එහා ගෙදරට අලුතින් කට්ටියක් ඇවිල්ලා කියලා මල්ලි කෑ ගහනවා ඇහුණා.
” යන්තම් ඇති … හෙට ඉඳන් පාලු නැහැ..”
මට එහෙම කියවුණා. එහා ගෙදර කුලී පදනමට නැවතිලා උන්න විමංසා අක්කලා හදිසියේම රට ගියාම වැඩියෙන්ම පාලු දැනුණේ මට. මම ඉන්නේ උඩ තට්ටුවේ උනත්, විමංසා අක්කයි, නාලක අයියායි, කමනි නැන්දායි, විමලේ මාමයි, පොඩි සඳරුයි මාව නිතර දෙවේලේම වචන දිගේ මාව පහලට ගෙන්නගත්තා. විමංසා අක්කා උදේ වරුවෙයි, හවස් වරුවෙයි වත්තේ මල් ,කොල එක්කමයි උන්නේ. කොළ පාටට තිබුන ඒ දසුන මගේ ඇහැට ගෙනාවේ පුදුම සනීපයක්. විමංසා අක්කලා ගියාම ඒ කොල පාට අපිළිවෙල වුණා. ඇහැට සනීපයක් වෙනුවට මහ විඩාවක් ගෙනාවා. මම බැල්කනියට යන එක අතෑරලා දැම්මා.
ඒත් දැන් අලුත් බලාපොරොත්තුවක් ඇවිල්ලා කියලා දැනෙනවා. අල්ලපු ගෙදරට අලුතින් කට්ටියක් එන එක මෙච්චර සතුටු තත්පර හදනවා කියන එකත් එක අතකට විහිලුවක්. කොහොම වුනත්, මට සතුටුයි.
දවස් දෙක තුනක්ම මම බැල්කනියෙන් එබුනත් කිසිම කෙනෙක් පේන්න උන්නේ නැහැ. කෙහෙල් දල්ලේ පාට කාර් එකක් වත්තේ නවත්තලා තියෙනවා විතරමයි දැක්කේ. හතර වෙනි දවසේ හවස, අපේ පැත්තේ ගෙවල් වල පිරිසිදු කිරීම් කරන කෙනෙක් වත්ත පිරිසිදු කරනවා දැක්කා.
” ගෙවල් ඇතුලටම වෙලා ඉන්න ගෙවල් භූතයෝ ටිකක්ද කොහෙද ?…”
මට එහෙම කියවුනා. මම පස් වෙනි දවසෙත් ඒ පැත්තට එබුනා. ඒත් කිසිම වෙනසක් පෙනුනේ නැහැ. සැරෙන් සැරේ වාහන යන එන සද්දේ නම් ඇහුනා.
එදා හවස අම්මා මගේ කාමරේට ආවා.
” එහා ගෙදර අය මේ අහල පහල ගෙවල් ටිකට රෑ කෑමට ආරාධනා කරලා .. ඔයත් ලෑස්ති වෙන්න හොඳේ …”
” මට කම්මැලි .. අම්මලා ගිහින් එන්නකෝ …”
කොහොමටත් මට අසල්වැසියෝ ගැන උදාසීන කමක් ඇති වෙලා තිබුණ නිසාම මම ගමන මඟෑරියා. අම්මා මට කෑම ගෙනල්ලා දීලා, වෙනදාට දෙන උපදෙස් ටිකත් ආයෙම දීලමයි එහේ ගියේ. හත පහුවෙනකොට එහෙන් සද්ද බද්ද ඇහුනා. බැල්කනියට එබිලා බලන්නම හිත කිව්වාත්, මගේ උද්දච්චකම ඒකට ඉඩ දුන්නේ නෑ.
” පාර්ටියට එන්නේ නැතුව හොරෙන් එබෙනවා කියලා හිතාවි ..”
ඊට පස්සේ මට එහෙමම නින්ද ගියා. උදේ මල්ලී කාමරේට ආවේ හැරි පොටර් අලුත්ම පොතත් අරගෙන.
” කොහෙන්ද ?…”
” එහා ගෙදරට අලුතින් ආව අයියා ළඟ තියෙනවා සුපිරි කලෙක්ෂන් එකක් අක්කා… අපරාදේ ඊයේ තමුසෙත් එන්න තිබ්බේ… පිස්සු හැදෙනවා.. මම නිකන් බලාගෙන ඉන්නකොට, ඕනි එකක් අරන් ගිහින් කියවන්න කිව්වා…කවිශ්කයාත් පොත් දෙකක්ම ගෙනිච්චා….”
” අනේ … මගේ ළඟත් තියෙන්නේ කලෙක්ශන් එකක් නම් … අනෙක මම ඔය පොත ඕර්ඩර් කරන්න උන්නේ…”
මල්ලීටත් තිබ්බ කනට වඩා අලුතින් ආව අඟ සෑහෙන්නම ලොකු වෙලා. මට දැණුනේම නොපහන් බවක්.
“ඉරිසියා කරන්නෙපා හලෝ … ඒ අයියාගේ ලයිබ්‍රි එක දැක්කම පිස්සු හැදිලා ආයේ හැදෙනවා… දවසක යං ….”
මල්ලි තව අගේ කරන්න ගත්තා.
” අනේ … මට නම් ඕනි නෑ…”
මල්ලි මට බැණ බැණම කාමරෙන් එලියට ගියා.
” පොත් තිබ්බට වැඩක් යැ ..බුම්මැට්ටො වෙලා….”
මම එහෙම හිතුවා.
හත්වෙනි දවසේ මම බැල්කනියට වෙලා අහස දිහා බලාගෙන ඉන්නකොට අල්ලපු ගෙදර දිහාවෙන් කවුරු හරි හඬක් නඟනවා ඇහුනා. එතකොට හය පහු වුනා විතරයි. මම යන්තම් එබිලා ඒ දිහා බැලුවා. ලා නිල් පාට අත් දිග කමිසයක් ඇඳලා උන්න කොල්ලෙක් මගේ ඇස් ඉස්සරහ චිත්‍රයක් වගේ උන්නා.
” මොකෝ අහස අල්ලන්නද ?…”
එක පාරටම එහෙම ඇහුණාම , කවදාවත් වැදුනේ නැති විදුලියක් මගේ ගත පුරාම පැතිරුණා. මම ආපහු හැරිලා කාමරේ ඇතුළට ගියා. පපුවට අත තියාගෙන මම එහෙමම හිටියා. ඊට පස්සේ මම අල්ලපු ගෙදර දිහාවවත් බැලුවේ නැහැ. බැල්කනිය දිහාවට යන්න හිත කොයි තරම් පොර කෑවත්, මම හිත එක්ක රණ්ඩු කරලා මම බැල්කනියට යන දොර වගේම මගේ හිතත් වහලා දාන්න මම කටයුතු කලා.
අම්මටත් එහෙන් මෙහෙන් මගේ වෙනසක් දැනිලාද කොහේද, ඒ සති අන්තේ අම්මා ගමේ යන්නත් දාගෙන තිබුණා.
” මට කම්මැලියි අම්මේ..”
එහෙම කිව්වාට ගමන් මඟ අරින්න බැරි වුණා. අපි ගමේ ගිහිල්ලා එනකොට රෑ වෙලා. තාත්තා රෝද පුටුව වාහනෙන් අරගෙන එලියෙන් තියලා, මාව රෝද පුටුවේ ඉන්දුවා. මම ඇතුලට ගියා. එතකොට මම දැක්කා අල්ලපු ගෙදර අලුත් ආඩම්බරකාරයා උඩ තට්ටුවට වෙලා බලාගෙන ඉන්නවා.
” ඒකත් හොඳයි … දැන් ආයේ මගේ දිහා බලන එකක් නැහැ….”
මම හිත හදාගත්තා. ආබාධිත කෙල්ලකට හැඟීම්, දැනීම් මරලා වගේ ජීවත් වෙන එක හිත් රිදවීම් අඩු කරගන්න පහසුවක් බව මම දැනගෙන උන්නා. මීට කලින් ඉතා ප්‍රේමයෙන් බැඳුණු පිරිමියෙක්, මගේ ආබාඪ්ඃඉත බව මුලදී ඔහුට කිසිම ව්ගක් නැති බව කියලා, පසුව ඉතාම නිර්ධය විදියට මාව අත් හැරපු තුවාල සනීප නැහැ,
අල්ලපු ගෙදර ආඩම්බරකාරයාට මගේ හිතේ ඇල්මක් තියෙනවාට සැක නැහැ. ඒත් මම බැල්කනියට යන්නේ නැහැ.
ඒ සති අන්තේ මල්ලි අල්ලපු ගෙදර ගිහිල්ලා පොත් දෙක තුනක් ගෙන්ල්ලා තිබුණා. එක පොතක් මටත් දුන්නා.
” ආහ් … මන්ජිත් අයියා ඔයාට දෙන්න කිව්වා මේක .. එයා සති තුනකට ජොබ් එකේ වැඩකට රට යන්න ලෑස්ති වෙනවා.. එහෙමයි කියලා නෑ , පොර මාත් එක්ක කයියක් දාගෙනට්න් හිටියා .. සුපිරිම පොර … ඒලෙවල් වලට පස්සේ කැම්පස් එනකල් පොරගේ කම්පැනියේ ඉන්ටර්න්ශිප් එකකුත් දෙන්නම් කිව්ව…”
මල්ලි එක දිගට එක එක එව්වා කියෙව්වාත්, මට ඇහුණේ ආඩම්බරකාරයා රට යනවා කියපු එක. සති තුනකට. එතකොට, මට දැන්එන පාලුව එවෙලේ එක පාරටම දැනෙන්න ගත්තා. ඒක හරියට හදවතේ වැඩිම ඉඩක උන්න කෙනෙක් එක පාරටම අතුරුදන් වුනාම වගේ.
මම මාවම රව්ට්ටගෙන ඉන්නවා වුනාට, ආඩම්බරකාරයා මගේ ජීවිතේට රිංගලා බව මට පිළිගන්න වෙනවා.
රෑ හතට විතර, මම බැල්කනියට ගියා. අල්ලපු ගෙදර උඩ තට්ටුව තිබුනේ කලුවරේ. කිසිම හඬක්වත් තිබුණේ නැහැ. විමංසා අක්කලා වගේ කෑ ගහලා කතා බහ නොකලාට, අලුත් අසල්වැසියෝ මගේ ජීව්තේ කොච්චරක් ඉඩක ඉඳලාද කියලා දැනෙනවා.
මම කමරේට ආවා. ආඩම්බරකාරයාගේ පොත පෙරලුවා. හතරට නවපු කොළයක් උකුලට වැටුනා.
” මම ගිහින් එනකල් පරෙස්සමින් ඉන්න … ගිහින් ආව ගමන් එන්නම් බලන්න .. ඒ අතරේදී පොඩිවට හරි පාලුවක් දැනුනොත් ඔය පහල අංකේ ඔයා වෙනුවෙන් …”
මගේ පපුව ඇතුලේ අද සංගීත කණ්ඩායම බෙර ගැහුවා. මම අංකය දිහා බැලුවා. මට ලොකුවටම පාලුයි.
” හෙලෝ … බැල්කනියට එන්න …මං බලාගෙන ඉන්නේ…”
පපුවේ ගැඹුරුම තැනක මරලා දාලා තිබුණ හැඟීම් ඒ හඬට ඉලිප්පිලා උඩ ආවා.
මලකුත් තිබුණා… හැඟුමන් දවටා …
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |