රන් මල් දම් – 51

පසන්ගේ සීමාව ඉක්මවන ස්පර්ෂයන් සහ වදන් හමුවේ අතිශය වෙහෙසට පත්ව උන් නිම්නාවී නිවසට ආවේ නින්දට වැටෙන බලාපොරොත්තුවෙනි. එහෙත්, පසන් සමඟ උන් සාදයේ කියැවුණ ව්‍යාපාර නාමය අතර මන්දාරම් සේවය කරතැයි ඇයට මතක තිබූ ව්‍යාපාර ආයතනයේ නමද කියවීම නිසා ඕ උන්නේ යම් තිගැස්මකය. ඒ නම සවන ගැටී නිසි අවබෝධයට පත් මොහොතේ පටන්ම ඕ ඒ තිගැස්මෙන් මිදෙන්නට නොහී උන්නාය. එහෙත් මන්දාරම්ගේ රුවට සමානව යන කිසිවෙක් හෝ දක්නට නොලැබීමෙන් ඕ අසීරුවෙන් සැනසීම රඳවා ගන්නට උත්සාහ කලාය.

ඒ සැනසීම තුල ඇත්තේම දැවීම සහ ගින්දර බව ඕ දැන උන්නේ නැත. ඇයව හඳුනාගෙන  මන්දාරම් උමතු සිතුවිලි දරමින් පිටව ගිය බව ඇයට දැනී තිබුණේවත් නැත.

එහෙත් නිවසට පැමිණි මොහොතේ පටන් ඇයට යම් දැවීමක් දැනුණි. හදවත තුළ යම් යකඩ බරුවක් සිර කර ඇති බව දැනුණි. නිම්නාවී සෙත් ට ලියූ ලිපි අතරින් ඕ සතු වූ ලිපිය යළි කියෙව්වාය.

” අනේ ඔයාව මුණ ගැහිලාත්, මම ඔයාව නැති කරගන්නේ ඇයි සෙත් ..?…”

ඕ ඇයගෙන් යළි යළි විමසුවාය. ඇයට රැය වෙනදාට වඩා දිගු විය. උදෑසන නින්දෙන් ඇහැරුනද ඕ යළි නින්දට වැටුණේ හදවතට දරාගත නොහැකිව තිබූ බර නිසාය.

නිම්නාවී ඇහැරුනේ දිලුම් කාමරයේ දොරට මහ හඬින් පහර දෙමින් ඇය අමතන හඬිනි. ඕ සයනයෙන් බැස්සා නොව පැන්නා විය. ඒ කලබලයට හේතුව ඇයටද වැටහුනේ නැත. ඕ වහා දොර විවෘ ත කලාය.

දිලුම් වහා කාමරයට ඇතුළු වී දොර වසා දැමුවේය. ඉන් පසුව නිම්නාවීගේ කොපුල් රිදෙන්නටම දෑතට මැදි කරගත්තේය. දෑසට එබුනේය.

” අක්කේ .. මං කියන දේ හොඳට අහගන්න …. ස්වර්ණා ආන්ටිගේ ඇක්සිඩන්ට් එකේ සීසීටීවී ෆුටේජස් පොලිසියට ලැබිලා ..මං හිතන්නේ ජිනේන්ද්‍රයා .. දීලා….. මන්දාරම් ආයේ කම්ප්ලේන් එකකුත් දාලා. එයාලා ඔයාව ඇරෙස්ට් කරන්න ඇවිත් … මගේ අක්කේ… ඔයා කලබල වෙන්නෙපා.. තාත්තා පොලිසිය මැනේජ් කරගනී .. හරිද ?.. ඒත් දැන් එයාලා එක්ක යන්න වුනොත් හරි, වෙනමම හරි පොලිසියට යන්න වුනොත් හරි අපි ලෝයර් කෙනෙක් එක්කගෙන එනකල් ඔයා කලබල  නොවී සිහියෙන් ඉන්න ඕනි …. තේරුනාද ?…අක්කේ….තේරුනාද ?. “

නිම්නාවී කිසිවක් නොවැටහුණාක් මෙන් හිස සලන්නට උත්සාහ කලාය. ඇගේ දෑස් විසල්ව ගොස් තිබියදී දිලුම්ටද කුමක් පවසන්නදැයි සිතා ගන්නට  හැකි වුයේ නැත.

” උපරිම පැය භාගයක් අක්කේ …. ඒ ටික ඉවසන්න ….”

අවසානයේ නිම්නාවී පියා සමඟින් පොලිස් ස්තානයට පිටව ගියේය.

” මෙච්චර දෙයක් වෙලා ඇයි අපිට නොකිව්වේ පුතේ………..?”

ඩයස් අලහකෝන් කලකට පසු තම සුව පහසු වාහනයේ ඉදිරි අසුනේ හිඳගෙන ඉකි ගසමින් හඬන දියණියගෙන් විමසුවේය.

” කිව්වා නම් මට එලියට යන්නවත් එපා කියලා ගෙදරටම වෙලා ඉන්න කියාවි ඔයාලා… එහෙමනේ අම්මා මට කලේ මං අතින් මොන දේ වුනත්  …. ඔයා අම්මාට එහෙම කරන්න එපා කියලාවත් කියලා නෑනේ …. ඉතින්, ඇයි මං කියන්නේ?… කොහොමද කියන්නේ?…”

ඩයස් අලහකෝන්ට එයට දෙන්නට පිළිතුරු වූයේ නැත. ගෙවා දමා තිබූ වසර හැට දෙකටම නොදැණුනු පසුතැවීමක් සහ නිම්නාවී පිළිබඳව වන ස්නේහයක් ඔහුගේ හද පුරා වාන් දමන්නට ගත්තේය.

” පසන් දන්නවද ?…”

” මං මොකටද ඌට කියන්නේ ?….”

ඇය යක්ෂණියක සේ කඩා පැන විමසුවාය. ඉන් පසුව පොඩි කෙල්ලක මෙන් හඬන්නට ගත්තාය.

” පුතේ ..දැන් නාඬා ඉන්න … ඩැඩා ඉන්නවා පුතාට මොන දේ වුනත් මින් ඉස්සරහට ..පුතාට වෙන්න ඕනි දේ විතරක් කියන්න …”

වඩා වැඩි ස්නේහයෙන් පිරෙද්දී ඩයස් අලහකෝන් තමාව හඳුන්වාදුන්නේ ඩැඩා ලෙසය. නිම්නාවී කඳුළු අස්සෙන් බොඳව ගිය රූපය දුටුවාය. ඕ අසුනේ නුහුරට හැරී පියා දෙස බැලුවාය.

” මල්ලී ලෝයර් අංකල්ව එක්කගෙන ඒවි .. ඒ ආව ගමන්ම අපිට ගෙදර යන්න පුලුවන් … ඊට පස්සේ අපි ඔක්කොම දේවල් කතා කරමු ….”

ඩයස් අලහකෝන් පැවසුවේය. තමා තම බිරිඳගේ අසීමාන්තික මුදල් හඹා යෑමේ සිහිනයේ ගොදුරක් වූවා පමණක් නොව, තම දියණියද එහි ගොදුරක් කර දමා අවසන් බව ඔහුට පැහැදිලිය. මෙතෙක් කල් ජීවිතය  පිළීබඳව නොදැනුන අඳුර ඩයස් අලහකෝන්ට දැනෙන්නට ගත්තේය. ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්ම බව සිතමින් තම බිරිඳ නිම්නාවීව, පසන් රණවීරට යෝජනා කල බව දැන දැනම එයට විරුද්ධ නොවීම පිළිබඳව ඩයස් අලකහෝන්ගේ පීතෲ සෙනෙහස ඔහුට අවලාද නඟන්නට පටන් ගෙන තිබුණි. රෝස මලක් සේ රැක බලාගත් දියණිය, මෙලෙස පොලිස් කූඩුවකට රැගෙන යන්නට සිදුවීමේ අවාසනාවෙන්, ඔහුගේ හදවත ඉරි තලමින් තිබුණි.

” අම්මා ?….”

නිම්නාවී එක්වරම එලෙස විමසනු ඇසුණි.

” අම්මා ගැන ඩැඩා බලාගන්නම් පුතේ ….ආයේ අම්මාට ඕනි දේවල් පුතාගෙයි, දිලුම්ගෙයි ජීවිත වල ඔහේ වෙන්න ඩැඩා දෙන්නේ නෑ…. මේ නැහි නැහි හම්බ කරන දේවල් නිදහසේ කාලා ඇඳලා ඉන්නවත් උඹලා දෙන්නා ඉතුරු වෙන්නේ නෑ මට අම්මාගේ මේ පිළිවෙලට දේවල් වෙන්න දුන්නොත් … ඩැඩා ආයේ අම්මට ඉඩ දෙන්නේ නෑ පුතේ… ආයේ ඉඩ දෙන්නේ නෑ….”

ඔහු එක් අතකින් සුක්කානම අත් නොහැර, අනෙක් අතින් නිම්නාවීගේ හිස පිරිමැද්දේය. නිම්නාවී අසුනෙ පිටුපසට හිස තබාගෙන දෑස් පියා ගත්තාය. සුවයක් දැනේ.

සැනින් සෙත් සිහි විය. තමා බියෙන් උන් දෙයම සිදුවෙමින් ඇත. සිතූ ලෙසම සෙත්, ඔහුගේ ජීවිතයේ වෛරක්කාරිය බවට තමා පත් කරගෙන ඇත.

නිම්නාවීට මන්දාරම්ගේ ප්‍රේමණීය ස්වරය සිහි විය. සෙත් ඉන් එහා ප්‍රේමණීය වන බව තමාට දැණුන බව සිහි විය. තමා අසනීප වූ දිනයේ සිදුවීම් චිත්‍රපටයක් මෙන් ගලා ආවේය. අලුත් වූ කඳුළු කොපුල් දැඩි තෙතකට පොඟවා දැම්මේය.

” නාඬා ඉන්නකෝ පුතේ ….”

ඩයස් අලහකෝන්ගේ හඬ ඇසෙද්දී නිම්නාවීට යම් සුවයක් දැනූනි.

නිම්නාවී පොලිස් ස්තානයට ඇතුළු වූයේ ඩයස් අලහකෝන්ගේ එක් අතක එල්ලීගෙනය. ජීවිතයේ කිසිදිනෙක නොදැනුන ශක්තියක් තමා වටා සරන බව ඕ අත්වින්දාය. නිම්නාවී හිස එසෙව්වේවත් නැත. ඩයස් අලහකෝන් ඍජුවම ස්තානාධිපතිවරයාගේ කැබිනය වෙතම ගියේය.

එවෙලෙහි මන්දාරම්ද වූයේ එහිය.

” ඉඳගන්න ඩයස් …”

ඩයස් අලහකෝන්ගේ පාසැල් සමයේ පටන්ම මිතුරා වූ ස්තානාධිපතිවරයා ඔහු පිළිගත්තේය. නිම්නාවී හිස ඔසවන්නේ නැතිවම ඩයස් අසලින් හිඳගත්තාය. චානක මදක් හැරී නිම්නාවී දෙස බැලුවා වුවද, ඔහුට ඇය නොපෙනෙන සේ ඩයස් අලහකෝන් උන්නේය.

” මේ සිද්දිය වෙලා දැන් ටික කාලයක් මචං …”

” සිද්දිය වෙලා ටික දවසක් වුනාට ඩැමේජ් එක තවම තියෙනවා…”

මන්දාරම්ගේ හඬ ඇසෙද්දී නිම්නාවීගේ හදවත මොහොතකට නතර විය. ඕ හිස පසෙකට හරවා හඬ ඇසුණ දෙස බලුවාය. ඩයස් අලහකෝන්, සහ චානකට පසුව ඇයට මන්දාරම්ගේ දෑත පමණක් පෙනුණි. ඕ අසුනෙන් මදක් ඉදිරියට එබී බැලුවාය.  

ඇය අසීරු හුස්ම කිහිපයක් ගත්තාය. මන්දාරම්ගේ මුහුණෙහි කිසිඳු  හැඟීමක් කියවාගන්නට ඇයට හැකි වූයේ නැත.

” ඒක හරි පුතා … ඒ වෙච්ච දේ වෙනුවෙන් අපේ පැත්තෙන් වෙන්න ඕනි යමක් තියෙනවා නම් මම ඒක බලලා කරනවා … අපි මේක කතා බහ කරලා විසඳගමු පුතා …”

ඩයස් අලහකෝන් කලකට පසු යමෙකුගෙන්, යමක් ඉල්ලා සිටිමින් උන්නේය. එහෙත් මන්දාරම් වූයේ එවන් දයාබර වචන වලින් නතු කරගන්නට හැකි තත්වයක නොවේය.

” ඔය කියන්නේ සල්ලි ඉස්සර කරගන්න එකක් නම්, එහෙම ලේසියෙන් සල්ලි වලට නම් නැවෙන්නේ නෑ මහත්තයෝ … අපේ අම්මාව හප්පලා මඟ දාලා ගියා මදිවට…..”

මන්දාරම් ජිනේන්ද්‍ර පැවසූව සිහි කරගෙන එතැකින් හඬ නවතා ගත්තේය. චානකද  මන්දාරම් දෙස තරවටු බැල්මක් හෙලුවේය.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles