“ මං උයන්න හදන්නේ..ඔයා කැමති දේවල් හදන්න කෑමට ඉන්නවා නේද…”
බොහෝ වේලා කල්පනා බරව උන් හසාරා අවසන තුන්වෙනි මහලට ගියේ ධනංජයව සොයාගෙනය.
ඔහු උන්නේ නිබන්ධනයක් සකසමින්ය.
ධනංජය දෑස් ඔසවා ඈ දෙස බලද්දීත් ඈ උන්නේ ඔහු ඉදිරිපස වූ පුටුවෙන් අසුන්ගෙනය.
“ මගෙන් ඔයාට මොනවා හරි උදව්වක් ඕනද.නෝට්ස් තියනවනම් දෙන්න මම රෙඩි කරලා දෙන්නම්…”
වෙනදා සේ සුහද කතාබහක් ඔහු සමග ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවය වුවත් තමා අසාර්ථකයැයි හසාරාට සිතිණ.ඒ වදන් හෝ ස්වරය ඈ සිතූ තරම් ආදරනීය නොවේ.ධනංජයගේ මුවෙහි ඇඳී ගිය අවඥා සහගත සිනහවෙන් ඕ අධෛර්යමත් වුවත් අඩියක් පසුපසට ගත්තේ නැත.
“ ඔයා මට කොච්චර උදව් කළාද…ඇයි මගෙන් හැම දේම හංග හංග කරන්නේ..”
“ එතකොට ඔයාට කියන්න පුළුවන්නේ ඔයි නිසා තමයි මම අද මේ තැන ඉන්නේ කියලා නේද…මං අහගෙන ටීවී එකේ කියනවා මං පවුලේ වගකීම් ගන්න එක ඔයාට බාර දීලා තියෙන්නේ කියලා..එහෙම කියන්නේ ලෝකෙට ඔයා මහ ලොකු බුද්ධිමත් ගෑණියෙක් කියලා පෙන්නන්න වෙන්න ඇති….නෝ තෑන්ක්ස් මට මගේ වැඩ තනියම කරගන්න පුළුවන්.”
“ අනේ එහෙම නෙමෙයි.මං කතා කලේ එහෙම අදහසකින් නෙමෙයි.අපි දෙන්න අතරේ තියන තේරුම් ගැනීම පෙන්වන්න..අවුරුදු ගානක්ම අපි දෙන්නා එකතු වෙලා හැමදේම අපේ කියලා හිතලා බෙදා ගත්තා වගේ ඉස්සරහටත් එහෙම කරමු…ප්ලීස්…අපි අපේ ජීවිතේ අලුතෙන් පටන් ගමු…”
හසාරා පැවසුවේ හැකිතාක් සන්සුන් වන්නට වෙර දරම්න්ය.
“ ජීවිතේ අලුතින් පටන් ගන්න අපිට ජීවිතයක් ඉතිරි වෙලා තියෙන්න ඕනේ..ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න එක තමයි හොඳම දේ. මෙහෙම ඇවිත් කතා කරන එකත් මට වදයක්…”
“ එහෙම කියන්න එපා….ඔයාට ඇයි මං ගැන මේ තරම් තරහක් තියෙන්නේ..අඩුගානේ අපි කතා කරමු ටිකක්..ධනා..මගේ වරදක් කියන්න..මං කරපු එකම එක වරදක්.”
“ දැන් කතා කරන්න තරම් දෙයක් අපි අතර ඉතිරි වෙලා නැහැ.හොඳම දේ තමයි හසාරා ඔයා ඔයාගේ පාඩුවේ ජීවත් වෙන එක.වැරදි කියන්න ඕන නෑ.තමන්ගේ වැරදි අවබෝධ කරගෙන ඒවා පිළිගන්න මනුස්සයෙක්ට ශක්තිය තියෙන්න ඕනේ..ඔයා විතරයි හැම දේම කරන්න ඕනේ කියලා ඔයා හිතන් හිටියනේ නේද…”
“ අඩුගානේ අපි දෙන්න නාඳුනන මිනිස්සු වගේ මේ ගෙදර ඉන්න එකේ කෙළවර මොකක්ද කියලවත් මට කියන්න..ඇයි අපි එහෙම ඉන්නේ..”
“ ඇයි අපි එහෙම ඉන්නේ කියන ප්‍රශ්නෙට මටත් තාම උත්තරයක් නෑ.ඇයි අපි එහෙම ඉන්නේ කියලා මමත් හිතනවා.සමහරවිට ඒ අසරණකම වෙන්න ඇති..කරුණාකරලා මෙතනින් යන්න හසාර මාව කේන්ති ගස්සන්නෙ නැතුව.මගේ පැත්තෙන් සමහර තැන්වලදී මම උපරිමයෙන්ම ඉවසනවා.ඔයාට තව යන්න දුර තියනවා…”
“ ඔයාම ප්‍රශ්න ඇති කරගෙන ඔයාම හේතු හදාගෙන ඔයාම ඒවට උත්තර හොයාගෙන ඔයාම තීරණ ගන්නවා.ඇයි එහෙම අසාධාරණයි කියලා ඔයාට හිතෙන්නේ නැත්තේ?..”
“ මොන සාධාරණයක් ගැන ද ඔයා කතා කරන්නේ…”
“ ඇයි එහෙනම් මාව මේ විදිහට රිද්දන්නේ..මොකක්ද මං ඔයාට කරපු වරද..”
අවසන් වදන් කිහිපය පවසද්දී ඇගේ හඬ බිඳී තිබිණ.එහෙත් ඕ කඳුළක් නොහෙලා සුසුමක් පමණක් පිට කළාය.
“ රිදෙනවද ඔයාට ..පුදුමයිනේ…මං හිතුවේ ඔයා හිතත් විකුණලා දාලා කියලා..කතා කරන්න කිසිම දෙයක් නෑ. ඔයා තරම් හරි කෙනෙක් ඇත්තෙත් නෑ.තරම් දක්ෂ ඔයා තරම් නිහතමානී ඔයා තරම් හොඳ කෙනෙකුත් නෑ…ඔය ටීවී ප්‍රෝග්‍රෑම් වලදී පත්තර වලදී එහෙමනේ කියන්නේ..ඉතින් මං කොහොමද ඔයාගේ වැරදි කියන්නේ?..”
“ මට මේ කිසිම දෙයක් එපා ධනා…එදා වගේම මගේ ජීවිතේ මට ඉන්නෙ ඔයා විතරයි.ඉස්සරහටත් මට ඔයා විතරක් හිටියහම ඇති..අනිත් හැමදේම අපි දෙන්නම එකතුවෙලා මහන්සියෙන් ලබා ගත්ත දේවල්.ඒ දේවල් කවදහරි අපිට අතෑරිලත් යාවි..ඒත්..ඔයා මං ලඟ ඉන්න ඕන නේද…”
“ ඒක වැරදියි..…ඔයාට තියෙන්නේ ඔක්කොම ඔයා මහන්සියෙන් ලබාගතපු දේවල්. ඔයාගේ වාසනාවට ලැබුණු දේවල්.නැත්නම් ඔයා කියන විදිහට ඔයා කැපකිරීම් කරලා ලබා ගත්ත දේවල්…
ප්ලීස්.. කරුණාකරලා ඔයා පහළට ගිහිල්ලා ඔයාගේ පාඩුවේ ජීවත් වෙන්න.මගේ ජීවිතේ ගොඩක් දේවල් මට මගහැරුනා.ගොඩක් තීරණ ගන්න ගොඩක් දේවල් කරන්න මම පරක්කු වුණා.මේ විදිහට නිකරුනේ කාලය ගත කරන එකෙන් වෙන්නේ මගේ ජීවිතේ හොඳම කාලේ තවත් විනාඩියක් හරි අපතේ යන එක..මට දැන් කාලය අනිත් හැම දේකටම වඩා වටිනවා…”
“ එහෙනම් මං ඔයාට කන්න මොනවා හරි හදන්නද ඔයා කැමති දෙයක්…”
තමා පිළිබඳවම උපන් ආත්මානුකම්පාව හදවත පතුලම රිදවමින් සිටියදී හසාරා යළිත් උත්සාහ දැරුවේ කැඩී බිඳී විසිර යන මේ බැඳීමෙහි අංශ මාත්‍රයක් හෝ අල්ලා ගුලිකර ගැනීමටය.
“ මං වෙනුවෙන් කියල කිසිම දෙයක් ඔයා කරන්න අවශ්‍යය නැහැ.මට මගේ වැඩ කරගන්න පුලුවන්..”
“ ඔයා ඔය කතා කරන්නේ පෙරේදා ගියපු ටීවී ප්‍රෝග්‍රෑම් එකේ කියපු දේවල් ගැනද…අපි අතරේ කොච්චර ප්‍රශ්න තිබුණත් මට ඒක ලෝකෙට පෙන්නන්න බෑ ධනා..ඒගොල්ලෝ ඒ ප්‍රෝග්‍රෑම් එකේදි මගෙන් බලාපොරොත්තු උනේ කාර්යබහුල ගැහැණියක් විදිහට කොහොමද තමන්ගේ පවුල් ජීවිතයට තමන්ගේ අයට සාධාරණයක් ඉෂ්ට කරන්නේ කියන එක දැනගන්න.…ඉතින් එතනදි කියපු සමහර දේවල් ඇත්ත නොවෙන්න පුළුවන්.සමහර තැන්වලදි මටත් හිතෙනවා මම හසාරා කියන චරිතේ නඩත්තු කරන්න නේද මේ දඟලන්නේ කියලා…අපි දැන් සමහර තැන්වලදී එයාලගේ රූකඩ වෙලා.එහෙම නොකර ඉන්නේ කොහොමද කියලා මම දන්නෙ නෑ ධනා.හැබැයි මං කියපු කිසිම දෙයක් බොරු නෙවෙයි.ඔයා අද දවසේ මාව තනිකලාට මීට මාස ගානකට කලින් මේ ගේ ඇතුලෙ ඔයාගේ මගේ කියලා දෙයක් තිබුණේ නෑ..”
“ මැරිලා ඉපදුනු මිනිස්සුන්ගෙන් ආපහු අතීතයේ සිද්ධ වෙච්ච දේවල් ඒ විදිහටම සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ…”
“ ඔයා කියන විදිහට ඔයාද මමද ඒ මැරිලා ඉපදුනු මනුස්සයා….”
“ අපි දෙන්නම…”
“ හසාරා තම සැමියා දෙස බලා උන්නේ දිගු සුසුමක් මුදා හරිමින්ය.තත්පරයක්වක් අතපසු නොවී ඈ ඔහුගේ මුවෙහි වන හැඟීම් හඳුනා ගන්නට වෙහෙස වූවාය.වෙනදා වන ආදරණීයබව හෝ දයාබරත්වය ඒ හැඟීම්වල නොවූ තරම්ය.හසාරාට මහා දුකක් දැනුනේ එනිසාය.අතැඟිලි අතරින් රූරා බිමට වැටෙන්නට අර අඳින මේ බැඳීම යළිත් සිය අත්ලට මිට මොළවාගන්නේ කෙසේදැයි ඇයටම නොතේරේ.
ධනංජය යළිත් සිය ලැප්ටොප් පරිගණකයට එබුණේ නිහඬවය.විනාඩි කිහිපයක් එසේ ගතව යන්නට විය.දිගු සුසුමක් මුදාහල හසාරා ඔහු ඉදිරිපසින් නැඟී සිටියේ සිය දෑස් දැවිල්ලකින් තෙත් කළ කඳුළු වලට පිටව යන්නට අවසර ලබා දෙමින්ය.තව දුරටත් ඒ ධෛර්‍යවන්ත ගැහැණියගේ ප්‍රතිරූපය ඔහු ඉදිරියේ රකින්නට ඇයට සිතුනේ නැත.
තෙවන මහළේ විසල් ප්‍රමාණයක් වෙන්ව තිබුණේ හිස් අවකාශයටය. නිවසේ සැලසුම අදිද්දී මේ ඉඩහසර වෙන් වූයේ හසාරාගේ කැමැත්තටය.නිවස සෑදූ භූමියේ එක් පසක් මායිම්ව තිබුනේ මදක් විසල් වූ වෙල් යායකටය.තෙවන .මහලේ මේ හිස් අවකාශය නිර්මාණය වී තිබුණේත් ඒ වෙල් යායට මුහුණලාය.
පෙර දිනවල බොහෝ විවේකී ඉරිදාවල් ගෙවී ගියේ මේ සඳැල්ලේය.හසාරා විසින් සවස් වරුවේ සාදා ගන්නා කෙටි ආහාරයක් නොමැති නම් වෙළඳ සැලකින් ගෙන එන කට ගැස්මක් රැගෙන මේ සැඳැල්ලට පැමිණෙන යුවල ඉන් පිටව යන්නේ පැය තුන හතරක කාලයක් ගත කලාට පසුවය.දෙදෙනාට කියවන්නට ඕනෑ තරම් දේ ව්ය.ධනංජය බියර් ටින් එකක් පානය කලේ හසාරා ඔහේ කියවන වදන් අසාගෙනය.එදා වූයේ කාලය මදිකමකි.අද ඕනෑ තරම් කාලය ඉතිරි වී තිබුණත් කතා කරන්නට දෙයක් නොවේ.
දිගු සුසුමක් මුදාහැරි හසාරා අත් වැටට දෑත් බරකර පහළට එබුණාය. මාස කිහිපයකට ඉහත අතීතය මෙනෙහි කරන්නට වෙහෙස වූ විනාඩි කිහිපයේත් තමාට ජීවිතය වැරදුනු තැන සොයන්නට ඕ උත්සාහ කළාය. මෙම විසල් නිවසේ ගෙවී යන ජීවිතය ඒ සිතට පීඩා ගෙන දුන්නේ උපරිමයෙන්මය.බිරිඳක ලෙස ඔහුගේ පහස ලැබූ දිනක් ඇයගේ මතකයේ නොවේ.ඒ උණුසුම ඒ ස්පර්ෂය විඳගන්නට පෙරුම් පුරමින් බලා සිටි බොහෝ රැයවල් ගෙවී ගියේ කඳුළු පමණක් ඒ දෑස් මත ඉතිරි කරවමින්ය.වෙනදා සේ ආලවට්ටම් දමා සොඳුරු ආලිංගනයකට ඔහුව පොළඹවා ගන්නට ඈ දැන් බියය.සිතටත් නොදැනෙන්නට මදින් මද ලිහී ගිය බැඳීම ඇත්තේ සම්පූර්ණයෙන්ම ලිහී ගිලිහී යන්නට ඔන්න මෙන්නව නතර වූ තැනකය.
කෑ ගසා හඬා වැටෙන්නට වූ උවමනාව මහත් ආයාසයකින් දරා ගත් ගැහැණිය සඳැල්ලේ අත් වැටට වාරුවම ග්‍රැනයිට් ඇල්ලූ පොළව මත වාඩි වූයේ දෑතින් මුව වසාගෙනය.මේ රූපවාහිනිය ගුවන් විදුලිය සහ සමාජ මාධ්‍යයන් ඔත්සේ ජනප්‍රිය වූ , ලෝකය දිනූ කාන්තාවක් ලෙස නම් දරා සිටිනා ගැහැනියමදැයි විශ්වාස නොකරන තරමටද ඇය මනසින් කඩා වැටී උන්නාය.ගෙවී ගිය අවුරුද්ද සිය රාජකාරී ජීවිතය තුළ ඇයට ස්වර්ණමය වසරක් විය.එහෙත් තමාගේ පවුල් ජීවිතය අසාර්ථකම වූ වසර ද විය.
තමාව සිය ජීවිතය තුළ පූර්වාදර්ශය කරගත් ගැහැණුන් යුවතියන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශ රටවලත් සිටිනා බව ඈ හොඳින්ම දනී. හසාරා පෙනී සිටි සමහර රූපවාහිනී සාකච්ඡා යූ ටියුබ් චැනල් ඔත්සේ මිලියන ගණනක් නරඹා තිබිණ.
දැන් දැන් ලෝකය හමුවේ තමා ඉදිරිපත් කරන්නේ අධිරංගනයක් බව විශ්වාසය.එහෙත් මේ ඈ පැතූ ජීවිතය නොවේ.
සිය නිබන්ධනය සකසා අහවර වී ධනංජය සඳැල්ල වෙත පැමිණෙන විට හසාරා උන්නේ සඳැල්ලේ බිම වාඩි වී සිය දෙපා නවා දණහිස් මත හිස තබාගෙනය.ඇය හඬා වැටෙනා බැව් ඒ දෙවුරහිස් උස් පහත් වෙන තාලයෙන් ඔහු හඳුනා ගත්තේය.එහෙත් දුකක් හෝ වේදනාවක් ඔහුට දැණුනේ නැත.
ඇගේ පිබිදීම තරමටම තමාගේ ජීවිතය මිලාන වී යන බැව් පමණක් ඔහු විශ්වාස කළේය.තවමත් ලෝකයා ඔහුව හඳුන්වන්නේ හසාරාගේ සැමියා ලෙස මිස හසාරා තමාගේ බිරිඳ යනුවෙන් නොවේ.
සවස් වරුවේ කාර්යාලීය අත්‍යාවශ්‍ය වැඩකට ගොස් පැමිණෙමින් සිටියදී කෝපි කෝප්පයක් බීම සඳහා ධනංජය සුප්‍රසිද්ධ අවන්හලකට ගියේ මිතුරාගේ ඇරයුමෙන්ය.
එහිදී හමු වූ මිතුරාගේ තවත් මිතුරෙකුටත් ඇගේ පෙම්වතියටත් මිතුරා ඔහුව හඳුන්වා දුන්නේ හසාරා බෝගහවත්තගේ ගේ සැමියා ලෙසය.
“ මේ ලෝකෙ සතුටින්ම ජීවත්වෙන හස්බන්ඩ් වෙන්න ඇති…”
එම මිතුරාගේ පෙම්වතිය ඔහුට අතට අත දී සිනහ මුසුව පැවසූයේ එසේය.කිසිවක් නොකියා මුවඟට නගා ගත් මදහස අවඥාව මුසු සිනහ රැල්ලක්යැයි ඇයට නොසිතෙන්නට ඇත.ඉන්පසු විනාඩි ගණනාවක් ගතව යනතුරු මිතුරා පවා කතා කළේ හසාරා ගැනය.
බොරු හදිසියක් මවා පාමින් ධනංජය එතනින් පිටව ආවේ තව දුරටත් තමාට තමාව සන්සුන් කර ගැනීමට නොහැකි මානයක නතරව ඇතැයි සිතෙත්දීය.
( යළිත් හමු වෙමු…)
ReplyForwardAdd reaction |