ඔබ නිතරම පුරවාගන්නට උත්සාහ කල යුත්තේ හිස් කෝප්පයක් … 

එකමත් එක රටක සෙන් ජාතික ආචාර්යවරයෙක් හිටියා. මේ ආචාර්යවරයාගෙන් අධ්‍යාපනය හදාරන්න සිසුන් අතරේ තිබුණේ පුදුමාකාර තරඟයක්.  ඒක එහෙම වුනත් එක් වසරක එක් කාර්තුවක අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බඳවාගත්තේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි.

මේ අතරේ එම වසරේ අදාල ප්‍රාන්තයේ වැඩිම ලකුණු ලබාගෙන අධ්‍යාපනය හමාර කරපු තරුණයාටත් මේ සෙන් ආචාර්යවරයා ගැන අහන්නල් ලැබුණා. දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ආශිර්වාද අරගෙන ඔහු සෙන් ආචාර්යවරයා මුණ ගැහෙන්න ගියා. 

ආචාර්යවරයා ඔහුව ආදරෙන් පිළිගෙන අසුන් පැනෙව්වා. ඊට පස්සේ ඔහුට ඔහුව හඳුන්වා දෙන්න අවස්ථාව දුන්නා.

ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතපු තරුණයා ඔහුගේ සියළු හැකියාවන් විස්තර කලා. ඔහු හැසිරුණේ සියලුම අංශයන්හී බහුශ්‍රැතයෙකු පරිද්දෙන්. වයස විසි දෙකකට තමා නොදන්න දෙයක් නැති වග පැවසුවා. 

සෙන් ආචාර්යවරයා තරුණයාගේ කියවීම බොහොම උපේක්ෂාවෙන් අහගෙන හිටියා. ඊට පස්සේ අයෙකු ලවා තේ ජෝග්ගුවක් සහ අඬු කෝප්පයක් ගෙන්වා ගත්තා. තේ කෝප්පයේ කට ළඟටම තේ වත් කලා. ඊට පස්සේ තරුණයා දිහා බැලුවා.

“මේ ඉන්නේ ඔබ..”

ආචාර්යවරයා තේ කෝප්පය පෙන්වූවා. 

තරුණයා ඒ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.

ඊට පස්සේ ආචාර්යවරයා දිගින් දිගටම තේ කෝප්පයට තේ වත් කලා. ඒත් වුණේ තේ පිටතට ගලාගෙන ඉහිරිලා ගිය එක විතරයි.

“දැන් දැක්කා නේද දරුවා… මහන්තත්ත කමින් ඔබ පිරිලා බව සිතමින් අධ්‍යාපනය හදාරන්නට උත්සාහ කිරීමත් මෙන්න මේ වගේ… ඉහිරිලා යනවා පමණයි… ඔබ නිතරම පුරවාගන්නට උත්සාහ කල යුත්තේ හිස් කෝප්පයක් … විවෘත මනසකින් තමයි කරුණු සොයා යා යුත්තේ…”

තරුණයා සෙන් ආචාර්යවරයා ගේ දෙපා නැමැද්දා. අන් කිසිවක් ඉගෙන නොගත්තත් ජීවිතයට ඒ පාඩමම ප්‍රමාණවත් වග කිව්වා.

ජීවිතේ ඔබත් අමතක නොකලම යුතු දෙයක් තමයි ඒක. ඔබ කෙතරම් ප්‍රවීණයෙකු වුනත් ඔබ දැනුම සොයා යුත්තේ  නිහතමානි ලෙස. ඔබ සියල්ල දන්නා බව ඉතා තදින් සිටා ගනිමින් දැනුම සොයා යන්නට ගියොත් අනිවාර්යයෙන් ඔබ අසාර්ථක අයෙකු වනවාට සැක නැහැ.

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles