“දැන් මේකද ඔයාගෙ අන්තිම තීරණේ?” කියා චිරත් අහද්දී මේධාවිණී කලේ ඔලුව හොලවපු එකය.
“හරි මට කියන්න මොකද්ද දැන් මේ ඔයාට එකපාර ඔහොම ඩිසිශන් එකක් ගන්න මේ එකපාර මගෙන් වෙච්ච වැරැද්ද මොකද්ද කියන එක?”
“වරදක් ගැන නෙවෙයි මම කියන්නෙ චිරත්. මම කතාකරන්නෙ ඔයා එක්ක ගෙවන විවාහ ජීවිතේ ඇතුලෙ මට කිසිම සන්තෝසයක් ලැබූනෙ නෑ කියන එක. හැමදේම මම තනියෙන් කරගන්න නම් මං මොකටද චිරත් ඔයාව නෙවෙයි ඕනම මනුස්සයෙක්ව කසාද බඳින්නෙ. මට ඒක හොඳටම තේරුණේ ඊයෙ රිලීස් වෙච්ච මිසිස් ෆිල්ම් එක බැලුවට පස්සෙ. ගෙයින් එලියෙදි ඔයාලා අපිව උඩ තියාගෙන හිටියට ගේ ඇතුලෙ හැමදේම තනියෙන් කරගන්න එජ, තමන්ගෙ රස්සාව විතරයි රස්සාව, තමන් මේ නහින්නෙ පවුල වෙනුවෙන් කියල හිතාගෙන ගෙදර මෙලෝ වැඩකට උදව්වක් නොකරන මිනිහෙක් එක්ක ගෙවන ජීවිතේ ට්ජීවිතයක්ද කියන එක මට ඇත්තටම හොඳටම තේරුනේ ඒ ෆිල්ම් එක බැලුවයින් පස්සෙ.
මං පහුගිය කාලෙ පුරාවටම ඉඳලා තියෙන්නෙ තරහකට වඩා මාරම ආත්මානුකම්පාවකින් කියන එක මට තේරෙන්නෙ දැන් චිරත්. ඔයා මහන්සි වෙන්නෙ අපි වෙනුවෙන් කියල ඔයා කියනවා. එතකොට ඔයාගෙ පැත්තෙන් වෙන්න ඕන දේවලුත් මම කරන ගමන් මම මහන්සි වෙන්නෙත් අපි වෙනුවෙන් නෙ. අපි කියන එක කම්ප්ලීට් වෙනවද චිරත් අපි දෙන්නට අපි දෙන්න වෙනුවෙන් එක තප්පරයක්වත් වෙලාව වැය කරන්න පුලුවන්කමක් නැත්තම්? ඔයාම කල්පනා කරල බලන්න අපි කවද්ද අන්තිමට ට්‍රිප් එකක් ගියේ? ට්‍රිප් එකක් ගිය එක පැත්තක තියන්නකො අපි දෙන්න අපි දෙන්නගෙ දේකට තියා දරුවගෙ දේකටවත් එලියට ගිය දවසක් ඔයාට මතකද?
පෙත්මලීට ඉන්නේ නිකන් අම්මා කෙනෙක් විතරයි වගේ මම සින්ගල් මම් කෙනෙක් වගේ හැමදේටම තනියෙන් යද්දි ඔයා හිතන්නෙ මම ඒක මාර සන්තෝසෙන් කරා කියලද? දරුවා ඉඳියෙ නැත්තම් සමහර විට මම මේ ඩිසිශන් එක මිට කලින් ගන්නත් ඉඩ තිබුනා චිරත්. ඔයා හිතනවනම් මම මේක මේ හදිසිවෙලා ගන්න ඩිසිශන් එකක් කියලා අනේ නෑ. මේක මේ මම හොඳට හිතලා ගත්ත තීරණයක්. කරුණාකරලා දැන් ඔයා මගෙ අම්මල තාත්තලව මේකට ඉන්වෝල්ව් කරගෙන ඒ මිනිස්සුන්ට බණින්න යන්න එපා.
මම අම්මලට විරුද්ධ වෙලා ඔයා වෙනුවෙන් තීරණ අරගෙන නෑනෙ. මම හැමදාම අපේ අම්මල ඔයාට විරුද්ධව මොන දේ කිව්වත් ඒ දේවල් හරි උනත් වැරදි වුණත් ඔයාගෙ පැත්තට කතා කරපු මනුස්සයෙක්. මං හිතන්නෙ මටත් වඩා හොඳට ඔයා ඒක දන්නවනෙ. මේ වෙලාවෙ මම මේ තීරණේ ගන්නෙ ඔයාවත් අපේ අම්මලවත් ගැන හිතලා නෙවෙයි චිරත් මං ගැන හිතලා. මොකද පහුගිය ගෙවිච්ච කාලෙ පුරාවටම මම ආපහු හැරිලා බලද්දි මම මං ගැන හිතලත් නෑ. වෙන කවුරුවත් මං ගැන හිතලත් නෑ. මේ යන විදියට ගියොත් කොහොමත් මං ගැන හිතන්න කවුරුවත් ඇත්තෙත් නෑ”
“එතකොට කවුද දරුව ගැන හිතන්නෙ? පිස්සු කතාකරන්න එපා මේධා. ඔයා අමතක කරන්න එපා ඔයාට දරුවෙක් ඉන්නවා කියන එක, කෙල්ල කාලෙ වගේ ඔයාට තනියෙන් තමන් ගැන විතරක් හිතලා තීරණයක් ගන්න පුලුවන් කමක් නෑ” කියා චිරත් සම්ප්‍රදායික පිරිමියෙක් සේ කතා කරද්දී මේධාවිණී කලේ සමච්චල් සහගත හිනාවක් චිරත් ඉස්සරහට පා කර යවන ගමන් මේසෙ උඩ තිබිච්ච තේ කෝප්පයෙන් උගුරක් බීපු එකය.
“ආදි කාලෙ මිනිහෙක් වගේ කතාකරන්න එපා චිරත්. අනික් ඔයා හරියට කතාකරන්නෙ පහුගිය කාලෙ පුරාවටම පෙත්මලීගෙ හැම වැඩේම ඔයා කරපු ගාණටනෙ. අඩුම ගානෙ ඔයාට පෙත්මලී අලුත් ක්ලාස් එකට යද්දිවත් එන්න පුලුවන් උනේ නැ. එදත් ඔයා මීටින් එකක් කියල ගෙදරින් උදේ ගිහින් ආවෙ මහ රෑ වෙලා.
මං ඒව එදා නොකිය දැන් කියන්නෙ ඇයි කියල හිතනවනම් මං එවෙලෙ ඒව කිව්වෙ නැත්තෙ ඔයා ඇත්තටම මහන්සි වෙන්නෙ අපි වෙනුවෙන් කියල හිතපු හන්දා”
“ඉතින් ඔව් මං මහන්සි වෙන්නෙ මං මේ හැමදේම කරන්නෙ ඔයාලා වෙනුවෙන් තමයි”
“අපි වෙනුවෙන් නම් එදා මම අසනීප වෙච්ච දවසෙ ඔයා මං ලඟ ඉදියද? මට අමාරුවෙලා මම හොඳටම වැටිලා ඉද්දි අපෙ අම්මල ඇවිල්ල මාව ගෙදර එක්කරගෙන යනකම් ඔයා කොහෙද ඉඳියෙ චිරත්? ඒ වගේ තැන්වලදි ඔයාගෙ ඔය අපේ කියන කන්සෙප්ට් එක වැඩ කරන්නෙ නැද්ද? ඔයා මහන්සිවෙන්නෙ හැමදේම කරන්නෙ අපි වෙනුවෙන් නම් ඒ වගේ වෙලාවක ඔයා ඉන්න ඕන ගෙදර අපේ ලඟ මිසක්කා ඔයාගෙ බිස්නස් වැඩ බදාගෙන නෙවෙයි නේද?”
“ඔයා හිතන් ඉන්නෙ ඔයාට මේ මගෙන් ඈත්වෙලා ළමේකුත් බලාගෙන තනියෙන් ජීවත්වෙන්න හැමදේම කරගන්න පුලුවන් වෙයි කියලද?” කියා අහද්දී චිරත්ගේ කටහඬේ වු පසුබැසීම අඳුරගන්න මේධාවිණීට අපහසු උනේ නැත. එහෙත් ඒ පසුබැසීම, පසුතැවීම චිරත්ට පෙන්වන්න තිබුනේ අද නොව මෙයට බොහෝ කාලෙකට පෙර බව දැන හුන් නිසාම වෙනදා වගේ මේධාවිණීගේ හිත උණු වුනේ නැත.
“මට මොකද බැරි චිරත් ඒක කරන්න? මෙච්චර දවසකුත් මමනෙ තනියෙන් හැමදේම කරගත්තෙ? ඉතින් මට ඉස්සරහට බැරිවෙන්නෙ නෑ නේද?”
මේධාවිණී චිරත් එක්ක උදේ වරුවේ වෙච්ච කතාබහ ආයෙ මතක් කරේ ගෙදර ඇවිත් ඇඳේ හාන්සි වී ඉන්න ගමන් ය. මොන දේ උනත් දවස් ගාණකට පස්සෙ දකිද්දි පොඩිවෙච්ච ඇඳුම්ද, අවුල් වෙච්ච කෙස් ද, ඕනවට එපාවට මෙන් වැවිච්ච රැවුල් කොටද එක්ක උන්නු චිරත් ගැන අනුකම්පාවක් හිතේ ඇති උනේ නැතැයි කියන්න පුලුවන් කමක් නැත. එහෙත් මේධාවිණී ඒ සියලුම අනුකම්පා සහගත හැඟීම් දහරාව හිත අස්සේම හංගගන්න හේතුවුනේ අම්මා කිව්වා “රෑ වැටිච්ච වලේ දවාලෙත් වැටෙන්න එපා” යැයි කිව්ව මතක් වෙච්ච හන්දාය.
“එතකොට ඔයා දැන් මට කියන්නෙ ඔයාට ආයෙ කිසිම අදහසක් නෑ කියලද ගෙදර එන්න?” කියා චිරත් අහද්දී ඒ දෙනෙත් වල රැඳුණ වේදනාව සහ ආදරය දැක දැකම “ඔව්” කියා පිළිතුරු දී එතනින් නැගිට එන්න තරම් හිතේ හයියක් තමන් මේ දවස් කීපයකට එකතු කරගත්තේ කොහොමද කියන එක ඇත්තටම මේධාවිණීටත් ප්‍රශ්නයක් වුණ එක ඇත්තකි.
“හැමදේම වෙන්නෙ හොඳටයි” කියා උදේ චිරත් එක්ක කල කතාබහ ආලෝකාට කතා කර කියද්දී ආලෝකා නම් කලේ ඒකට හිනාවෙච්ච එකය. “හැමදේම වෙන්නෙ හොඳටයි කිව්වට මේක එහෙම මේ වෙච්ච දෙයක් නෙවෙයිනෙ. උඹයි උඹලගෙ අම්මල තාත්තලයි එක්කහු වෙලා බලෙන් කරගත්ත එකක්නෙ” කියා අලෝකා කියද්දී මේධාවිණී ඇහුවේ එකම එක දේකි.
“හරි එහෙනම් මට කියපං උඹ මෙතන හිටියනම් උඹ මොකද්ද කරන්නෙ?” කියලා.
“මං එහෙනම් මුලින්ම කරන දේ තමයි මගෙයි මගෙ හස්බන්ඩ්ගෙයි ප්‍රශ්න අම්මල තාත්තල ලඟට අරන් යන්නෙ නැතුව ඉන්න එක. ඊටපස්සෙ මම කරන දේ තමයි උඹ ඔය තදියමේ අරගන්න යන්න ඩිවෝස් එක ගන්න යන්න කලින් ඉස්සෙල්ල අඩුම ගානෙ කවුන්සලින්වත් යන එක.
අඩුම තරමෙ මට නැති මොලේ පහදල දෙන්න වෙන මනුස්සයෙක්ට හරි පුලුවන්කමක් තියෙන්නෙ නැතෑ” කියා ආලෝකා කියද්දී ඇත්තටම ෆැමිලි කවුන්සලින් ගියා නම් තමන් ප්‍රශ්නෙ දිහා බලනවට වඩා වෙනස් විදියටකට මේ ප්‍රශ්නෙ දිහා බලන්න හැකියාවක් එහෙම තැනකින් ලැබෙන්න පුලුවන් නේද කියා නොසිත ඉන්න මේධාවිණීට පුලුවන් උනේ නැත.
“මං විතරක් කවුන්සලින් ගිහින් වැඩක් නෑනෙ, මගෙ වරදක් මෙතන නෑනෙ. කවුන්සලින් යනවනම් චිරතුත් එන්න ඕන. කවුද දන්නෙ එයා එයිද?” කියන ප්‍රශ්නෙ ඒ අදහසට බාධා එල්ල කර එක ඇත්තකි.