ඒ හදිසි අවස්ථාවේ ආර්ය හා සන්දේශ් ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය අංශයේ පළපුරුදු වෘත්තිකයන් මෙනි. අමාගී අතිශය කලබලයට පත්ව සිටියා ය. තාත්තා ගේ ජීවිතයට කරදරයක් වෙතැයි යන බිය නිසා ම ඇගේ මනස අක්‍රිය වූවා සේ ය. කුමක් කළ යුතු ද යන නිරවුල් සිහිය ඇය වෙත නොවී ය. ආර්ය මෝටර් රථය ගෙනෙත්දී සන්දේශ් දෑතින් තාත්තාව ඔසවා ගත්තේ පොඩි දරුවෙකු මෙනි. සිය ළමා වියේ දී මේ විදිහට තාත්තා ඔහු ව දෑතින් ගෙන වෛද්‍යවරුන් වෙතට ගෙන ගිය අතීත දවස් සන්දේශ් ගේ හිතේ ඇඳෙමින් ද මැකෙමින් ද තිබිණ.
මණී අමාගී ව රියෙහි පසු අසුනට ගොඩ කරවූවා ය. ඈ ළඟින් දුරේශ් ව හිඳුවන ලදී. අමාගී තාත්තාව සිය සිරුරට වාරු කරගෙන ඔහු ගේ හිස ද පපුව ද පිරිමැද්දා ය.
“මගෙ තාත්තිට මුකුත් වෙන්නෑ. බය වෙන්නෙපා හොඳේ. අපි ඉක්මනට හොස්පිට්ල් එකට යනවනෙ…”
පපුව අතගාමින් මන්තරයක් සේ ඈ දිගට ම කියවූයේ එයයි. ආර්ය ගිලන් රථයක් සේ, ඉඩ ඉල්මින් රිය පැදවූයේ ය. හන්දියේ ඩිස්පැන්සරියේ සන්දේශ් ගේ මිතුරු වෛද්‍යවරයා ළඟ මොහොතකට රිය නතර විය. සන්දේශ් දිව ගොස් තාත්තා ගැන පැවසූවෙන් වෛද්‍යවරයා වහ වහා රිය වෙත පැමිණ දුරේශ් ව පරීක්ෂා කළේ ය.
“පුළුවන් තරං ඉක්මනට හොස්පිට්ල් අරං යන්න”
දුරේශ් ගේ දිව යටින් බෙහෙත් පෙත්තක් දමා ඔහු නිර්දේශ කළේ එසේ යි. ඒ අනුව ඉගිළුණ රිය යළි නතර වූයේ කළුබෝවිල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය අසල යි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දුරේශ් වට කොට ගත්හ. සියල්ල සිදු වූයේ අසරු වේගයෙනි. දුරේශ් ව යන්ත්‍ර රැසකට ලහි ලහියේ සවි කෙරිණ. සන්දේශ් එතැන සිටියේ ය. ආර්ය අමාගී ව පිටත බංකුවෙහි රඳවාගෙන සිටියේ ය. ඈ කෙතරම් බිය වී සිටියේ ද යත් හුස්ම ගත්තේ වේගයෙනි. ඇස් පිය සැළුවේ ඉක්මනිනි.
“මට මගෙ තාත්තිව නැති කරන්නනං එපා දෙයියනේ”
දෑත් පපුව මත බැඳගෙන මතුරමින් ඈ දෙවියන් ට කණ්ණලව් කරමින් සිටියා ය. ආර්ය ඇයව බංකුව මත හිඳවූවාට තත්පර කිහිපයකින් යළි නැගිටිමින් එතැන සක්මන් කරන්නට ගත්තා ය. සැබවින් අමාගී සිටියේ පියවි සිහිය තුළ නොවේ. ඊට මඳක් ඔබ්බෙන් මායාව තුළ යි.
“ඔක්කෝටම ඉස්සෙල්ල ඔයා සන්සුන් වෙන්නකො. දැං කිසි දේකට බය වෙන්න හේතුවක් නෑ. දුරේ අංකල් ඉන්නෙ ඩොක්ටර්ස්ල ළඟනෙ. අර බලන්කො හැම දේම කෙරෙනවනෙ”
ආර්ය හැකි තරම් අමාගී ව සන්සුන් කරවීමට කාරණා කීවේ ය. නමුත් ඇගේ දෑස් වලින් නො කඩවා කඳුළු මේඝ කඩා වැටෙමින් තිබිණ.
“ඔයා දන්නව ලොකයියෙ. මට අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්නෙ ඔය තාත්ති විතරයි. එයා නැති වුණොත් මොකටද මං ඉතුරු වෙන්නෙ…”
“සුදූ…”
“තාත්ති කොච්චර දුක් වින්දද… එක අතකට දූල දෙන්නෙක්ම දීග දීල එයා මේ ටිකක් සැහැල්ලුවෙන් හුස්ම ගන්න හිතුව විතරයි වෙන්නැති. ඒ වුණාට මගෙ ප්‍රශ්නෙත් එයාගෙ හිතට වද දිදී තියෙන්නැති. ලොකූ හදිස්සියකටවත් එයා ළඟ නැති එක ගැන වුණත් තාත්ති ඉන්න ඇත්තෙ දුකෙන්. තාත්ති කවදාවත් හිතේ තියන වේදනාවක් කාටවත් පෙන්නපු කෙනෙක් නෙවෙයි. මං එයා ලොකුවටම දුකෙන් ඉන්නව දැක්කෙ එදා නිධීගෙ ලියුම කියවල… අයිය නිධී එක්ක ගිහින් කියල දැනගත්ත වෙලාවෙ. ඒත් තාත්ති අඬනව මං දැක්කෙ ලොකූයි පොඩීයි මනමාලියො වෙලා එයාගෙන් අයින් වෙලා ගිය දවසෙ. මේ ටිකේම අපි තාත්තිට දුන්නෙ පොඩි ගින්දරක්ද දෙයියනේ… මගෙ අහිංසක තාත්ති කොහොම ඒ හැම දේම තනි හිතකින් දරාගෙන ඉන්න ඇද්ද… අපි නිකමටවත් ඒ ගැන හිතුවෙ නෑ. අපි හිතුවෙ අපි ගැන විතරයි. මං වුණත් මගෙ හිතේ තියන ඔක්කෝම දුක් එළියට දැම්මෙ තාත්ති ළඟ. එයා දුක්ගන්නා රාළ වගේ අපේ ඔළුව අත ගගා හිත හැදුව. එයාට තියෙන්නෙත් හිතක් කියල අපිට මතක් වුන්නෑ. අනේ මට සමාවෙන්න තාත්ති. මං ආයෙ කවදාවත් ඔයාට දුකක් දෙන්නෑ. මාත් එක්ක තරහ වෙන්නෙපා ලොකයියෙ. මේ ආත්මෙ මං ඔයා ළඟට එන්නැතුව ඉන්නං. ජීවිතේම අපි වෙනුවෙන් දුක් විඳපු තාත්තිව සතුටෙන් තියන්න විතරක් මං මගෙ මේ ජීවිතේ කැප කරන්නං. මට තාත්තිව සනීප කරල දෙන්න ලොකයියෙ. ඔයාට බුදුවෙන්න ඒ පිණ ඇති ලොකයියෙ”
“සුදූ සුදූ… කලබල නොකර ඉන්නකො පැටියො. දුරේ අංකල් සනීප වෙනව. අපි දෙයියන්ගෙන් ඉල්ලමු එහෙම කරන්න කියල. හැබැයි ඒකට අපි දුර්වල වෙලා බෑ සුදූ. හයියට ඉන්නෝනෙ. අපි ගිහින් බෝධි පූජාවක් තියමු. හරිද… තාත්තට සනීප වෙයි. බලමුකො ඩොක්ටර්ස්ල මොනාද කියන්නෙ කියල. ඒ කියන ඕනම දෙයක් අපි කරමු. ඔයා බය නැතුව ඉන්නකො. අපි ඔන්කොමල ඉන්නවනෙ…”
හදිසි ප්‍රතිකාර ඒකකයෙන් දුරේශ් ව හෘද රෝග අංශයෙහි නේවාසික කෙරිණ. සන්දේශ් ඔහු ළඟ නතර වූයේ ය. අමාගී දුරේශ් ගෙන් වෙන් වී ආවේ පුළුවං කමකට නොවේ.
“තාත්තට පේන්න අඬන්නෙපා” කියා සන්දේශ් ද ආර්ය ද මාරුවෙන් මාරුවට පැවසූ නිසා ඔහු අස ඇය අසීරුවෙන් ඉවසා සිටියා ය. තාත්තා ගේ හිස පිරිමැද නළල සිප ඔහු ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළා ය.
“හවසට අපි එනකොට මීට වැඩිය සනීප වෙලා ඉඳියි හොඳේ”
කියා සිනා සී කීවා ය.
දුරේශ් ට පැමිණ තිබුණේ හෘත් ප්‍රහාරයකි. ඉක්මනින් රෝහල් ගත කළ නිසා ඒ අවස්ථාවේ අපහසුවක් නැතිව ඔහු ගේ ජීවිතය රැක ගත හැකි විය. නමුත් දින කිහිපයක් ඔහු රෝහල් ගතව සිටිය යුතු වූයේ ය. ප්‍රථම රාත්‍රිය ආර්ය දුරේශ් ළඟ නිදි වැරුවේ ය.
“මට රෑත් මෙහෙමම අදින්න පුළුවං ආර්ය”
කියා සන්දේශ් කීව ද පසු දා ඉරිදාවක් නිසා රැකියාවට යාමක් නොවන බැවින් ආර්ය රෝහලේ රැඳුණේ ය.
“අංකල් හොස්පිට්ල් ඉන්කල් කොහොමහරි මාරුවෙන් මාරුවට ඇදගමු. අපේ ගෙදර තව කොල්ලො තුන් දෙනෙක්ම ඉන්නවනෙ”
ආර්ය තාත්තා ළඟ නවතින එක සන්දේශ් ඔහු ළඟ නවතිනවා වාගේ ම අමාගී ට සැනසීමක් විය. මැසි මදුරුවෙකු ගේ හින්සාවකුදු නොවී ඔවුන් තාත්තා බලාගන්නා බව විශ්වාස බැවිනි. ඉතිරි දින කිහිපයේ ශාක්‍ය ද රුසිරු ද මාරුවෙන් මාරුවට දුරේශ් ගේ ආවතේව සඳහා රෝහලේ නතර වූයේ සන්දේශ් ට රැකියාවට යාමේ අවස්ථාව සලසා දෙමිනි. අමාගී තුන් වේලට ම රෝහලට ගියා ය. දුරේශ් වෙනුවෙන් සාන්වී හා මණී සමග බෝධි පූජා පැවැත්වූවා ය. ඒ දින කිහිපයේ මල්වත්තගේ ගෙදර ලිප ගිනි මෙලවුණේ නැත. අමාගී ගේ තනියට සාන්වී ඇවිත් ඈ ළඟ නිදාගත්තා ය. ඔවුන් පවුල් දෙකක් නොව එකක් ය යන්න ඒ කරදර මොහොතේදී හැම හදවතකට ම දැනිණ.
දුරේශ් හදිසි හෘදයාබාධයක් මත රෝහල් ගත වූ බව දැන ගත් ගමන් අශ්විනී ට උවමනා වූයේ ගෙදර එන්නටයි. මේ වගේ බරපතල සිදුවීමකට කිසි දා ඔවුන් මුහුණ දී නැත. ඇය නොමැතිව නංගිලා හා මල්ලී මේ කුණාටුව කෙසේ තරණය කරන්න ද කියා ඇයට සිතා ගන්නට හෝ හැකි නොවිණ. හිත ඇදහූ එක ම සත්‍ය නම් ඈ මේ මොහොතේ ඔවුන් සමගින් සිටිත යුතු බවයි.
“එහෙම දුවන්න කලබල වෙන්න ඕන නෑ ආශ්”
කසුන් ගේ ස්ථාවරය වූයේ එයයි. පවුලේ කාරණා වලදී අශ්විනී අවශ්‍ය තරමටත් වැඩිය සංවේදී බව ඔහු වසර ගණනක අත්දැකීම් අනුව දනී.
“ඔයා කිව්වට කලබල වෙන්නෙපා කියල මං කොහොමද කලබල නොවී ඉන්නෙ… හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නෙ වෙන කාටවත් නෙවෙයි මගෙ තාත්තිට”
අශ්විනී හඬා වැටුණා ය.
“හරි ළමයො. අපි බලමු මොකද වෙන්නෙ කියල. ඔයා නැති වුණාට එතන අනිත් අය ඉන්වනෙ. අපිට අප්ඩේට් වෙන්න පුළුවන්නෙ. අපි බලමු මොනාද කරන්න පුළුවං කියල”
“මෙහෙ ඉඳං මොනා කරන්නද… නිකං බලං ඉන්න පුළුවං. දෙයියනේ මං කරගත්ත ගොං කමක්. මට මේ විදිහට මගෙ පවුලෙන් ඈත් වෙලා අන්ත අසරණ වෙන්න වෙයි කියල මුලදි දැනං හිටියනං මං ඔයාට කැමති වෙන්නෑ”
ඒ වෙලාවේ අශ්විනි ට උවමනා වූයේ ඇයට සොයා ගත හැකි දරුණු ම වචන වලින් කසුන් ට පහර දෙන්නටයි. ඔහු සියුම් ලෙස ඇයව පවුලෙන් දුරස් කළාය යන සිතිවිල්ල මෝදු වී අශ්විනී ඉන් බරපතල ලෙස නො සන්සුන් වී සිටියා ය.
“අනේ මං මොනතරං පව්කාර දරුවෙක්ද… ඕනම වෙලාවෙ තාත්ති ළඟ ඉන්න මට බැරි වුණා. තාත්තිට මොනා හරි වුණොත්නං මං මගෙ ජීවිතෙත් නැති කරගන්නව ඇත්තමයි”
“ඔහොම ඉමෝශනල් වෙන්නෙපා ආශ්. අංකල්ට මොනාත් වෙන එකක් නෑ. සන්දේශ් කිව්වනෙ ට්‍රීට්මන්ට්ස් වෙනව කියල”
අවසන ඇය සැනසීමේ ව්‍යායාමය අතැර නිශ්ශබ්ධ වන්නට කසුන් ට සිදු විය. එහිදී අශ්විනී තව තවත් නො සන්සුන් වූවා ය.
දින කිහිපයකට පසු දුරේශ්ව ගෙදර එවනු ලැබූයේ දෙසතියක් ගෙවෙනා තුරා අතිශය විවේක ගන්නා ලෙස දැනුවත් කොට ය. අමාගී අම්මා කෙනෙකු ලෙස තාත්තා ව රැක බලා ගත්තා ය. පොඩි දරුවෙකු සේ ඔහු ගේ සියලු ආවතේව කළා ය. නැවත කිසි දිනෙක ඒ නරක අත්දැකීමට මුහුණ නොදීම ඇගේ එක ම ප්‍රාර්ථනය විය. කෙසේ වෙතත් දුරේශ් ගේ හදවත හා සම්බන්ධ රුධිර වාහිනී කිහිපයක අවහිරතා ඇති බවත්, බයිපාස් සැත්කමක් මගින් ඒවා ඉවත් කළ යුතු බවත් රෝහලෙන් දැනුම් දී තිබිණ. නමුත් ඒ සඳහා රජයේ රෝහල් වල පොරොත්තු ලේඛනය වසර කිහිපයක් ඉදිරියට දිගු වූයේ ය. පෞද්ගලික අංශයෙන් සැත්කම කරගන්නට විශාල පිරිවැයක් දැරිය යුතු වන්නේ ය.
“තාත්ති ළඟ ඉතිරි කරං තිබුණ සල්ලි ටිකත් වෙඩින් දෙකට ඉවර වෙලා ඇති. ඒත් මේ ලිස්ට් එකේ බලං ඉන්නව කියන එක මගෙ හිතටනං පුදුම බයක් අයියෙ. අපිට තාත්ති වෙනුවෙන් එහෙමවත් දෙයක් කරගන්න බෑනෙ අනේ”
අමාගී ට දැනුණේ වචන කළ නො හැකි අසරණ බවකි. සන්දේශ්ට ද එසේ නො දැනුණා ම නොවේ. නමුත් කෙසේ හෝ ඒ අභියෝගයට මුහුණ දෙන්නට ඔහු හිත හයිය කරගනිමින් ද මාර්ගයක් ගැන සිතමින් ද සිටියේ ය.
“මගෙ ළඟත් සල්ලි ටිකක් ඇති. අපිට ඕක කරගන්න බැරිවෙන්නෑ. මදිපාඩුවක් වුණොත් මං ඔෆිස් එකෙන් ලෝන් එකක් හරි ගන්නං. අපි දුරේ අංකල්ට බයිපාස් එක කරනව. එච්චරයි. අපි ඩොක්ටර්ව චැනල් කරල ඔපරේශන් එකට යන ගණං එහෙම හරියට කතාකරල දැනගමුකො. අතේ නැතත් රටේ සල්ලි තියනවනං හොයාගමු”
ආර්ය ගේ තීන්දුව එය විය. සන්දේශ් ට ඒ වචන ටික මහත් ශක්තියක් සේ දැනිණ. ඔහු ආර්ය ගේ උරහිසට තට්ටුවක් දැමුවේ කඳුළු පිරි ඇස් වලිනි.
“රටට ණය වෙලා ඕව කරන්න ඕන නෑ ළමයිනේ. බෙහෙත් ටික හරියට බීල මං පරිස්සමට ඉන්නංකො”
දුරේශ් සිනහ වෙවී කීවේ ය. නමුත් කිසිවෙකු ඔහු ගේ බහට අවනත නොවෙන බව ඔහු දනී.
“අනික කොහොමත් අපි දැං යන්න කිට්ටු අය. ඔය තව ටික කාලෙකට පොඩි චාන්ස් එකක් තමයි හම්බවුණේ”
සැහැල්ලුවක් පෙන්වූවාට දුරේශ් ගේ හිතේ බරක් නොවූවා ම නොවේ. දැන්ම නික්ම යා නො හැකි ය. විවාහ නොවූ දරුවන් දෙදෙනෙක් ගෙදර සිටිති. අනිත් දෙන්නා විවාහ වූ ගමන් ය. ඔවුන්ගේ දරුවෙකු හෝ නො දැක ඇහැ පියාගන්නේ කෙසේ ද?
කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි, බයිපාස් සැත්කම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ මුදල කසුන් විසින් දුරේශ් ගේ බැංකු ගිනුමට බැර කරනා ලදී. එය දැනගත් ගමන් අශ්විනී ඉකි බිඳිමින් හැඬුවා ය. කසුන් ඇගේ හිස පිරිමැද්දේ ය.
“කලබල වෙලා අපි ලංකාවට ගියා කියල තේරුමක් නෑ. ටිකට්ස් වලට වියදං වෙන සල්ලිත් දාල අවශ්‍ය වැඩේ කරන්න දුන්නහම ඉවරනෙ. මේ වෙලාවෙ වෙන්න ඕන දේ ඒක”
“අනේ ඔයාට පින් සිද්ද වෙනව කසුන් මගෙ තාත්තිගෙ ජිවිතේ බේරල දුන්නට. මං ඔයාට ඒකට මගෙ ජීවිතෙන්ම ණයයි”
“එහෙම ණයකට දුන්න නෙවෙයි ආශ්. ඔයාගෙ තාත්ත මටත් තාත්ත වගේ තමයි. සමහර දේවල් වලට මං රිඇක්ට් කරන විදිහත් එක්ක මං මහ ටෆ් මිනිහෙක් කියල ඔයා හිතනව ඇති. හැබැයි ඔයාට මං ආදරෙයි හරිද…”
අශ්විනී හඬමින් ම කසුන් ව බදා වැළඳගත්තා ය.