අනුන්ගෙ මගුල්

උදේ පාන්දරම ඔෆිස් එකට ආවට මොකෝ වැඩ පටන් ගන්න කලියෙන් කට්ටිය කරන්නෙ ඇඳන් ආව ඇඳුම් වලයි ගාගෙන ආව මේකප් වලයි අඩුපාඩු ඇද පාඩු එහෙම හොයන ගමන් ඔය මොකක් හරි ඕපදූපයක් කියවන එක තමයි.

ඒකට ඉතින් තැනක් නොතැනක්, කෙනෙක්, දෙයක් කියල විශේෂත්වයක් තිබ්බෙ නෑ.කාගෙ හරි කතාවක් ඇදලා අරගෙන පැයක් දෙකක් කියවන්න දෙයක් හදාගන්න, හොයාගන්න එක තමයි ඉතින් මේ ඔෆිස් එකේ නෝනලට තියෙන ලොකුම විනෝදෙ.

අද උදේ පාන්දර කට්ටියටම එක්කහු වෙලා තියෙන්නෙ ඊයෙ හවස ඔෆිස් ඉවර වෙලා යද්දි අතටම ආව ඕපදූපයක් ගැන කතාකරන්න.

අකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකේ නර්මදා ඊයෙ හවස ඇවිල්ලා තමයි කට්ටියට තව මාස එකහමාරකින් විතර තියෙන තමන්ගෙ මංගල්ලෙ ඉන්විටේශන් පත අතෙන් තියලා ගියේ. ලස්සන ලා කහ පාට කාඩ් එකේ රත්තරන් පාට අකුරෙන් එන් අකුරයි එම් අකුරයි ලියවිල තිබ්බෙ නර්මදාගෙයි මලිත්ගෙන් නම් දෙක වෙනුවෙන්. කාඩ් එක ඇතුලෙ සුදු පාට කොලයක් උඩ හරිම හැඩ අකුරෙන් තමයි වෙඩින් එකට ඉන්වයිට් කරන අයගෙ නම් ලියලා තිබ්බෙ.

“අලුතෙන් ඕපන් කල අයි ටී සී එකේලු නේද ගන්නෙ?”

“මරුනේ? පුදුම සල්ලියක් ඇත්තෙ එහෙම තැනක ගන්න”

“අනික ධනුශ්ක සේනාධීරලු නේද ෆොටෝ ගන්න එන්නෙ? මාර ගණන් ඇති ඒ මනුස්සයම”

“අන්දන්නෙත් චන්දිමාල් කිව්වෙ. අනික ඔෆිස් එකේ වැඩ එක්ක වෙඩින් එක ලස්සනට ප්ලෑන් කරගන්න අමාරු හන්දා වෙඩින් ප්ලෑනර් කෙනෙකුත් අරගෙනලු”

“ලොකු වියදමක් කරන්න වගේ නේද හදන්නෙ?”

“ආයෙත් අහලා, ඔෆිස් එකෙත් හැමෝටම වගෙ එන්න කියලනෙ. ලොකුකම පෙන්නනත් එක්ක වෙන්නැති”

“ඒ මලිත් මොනවා කරන එක්කෙනෙක්ද?”

“ආකිටෙක් කෙනෙක්ලු නේද?”

“ආකිටෙක්ලට ඔහොම සල්ලි හම්බෙනවද අනේ ඔය විදියට වෙඩින්ග්ස් ගන්න? අනික සුලු පටු ගාණක් නම් නෙවෙයි මං හිතන්නෙ වියදම් කරන්න හිතාගෙන ඉන්නෙ” කියල තමයි කට්ටියම කතා වුනේ.

“අනේ මන්දා කොහෙන් හොයාගත්ත සල්ලියක්ද කියලා. මේ හම්බන්තොට පැත්තෙ මිනිස්සුන්ට ඔහොම සල්ලි තියෙනවද අනේ? ලොකුකමට ගමේ මිනිස්සුන්ටයි නෑයන්ටයි පේන්න ද කොහෙද දහ අතේ ණයවෙලා, ලෝන් එහෙම දාලා තමා ඔය ලෝකෙට පේන්න මගුල් අරගන්නවා ඇත්තෙ?” ඒ කියන්නෙ අවුරුදු පනස් ගානකට කිට්ටු වෙලත් කසාදයක් කරගන්න තියා මනුස්සයෙක් ආසාවෙන් තමන් දිහා බලන විදියට ජීවත්වෙන්නවත් බැරිවෙච්ච චාරුණී මිස්. අවුරුදු ගාණක් එකම තැන පල් වෙවී, ප්‍රමෝශන් එකක්වත් නැතුව උන්නු ඔෆිස් එකේ කෙල්ලො ටික නැති තැන්වල “හනුමන්තා” කියල හඳුන්වන ගිනි පත්තුකරන්න උපන් හපන් චාරුණී මිස්.

ඔය කතා අස්සෙ තමයි මීට අවුරුද්දකට කලින් කසාද බැන්ද මාකටින් එකේ සිතාරා වොශ් රූම් එක පැත්තට ආවෙ. වැඩ පටන් ගන්න කලියෙන් පොඩ්ඩක් රිෆ්‍රෙශ් වෙන්නත් එක්ක. චාරුණී මිස්ට සිතාරාව දැක්කම තමයි මතක් වුනේ උදේ පාන්දරම හිත් රිද්දෙව්වෙ නැත්තම් තමන්ට දවසෙ ඉතිරි වැඩ ටික කරගෙන යන්න කිසි පණක් නෑ නේද කියලා.

“එකාතකින් වියදම් කරල ඔහොම මගුලක් ගන්න එක හොඳයි. අපිටත් බැරිය ගිහින් හොඳට කාලා බීල එන්න. ඔෆිස් එකේ හැමෝම එක්කහු වෙලා තෑග්ග දෙන එකේ අතෙන් කයිට් වෙන්නෙත් නෑනෙ. සමහරු නම් ඉතින් තමන්ගෙ වෙඩින් ගත්තෙ නිකන් නොගෙන බැරි හන්දා වගේ. බොන්නවත්, බයිට් එකටවත් මොනවත් හරියට තිබ්බෙ නෑ කියල ෆයිනෑන්ස් එකේ සමන් තාම කියනවා” කියල සිතාරා දිහාවට ඇස් දෙක යව යව බැලුවට සිතාරා  නෙවෙයි ඕවට වචනයක්වත් කිව්වේ.

කොහොමත් සිතාරාට ඕන උනේ පොඩි වෙඩින් එකක් ගන්න. සිතාරාගෙ තාත්ත මධ්‍යපානෙට විරුද්ධ හන්දා තාත්තා මැරිලා උන්නත් වෙඩින් එකේ බොන්න දෙන්නෙ නෑ කියල සිතාරා හිතාගත්තෙ කුශාන් එක්ක යාලුවෙච්ච කාලෙමයි. අරක්කු බයිට් නොතිබ්බ කියල පොඩියට ගත්ත තමන්ගෙ මගුලෙ කිසි අඩුපාඩුවක් තමන්ට නොපෙනිච්ච එකේ අනිත් අය ඒ ගැන මොක හිතුවත් කමක් නෑ කියල තමා සිතාරා හිතුවෙ.

“සිතාරාටත් නර්මදා ඉන්වයිට් කරාද?” කියල අහන්නෙ චාරුණී මිස්. ඒ ඕප දූපෙත් දැනගත්තොත් දවස කම්ප්ලීට් නිසා.

“ඔව් චාරුණී මිස්”

“එහෙනම් ඉතින් ඔන්න මෙදා පාර සිතාරලට එහෙමත් පුලුවන් හරියටම වෙඩින් එකක් ගන්න විදිය බලාගන්න”

“අනේ ඉතින් මම ආයෙ මොකට ඔය වෙඩින් වල හැඩ වැඩ ඇදකුද හොයන්නද චාරුණී මිස්. මිස් බලලා තියාගන්නකො කෝකටත් කියලා”

“ආහ් අර මොකටද?”

“ආහ් මං හිතුවෙ අනුන්ගෙ මගුල්වල අඩුපාඩු ඔච්චර හොයන්නෙ මිස් හෙටානිද්ද බඳින්න හිතන් ඉන්න හන්දා කියල” සිතාරා ඉක්මනට ලිප්ස්ටික් ටිකක් ගාගෙන වොශ් රූම් එකෙන් ගියාට පස්සෙ ඇතුලෙ ඉතුරු උනේ චාරුණි මිස්ගෙ රතුවෙච්ච මූණයි අනික් කෙල්ලන්ගෙ හිකි හිකියයි විතරයි.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles