“ඒ මැසේජ් එක එනකම් මං හරි සන්තෝසෙන් ජීවත් වුණේ” කාව්‍යා ඇයි එහෙම කිව්වෙ?

කාව්‍යා තාම ඉගෙන ගන්නවා. ඉස්කෝලේ 12 පංතියෙ. කොවිඩ් කාලේ ඉස්කෝලෙ වැඩයි පංතිවලටයි සහභාගි වෙන්න වුනේ ඔන්ලයින් හින්දාම තමයි රට ඉන්න තාත්තා කාව්‍යාට අලුත්ම, ස්මාට්, ටච් ෆෝන් එකක් අරගෙන දුන්නෙ. ඒ දැන් අවුරුදු දෙකකට විතර කලින්. ඕලෙවල් පංති වල ඉද්දි යූස් කරපු ෆෝන් එකම තමයි කාව්‍යා තාම යූස් කරන්නෙ. ඉතින් ඕකේ ෆේස් බුක්ද, ඉන්ස්ටග්‍රෑම් ද, ස්නැප් චැට්, ටික්ටොක් විතරක් න්වෙයි ටෙලිග්‍රෑම් වගේ ඇප්ස් එහෙමත් තිබුනා.

කාව්‍යා ටෙලිග්‍රෑම් වල ඉඳියෙ තමන් යන උසස් පෙල පංතියක සර් කෙනෙක් හදපු ටෙලිග්‍රෑම් ගෘප් එකකට ජොයින් වෙන්න වුන නිසා ඔය ටියුට්ස්, අරව මේවා, ක්ලාස් එකේ විස්තර එහෙම කතාකරන්න.අනික් එක ටෙලිග්‍රෑම් කියන්නෙ අනිත් මැසෙන්ජර් ඇප්ස් වලට වඩා සේෆ් කියල කට්ටිය කිව්ව හන්දා ඕකෙ බයවෙන්න දෙයක් තිබුණෙත් නෑ.

“ඒ මැසේජ් එක එනකම් මං හරි සන්තෝසෙන් ජීවත් වුණේ”

කාව්‍යා මෙහෙම අපි එක්ක කියන්න ලොකු හේතුවක් තිබුණා.

“මේ ඔයාගෙ ෆෝටෝ එකක් නේද එඩිට් කරලා තියෙන්නෙ?’ කියලා මැසේජ් එක එද්දි කාව්‍යා හිටියෙ පාඩම් කර කර. හැන්දෑ වරුවෙ පාඩම් කර කර නිස්කලංකෙ උන්නු තමන්ගෙ ඔලුවට මේ වගේ හෙණයක් කඩාගෙන පාත්වෙයි කියලා ඇත්තටම කාව්‍යා හිතලා තිබුණෙ නෑ. හෙශානි වීරතුංග කියලා තව ගෑණු කෙනෙකුගෙ නමකුයි ප්‍රොෆයිල් පික්චර් එකයි තිබුණ අකවුන්ට් එකකින් ඇවිත් තිබුණ මැසේජ් එකේ තිබුනෙ තමන්ගෙ ටෙලිග්‍රෑම් ඩීපී එක AI තාක්ෂණය යොදාගෙන වෙනස් කරපු නරක පින්තුරයක්.

“මට හිතාගන්න බැරිවුණා මම මොකද්ද කරන්න ඕන කියලා. මට දැනුනෙ මාව ගල්වුනා වගේ. ඒ ෆොටො එකේ හිටියෙ මම නෙවෙයි කියන එක මම හොඳටම දැනගෙන හිටියා. ඒ ෆොටෝ එකට දාලා තිබුණෙ මගේ ටෙලිග්‍රෑම් අකවුන්ට් එකට දාල තිබුණ ප්‍රොෆයිල් පික්චර් එකේ තිබුන මගෙ මූන වුනාට ඒකෙ තිබුන ඇඟ මගේ නෙවෙයි. කවුරුහරි ඒක AI කරලා ජරා විදියට හදලා”

“ඔයා ගෙදරට කිව්වෙ නැද්ද?”

“මං බය වුණා මම කොච්චර කිව්වත් ඒ ඉන්නෙ මම නෙවෙයි කියලා මම කොහොමද දන්නෙ අපෙ අම්මලා ඕව විශ්වාස කරාවිද කියලා. එයාලා AI වගේ දේවල් ගැන දන්නෙත් නෑ. අනික ඉස්කෝලෙ යාලුවො, ක්ලාස් වල අය, මාව දන්න අය මොනව කියාවිද කියල හිතාගන්න බැරුව මම හිටියෙ. මට ඇත්තටම මැරුණානම් හොඳයි කියලා හිතුනා”

“ඊටපස්සෙ ඔයා මොකද කරේ?”

“මම මට ෆොටෝ එක එවපු කෙනාගෙන් ඇහුවා එයාට ඒ ෆොටෝ එක කොහෙන්ද හම්බුනේ කියල. මට බය හිතුනෙ නෑ එයා එක්ක කතා කරන්න. එයා ගෑණු කෙනෙක් හන්දා. එයා කිව්ව එයා ඉන්නා ගෘප් එකක ඒ ෆොටෝ එක ශෙයාර් වුනා කියල මගෙ ප්‍රොෆයිල් එකේ යූසර් නේම් එකත් එක්ක. තව කට්ටිය මට ඒ ෆොටෝ එක එවලා කප්පං එහෙම ඉල්ලාවි කියල හිතලා තමයි එයා මට මැසේජ් එක දැම්මෙ කියලා”

“ඊට පස්සෙ? ඔයා ඇහුවෙ නැද්ද එයාගෙන් එයා ඇයි මෙච්චර ඔයාට මේ වෙච්ච දේ ගැන දුක්වෙන්නෙ කියලා”

“මං ඇහුව. එතකොට එයා කිව්වා. එයාටත් ඒකම වෙලා තියෙනවා කියල. එයාගෙ ෆොටෝ එකකුත් ඒ විදියට වෙන කාගෙ හරි ඇඟක් දාල්ලා ජරා විදියට හදපු වෙලාවක එයාට උදව් කරලා තියෙන්නෙ රජයේ ආයතනයක්. එයාලා ඒ වගේ ලමයින්ගෙ ජරා ෆොටෝ හැදුවම ඒව අයින් කරල දෙන තැනක් කියල. එයා මට ඒ ආයතනයේ ටෙලිග්‍රෑම් යූසර් නේම් එකත් එව්වා”

“ඊට පස්සෙ ඔයා එයාලට කන්ටැක්ට් කරගත්තද?”

“ඔව්, මං එයාලට කතා කරල අර අක්කා මට එව්ව ෆොටෝ එකත් එයාලට යවලා කිව්වා මෙහෙම මගෙ නරක ෆොටෝ එකක් AI වලින් හදලා තියෙනව. මට ඒක අයින් කරගන්න උදව් කරන්න කියලා”

“ඊට පස්සෙ?”

“මම එයාලට කතාකරල විස්තරේ කිව්වම එයාලා කිව්ව ඒ ෆොටෝ එකේ ඉන්න මමම කියල අයිඩෙන්ටිෆයි කරගන්න මගෙ අයි ඩී එකේ ෆොටෝ එකක්. මම අයිඩි එක අතේ තියාගෙන ඉන්න ෆොටෝ එකක්. මගේ ඉස්සරහින්, පැත්තෙන් මූණ පේන විදියෙ ෆොටෝ එවන්න කියලා”

“ඉතින් ඔයා යැව්වද?”

“ඔව් මට ඕන වුණේ මගේ අර හදපු ෆොටෝ එක අයින් කරගන්න විතරයි. මං බය උනා ඉස්කෝලෙන් ඔය විත්තිය දැනගත්තොත් මට ආයෙ ඉස්කෝලෙ යන්නත් බැරිවෙයි කියලා”

“ඔයා ඇයි මේ කතාකරන්නෙ රජයෙ ආයතනයකටමයි කියලා විශ්වාස කරේ?”

“එයාලගෙ ටෙලිග්‍රෑම් අකවුන්ට් එකේ තිබුන නමත් එහෙම රජයේ එකක නමක්. එයාලා ඩීපි එකට දාගෙන තිබුනෙත් ඒ වගේම ෆොටෝ එකක්. අනික අර අක්කත් කිව්ව හන්ද මට ඒක අවිශ්වාස කරන්න හේතුවක් තිබුනෙ නෑ. ඊටත් වඩා මම බයෙ කලබලෙන් හිටියෙ ඒ වෙලාවෙ. මට වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ”

“හරි, දැන් ඔයා ඊට පස්සෙ ෆොටෝ යැව්වම එයාල කිව්වද ඔයාගෙ අර හදපු ෆොටෝ එක අයින් කරලා දෙන්නම් කියලා?”

“නෑ”

“එහෙනම්/”

“එයාලා කිව්වා ඒ හදපු ෆොටෝ එකේ තියෙන ඇඳුම් නැති ෆොටෝ එකේ ඉන්නෙ මම නෙවෙයි කියලා එයාලට හරියටම පිලිගන්න මම මගේ ඇත්තටම ඇඳුම් නැති ෆොටෝස් එවන්න ඕන කියල”

“ඉතින් ඔයා යැව්වද?”

“ඔව්”

ගැහැණු ළමයෙක්ට විතරක් නෙවෙයි ගැහැණියකට වුණත් ජීවිතේ වැරදෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ. සමහර වෙලාවට අපි වැටෙන්නෙ කවදාවත් අපි වැටෙයි කියලා හිතන්නෙ නැති වලක වෙන්න පුලුවන්.

කාව්‍යාට වුණෙත් ඒකෙ. තමන්ගෙ තාක්ෂණය උපයෝගී කරගෙන හදපු ව්‍යාජ අසභ්‍ය පින්තුරයක් අන්තර්ජාලයේ සැරිසරන බව දැනගත්තම කාව්‍යා හරියට කලබල වුණා. ඒ කලබල වීමම කාව්‍යාව නොහිතපු ප්‍රශ්නෙකට ඇදලා දාන්න හේතුවක් වුණා. කාව්‍යා දන්නෙ නැති උනාට ගැහැණු කෙනෙක් විදියටත් රජයේ ආයතනයක් විදියටත් ව්‍යාජ ටෙලිග්‍රැම් අකවුන්ට් දෙකක් හදාගෙන කාව්‍යා එක්ක දිගටම කතා කරල තිබුනෙ කාව්‍යා සහභාගි වුණ උපකාරක පංතියක පිරිමි ළමයෙක්. ඒ උපකාරක පංතියෙ කාව්‍යා සම්බන්ද වෙලා උන්නු ටෙලිග්‍රෑම් චැට් එකක උන්නු ඒ පිරිමි ළමයා මේ හැමදේම කරලා තිබුණෙ කාව්‍යා කියන්නෙ කවුද කින්ද මන්ද කියලා හොඳටම දැනගෙන.

තරුණ වයසෙ දරුවො අතේ ස්මාට් ජංගම දුරකතනයක් තියන්න අද කාලෙ දෙමව්පියන් දෙපාරක් හිතන්නෙ නෑ. දරුවො හැම කෙනාම ඒ දුරකතන භාවිතා කරල වැරදි දේවල් කරනවා කියල අපි කියන්නෙ නෑ. ඒත් දරුවන්ට වැරදෙන්න, වරදින්න හේතුවෙන දේවල් මේ සමාජ මාධ්‍ය ඔස්සේ මිතුරු වෙසින් ලං වෙන්න පුලුවන්.

මේ වගේ වෙලාවක දරුවන් විසින් කරන්න ඕන දේ තමයි කලබල වෙලා තීරණ ගන්න කලින් තමන්ගෙ දෙමව්පියන්, විස්වාසවන්ත වැඩිහිටියන් දැනුවත් කරන එක. ඒ වගේම දෙමව්පියන් විසින් කල යුතු දේ තමයි ජංගම දුරකතන ඔස්සේ තමන්ගෙ දරුවන්ට මිතුරු වෙසින් ලඟාවෙන පුද්ගලයන් ගැන දැනගන්න එක. ඒ වගේම තමයි තමන්ගෙ දරුවො ස්මාජ මාධ්‍ය ඔස්සේ බෙදා හදාගන්නා දේවල්, පින්තූර ආදිය ගැන හොයා බලන එක.

මේ වගේ ගැටලුවක් වුණොත් අපි මොකද කරන්න ඕන කියන ගැටලුව ඔබටත් තිබෙන්න පුලුවන්. එවන් අවස්තාවක ඔබට ගත හැකි ක්‍රියාමාර්ග වන්නේ:

1.      තර්ජනය කරන කෙටි පණිවිඩ, දුරකතන ඇමතුම්, අසභ්‍ය දර්ශන වල ජායාරූප, වෙබ් අඩවි වල පල කර ඇති දර්ශන/තොරතුරු වල URL, Screenshot ආදී සාක්ශි සමග ළඟම ඇති පොලිසිය වෙත යොමුවන්න

2.      තර්ජනය කරන පුද්ගලයාගේ තොරතුරු නිවැරදිව දන්නේ නම් පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කරන වෙලාවේ ඒ තොරතුරු ලබා දීමට යොමුවන්න

3.      වයස අවුරුදු 18ට අඩු නම් ජාතික ළමා  ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් සඳහා Hotline අංක 1929 ඔස්සේ යොමුවන්න (පිරිමි/ගැහැණු දරුවන් දෙපාර්ශවයම වෙනුවෙන්)

4.      කාන්තාවන් මුහුණ දෙන මෙවන් ගැටලුකාරී තත්ත්වයන් වලදී ළමා හා කාන්තා කාර්‍යංශයේ උපකාරක සේවා අංක 109 ඔස්සේ යොමුවන්න නැතිනම් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ Women Health Line අංකය වන 1938 වෙත යොමුවන්න

5.      අසභ්‍ය වෙබ් අඩවිවල ඔබගේ ජායාරූප හෝ වීඩියෝපට ආදිය උඩුගත කරගත තිබෙන විටෙක එය ඉවත් කරගැනිමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ආයතනයේ උපකාරක සේවා අංකය වන 101 වෙත යොමුවන්න

සයිබර් අවකාශයෙන් මිදුණ ජීවිතයක් ගැන මේ කාලෙ අපිට හිතන්නවත් බෑ.

හැබැයි පරිස්සමෙන් Surf කරන්න – Smart විදියට ජීවත්වෙන්න!

තොරතුරු මූලාශ්‍ර: ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේශ්ට තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු – චරක දමුණුපොල මහතාගෙන්

Related Articles

Don't Miss


Latest Articles