රන් මල් දම් – 64

ඩයස්ගේ විරෝධය නොතකාම මන්දාරම් නිවෙස බලා පිටත් වූයේය. නිම්නාවී කිසිත් නොපවසා ගල් ගැසී මෙන් උන්නාය.

” හෙට මේ පැත්තේ එන්න පුතා එහෙනම් …ලොකේශන් ශෙයාර් කරගෙනම යන්න නිම්නාවීට …”

” හරි අංකල් …”

මන්දාරම් නිම්නාවි දෙස යන්තමින් බලා හිස සැලුවේය. නිම්නාවී එය පිළිගත්තේය. ඩයස් කිසිවක් නොදැක්කා සෙයින් නිම්නාවී සමඟ නිවසට ඇතුලු වූයේය. සිදුව ඇත්තේ කුමක්දැයි ඩයස්ගෙන් විමසන්නට විදියක් නොවූ නිසාම රාජිකා පසන්ට ඇමතුම් කිහිපයක්ම ගත්තේය. එහෙත් ඇයට පිළිතුරු ලැබුනේ නැත.

” අක්කේ .. මම සෙත්ට ආදරෙයි කිව්වා…”

ඕ රැය කියා නොසිතා ඇමතුමක් ගෙන රන්දුලාට කීවාය. ඇයට ඒ උත්කර්ෂවත් විනාඩි කිහිපය තනිව සඟවාගන්නට හැකියාවක් වූයේම නැත. දිලුම්ගේ සැකයෙන් මන්දාරම් යනු නිම්නාවීගේ පාසැල් පෙම්වතා වග දැන උන් රන්දුලා ඒ බව නොදන්නාක් මෙන් හැසිරුණාය.

” කාට ආදරේ කිව්වා ..?..”

නිම්නාවී  දෙතොල් එකිනෙක  පටලාගෙන කල්පනා කලාය. වචන වැරදී හමාරය.දැන් කල යුත්තේ එවැන්නක් නොකීවා සේ හැසිරීමය.

” මන්දාරම්ට …”

” කලින් දැන් කීවේ වෙන මොකක් හරි නේද ?…”

” පිස්සුද ඔයාට ?.. ඒකම තමයි කිව්වේ ..”

නිම්නාවී රන්දුලාට කිසිත් විමසන්නට නොදී සියල්ල විස්තර කලාය. නිම්නාවී මන්දාරම්ට ප්‍රේමය ප්‍රකාශ කලාය යන උත්කර්ෂය වැඩි වෙලා විඳින්නට රන්දුලාට ඉඩ නොලැබුනේ සිදුවන්නට ගොස් තිබූ කරදරය නිම්නාවී පැවසූ පසුය. නිම්නාවීට ඒ කලබලය නොපෙන්වූ රන්දුලා, ඇමතුම විසන්ධි කර පසු වේලාව පිළිබඳවද නොසිතාම ඒ ගැන දිලුම්ව දැනුවත් කලාය.

” ඔයා තාත්තාට කතා කරලා බලන්න ..”

රන්දුලා යලි  දිලුම්ව සන්සුන් කරවමින් එලෙසද කීවාය. දිලුම් වහාම පියා ඇමතුවේය.

” කලබල වෙලා ඔය ගිය වැඩේ දාලා එන්න ලෑස්ති වෙන්න එපා  පුතේ … මම ඉන්නවනේ .. වික්‍රම අංකල් හෙට මෙහෙ එනවා කිව්වා.. එතකොට අපි තව කතා කරලා බලන්නම් .. කොහොමටත් මේක පස්සේ  ඉන්නේ අර හාදයා බව මේ වෙනකොටත් පොලිසියට වමාරලා ඇත්තේ අල්ලගත්ත උන් .. එතකොට ඌ කොටු වෙනවනේ.. එතනින් පස්සේ දේවල් බලාගන්න පුලුවන් ..”

” අක්කාව එලියට එක්කගෙන යන්න එපා තාත්තේ …”

දිලුම් වඩා බරසාර සහ වගකීම් සහගත වෙමින් කීවේය.

ඔහු මන්දාරම් අමතන විට මන්දාරම්  නිවෙසට ළඟා වී නිම්නාවී අමතන්නට සූදානම් වූවා පමණය.

” මං දන්නේ නෑ කොහොමද මේකට ණය ගෙවන්න ඕනි කියලා මන්දාරම් … අනෙක් දේවල් මම දන්නේ නෑ ..උඹ මගේ සහෝදරයා දැන් ..ජීවිතේ මගේ අක්කා වෙනුවෙන් ඒකල දේම ඇති උඹ මගේ සදාකල් සහෝදරයෙක් වෙන්න … …. “

දිලුම්ගේ හඬ බිඳී ගොස් තිබුණේය. මන්දාරම් ඔහු අස්වසමින්   තමා කල සියල්ල නිම්නාවී වෙනුවෙන් දරනා වටිනාකම් වෙනුවෙන් බවත් කීවේය. දිලුම් ඇමතුම විසන්ධි කලේ, පුහුණුව අවසන් කල වහාම මන්දාරම් හමුවන්නට එන බවට පොරොන්දුවෙනි.

එක් වරක් අක්කා සමඟ තමා දන්නා ඇගේ රහස පිළිබඳව කතා බහ කර මන්දාරම්ට ඒ පිළිබඳව පවසන්නට දිලුම් තීරණය කලේය.

” ඔයා ඔය ආදරේ කතාව සදාකාලිකවම හංගගෙන ජීවත් වෙන්න හිතනවා නම් අක්කේ, මම ඒකට ඉඩ දෙන්නේ නෑ ඔයාට ..”

දිලුම් එලෙස අවධාරණය කරගත්තේය.

නිම්නාවී මන්දාරම්ගේ ඇමතුම පිළිගත්තේ උණුසුම් සමනල් හැඟුමන් ඕ වටා විසිරෙද්දීය.  හෙට දිනය සහ ඉන් ඉක්මෙන තවත් දිනයක් වැඩිපුර ජීවත් වන්නට දැන් ඇයට අවැසිය.

” ගෙදර ආවා නිම්නාවී.. විනාඩි දහයක් විතර .. දිලුම් කතා කලා වාහනෙන් බහිනකොටම …”

මන්දාරම් නිම්නාවී කිසිවක් පවසන්නට පෙරම කීවාය. නිම්නාවී හිස සැලුවාය. කොපුල් පුරා පිරෙමින් තිබුණේ කෝල කිතියක ආහ්ලාදජනක හැඟීමක් ය.

” ඉතින් ….”

මන්දාරම් නිම්නාවීගේ නිහැඬියාවට හිස් ඉඩ නොතබමින් ඇසුවේය.

” අක්කාට කතා කලා …”

නිම්නාවී කීවාය.

” අක්කා ?…”

” මල්ලි යාලු වෙලා ඉන්න ගෑණු ළමයා …. එයා තමයි මට ඉන්න යාලුවා …”

නිම්නාවී ඉතා පහළ ස්වරයක් ආරූඪ කරගෙන කීවාය. මන්දාරම් ඒ අඩු හඬ ඇසුවේද හිත තුල නැඟෙන සිනහ වැසි එක්කය. ඇයට එතරම්  පහළ ස්වරද ඇතැයි දැන් දන්නේය.

“ඉස්සරහට යාලුවෝ ගොඩක් හදාගන්න පුලුවන් …”

මන්දාරම් අනාගතය පිළිබඳව සුන්දර සිතුවම් මැවීම ඇරඹුවේය. නිම්නාවී ඒ සුව සිහින මත ඉතා කැමැත්තෙන් වැතිරුණාය. ඒවායේ සුවැති බව ඇයට දැනෙන්නේය.

” අම්මාට මොකද කිව්වේ?…”

නිම්නාවී ඉන් පසුව විමසුවාය.

” අම්මා නිදි .. මම චානාට කියලා ආවේ ….”

මන්දාරම් කීවේය. ඉතා කෙටි වැකි වල ඇති තරමට හැඟීම් තැවරී තිබුණි.  වචන අතරට වන හිස් තැන් වලින් පවා දෙදෙනාම කියවා ගනිමින් උන්නේ මඟ හැරුණු යම් දේය.

” කීයේ ඉඳන්ද එතන හිටියේ ?…”

” එතනට එනකොට කොහොමටත් දහයට කිට්ටු ඇති …”

“එච්චර වෙලා බලාගෙන හිටියාද ?..”

” සමහර දේවල් වෙනුවෙන් බලාගෙන ඉන්න එක ඇති වෙන්නේ නැහැනේ නිම්නාවී .. මං එදත් කීවේ.. මම ආසයි බලාගෙන ඉන්න .. ඔයා එනකල් බලාගෙන ඉන්න එක ඒ ආසාවේ තරම වැඩි කරවන බව මම තේරුම් අරගෙන ඉන්නේ…”

ප්‍රේමය වචන වල තැවරීම කලාවකි. ව්‍යාජවද එය කල නොහැකිවා නොවේ. එහෙත්, හදවත පිරෙන සේ ප්‍රේමය දරා ගත් ගැහැණු සහ පිරිමි එ ප්‍රේමය වචන වලින් පිට දැමීම බලා සිටින්නන්ටද ප්‍රේමය ගැන විශ්වාස ඇති කරන්නේය.

බලා හිඳීම කොහොම දෙයක්දැයි නිම්නාවී තරමින් මන්දාරම් දන්නේ නැත. ඒ බලා හිඳීම සෙත් එනතුරු වීම කොහොමදැයි මන්දාරම් කිසිලෙසකින්වත් දන්නේ නැත. එහෙත්, බලා හිඳීම මෙතරම් බව කියන්නට වටිනාකමක් ඇති යමක් දැන් ඔහු දන්නා බව පැහැදිලිය.

” ඔව් .. ඔයා හරි … බලාගෙන ඉන්න එක එපාවෙන්නේ නෑ තමා සමහර වෙලාවට ..”

නිම්නාවී අවසන ඌණපූරණ තැබුවාය. මන්දාරම් එහි ඇගේ කතාව විමසීම එවෙලෙට යා කරගන්නට සිතුවේ නැත.

” හෙට පොලිසියට යන්න වේවි …”

ඔහු ඒ වෙනුවට කීවේය.

” ඔව් .. තාත්තා යාවි …”

” ඔයා ?..”

“තාත්තා කීවේ නෑ මට යමු කියලා…”

” හරි .. මං .. එන්නද උදේට ?…”

නිම්නාවී හිස සැලුවාය. දැනෙන සතුට වචනද ගිලී යන්නට සලස්වා ඇත.

” හෙලෝ …”

මන්දාරම් ඇගේ නිහැඬියාවට කොමාවක් දැම්මේය.

” හා .. එන්න … තාත්තා යන්න කලින් එන්න …”

ඕ එය අගට එලෙසින් කීවාය.

රැය ගෙවෙන්නට හෝරා කිහිපයක් තිබුණි . එහෙත් දෙදෙනාටම නින්දක් අවැසි වූයේ නැත. නිම්නාවී නින්දට වැටුණේ උදෑසන හයත් පසුවීගෙනය. සාලයේ ඇසුණු යම් කලබලයකින් ඕ වහා සයනයෙන් බැස කාමරයෙන් එබුණාය.

පොලිස් නිළධාරින් කිහිප දෙනෙකු සාලයේ සිටින බව පෙනෙද්දී ඕ සාලයට නොයා කුමක් සිදුවන්නට යන්නේදැයි විමසා බැලුවාය.

අම්මා පසෙක සිටින්නේ බියපත්ව බව පෙනෙද්දී ඒ කුමක් නිසාදැයි සිතා ගන්නට නොහැකිව ඕ අඩියෙන් මදක් එසවී බැලුවාය.

ඊළඟට ඇසුණේ ඇයට සිහිනෙන්වත් විශ්වාස කරගන්නට නොහැකි වූ යමකි.

“උන් හත් දෙනාම කියන්නේ එකම දේ මිස්ටර්  අලහකෝන්.. මිසිස් රාජිකා උන්ට කන්ට්‍රැක් එක දුන්නා කියලා… කොච්චර  ආයේ ආයේ ඇහුවත් උන් කියන සිද්දිය වෙනස් නැති එකයි ප්‍රශ්නේ …. මිස් නිම්නාවීව පසන් රණවීර ලඟට ගෙනිහින් දෙන්න කියලා රාජිකා මැඩම් ඕර්ඩර් එක දුන්නා කියලාමනේ කියන්නේ … ඒක අපිට සුලුවෙන් ගන්න පුලුවන් ප්‍රකාශයක් නෙවෙයි ..”

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles