සන්දේශ් ගේ ජාතික හැඳුනුම් පත තැපැල් මාර්ගයෙන් පැමිණියේ ය. ඒ සෙනසුරාදා උදය කාලයක් නිසා ඔහු ද ගෙදර සිටියේ ය. ඒ, එය ආයේ කවදාවත් ලැබේ යයි ඔහු බලාපොරොත්තු අතැර සිටි වෙලාවකි.
හැඳුනුම් පත අස්ථාන ගත වී ඇති බවට පැමිණිල්ලක් දමනු වස් පොලීසියට ගිය වෙලාවේ ඔහු ට දැනුම් දුන්නේ එය අත පත් කෙනෙකු තැපෑලෙන් එවනු ඇත්දැයි බැලීමට යම් කිසි කාලයක් ගත කරන ලෙසයි. එය පවතින්නේ කවුරුන් සතුව දැයි ඔහු පොලීසියට කියන්නට ගියේ නැත. එසේ ම නිධී එය කිසි සේත් නැවත ඔහු වෙත යොමු නොකරනු ඇති බව ද සන්දේශ් විශ්වාස කළේ ය.
ඇය ඒ ලැගුම්හලේ නාන කාමරයේ සිටියදී ඔහු නො කියා ම ආවාට පසු නිධී බොහෝ වාර ගණනක් සන්දේශ් ට දුරකතන ඇමතුම් ගත්තා ය. නමුත් ඔහු ඒ එක ඇමතුමකට හෝ පිළිතුරු නො දෙන්නට වග බලා ගත්තේ ය. නිධී ට තිබුණ එක ම විකල්පය ඔහු ය. ආර්ය අතැර ඈ ගෙදරින් පිටතට පිය තැබුවේ ම සන්දේශ් කෙරේ බැඳුණු සිතැතිව ය. එය එක්තරා ආකාරයක උන්මාදයකි. පිරිමියෙකු කෙරේ ගැහැනු සිතක් බැඳුණෝතින් ඒ වැද්දෙකු වී ද ඕ රජෙකුට එරෙහි විය හැකි බවට ඉතිහාසය සාක්ෂි දරයි. ස්වාමියෙකු ද දරුපැටියෙකු ද අතැර සන්දේශ් සමග පලා යාමේ උමතු සිහිනයක වල්මත් වී සිටි නිධී, සන්දේශ් එක් රැයකට පසු ඇගේ සිහින කුඩුපට්ටම් කොට පලා ගිය කල වියරු වැටුණා ය. සිය මනෝ රාජ්‍යය යළි කෙසේ හෝ ඉදි කර ගැනීමට ඇය හැකි තාක් උත්සාහ ද කළා ය. සන්දේශ් රැකියාව කරන ආයතනය වෙතට පැමිණියේ කෙසේවත් ඔහු දුරකතනයට පිළිතුරු නො දෙනා බැවිනි.
“මේ මොන මළ වදයක්ද… ආයෙ එහෙම තමුසෙ මෙතනට ආවොත් සෙකියුරිටි එකට කියල එළියට ඇදල දානව”
සන්දේශ් ඈ දැක සැබවින් ම කෝප ගත්තේ ය. නමුත් නිධී ද පහසුවෙන් ඔහු අතහරින බවක් පෙන්වූයේ නැත.
“එහෙම ඔයාට මගෑරල යන්න බෑ. මගෙ ජීවිතේට වගකියන්න ඕනෙ ඔයා. ඔයා නිසයි මං මගෙ පවුල අතෑරියෙ”
“කපටි වැඩ කරල මාව ඔය කුණු ගොඩවල් වලට පටලෝගන්න හදන්නෙපා. අක්ක කෙනෙකුයි නංගිල දෙන්නෙකුයි ගෙදර ඉද්දි කසාද බැඳපු ගෑනියෙක්ව හොරෙං පන්නගෙන යන්න තරං මොළේ අමාරුවක් මට නෑ. මගෙං උදව්වක් ඉල්ලල මාව අමාරුවෙ දාන්නයි තමුසෙ බැලුවෙ”
“මං ඔයාව අතඅරින්නෙ නෑ සන්දේශ්”
“කැමති දෙයක් කරනව. කැම…ති දෙයක් කරනව. ඕන පොලිස්සියකට ගිහිං කම්ප්ලේන් කරනව. නඩු ඕන්නං නඩුත් දානවකො. ඒ ඕන දේකට මං ලෑස්තියි. හැබැයි ආයෙ මෙතන්ට ආවොත්නං ලැජ්ජ වෙන්න වෙයි හොඳේ”
එය ස්ථිර ප්‍රකාශයකි. කවර පොලීසියක උසාවියක ගියත් සන්දේශ් ගැන අයිතිවාසිකම් කිව නො හැකි බැව් ඇය දැන සිටියා ය. විවාහක ස්ත්‍රියක වන ඇය වෙනත් තරුණයෙකු ඉල්ලා කොතැන ගොස් කණ්ණලව් කරන්න ද? බුද්ධියෙන් පාලනය කර නො ගන්නා ලද දැඩි රාගාශාවන් මත, ජීවිත කාලයක් සාමයෙන් රැඳෙන්නට තිබු පවුලක් කඩා බිඳගත් බව දැනෙත්දී ඈ පමා වූවා වැඩි ය. ආයුව ඈ වෙතට ගෙන ඒ මාර්ගයෙන් යළි ආර්ය සිය ජීවිතය වෙත සමීප කර ගැනීමට දැරූ වංක උත්සාහය ද ව්‍යර්ථ ව ගියේ ය.
සන්දේශ් ට හැඳුනුම් පත ලැබෙනා වෙලාවේ නිධී සිටියේ ගුවන් තොටුපොළෙහි ය. දික්කසාද තීන්දුව ලැබුණ ගමන්, එතෙක් ඈ කල් බලමින් ද සූදානම් වෙමින් ද සිටි මැද පෙරදිග ගමනට දින තීන්දු විය. මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙනා සිය ඥාතිවරියක මාර්ගයෙන් ඒ රැකියාව පිළියෙල කරගන්නා තුරු ආර්ථික වශයෙන් ඇයට ගෙවන්නට සිදු වූයේ දුෂ්කර සමයකි. දික්කසාද නඩුවට පෙනී සිටි නීතීඥවරයාට මුදල් ගෙව්වේ ගෙල පැළඳ සිටි රන් දම්වැල උකස් කොට ය. තෙරක් නො පෙනෙන අගාධයක ගිලී යමින් සිටි ඇය කොතැනකින් හෝ ඇරඹිය යුතු වූයේ ය. කාලයේත් මෙබිමෙන් පලා යාමේත් සහනය ඇයට අවශ්‍ය ව තිබිණ.
නිධී ගේ දුරකතන ඇමතුම පැමිණෙන විට ආර්ය සිටියේ සහෝදර සමාගමයේ ය. ඇගේ නම දුරකතන තිරය මත දුටු මතින් ආර්ය ගේ නළල රැලි නැංවුණෙන් සහෝදරවරු වඩා උවමනාවෙන් ඒ ඇමතුම ගැන අවධානය යොමු කළහ.
“කියන්න”
ආර්ය ගේ ප්‍රතිචාරය වියළි වූයේ ය.
“ආර්ය මං යනව”
“කොහෙද…”
“මිඩ්ල් ඊස්ට්. ආයෙ කවද මං මේ ලංකාවට එයිද කියල මං දන්නෑ ආර්ය”
“එහෙමද… ඉතින් කවදද පුතාව ඕනෙ…”
ඔහු ට යම් කම්පාවක් දැනෙන්නට විය. කවර වරද සිදු වී ද ඒ ආයු ගේ අම්මා ය.
“මං දැං ඉන්නෙ එයාපෝට් එකේ. මට වෙලාවක් තිබුන්නෑ ආයු බලන්න එන්න. ඉක්මනට මේ වැඩ ටික කරගන්න වුණ නිසා. එයා ඉතිං ඉන්නෙ එයාගෙ තාත්ත ළඟනෙ. කොහොමත් දැං ඉතිං ඉක්මනට එයාට මාව අමතක වෙයි. එක අතකට අම්ම ගැන එයා කවදාවත් මුකුත් දැනගන්න ඕනත් නෑ ආර්ය. මට ඕනෙ මේ හැම දේම අමතක කරල ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න. මං ඒකට ට්‍රයි කරනව”
ආර්ය ගේ උගුර පාමුල පිච්චීමක හා දැවිල්ලක සංවේදනයක් ඇති විය. ඈ ගැන ඔහු ට කණගාටු ය. නමුත් ඇය වන් අසංවේදී ගැහැනුන් අම්මලා නොවී ම ඉන්නවා නම් හොඳ යයි ඔහු ට සිතිණ. සිය කුසයෙන් කුළුඳුළේ ම බිහි කළ දරුවා ගේ මූණ තව එක වරකට බලන්නේ හෝ නැතිව අම්මා කෙනෙකු ට රටින් නික්ම කාලයකට විදේශගත විය හැකි ද? ඈ ගැන කළකිරීමක් සමගින් ම ඇගේ කුසින් බිහි වූ සිය දරුවා ගැන මහත් සංවේගී හැඟීමක් ඔහු තුළ පැතිර යන්නට ගති.
“ඔයාගෙ කැමැත්ත ආයුවත් අමතක කරන එකනං… එහෙම කරන්න ඉතිං. වෙන මං මොනා කියන්නද… හැබැයි ඔයා ඔය කිව්ව අලුතෙන් පටන් ගන්න ජීවිතේවත් මීට වැඩිය වගකීමකින් ගත කරන්න බලන්න. ඔයාගෙ ඒ අලුත් ජීවිතේට මං හදවතින්ම සුබ පතනව”
“මගෙං වෙච්ච වැරදි වලට සමාවෙලා ඒව අමතක කරල දාන්න ආර්ය. එතකොට මං නිදහස්. එහෙනං මං තියන්නං”
ඒ සමුගැනීමේ මොහොතේ දී නිධී ද හද දුකකින් පීඩා නො වින්දා නොවේ. ඇය ඉක්මනින් දුරකතන සම්බන්දය බිඳ දැමුවේ ද හැඬුම් එතැයි බියෙනි. නිධී අරබයා මින් මතු කිසි දාක දැනෙනු ඇතැයි නොසිතූ සංවේගයක් ආර්ය ගේ ද පපුව හිර කළේ ය. ඔහු මුව ද මඳක් විවර කොට හුස්මක් ගනිමින් අසුනෙන් නැගී සිටියේ, ඒ වෙලාවේ ආයු තදින් සිප ගෙන හදේ රැඳී ඇති බරකින් නිදහස් වීමේ අරමුණෙනි. ඔහු මල්වත්තගේ ගෙදර දෙසට යන විට ආයු දුරේශ් මල්වත්තගේ සමගින් කාර් සෙල්ලමක් කරමින් සිටියේ ය. ආයු කුඩා සෙල්ලම් කාරයක් දුරේශ් දෙසට එවයි. දුරේශ් එය ආයු දෙසට තල්ලු කොට යවයි. ගිරවෙකු සේ ආයු ගේ බටිති කටට නිවනක් නැත. ඔහු තොරතෝංචියක් නැතිව කියවයි. දුරේශ් සිඟිති කතා වලට හඬ නගා සිනහ වෙමින් ආයු ගේ වයසට ම පිවිස සිටියේ ය.
“තාත්… ති…”
ආර්ය දුටු ආයු සෙල්ලම මඳකට නවතා නැගිට දුරේ සීයා වෙතට ලං වී ඔහු ගේ උරය අල්වා ගත්තේ ය.
“බබා දුලේ සීයා එක්ක සෙල්ලං කළනව නේ දුලේ සීය… තාත්ති එක්ක යන්න බා නේ…”
ඔහු ගේ කතාවට ආදරයෙන් හද උතුරා ගොස් දුරේශ් ආයු ගේ හිස පිරිමැද්දේ ය.
“අපි බලමුකො තාත්ති ආවෙ ඇයි කියල”
දුරේශ් නැගිට ගත්දී ආර්ය ආයු වඩාගෙන තදින් සිපගනිමින් සිටියේ ය.
“අම්මි ඔයාව දාලම ගියා පුතේ. මට ඔයා ගැන මාර දුකයි”
එහෙම කීවේ ආර්ය ගේ පිරිමි හිතයි. වචන ගොළු වී තිබිණ. නමුත් ඔහු ගේ ඇස් වල වූ වේදනාව දුරේශ් හැඳින්නේ ය.
“මුකුත් ප්‍රශ්නයක්ද ආර්ය පුතා…”
“නිධී ගියා අංකල්”
ඔහු එසේ මිමිණුවේ බිම බලාගෙනයි.
“ගියා කිව්වෙ…”
“මිඩ්ල් ඊස්ට් වලට ජොබ් එකකට යනව කියල ගියා. මට දැං කතා කළේ එයා පෝට් එකේ ඉඳං. අඩු ගානෙ මේ අහිංසකයගෙ මූණ බලල යන්නවත් එයාට ඕන වුනෙ නෑනෙ අංකල්”
එකවර කුමක් කියන්න දැයි දුරේශ් ට වුව සිතා ගත හැකි වූයේ නැත. අමාගී ආලින්දයට පිවිසෙන උළුවස්සක් අල්වාගෙන ගැස්සීගත් දෑස් වලින් යුතුව බලා සිටියා ය.
“සමහර දේවල් එහෙම තමයි පුතා”
දුරේශ් අසුන්ගත වූයේ ආර්යට ද එසේ කරනා ලෙස ඉඟි කොටයි. යම් නරකක් සිදුව ඇති බව ඉවෙන් වාගේ වටහා ගත් ආයු අමාගී වෙත දිව ගොස් ඇගේ ඇඟේ එල්ලුණේ ය.
“මීට අවුරුදු විසි ගාණකට කලින් මාත් පුතා වගේම විශ්වාස කරගන්න බැරුව කම්පා වෙලා ඔහොම දේවල් හිතුව. එක අතකට එදා අද කියල නෑ. මේ ලෝකෙ සිද්ද වෙන කිසි දෙයක් අලුත් දේවල් නෙවෙයි. මීට කලින් කවදා කොතනදි හරි ඕන තරං වාර ගණනක් සිද්ද වෙලා තියෙන දේවල්. අපිට සිද්ද වෙනකොට අපි කම්පා වෙනව තමයි. නමුත් වෙන්න බැරි දෙයක් මේ ලෝකෙ නෑ. අපේ කර්ම ශක්තිය අනුව අපිට උරුම දේවල් වලින් පැනල යන්නත් බෑ. ඒක නිසා හොඳම දේ පුතා… හිත රිදෙන ඕනම දෙයක් ඒක අපේ කර්මයක් විපාක දීල ඉවර වීමක් කියල හිත හදාගන්න එක. මොකද කර්ම විපාක අපි කවදා නමුත් ගෙවන්නම ඕනෙ. තව ආත්මෙකට ගෙනියන්නැතුව මෙහෙදිම ඒව ගෙවල දාන එක ලේසියි”
ඒ අවසාන වදන් කියාගෙන යත්දී යමක් දුරේශ් ට දැනිණ. පපුවේ වම් පසට බරව හට ගත් හිර වීමක්, දැවිල්ලක් හෝ රිදීමක්, නැතහොත් ඒ සියල්ලේ ම එකතුවක්, මුළු සිරුර පුරා විදුලියක් සේ දිව ගියේ ය. දුරේශ් දකුණතින් ඉක්මනින් පපුව පිරිමැද ගත්තේ ය. ඒ වේදනාව පිට පැත්තෙන් හා වම් අත දෙසින් ද ඇදී එන්නා සේ විය. ගෑස්ට්‍රයිටිස් විය හැකියයි සිතී ඒ සිතිවිල්ල යට ගියේ ය. ඔහුටත් නො දැනී ඔහු ගේ මූණේ ඉරියව් වෙනස් වන්නට වූයෙන් අමාගී වහා ඔහු වෙතට පැන්නා ය.
“තාත්ති… ඇයි තාත්ති… ඇයි මේ…”
“ගෑස්… ද කොහෙද”
කියා කියත්දී ම බලවත් ප්‍රහාරයක් එල්ල විය. ඒ වේදනාව ඉවසා ගන්නට පුළුවන් කමක් දුරේශ් ට නො වුණ තරමි.
“අනේ තාත්තී…”
අමාගී හැකි වෙර යොදා කෑගැසුවා ය. නමුත් ඇගේ උගුරෙන් කෙඳිරියක් හෝ පිට නොවූ තරම ය.