හද සාගරේ – 15

0
7164

දැන් මේ සිදු වන්නේ දැළි පිහියෙන් කිරි කනවා වාගේ වැඩක් බව ආදියා නො දන්නවා නොවේ. ඇයට වන දෙගිඩියාව රැකියාව සම්බන්ධයෙනි. ආයතනයේ  ප්‍රධානියෙකු  මේ  විදිහට සෙල්ලමට ගැනීම සෙල්ලමක් නොවේ! රහසිගත ව ඇමතුම් දෙන්නේ වෙන කෙල්ලක වී නම් දෙව්රම් ට හසු වූවාට කම් නැත. නමුත්‍ දැන්!

එදා දෙව්රම් ව දකිත්දී ම බොත්තම් දුරකතනය ක්‍රියා විරහිත කොට, ස්මාට් දුරකතනය නිහඬ කරන්නට තරම් සිහියක් ඇයට තිබිණ. නමුත් එසේ කළ නො හැකි යම් මොහොතක් උදාවෙන්නට බැරි නැත. දෙවරම් ගෙදර හිඳ ඇගේ දුරකතන වලට ඇමතුම් නො ගන්නට තරම් විනයවත් තරුණයෙකු  වූයේ ය. නමුත් එසේ නො වන අවස්ථාවක් උදා නොවේ කියා සිතිය නො හැකි ය. ඔහු කෙතරම් සියුම් තරුණයෙකු ද කියා දැන් ඇය අත්විඳිමින් සිටී. එබැවින් මේ සෙල්ලම නතර කොට දමන්නට ආදියා සිතාගත්තා ය. එක අතකට ඒ රහසිගත ඇමතුම් ලබා දීම ඇරඹුණේ ඈ හැබැහින් දෙව්රම් දකින්නටත් පෙර යුගයේ යි. දැන් එහෙම නැත. පසුගිය කාලයටත් වැඩිය ආයතනය තුළ දී ඔහු ඇයට ළෙංගතු ය. අලියා කිය කියා සිටි ඔහු ට ඇගේ නම ආදියා බව දැන් මතක තිබේ. යම් හිතවත් කමකින් හා සමීප බවකින් දැන් ඔහු සිනහ වී කතා කරයි. නිතරම කාර්යාලයට ද එයි. රහසින් නොව හැබැහින් ම හඬ අසන්නට ඒ නිසා අවස්ථාව උදා වේ. එබැවින් මින් මතු එවන්  ඇමතුම් නොදී සිටීමේ තීරණයක්  ගන්නට තරම් ඈ බුද්ධිමත් වූවා ය. නමුත් හදවත මැද්දෙන් රිදුම් මඳ නලක් හමා නො ගියා ම නොවේ.

නිශ්ශංක ගේ ගෙදර දී ඕනේ නම් ඒ දුරකතන දෙක ම හඬවා බලන්නට දෙව්රම් ට තිබිණ. නමුත් එහෙම කිරීම සදාචාරවත් මිනිස් ගතියක් නොවේ කියා ඔහු සිතුවේ ය. ඈ කවුරුන් වුණත් ඇගේ නිවසට ගොස් එහෙම කිරීම තුළ, සිය සැබෑ ළෙංගතුකම යටපත් වී ගොස් එය හොර අල්ලන්නට පැමිණි රහස් පරීක්ෂක ගමනක් වෙනවාට දෙව්රම් රිසි වූයේ නැත. ඇය සොයා ගත යුතු ය. දිනෙක ඇය අතට ම අල්වා ගත යුතු ය. නමුත් ඒ ඇගේ ආත්ම ගරුත්වය ප්‍රවේසම් වන සේ ය.

“උඹට අංකල්ගෙන් කෙලින්ම අහන්න තිබුණනෙ චූටි දුවගෙ නම මොකද්ද කියල”

අතිජාත මිත්‍රයා සංකේත් පවා කීවේ ය. නමුත් දෙව්රම් ඊට එකඟ වූයේ ද නැත.

“පිස්සුද බං… එහෙම අහන්නෙ කොහොමද… මොනා වුණත් අංකල් මාව ගේ ඇතුළට එක්කං ගියේ විශ්වාසයක් නිසානෙ. මං දුව ගැන හාරවුස්සල ඇහුවනං අංකල් නිකංම සැක හිතනව. මොකද මං එදා තණකොළ කපන්න ගියෙත් අංකල් වැරදිලා මට දීපු කෝල් එකක් නිසානෙ. ඉතිං ඒ සිද්ධියයි මං දුව ගැන අහන එකයි අතරෙ සම්බන්ධයක් තියනව කියල හිතාගන්න බැරි තරමට ඒ මනුස්සය සමාජ දැනුමක් නැති මෝඩයෙක් නෙවෙයි. එහෙම ඇහුවනං ශුවර් එකටම හිතයි අංකල් එදා ඩයල්    කරන්න ඇත්තෙ ඊට කලින් ඒ    ගෑනු ළමය ඩයල් කරල තිබුණ නම්බර් එකකට කියල. අපිනෙ දන්නෙ මෙහෙම දෙයක්. සමහර විට අංකල් හිතයි අපි අතරෙ මොකක්හරි හුටපටයක් තියනව කියල. මේක මගෙ හොර ගමනක් කියල. ඒ වගේ   තැනකට අංකල්ව වට්ටගන්න බෑ. කොහොමත් මං ඒ අංකල්ටයි ආන්ටිටයි හරි කැමතියි. ඒ දෙන්නගෙ හිතට දැනෙන මනුස්සකං වලට කැමතියි. ඒක නිසා එයාලව නැති කරගන්න ඕන නෑ. ඒ ආශ්‍රය තිබුණොත් කොයි වෙලාවක හරි මට ඒ ගෑනු ළමය අතටම අහු වෙයි. එයත් පරිස්සං වෙනව ඇතිනෙ. ඒක නිසා ටිකක් බලං ඉන්න වෙයි”

“හරි හරි. එහෙනං ඉස්සල්ලම නැන්දම්මවයි මාමණ්ඩිවයි සතුටු කරල හිටාංකො”

දෙව්රම් ගේ දීර්ඝ පැහැදිලි කිරීම අවසානයේ සංකේත් හිස කසමින් අලසකමින් වාගේ කීවේ ය.

ඉනික්බිති දින කිහිපයක් ඔහු ට භාර ගත් චිත්‍රපටයක රූගතකිරීම් වලට සහභාගී වන්නට සිදු විය. දර්ශන තල වූයේ  කොළඹින් පිටත නිසාත් එක දිගට රූගත කොට චිත්‍රපටයේ වැඩ අවසන් කරන්නට තිබූ නිසාත් දර්ශන තලය ආශ්‍රිත හෝටලයක නවාතැන් ගන්නට සිදු වූයේ ය. ඒ දින කිහිපය තුළ ඔහුට ගෝල්ඩන් ලීව්ස් ද මගහැරේ!

දෙව්රම් දැන් දැන් එතැයි ආදියා දෑස් රිදෙනා තුරු මග බලා සිටියා ය. නමුත් ඔහු එන බවක්  පෙනෙන්නට තිබුණේ නැත. ඇය හිත හයිය කරගෙන ඔහු ට ඇමතුමක් නොදී සිටියා ය. මේ තරම් දින ගණනක් ඇය එසේ නිහඬ ව සිටි ප්‍රථම වතාව මෙයයි.

මතුපිටින් නො පෙන්වූවාට දෙව්රම් ද ඒ ඇමතුම බලාපොරොත්වෙන්  හිඳ තිබිණ. නමුත් දැන් ඒ ගෙදර හිතවතෙකු සේ එහි යන එන එකේ, ගෑනු ළමයාට කෙළින් ම කතා කිරීම නුසුදුසුයි වාගේ ද ඔහු ට නො දැනුණා නොවේ. මේ වෙලාවේ ඔහු ට ද දඩබ්බර වැඩක් කරන්නට සිතිණ. පිටස්තර කවුරුන්වත් නො දන්නා ඔහු ගේ අතිශය පෞද්ගලික දුරකතන අංකයෙන් ඔහු රහසිගත ඇමතුම් දෙන්නියගේ නොව ආදියා ගේ  දුරකතනය හැඬවූයේ ය.

ඒ රාත්‍රියයි. දිනේශ් ගේ කෑකෝගැසීමක් ඉවසා ඉන්නට බැරි තැන, ඔහු මේසය මත තිබූ වතුර වීදුරුවක් පොළොවේ ගැසීමත් සමග නිශ්ශංක කාමරයේ  දොර විවර කරගෙන පිටතට පැමිණියේ ය. ජිනාදරී ගැහෙනා හදවතක් දරාගෙන සැමියා පසෙකින් වූවා ය. කෑම කාමරය පාමුල බිඳුණු වීදුරු කටු ද ඉහිරුණ වතුර ද විසිර තිබිණ. අම්මලා ගේ කාමරයේ  දොර විවර වෙනු ඇසුණ සැනෙන් ආදියා ද දොර ඇරගෙන පිටතට ආවා ය.

“සාරධා… මොකද්ද මේ වතුර වීදුරුවට වුණේ…”

නිශ්ශංක සාරධා ඇමතූයේ දැඩි හඬකිනි. නිතර කේන්ති නොගන්නා තාත්තා ට මේ මොහොතේ නම් කේන්ති ගොස් ඇති බව සාරධා වහා හැඳින්නා ය.

“බි… ඳුණ”

ඇය තිගැස්සුම් සරකින් කියාගත්තා ය.

“ඇයි මොකද ප්‍රස්නයක්ද මාමණ්ඩි… මං ඒක පොළොවෙ ගහල කුඩු කළා… කාටවත්… මුකුත් ප්‍රස්නයක් තියනවද ඒ ගැන…”

“සාරධා… මං මේ බොහොම හොඳින් කියන්නේ… ඒ වගේම අවසාන වතාවට මෙහෙම කටින් කියන්නෙ. මේක මගෙ ගෙදර. මේ ගෙදර අපිට කනක් ඇහිල නිදහසේ ඉන්න ඕනෙ”

“ඉතිං ඉන්න එකනෙ”

දිනේශ් මැද්දෙන් මෝඩ දැන්වීම් දැම්මේ ය. නිශ්ශංක ඒ නො තකා කියාගෙන ගියේ ය.

“අනික මේ ගෙදර තියෙන්නෙ මං දුක් මහන්සියෙන් හම්බකරපු දේවල්. එක බ ල් ලෙක්වත් ගෙනාපු සත පහක දෙයක් මෙහෙ නෑ. අන්න ඒක තමුංගෙ මිනිහට පැහැදිලි කරල කිව්වොත් හොඳයි. ආයෙ වතාවක් මේ ගෙදර එක බඩුවකට හරි අලාබයක්  කළොත්… මං කටින් කතා කරල නිකං ඉන්නෙ නෑ. අපේ දේවල් වලට අත තියපු අතත් කඩලයි  පස්ස බලන්නෙ”

ඔහු එසේ කියා කාමරය දෙසට වේගවත්ව ඇවිද ගියේ,

“චූටි දුව ගිහින් නිදාගන්න”

යයි කියන්නට අමතක නොකරමිනි.

“අම්මටඋඩු… මාමණ්ඩියට යකා නැගලනෙ බොලේ”

දොර වසත්දී දිනේශ් එහෙම කියනු ඇසී ආදියා ට සිනහ ගියේ ය. නමුත් මේ සිදු වෙමින් තිබෙනුයේ සිනහ වෙන්නට දේවල් නොවේ. සිත්මි සාරධා ගේ ගවුම් කොනක එල්ලීගෙන සිටියේ බියේ වෙව්ලමිනි. තවත් ටික වෙලාවක් ගත වෙන තෙක් දිනේශ් ගේ විකාර සහගත කියවිලි ඇසිණ.

නාඳුනන දුරකතන අංකයකින් ඇමතුම ආවේ ඒ වෙලාවේ ය. ආදියා මඳ වෙලාවක් තිරය දෙස බලාන සිටියේ පිළිතුරු දෙනවා ද නැත්ද කියා ය. රාත්‍රියේ මේ වගේ යාමයක, නාඳුනන අංකයකින් ඈ අමතන්නේ කවුරුන්ද? මේ ඇයට කතා බහකට සුදුසු මානසිකත්වයක් පවතින මොහොතක් ද නොවේ. නමුත් කාගේ හෝ හදිසි පණිවිඩයක් වන්නට වුව බැරි නැත. එබැවින් ඇය අන්තිම මොහොතේ ඊට පිළිතුරු දුන්නා ය. නමුත් අනිත් ඉම කිසිදු ප්‍රතිචාරයක් වූයේ නැත.

“හෙලෝ… කවුද මේ…”

දෙව්රම් ට වාගේ ඉවසීමක් ඇයට වූයේ නැත. කිහිප වතාවක් ‘හෙලෝ’ කීමෙන් පස්සේ ඈ එසේ  කීවේ මඳ නො රිස්සුමකිනි.

“කතා කරන්න බැරි කෙනෙක්ද මේ… එහෙනං රෝං නම්බර් එකකට අරං තියෙන්නෙ. ඔයා ගන්න ගොළු බීරි අයට ට්‍රීට් කරන්න පුළුවං ස්පෙශලිස්ට් කෙනෙක්ට”

කියා කේන්තියෙන් දුරකතන සබඳතාව බිඳ දමත්දී ය ඇයට දෙව්රම් සිහි වූයේ. ගින්නකට හසු වූවා සේ ඇගේ ඇතුළාන්තය හෝස් ගා දැවී ගියේ ය. එහෙම ම ඕ යහන මත එරමිණියා ගොතාගෙන හිඳගත්තා ය. දෙව්රම් සිටිනුයේ අවධානයෙන් බව දැන් ඈ දනී. කාර්යාලයේ දී ඔහු බොත්තම් දුරකතනය හැඬවූ හැටිත්, එය නාදවන හඬ නෑසුණ තැන ඇගේ දුරකතනයෙන් ඇයට ඇමතුමක් ගන්නා ලෙස පැවසූ හැටිත් මනස ඉදිරියේ මැවී පෙනෙන්නට විය. රහසිගත ඇමතුම් දෙන බොත්තම් දුරකතනය අයිති මේ ගෙදර චූටි දුවට බැව් දැන් ඔහු හොඳින් දනී. ඒ චූටි දුවත් ආදියා මන්දරී බෙත්මගේත් එක් අයෙකු ලෙස සැක හිතන්නට තරම් ඔහු ට ලැබුණ හෝඩුවාව කුමක් ද? ආදියා වහා දුරකතන දෙක ම ක්‍රියා විරහිත කළා ය.

“සැ…ර…”

දෙව්රම් එසේ මිමිණූයේ මඳහසකිනි.

“හොඳ වැඩේ. කොට්ටෝරුව හැම ගහටම කොට කොට ගිහිං.. කෙහෙල් ගහට කොටපු දාට තමයි නංගි හොට පටලෝගන්නව කියන්නෙ”

ඒ සිදුවීම ගැන අසා මල්ෂා හොඳට ම සිනහ වූවා ය. ආදියා මූණ බෙරි කරගත්තා ය.

“ඉතිං මං හැම ගහටම කොට කොට ගියෙ නෑනෙ. කොටපු එකම ගහ කෙහෙල් ගහක් වෙච්ච එක මගෙ වරදක්ද…”

“වරද කාගෙද කියල තාම හිතාගන්න බෑ මැණිකෙ. අපිට බලං ඉන්න තමයි වෙන්නෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියල”

“දෙයියනේ එයා ගෙස්  කරනවනං ඒ මමයි කියල”

“ගෙස් කරනව- නං නෙවෙයි… කරනව”

මල්ෂා ‘නං’ යන්න බර කොට කීවා ය.

 “මෑන්ට දැං කන්ෆර්ම් කරගන්නයි ඕනෙ එයාගෙ සැකේ හරිද කියල”

“මට බෑ බුදු මල්ෂෝ”

ආදියා මේසය ළඟ පහත් වී හිස මේසය යටට ඔබාගත්තා ය. මල්ෂා හොඳට ම සිනහ වෙමින් සිටියා ය. ඒ මොහොතේ දෙව්රම් සන්දනායක කාර්යාලය වෙත ප්‍රවේශ වී සිටි වග ඔවුන් දෙදෙනා ම දැන සිටියේ නැත.

“මොකද මේ… ටේබල් එක යට මකුළුදැල් කඩනවද…”

එතැනින් යන ගමන් මොහොතකට ගමන් වේගය බාල කොට ඔහු පිළිවිසියේ ය. ඔහුව දුටු මල්ෂා ට කුමක් කළ යුතු දැයි සිතාගත හැකි වූයේ නැත. මේසය යට හිස ඔබාගෙන සිටි ආදියා ට සිහිනයකින් වාගේ, නැත්නම් දුර ඈත මන්දාකිනියක කෙළවර ම තරුවක සිට වාගේ ඒ හඬ ඇහිණ. කලබල වූ තරමට ඔසවන්නට ගිහින් හිස මේස ලෑල්ලෙහි ඩාං ගා වැදිණ. දෙව්රම් ට “ස්” කියවිණ. ආදියා හිස පිටතට ගත්තේ ඇස් බැමි රැලි නංවාගෙන අතකින් හිස පිරිමදිමිනි. මල්ෂා වහා ඈ වෙතට නැඹුරුව තදින් හිස් මුදුන පිරිමැද්දා ය.

“ඕඩිකොලෝන් ටිකක් දාන්න”

කියාගෙන දෙව්රම් සිය කුටිය දෙසට ඇවිදගෙන ගියේ ය. ඕඩිකොලෝන් සිසිලක් ආදියා ගේ බඩ පපුව දිගේ රූරා ගියේ ය. මංගලා මිස් ගෑනු ළමයින් දෙසට රැවුම් පා කරමින් සිටියා ය.

“කොල්ලෙක් දැක්කහම පුදුම ගායක් තියෙන්නෙ”

ඇය කීවේ ඕනෑ ම කෙනෙකුට ඇසෙන සේ ය. නමුත් ආදියාට නම් ඒ ගැන ගාණක්වත් වූයේ නැත.

“මට කන්න වහ ටිකක් නැද්ද… වහ…”

ඈ විමසූ විලාශයට මල්ෂා ට හොඳට ම සිනහ ගියේ ය. අසුන්ගත වෙන ගමන් ද දෙව්රම් ගේ දෑස් වූයේ ගෑනු ළමයා දෙසට යොමු වීගෙනයි. රැලි නගන්නට අරාඳින දඩබ්බර සිනහවක් දෙතොලතර වූයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here