුණු ඔහු ඉතා හදිසියේ විවාහ වූයේ ඒ කාලයේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නැගී ආ චරිතයක් වූ ලංකා මායාදුන්න සමඟ ය.ඒ ඔහු ගත් අනුවණම තීරණය බව සිරිමා මහත්මිය එදා ද දැන සිටියා ය.නමුත් ඇය කාලයට ඉඩ දී බලා සිටියා ය.

කාලය රහල්ගේ අනුවණ තීරණය පසිඳලී ය.නමුත් ඉන් රිදවුම් ඉතිරි වූයේ මන්දාරාටත් මෙවන්ටත් බව සිරිමා මහත්මිය සක්සුදක් සේ දනියි.

“ලංකා හිතන් ඉන්නේ ලෝකේ කැරකෙන්න ඕන එයාට ඕන හැටියට කියල.වෙන කාරණාවක් නෑ.ඒත් ලංකාට ඕවා ගැන තේරෙන කාලයක් එයි..”

සිරිමා සැනසිල්ලේ පැවසුවා ය.

“මිනිස්සුන්ගේ වීක්ම පොයින්ට් හොයලා අරන් ඒවට තව දේවල් ඇඩ් කරලා ඒ මිනිස්සු මෙන්ටලි වට්ටන එක ලංකාගෙ තියන කැතම සිරිතක්.මොරීන්ලා ශිරානිලා ඒවාට මාර සපෝට් එකක් දෙනවනෙ.එච්චර විතරක් යැ.මේ ජයන්ති පවා.නව ගුණ වැල ගැන ගැන දේවාල වල පළතුරු වට්ටි උස්සන් එන්න ජයන්ති තමයි ලංකාගෙ ඔක්කොම වැඩවල උපාය දූතිකාව..”

සමහර කාරණා ගැන ඇති වන අතිශය කළකිරීම සහිතව රහල් පැවසී ය.ලංකා හිමංගිගෙන් පලි ගැනීම තවම ආරම්භ කරේ නැති බව ඔහු දනියි.

“හිමංගිගෙ අම්මා තාත්තා සම්බන්ධයෙන් ලංකා මොනවම හරි දන්නවද?”

පුතු සිතමින් හුන් කාරණාව ගැන වැටහුණා සේ අම්මා විමසිලිමත් වූවා ය. රහල් අම්මාට හෙළුවේ අබිරහස් සිනාවකි.

“ලංකා ඒ ගැන ගොඩක් හොයනව.ලංකා විතරක් නෙවෙයි, හිමංගි මට ක්ලෝස් වෙන්න ගත්තම ඒ ළමයා කියන ෆිල්ම් එකක් වගේ කාරණා ගැන මමත් හොයන්න පටන් ගත්තා.සමහර දේවල් මට හොයා ගන්න ලැබුණා.කන්ෆර්ම් කරගෙන නෑ..ඒ නිසා මං කැමතියි ලංකාගෙ යාලුවොයි ලංකායි මේ ගැන හොයනවට.මොකද එයාලා ජීවිතේ ගැන ලොකු පාඩමක් ඉගෙන ගන්නේ හිමංගිට පාඩමක් උගන්වන්න ගිහින් වෙන්න පුලුවන්..”

මොනවා හෝ දන්නා රහල්ගෙන් ඒ මොනවා ගැනදැයි අසන්නට සිරිමා මැතිණියට සිත් දුන්නේ නැත.ඇය තම දරුවන් තිදෙනාගෙන්ම යමක් හාර හාරා විමසන මවක් නොවූවා ය.කාලය මිනිසුන් වියපත් කරන බව ඇත්තකි.නමුත් මව් දරු සබඳතා වියපත් වන්නේ නැත.රහල් ද යශෝදරා ද බිම්සර ද හිතේ ඇති ඕනෑම දෙයක් රැගෙන තම සෙවණට පැමිණෙද්දී දෑත විහිදා ඔවුන් පිළි ගන්නා මවක වන්නට හැකි වීම ගැන සිරිමා ඇය ගැනම සතුටු වූවා ය.

මුළුතැන්ගෙය තුළින් සිනාවක් පුපුරා යන හඬ ඇසුණේ ඒ මොහොතේ ය.ඒ හඬ මන්දාරාගේ ය.ඇය පහත මාලයට ආවාදැයි විමසන්නට සිරිමා මහත්මිය වහා මුළුතැන්ගෙයට ගියා ය.රහල් ද ඈ පස්සේ පැමිණියේ ය.ඉනික්බිති දුටු දසුනින් නෙත ද හිත ද පිරුණේ රහල්ගේ ය.

ලීලා පසෙකට වී බලා හිඳිද්දී මුළුතැන්ගෙයි වැඩකටයුතු මන්දාරා ද හිමංගි ද බාරගෙන තිබුණා ය.මෙවන් කපමින් හුන් එළවළු ගැන සරදමක් කරමින් හිනැහෙන මන්දාරා ද හිමංගි ද දෙස සිරිමා බැලුවේ ආදරයෙනි.

“ලීලාට උයා ගන්න දීලා මෙන්න මේ දෙන්නට වැඩක් බලා ගන්න කියන්න ආච්චම්මෙ..පුදුම වදයක් ඔයාගෙ ලේලියි මිණිබිරියි මට දෙන්නෙ..”

දෙමිතුරියන් යළි සමාදාන වන්නට ඇත්තේ කොයි මොහොතේදැයි කුකුසකින් රහල් මුළුතැන්ගෙයි පුටුවකට බර වූයේ ය.

“ලීලාත් දැන් වයසයි.ඔන්න ඔහෙ ඔය කෙල්ලො උයපුවාවෙ චූටි පුතා..”

දෙමිතුරියන්ට හවුල් වන්නට මිනිත්තුවක්වත් වැය නොකළ සිරිමා මහත්මිය සැනසිල්ලේ පැවසුවා ය.

“එහෙනං අපි ලීලාටත් ජයන්තිට වගේ නිවාඩුවක් දෙමු.”

හිමංගි කියන්නේ ලිපේ ගින්දර අඩු කරමිනි.ලීලා උරහිස් ගස්ස ඈ දෙස බැලුවාය.

“ලංකා නෝනාගෙ ගෙදරටද..අනේ මට බෑ..”

කෙල්ලන් යළිත් උස් හඬින් හිනැහෙද්දී සිරිමා මහත්මිය ද එයට එක් වූවා ය.

“තේජන අයියටත් කෝල් එකක් දාලා එන්න කියන්නද?එතකොට අද ඩිනර් එකට අපේ පවුලේ ඔක්කොම ඉන්නව..”

කැරට් කැපිය යුත්තේ ඉතා සිහින්ව බවට අක්කාගෙන් නැග එන දෝස් මුර ගැන වගක් නොමැතිව තේජන ඇසුවේ තාත්තාගෙනි.

“කන්න දෙනව කිව්වොත් තේජන අනිවාර්යයෙන් එනවා..”

මන්දාරා කියන්නේ ඇයට සතියකටත් අධික කාලයක් නගන්නට අමතක වූ සිනාව නිදහසේ විහිදුවා හරිමිනි.

“අපේ අක්කා උයනව කිව්වොත් නම් එන්නේ නෑ..”

මෙවන් සාලයට ගියේ එසේ කියා හිනැහෙමිනි.

මන්දාරා සැනසුම් සුසුමක් හෙළුවා ය.පවුල කියන්නේ ලෝකයේ ඇති ඉමිහිරිම බැඳීමකට බව ඇය දනියි.නමුත් ඇයට ඒ සතුට ලැබී ඇත්තේම නැති තරම් ය.
අම්මාගේ වැරදි නොවන්නට බොහෝ දේ යහපත්ව සිදු වන්නට තිබූ බව මන්දාරා විශ්වාස කළා ය.

“හිමාට වයස කීය වුණත් මට මොකෝ..එයා මගෙ හොඳම යාළුවා වෙච්ච එකත් හොඳයි.එයා තාත්තට හොඳ වයිෆ් කෙනෙක් වෙනවනම් අපිටත් ආදරෙන් ඉඳී..”

තාත්තාගේ ප්‍රියතම ආහාරයක් වූ ඉස්සන් කරිය සකසමින් හුන් හිමංගිගේ මුහුණට අයිස් කැටයක් තබා හිනැහෙන අතර මන්දාරා සිතුවා ය.

පමා වී එළඹෙන වසන්තය සුන්දර ය.ඒ වසන්තයට ඔරවමින් සහ සාප කරමින් ශිශිර සෘතුවක මිහිර ගැන දොඩවා ඵල නැතැයි මන්දාරා තේරුම් ගනිමින් සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles