වියෝ ගී ගැයෙනා හදේ – 7

0
3324

“මේධා, ප්ලීස් මම කියන දේ අහන්න.හරී මං පිළිගන්නවා මගෙන් වරදක් වුණා. මම පහුගිය මාස කිහිපය පුරාවටම ඔයාටයි බබාටයි වඩා ප්‍රයොරටයිස් කලේ බිස්නස් එකේ වැඩයි ඔෆිස් එකේ වැඩයි කියන එක මම පිළිගන්නවා. මට ඒකට සමාවෙන්න. ඒ වුණාට ඒක අපි දෙන්නම එකතුවෙලා කතා කරල විසඳගන්න ඕන ප්‍රශ්නයක් මිසක් ඔයාගෙ අම්මල තාත්තලව ඉන්වෝල් කරගෙන විසඳගන්න ඕන ලෙවල් එකේ ප්‍රශ්නයක් නෙවෙයි නේද?”

“ඔයා මාර කතාවක්නෙ චිරත් කියන්නෙ. ඔයාට මගේ කෝල් එකක් ආන්ස්වර් කරන්න බෑ. මැසේජ් එකකට රෙස්පොන්ඩ් කරන්න බෑ. මම මැරෙන්න වැටිලා ඉන්න වෙලාවක උනත් මට ඔයාව කන්ටැක්ට් කරගන්න බෑ. එහෙම වෙලාවක මම මගේ අම්මලට කියන්නෙ නැතුව ඔයා කියන්නෙ ඔයා ගෙදර එනකම් හරි එහෙම නැත්තම් කොයි වෙලාවෙ හරි ඔයා ආන්ස්වර් කරනකම් කියලා මට මැරෙන්න අරින්න කියලද? මට මගේ අම්මල ඇරෙන්න වෙන කවුරුවත් නෑනෙ චිරත් කතාකරන්න. ඔයා ඒක හොඳටම දන්නවනෙ”

“හරී හරී මම ඒක වැරදියි කියන්නෙ නෑ. මම එහෙම බිස්නස් එක එක්කම ඉන්න එක වැරදි නම් ඔයා කරන වැඩෙත් වැරදිනෙ මේධා නේද? ඔයත් පොඩ්ඩක් ඒක හිතන්න”

“මොකද්ද මං කරන වැරදි වැඩේ?” මේධාවිණි ඇසුවේ ඇත්තටම හෙමින් හෙමින් හිත අස්සෙන් උඩට මතුවන තරහත් එක්කය. තමන්ගේ වචන වලත් තමන් ඒ වචන චිරත් වෙත යොමු කල හඬේත් ඕනවටත් වඩා ඒ කෝපය තැවරී තිබුණ බව මේධාවිණීට නොතේරුණා නොවේ. එහෙත් ඉස්සර වගේ “අනේ චිරත්ගෙ හිත රිදේවිද දන්නෙ නෑ” කියා ඒ කෝපය පාලනය කරගන්නග උවමනාවක් අද මේ අම්මලාගේ ගෙදර විත් ගෙවුණ පැය කිහිපයේ වෙනස් වූ අලුත් මේධාට තිබුණේ නැත. 

“ඔයා හිතන්නෙ තමන් කසාදයක් බැඳලා දරුවෙකුත් ඉද්දි තමන්ගෙ මනුස්සය එක්ක මේ පොඩි දේකට රණ්ඩු වෙලා ඒක තමන්ගෙ අම්මල තාත්තලට කියලා මාව නිකන් නරක මිනිහා තැනට දාන එක මාර පොඩි දෙයක් කියලද? අද මං ඔයාව බලන්න ආවම ඔයාගෙ ගෙදර අය නිකන් මං දිහා බැලුවෙ මම මේ ඔයාට ගහලා බැනලා ගෙයින් එලියට පැන්නුව එහෙම නැත්තම් වෙන ගෑණියෙක් එක්ක ඉඳලා අහු උනා වගේනේ.

අනික මොකද්ද අර ඔයාගෙ තාත්තා මට කියාගෙන ආව කතාව. මං ආවෙ ඇයි කියල මගෙන් අහන්නෙ. යකෝ මං ආවෙ මගෙ කසාද ගෑණිවයි දරුවවයි ආයෙ ගෙදර එක්කරගෙන යන්න. මං ආවෙ ඇයි කියල අහන්නෙ. මට පුදුම විදියට යකා නැග්ගට මං ඉවසගෙන හිටියෙ මොක උනත් ඒ ඔයාගෙ තාත්තා නිසා. වෙන මිනිහෙක් නම් මං දන්නවා කතා කරන්න ඕන විදිය” කියා චිරත්ගේ කෝපය ඕනවටත් වඩා තැවරිච්ච කටහඬ දුරකතනය ඔස්සේ තමන්ගේ සවන් මතට ඇදී එද්දී මේධාවිණීගෙ හිත අස්සේ එහෙ මෙහෙ යමින් තිබුණ කෝපය එන්න එන්න උත්සන්න වුණාය.

“ඇයි ඇයි ඔයා මොනව කියලා කතාකරන්නද? බනින්නද? ගහන්නද? චිරත් මේ මෙන්න මේක අමතක කරන්න එපා.ඔයා මේ මගේ හස්බන්ඩ් කියල මට ඇහෙන්න මගෙ තාත්තිට එක එක දේවල් කියන්න ඔයාට කොහෙන් ආව හයියක්ද? මෙච්චර දවසක් මං අපේ ගෙදර අයට කිව්වෙ නෑ ඔයා මේ බිස්නස් එකක් ලොකු කරගෙන නටන නාඩගම ගැන. මට ඊයෙ අමාරුම වෙච්ච හන්දයි අපෙ අම්මලට ඇවිත් මාව එක්කරගෙන යන්න උනේ. ඒකත් ඔයාට මං කියල කෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න මතක වුණේ ඔයාගෙ ඔක්කොම බිස්නස් වැඩ ඉවර කරගෙනමහ රැ වුණයින් පස්සෙනෙ.

මහ ලොකු හස්බන්ඩ්. ලැජ්ජ නැද්ද චිරත් ඒ විදියට හැසිරිලා තව මගෙ අම්මල තාත්තටල කියන්න. අර අපේ තාත්ති අහනව වගේ කෝ ඔයා ඔච්චර මහන්සි වෙන බිස්නස් එකෙන් මොනවද අන්තිමේ අපිට කියලා ලැබුනෙ? අපිට නෙවෙයි අඩුම ගාණෙ ඔයා ඔයාට කියල මොනවද හොයාගත්තෙ? අඩුමගාණෙ ඔයාට දරුවගෙ ඉස්කෝලෙ කොන්සර්ට් එකකටවත් එන්න වෙලාවක් නැ. හැමතිස්සෙම ඇහුවොත් මීටින් ක්ලයන්ට් මීටින්, අර මීටින් මේ මීටින්. අපේ නැන්දිගෙ දුවගෙ වෙඩින් එකටවත් ඔයාට එන්න උනේ නෑ. මං නිකන් මිනිහා මැරිච්ච ගෑණි වගේ තනියෙන් එතන ගිහින් හිටියෙ පුදුම ලැජ්ජාවකින්. 

මට තවත් බෑ චිරත් ඔයා එක්ක මේ නාඩගම නටන්න. ඇත්තටම දරුවා හිටියෙ නැත්තම් මම ඔයව අතෑරල ඇවිත් ගොඩක් කල්” කියා මේධාවිණී කතාව ඉවර කරද්දී චිරත් උන්නේ ඊලඟට කිව යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය. තමන්ව අතැර යන්න තරම් හේතු මේධාවිණීට තිබී ඇති බවත් ඇය ඒ හේතු උඩ තමන්ව අතැර යන්න හිතා ඇති බවත්, එය එසේ නොවන්න බාධාවක් වී ඇති එකම දේ තමන්ගේත් මේධාවිණීගෙත් දරුවා වෙච්ච පෙත්මලී පමණක් බවක් හිතෙද්දී චිරත් ඇත්තටම උන්නේ කිව යුත්තේ කුමක්ද? කල යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය.

මේ වෙලාවේ හිතට කොච්චර දුකක් දැනුණද, හිත අස්සේ කොච්චර කෝපයක් පිරී තිබුණද තමන් තීරණ ගත යුත්තේ පෙම්වතෙක් සැමියෙක් විදියට පමණක් නොව දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට හිතා බලා බව චිරත්ට ඒ දුකත් කෝපයත් අස්සේ අමතක වුණේ නැත. ඇස්වලට කඳුලු පිරුණේ දුකත් කෝපයත් දෙකම එක්කහු වෙච්ච්ස් කාරණාවක් නිසා බව දන්න නමුත් චිරත් ඒ වේදනාව මේධාවිණීට පෙන්නන්න හිතුවේ නැත. 

“මේධා මේ මෙන්න මේක හොඳට අහගන්න. කසාද බැඳපු ගෑණු පිරිමි මිනිස්සු අතරෙ ඕනතරම් ප්‍රශ්න වෙනවා. එහෙම නොවෙනනම් තමයි අන්න ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ. ඔයාගෙ අම්මල තාත්තාල මොන දේ කිව්වත් ඔයාට මොලේ තියෙන්න ඕන මේක මේ ඔයාගෙ අම්මල තාත්තලගෙ කාලෙ නෙවෙයි කියන එක වගේම මේක ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි මැරේජ් ලයිෆ් එකත් නොවෙන බව තේරුම්ගන්න. අනික අපි කසාද බැන්දෙ ඔයාලගෙ අම්මලගෙ කැමැත්තෙන් නෙවෙයිනෙ එහෙම එකේ මොකටද ඔයා දැන් අපේ ප්‍රශ්න වලට එයාලගෙන් ඇඩ්වයිසස් ගන්න යන්නෙ?

පිස්සු නටන්නෙ නැතුව ගෙදර එන්න මේධා. මට ආයෙ ඔයාලගෙ තාත්තගෙ දෙපතුල ලඟට ඇවිල්ලා මේ ඔයාව ගෙදර අරගෙන යන්න මට අවසර දෙන්න කියල ඉල්ලන්න උවමනාවක් නෑ. මම මිට අවුරුදු ගාණකට කලින් ඔයාව කසාද බඳින්න දෙන්න කියල ඉල්ලගෙන ආවම ඔය මනුස්සය මට සලකපු කතා කරපු මං දිහා බලපු විදිය පවා මට මතකයි. පහුගිය කාලෙ පුරාවට මම ඒක අමතක කරල ඉඳියෙ මොක උනත් ඒ ඔයාගෙ තාත්ත හන්දා වගේන මටත් ඉන්නෙ දුවෙක් හන්ද දුවල තාත්තලටයි තාත්තල දුවලටයි කොච්චර ආදරේද කියල දන්න හන්දා

හැබැයිමං කසාද බැන්ද මගේ ලීගල් වයිෆ්ව ගෙදර එක්කරගෙන යන්න ඉඩ දෙන්න කියල ආපහු වතාවක් මම ඔයාගෙ තාත්තගෙ කකුක් දෙක ලඟට වැඳගෙන එන්න ඕන කියල මම හිතන්නෙ නෑ. ඔයා හරිහමන් ගෑණියෙක් නම් ඔයා දැනගන්න ඕනනෙ තමන්ගෙ මනුස්සයගෙ තත්ත්වෙ තමන්ගෙ අම්මල තාත්තල ඉස්සරහදිවත් බල්ලට නොදා ඉන්න. මම ඕන නම් ගේට් එක ළඟට ඇවිත් හෝන් කරන්නම්. ඔයා දරුවත් අරගෙන ඇවිත් වාහනේට නගින්න” කියා අවසානයේ චිරත් බලාගෙන උන්නේ මේධාවිණී දැන් දැන් තමන් කිව්ව දේට පිළිතුරක් දේවි කියා නමුත් එහා පැත්තෙන් ඇහුවේ දුරකතන ඇමතුම අවසන් වූ බව කියවෙන බීප් බීප් නාදය පමණකි. 

මේධා දැන් දැන් කතා කර “අපිව අරගන්න ඒවි” කියා කියතැයි දවල් වෙනතුරු බලාගෙන උන්නු චිරත් දෙකට පමණට එලියට ගියේ බිස්නස් එකේ වැඩක් වෙනුවෙන් සප්ලයර් කෙනෙක්ව හමුවෙන්නය. දුරකතනය අතට ගන්නා වාරයක් පාසා මේධාගෙන් මග හැරුණ ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් තිබේ යැයි ඒ කිසිත් දකින්න නොලැබුණ තැන හිත රිදිච්ච එකත් තරහා ගිය එකත් ඇත්තය. 

රිදුමත් කෝපයත් තැවරිච්ච ඒ හිත කලබලයට පත් වුණේ නොහිතපු වෙලාවක වට්සැප් එක බලා ආ මේධාවිණීගේ පණිවිඩයේ තැවරී තිබිච්ච කතාවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here