හද සාගරේ – 8

0
4268

“හෙලෝ” කියා දෙව්රම් ගේ හඬින් කියවුණු අකුරු දෙකේ  පුංචි වචනය, ආදියා ගේ හදවත විනිවිද ගමන් කොට නතර විය. ඇය යළි දුරකතන තිරය දෙස බැලුවේත් යහනේ හිඳගනිමින් අතින් මුව වසාගත්තේත් එකට ම ය.

“හෙලෝ… කවුද මේ…”

දෙව්රම් ගේ හඬ නැවත ද ඇගේ සවනින් රිංගා ගියේ ය. ආදියා තැති ගෙන සිටියේ ‘හෙලෝ’ යන වදන වුව ඇගෙන් පිටවීම ගැන ය. මෙතුවක් කිසි දාක මේ අංකයෙහි හිමිකාරිත්වය ගැන කිසිදු අදහසක් දෙව්රම් ට ලැබී නැත. ඔහු ඒ කවුදැයි විමසිලිමත් වීමට උනන්දු නොවීම ඊට ප්‍රධාන ම හේතුවයි. පෙර දවසක ඔහු මේ අංකයට පෙරළා ඇමතුමක් ගත් විට පිරිමි හඬකින් තණකොළ කැපීමක් ගැන කීවේ ය. නමුත් ඔහුගේ දුක නිවන්නට ලස්සන වචන වලින් පණිවිඩ ලියන්නේ එකී පුරුෂයා නොවන බවට අනුමානයක් දෙව්රම් ට විය. ඒ ගෑනු ළමයෙකු බව අද ඉඳුරා තහවුරු වූයේ ය.

ඒ හඬෙහි යම් හුරුපුරුදු බවක් වූයේ ද? නමුත් නිදිමත බවකින් වාගේ නැගුණු නිසාවෙන් ඔහු ට ඒ කව්දැයි පැහැදිලි වන්නේ නැත. තවද කියා අවසාන වූ අකුරු දෙකේ එක ම එක වචනයකින් කටහඬක් හැඳිනීම පහසු නැත. එබැවින් ඇයව දොඩමළු කරවීමට ඔහු උත්සාහ කළේ ය.

“ඔයා නිදාගෙනද මන්දා හිටියෙ. නින්ද කැඩුවනං සොරි”

හුස්ම නතර කරගෙන අසා සිටියා මිස ආදියා වදනක් හෝ නො බිණුවා ය.

“මට දැනගන්න පුළුවන්ද ඔයා කවුද කියල… නිතරම මේ නම්බර් එකෙන් කෝල්ස් එනව… ඉඳහිට ඔයා මෙසේජසුත් එවනවනෙ. දැනුත් එහෙම මෙසේජ් එකක් දැකල තමයි මං මේ කෝල් එක ගත්තෙ. ඉතිං කවුද ඔයා…”

හුස්මක් පවා ගන්නේ නැතිව ඈ ඔහු ගේ හඬ තුළ දිය වී යමින් සිටියා ය.

“හෙලෝ… හෙලෝ… හෙලෝ…”

ඇගේ මුණිවත බිඳින්නට දෙව්රම් කෙතෙක් උත්සාහ කළ ද කට ඇරියේ ආදියා නොවේ. අවසන ඒ උත්සාහය අතැර දුරකතන සම්බන්ධය බිඳ දමන්නට දෙව්රම් ට සිදු විය. දුරකතනය පසෙක ලූ හෙතෙම යහනේ වැතිරී සන්සුන් ව නිදි ලැබීමට සූදානම් වූයේ ය.

නමුත් ආදියා මේ වන විට සිය නින්දෙන් සම්පූර්ණයෙන් පිබිද සිටියා ය. යම් කිසි දාහයක් ද දැනෙන්නට වූයෙන් ඕ නැගිට ගොස් විදුලි පංකාව ක්‍රියාත්මක කළා ය. මේ දුරකතන අංකය ගැන දෙව්රම් ගේ විමසිල්ල යොමු වී ඇති බව දැන් පැහැදිලි ය. නමුත් ඒ සිම්පත මිල දී ගෙන තිබෙන්නේ තාත්තා ගේ නමට නිසා ඒ පැත්තෙන් ආදියා ව සොයා ගන්නට විදිහක් නැත. අනිත් අතට මේ සිම්පත දමාගෙන සිටිනුයේ පැරණි බොත්තම් දුරකතනයකට නිසා වට්සැප් ගිණුමක් නොමැත. ඇය මේ අංකය තබාගෙන සිටිනුයේ ගෘහස්ථ කටයුතු වලදී ඇමතුම් ගන්නටයි. ත්‍රීරෝද රියැදුරන් ගෙන්වාගන්නට, ගෑස් සිලින්ඩරය ගෙන්වාගන්නට, ඇගේ ස්මාට් දුරකතනයෙහි වන භාවිත අංකය දැනගත යුතු නැති අය වෙනුවෙන් ඇමතුම් ගන්නට ය. කොහොම බැලුවත් ඔහුට ඇය හැඳිනගත නො හැකි බැව් සිහි වී ආදියා ගේ මුහුණට සිනහවක් ආවේ ය. නිදි මත ද පලා ගොස් ඇති බව දැනුණ නිසා ඇය නිස්කාංසුවේ දෙව්රම් ට පණිවිඩයක් ලීවා ය.

“මාව හොයන්න මහන්සි වෙන්න එපා. මං කවුද කියල දැනගෙන ඔයාට වැඩකුත් නෑ. අනික මං ඉඳහිට කෝල් එකක් අරං ඔයාගෙ වොයිස් එක අහං ඉන්නව විතරයි. ඉඳහිට මෙහෙම අකුරු ටිකක් ලියල එවනව විතරයි. ඒකෙන් ඔයාට කිසීම කරදරයක් වදයක් වෙන්නෙ නෑ කියල මට විශ්වාසයි. මං කියල කෙනෙක් ඉන්නව කියල හිතන්නෙපා. මං කියල කෙනෙක් නෑ කියල හිතන එක ඔයාට වැඩිය පහසු වෙයි. හැබැයි ඔයා දුකෙන් ඉන්නවට මං කැමති නෑ. ඔයාගෙ හිනාව දකින්න මං හරීම කැමතියි. මේ ලෝකෙ මං දකින්න ආසම දේවල් දෙක තුන අතරින් එකක් තමයි ඒ හිනාව. ඒක නිසා ඔයා දිහා බලාගෙන මං මෙහෙම ඉන්නං. ඔයා ඔහොම ම ඉන්න”

එය ඔහු ගේ දුරකතන අංකයට යවා ඇය දෙතොල් තද කොට සිනහවක් පෑවේ හිතුවක්කාර මුරංඩු කෙල්ලක සේ ය. නිදන්නට සූදානම් වෙමින් සිටිය ද පණිවිඩයක සලකුණ ඇසුණු ගමන් දෙව්රම් දුරකතනය අතට ගෙන බැලුවේ ය. යටි හිතෙහි බලාපොරොත්තුවක් වූ පරිදි ම ඒ ඇයයි. අකුරු පේළි කියවාගෙන යත්දී මඳහස දිගට ම ඔහු ගේ මුහුණේ විය.

“අනේ මන්ද මේ ළමය මොනා කියනවද මොනා කරනවද කියල මට තේරෙන්නෑ”

ඔහු යළි නෙතු පියවාගත්තේ උඩු හිත එහෙම කොඳුරත්දීයි. කෙසේ වෙතත් ඉන් පසු නින්දක් යනු ආදියා ට නම් සිහිනයක් ම විය. සාරාධා ගේ සැමියා වන දිනේශ් ගේ බීමත් නො සරුප් වදන් ගේට්ටුව පැත්තෙන් ඇසිණ.

“කවුද යකෝ මේක වහපු එකා… දන්නැද්ද තොපි මං එනව කියල…”

ඔහු ගේට්ටුව ට හඬ නගා ගැසූයේ එවන් කෑගැසුමකිනි. නමුත් ඔහු ගෙදර පැමිණ නොමැති නිසා තාත්තා ගේට්ටුව අගුලු දමන්නේ නැති බව ආදියා දනී. දිනේශ් ගේ කෑගැසීමෙන් ද ගේට්ටුවට ගැසූ හඬින් ද නින්දකට පියවී යමින් තිබි ජිනාදරී ගේ ඇස් වහා විවර විය. දිනේශ් ගේ මේ නාඩගම නිසා හදවතින් වැඩි ම දුකක් විඳින්නේ ඇයයි. ඇගේ හදවත හැම මොහොතක ම ගින්දරක ය. දිනේශ් බීගෙන ඇවිත් කරන කෑකොස්සම අසල්වැසියන්ට ඇසීම ගැන මුල දී දැනුණ ලැජ්ජාව නො සලකා හරින්නට දැන් සිදු වී ඇත ද ඔහු ඇති කරනා ආරවුලකට නිශ්ශංක පැටලෙනු ඇත යන බිය තුන් තිස් පැයේ අළු යට ගින්දර සේ ඇගේ පපුව අවුළයි. බීගත් කල දිනේශ් පිස්සෙකි. යකෙකි. නිශ්ශංක ට ඒ  පිස්සු යකා මට්ටු කරන්නට ඕනෑ වී ද ඔහු ගේ ඇඟේ එල්ලෙන ජිනාදරී ඊට ඉඩ නොදී බැගෑපත් වෙයි.

“අනේ ඔයා පාඩුවෙ ඉන්න නිශ්ශංක. දිනේශ් ගැන දැන් අපි දන්නවනෙ නිශ්ශංක. ඔහෙ කෑගහල කෑගහල නිදාගත්තදෙන්. ඔයා ඕවට පැටලිලා කොහොමද… ඔය යකා මොකකිං හරි දමල ගැහුවොත් එහෙම… ඊටත් වැඩිය කේන්තියට ඔයාගෙ අතිනුත් මොනා වෙයිද කියන්න බෑනෙ. ඒක නිසා අපි ඉවසමු අනේ. මට අර පොඩි එකීටයි ඉන්නෙ ඔයා විතරනෙ දෙයියනේ. ඒක නිසා අපි ඉවසමු”

නිශ්ශංක ඉවසා ගන්නේ ඒ කිසිදු හේතුවක් මත නොවේ. ඔහු ට හිතෙන්නේ ම බීමත් දිනේශ් ට අත දිගහැර පහරක්  දෙකක් දී ඔය කටේ නරිවාදම් මට්ටු කරන්නට ය. ඒත් බැරිනම් ඇදගෙන ගොස් ගේට්ටුවෙන් එළියට දමා ආයේ මේ පැත්තේ පස් නොපාගන්නට වැඩ කරන්නට ය. නමුත් ඔහු එවැන්නක් කරන්නට අඩිය පෙරට තැබුවොත් ඊට පෙර මේ    අහිංසක ගැහැනිය සිහිසන් ව බිම ඇද වැටෙනු ඇත. නැතහොත් රුධිර පීඩනය වැඩි වී ජීවිතය කෙළවර කරනු ඇත. දිනේශ් ගේ හඬ ඇසෙත්දී ඇගේ සිරුර ගැහේ. ඇය ප්‍රාණ බියෙන් වෙව්ලයි. නිශ්ශංක තවමත්           වසන්නේ එබැවිනි.

“ගේට්ටුව වහළ නෑනෙ අනේ”

කියමින් සාරධා ගොස් දිනේශ් ව ඇතුළට ගත්තේ ය.

“වහල නැත්තෙ මොකද ය කෝ… දැන් තෝ ඇවිත් ඇරිය නෙවෙයිද ඔය… මේ ගෙදර එවුං දන්නැද්ද මං ගෙදර ආවෙ නෑ කියල… වහල දාන්නෙ… වහන්නෝනෙ ඕකුංගෙ මිණී පෙට්ටි…”

නිශ්ශංක වහා ඇඳෙන් නැගී සිටියේ ය. එකෙනෙහි ජිනාදරී ඔහු ගේ අතක  දෑතින් ම එල්ලුණා ය.

“ඕන එකක් කියෝපුදෙං. ඕකා ඔහොම කතා කරන්නෙම ඔයාව එළියට ගෙන්නෝගන්න. අපි නිදි වගේ ඉමු”

“මූ මේ මගෙ ඉවසීම පරීක්ෂා කරනවද කොහෙද ජිනා…මූගෙ ඔළුව පැලෙන්න ගහල පොලීසියට කතා කරන්න මට හිතෙනව”

“ඌගෙ ඔළුව පළල ඌ මළත් අපේ එකීනෙ කණවැන්දුං වෙන්නෙ නිශ්ශංක”

ජිනාදරී කතා කළේ හඬ පිටතට ඇහේවියි රහස් සරිනි. නිශ්ශංකගේ හඬ උස් වන විට පවා ඇය වෙව්ලයි.

“අපි නිදි වගේ ඉමු. අනේ  මගෙ හොඳ මහත්තයනෙ. මං කියන දේ අහන්නකො රත්තරනේ”

ඇය ඔය තරම් අයිසින් තවරන්නේ භීතිය වසාගන්නට බව දන්නා නිශ්ශංක ට, දිනේශ් ගේ වහසි බස් හමුවේ බීරි අලියෙකු සේ නිහඬ වෙනවා මිස වෙන කරන්නට දෙයක් නොවේ.

මෙහෙම කෑ කෝ ගැසීමක දී ආදියා හුස්මකින් පවා බාධාවක් වන්නට නොදී අසා හිඳිනුයේ අම්මලා ගේ කාමරයේ දොර විවර වනු ඇත්ද කියා ය. එසේ වූ හැම අවස්ථාවක ම ඇසිල්ලකින් ඇගේ කාමරයේ දොර ද විවර විය. නො එසේ ව අක්කා හා මස්සිනා අතරේ කුමක් සිදු වුණත් ඈ පිටතට එන්නේ නැත.

මෙහෙම දවස් ඔවුන් ගේ ජීවිත වලින් නින්ද උදුරාගෙන රාත්‍රිය දිගු කරයි. මේ මොන කරදරයක් ද කියා සිතෙනා වාර අනන්ත ය. නමුත් අක්කා නිසා ඉවසා ගන්නට ඇයට සිදු වේ. එහෙම දවසක උදයට අවදි වීම පහසු නැත. නමුත් රැකියාවට යා යුතු ය. දිනයක් හැර දිනයක් හෝ දකිනා දෙව්රම් ගේ සිනහව නිරුදක හිත් කතරට වැටෙනා එක ම වැස්ස වේ.

එදා දෙව්රම් ‘ගෝල්ඩන් ලීව්ස්’ වෙත නො පැමිණියේ ය. නො එනා බව දන්නා මුත්, වැරදීමකින් හෝ පැමිණේවි යයි පැතුමක් ආදියා ගේ හිත් කොනක කණාමැදිරි එළි නො දැල්වූවා නොවේ. නමුත් දෙව්රම් හිටියේ පැමිණිය හැකි දුරක නොවේ. ගෙදර පැමිණීමෙන් පසු ඔහු ගේ හිත සැහැල්ලු වෙමින් ද සන්සුන් වෙමින් ද තිබිණ. සරල බව තුළ ජීවත් වීමට අවැසි සුවබර කලාපය ඉබේ නිර්මාණය වෙන බව දැන් ඔහු ට සන්සන්දනාත්මක ව ගලපා ගන්නට පිළිවන. සාලිය සමගින් ඔහු ගමේ රවුමක් ගසන්නට පයින් ම ගියේ ය. වැව් පිස හමන රජරට සුළඟ ආත්මීය හුරුපුරුදු බවක් දනවයි. නමුත් කොළඹ දුවන්නට යටි හිතේ ඔහුත් නො දන්නා කොනක් ඉල්ලීම් කරමින් සිටියේ ය. දෙව්රම් ඒ ඉල්ලීම් නෑසෙන සේ ගමේ තරුණයන්   දෙතුන් දෙනෙකු සමග වැවේ බැස දිය නෑවේ ය.

“සපුමලීට ගමට එන්නනං දෙන්නෑ මචං. ගල් ගහල පන්නන්නෙ ඕකිව”

මිතුරන් ඇදගත්තේ දෙව්රම් ට අමතක කරන්නට ඕනෑ වී තිබි මාතෘකාවකි. එබැවින් ඔහු ඒ ගැන කතා කරන්නට ගියේ නැත.

“ඕකි මෙහේ කියල කියන එකත් අපිට ලැජ්ජාවක් දැං. එහෙනං උඹටනෙ බං ඕක මුලින්ම කරන්න තිබුණෙ. ගං කබරයන්ව ෆෝම් කරන්න එපා කියන්නෙ ඕක තමයි දෙව්රම්”

“හැබැයි ඔන්න බලපං ඕකි තව කොච්චර උඩ ඉගිල්ලෙයිද කියල. අර කොක්කු දෙන්නගෙ පිහිටෙන් උඩින් ගිය ඉබ්බ මතකයි නේද බං… අන්න ඒ ඉබ්බට වෙච්ච දේ තමයි කට හින්ද ඔය සපුමලීට වෙන්නෙත්‍”

“මන්නං එයාට නරකක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නෙත් නෑ බං. කොටිංම සපූ කියන්නෙ මගෙ ජීවිතේ හිටපු කෙනෙක් නෙවෙයි ගාණට එයාව හිතෙන් ඈත් කරන්නයි දැන් මට ඕනෙ”

දෙව්රම් ඒ කීවේ ඇත්ත ම ය. එසේ කරන්නට ඔහු ට හැකි වේවි ද ඒ කෙතරම් කාලයකින් ද කියා ඔහු දන්නේ නැත. අඩු තරමින් ගමේ මිනිසුන් හෝ ඔහු විශ්වාස කිරීම ලොකු දෙයකි.

“ගෙදර එවුන්ට පවා ඕකි එක්ක මාර මළක් තියෙන්නෙ. ගෙදරටනං වද්ද ගන්නෑ කියල උංගෙ මල්ලිත් කියල තියනවලු. ඒ මිනිස්සුන්ටත් ලැජ්ජයි මේකි කරපු දේ නිසා. උඹලගෙ පවුලට තියා ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නත් බෑ ඒ මිනිස්සුන්ට”

දෙව්රම් ගේ හිත සනසන්නට වාගේ මිතුරන් නොයෙක්   දේවල් කීව ද, ඒවා නැවූ කළයක් මත්තට හැලූ වතුර සේ අපතේ ම ගියේ ඔහු සපූ ව හදවතින් පිටමං කිරීමේ ව්‍යායාමයක නිරතව සිටි නිසාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here