“මට දේවල් කිසිම දෙයක් ඇත්තටම මතක නෑ. කොටින්ම ඔයාගෙ නංගි කියනකම් මට ඔයාගෙ නමවත් මතක නෑ. එයා කිව්වට පස්සෙවත් මට ඒක මතක් වුණේ නෑ. මං දන්නෙ නෑ මං එහෙම අහන එක හරිද කියල ඒත් ඔයාට පුලුවන්ද මං හින්දා ඔයා එක දවසක් හරි විඳෙව්වා නම් මට ඒකට සමාව දෙන්න?”
නෙවින් ඇහුවේ නුවර වැව ඉස්සරහ බංකුවක වාඩි වී නිසසල නුවර වැව දිහා බලාගෙන ඉන්න ගමන් ය. බංකුවේ තමන්ට එහා පැත්තෙන් වාඩි වී උන්න, බංකුව මත ඔහේ වැටී තිබුණ ශාර්වරීගේ අත නෙවින්ගේ අත මත පැටලි තිබුණි.
“ඔයාට මාවයි, ඒ ඉස්සර දේවලුයි අමතක වෙච්ච එක වුණේ ඔයාගෙ වරදකින් නෙවෙයිනෙ. එහෙම එකේ මම කොහොමද කියන්නෙ ඔයාට සමාව ඉල්ලන්න කියල. නොකරපු වරදකට සමාව ඉල්ලන්නෙවත් සමාව දෙන්නෙවත් කොහොමද?” ශාර්වරී නුවර වැව දිහා එක එල්ලේම බලාගෙන ඉන්න නෙවින් දිහා බලාගෙන කිව්වාය.
“මට ඔයාගෙන් දෙයක් අහන්න ඕන”
“අහන්න”
“ඔයාට ඔක්කොම අමතක වෙච්ච එක ඇත්ත. හැබැයි ඔයා ලංකාවෙ මිනිස්සු අඳුරන කෙනෙක්නෙ. ඇයි ඔයාගෙ අක්කලවත් ලක්ශාන් අයියලවත් ඔයාට වෙච්ච දේ ගැන නිව්ස් වලටවත් කිව්වෙ නැත්තෙ?”
“නෑ ඇත්තටම අක්කල ලක්ශාන්ල කියල තිබ්බා. ඒ කිව්වෙ මම වැඩ කරපු මොඩ්ල් ඒජන්සි එකට එහෙම එයාලා ඉන්ෆෝම් කරල තිබ්බා. ඔෆිස් එකේ අයටත් ඉන්ෆෝම් කරල තිබුණා. හැබැයි ඒක නිව්ස් එකක් කරන්න එපා කියලා තිබ්බෙ මට ඇත්තටම මුකුත් මතක නෑ කියන එක එලියට දාන එක පොඩ්ඩක් රිස්කි දෙයක් වෙන්න පුලුවන් නිසා. ඩොක්ටර්ස්ලා කියලා තිබුනා මම මෙන්ටලි ආයෙ රිකවර් නොවුනත් ෆිසිකලි ඉක්මනට රිකවර් වෙන්න ඉඩ තියෙන නිසා කලබල වෙන්න එපා කියලා.
අනික ඇත්තටම අක්කල එහෙම කරපු එක ගැන මම සන්තෝස වුණා. මොකද එහෙ මිනිස්සුත් “අනේ මෙයාට මුකුත් මතක නෑ” කියල මම දිහා අනුකම්පාවෙන් බලද්දි මිනිස්සු ගොඩක් ලංකාවෙ ඉඳල මට ඕකට නිතර නිතර කතා කරානම් මට ඇත්තටම ටිකක් දරාගන්න අමාරු වෙන්න තිබුණා. අක්කල එහෙම ඩිසිශන් එකක් ගත්ත එකෙන් ලොකුම අසාධාරණය වුණේ ඔයාට. ඔයාට මං ගැන මුකුත්ම දැනගන්න ලැබුනෙ නැති එක, මම ඔයාව අතෑරලා දාන්න ඇති කියල හිතුව එක එහෙම වරදක් තමයි, ප්‍රශ්නයක් තමයි. ඒත් දැන් ඉතින් අපිට ඒක වෙනස් කරන්න විදියක් නෑනෙ නේද?”
“ඔව්, නෑ මං එහෙම ඇහුවෙ ඇත්තටම මට ඒක ගැන දැනගන්න ඕන වෙච්ච හන්දා. ප්‍රසිද්ධ මනුස්සයෙක්ට ඉතින් දෙයක් උනාම ඉක්මනට ඕක නිව්ස් එකක් වෙනවනෙ. ඒකයි. මං ඇත්තටම දන්නෙ නෑ වුණ දේ මොක උනත් මම ඒක ගැන වැරදියට හිතාගෙන පසුගිය මාස ගාණක් දුක් වින්ද එක මගෙ පැත්තෙන් සාධාරණද අසාධාරණද කියලවත්” කියා ශාර්වරී හෙලූ සිනාවේ ඇත්තටම තිබුණේ අනුකම්පාව මුසු වෙච්ච අසරණකමකි. ඒ සිනාව ඇවිත් හදවත රිද්දුවත් තමන් එයට ප්‍රතිචාර දක්වන්න ඕන කුමනාකාරයෙන්ද, අතීතයේ උන් නෙවින් මෙතන උන්නා නම් ඔහු කුමනාකාරයෙන් ප්‍රතිචාර දක්වාවිද කියා නොදන්න නිසාම නෙවින් කලේ තමන්ගේ අතේ පැටලී තිබුන ශාර්වරීගේ අත හීන් සැරේ අත ගෑ එකය.
“සාධාරණ නෑ නංගි. කොහොමද නේද එහෙම තමන් කිසිම වරදක් කරලා නැතුව විඳවන්න වෙනවා කියන එක, ඊටත් වඩා ලොකුම වේදනාව තමන් ආදරේ කල මනුස්සය තමන්ව රවට්ටල හැංගිලා ගියා කියන එක. එහෙම ෆීලින්ග් එකක් සාධාරණයි කියල කියන්න අපිට බෑ නේද?
මං දන්නෙ නෑ නංගි ඇත්තටම මට ඔයාව අර විදියෙ හීනයක් වගේ දැක්ක එක හරි කොච්චර දෙයක්ද කියන එක විතරයි ඇත්තටම මට මතක තිබ්බෙ. මං දන්නෙ නෑ එහෙමවත් නොවුනනම් මම ඔයාව දන්නෙත් නැතුව ඔයා මං ගැන ඇත්ත දන්නෙත් නැතුව අපි දෙන්න දෙතැනක දුක් විඳිනවා නේද? වෙච්ච දේවල්. ඒ වෙච්ච දේවල් හින්ද හිත රිදිච්ච ඒව ඔක්කොම ඇත්ත. මම කියන්නෙ නෑ ඒව අමතක කරල අපි අලුතෙන් ආයෙ පටන් ගමු කියල. ඔක්කොම අමතක උනාට පස්සෙ ජීවිතේ අලුතෙන් ආයෙ පටන් ගන්න එක කොච්චර අමාරුද කියන මටත් දැන් තමයි තේරෙන්නෙ. ඒ නිසා මං කවදාවත් ඔයාගෙන් ඒ ඉල්ලීම ඉල්ලන්නෙ නෑ.
මං ඔයාට කොච්චර ආදරේ කරාද කියන්න මම දන්නෙ නෑ නංගි. මට හැමදේම අමතක වෙලා තිබුණ වෙලාවක උනත් ඔයාව අර විදියට මතක් වෙන්න ඇත්තෙ සමහර විට ඒ අපි දෙන්න අතරේ තිබුණ ආදරේ එච්චර ඩීප් හන්දා වෙන්නැති. මං දන්නෙ නෑ මං මෙහෙම කියන එක හරිද කියලා, ඒ උනාට ඔයා කැමති නම් අපි ආයෙ ආදරේ කරන්න උත්සහ කරලා බලමුද?”
නෙවින් එහෙම කියද්දී තමන් ඒකට උත්තර දෙන්න ඕන කොහොමද කියන එක ගැන ඇත්තටම ශාර්වරීට හිතාගන්න පුලුවන් උනේ නැත. ඒ වනාහී හැඬිය යුතු ඉල්ලීමක්ද සිනාසිය යුතු ඉල්ලීමක්ද කියන එකවත් ශාර්වරී දැනගෙන උන්නේ නැත. නෙවින් කවදාවත් තමන්ට නංගී කියා ඇමතුවේ නැත. ඔහු හැමදාම තමන්ව ඇමතුවේ ශාරා හෝ බබා කියාය. එහෙම එකේ අද මේ ඇමතුමේ හිඳ වෙනස් වූ බැඳිමක් අලුතෙන් පටන් ගන්න එක කොච්චර දුරට පහසු දෙයක් වේද, සාර්ථක වේද කියන ගැටලුව ශාර්වරීට තිබුණාය.
“මට ඔයාට ආයෙ අලුතෙන් ආදරේ කරන්න දෙයක් නෑ. ඔයාට මතකද කියන්න මම දන්නෙ නෑ. ඔයාට සමහරවිට අමතක ඇති. ඒ උනාට අපි දෙන්න යාලුවෙච්ච දවසෙ රෑ ඔයාගෙ කාරෙක ඇතුලෙ ඉඳගෙන මම කිව්වා ඔයා කවුරු උනත් මට කමක් නෑ. මං ආදරෙයි. මං දන්නෙ එච්චරයි කියලා. ඒක එදා මෙදාතුර, කොටින්ම ඔයා මාව රවට්ටල ඇති කියල හිතපු කාලෙවත්, ඔයා ආපහු ඇවිත් ඔයාට කිසිම දෙයක් මතක නෑ කියල දැනගත්ත කාලෙවත් වෙනස් වුණේ නෑ. මට ඔයාට අලුතෙන් ආදරේ කරන්න පුරුදුවෙන්න දෙයක් නෑ. ඔයාට පුලුවන් නම් විතරක් ආදරේ කරන්න.
ඔයාට කවදහමහරි හිතුනොත් මට ආදරේ කරන්න බෑ, එහෙම නැත්තම් ඔයාට මාව ගැලපෙන්නෙ නෑ කියල එදාට ඔයාට පුලුවන් මාව අමතක කරන්න. හැබැයි ඒක මට කියලා කරන්න. මට හංගලා, මගෙ හිත රිදේවි කියලා මට නොකිය ඉන්න එපා. මම හිතන්නෙ මම දැන් ඉන්නෙ ඕනම දෙයක් දරාගන්න පුලුවන් තැනක නෙවින්. ඒකෙන් කියන්නෙ මම අඬන එකක් නෑ, දුක්වෙන එකක් නෑ කියල නෙවෙයි. හැබැයි අර ඔයා මාව දාලා ගියා කියල මම හිතන් උන්න කාලෙ වගේ මැරෙන්න වගේ අදහස් දැන් මගෙ හිතට එන්නෙ නෑ. මම ඒ ස්ටේජ් එක පහු කරේ අමාරුවෙන් උනත් මං සන්තෝසයි එහෙම ස්ටේජ් එකක් වැරදීමකින් හරි පහුකරගන්න පුලුවන් වෙච්ච එක ගැන’
“ඔයා හිතන්නෙ අපි ආයෙ මේ සම්බන්ධෙ පටන් ගන්නවනම් පටන් ගන්න ඕන නතර කරපු තැනින්ද? එහෙම නැත්තම් අලුතෙන්ද?” නෙවින් ඇහුවේ වඩා ගැඹුරු හඬකිනි. ඒ ගැඹුරු හඬ අතීතයේ දිනක අවස්තා කිහිපයක හිත සනසන්නත්, තිගස්සන්නත්, කිතිකවන්නත් හේතුව වෙච්ච බව මතක තිබුණ මුත් ශාර්වරී ඒ මතකය දිගේ ආපස්සට යන්නට හිතුවේ නැත. මොකද ඒ මතක දැන් මතක තමන්ට පමණකි.
“නතර කරපු තැන” මතකයත් අයිති තමන්ට පමණකි.ඒ මතකය ඒ මොහොතේ වඩා සුන්දරව දැනුනත් නෙවින් තමන්ව රැවැට්ටුවා යැයි සිතූ දිනෙක හිත කීරිගස්සන්න හේතුවක් වුනත් තමන් කිසිම දවසක ඒ මොහොතට වෛර කලේ නැති බව ශාර්වරී මතක් කරගත්තාය. එහෙත් ඒ “නතර කරපු තැන” ගැන නෙවින්ට කීම ඔහු විසින් “තමන් ඔහුට බොරුවක් කියා ඔහුව අල්ලගන්න කරන රඟපෑමක්” විදියට නෙවින් දකීවිය කියන බිය ඇත්තටම ශාර්වරීගේ හිතේ තිබුණාය.
“නතර කරපු තැනින් පටන් ගන්න නතර කරපු තැන ඔයාට මතක නෑනෙ නෙවින්. අපි ආයෙ අලුතෙන් පටන් ගමු” කියා ශාර්වරී කිව්වේ ඒ හන්දාය.
“සමහරවිට මේ පතොක් පැලේ ඔයාගෙ සීතල, සැපවත් ජීවිතේට නොගැලපෙනවා කියන එක ගිය පාර නොහිතුනාට ඔයාට මේ පාර හිතේවි නෙවින්” කියන කොටස වචන නොකරත් ශාර්වරී ඒ වචන හිතෙන් හිතුවාය.