සීත මාරුතේ -49

මිහි මත උත්පාද වන්නා වූ බොහොමයක් කතා වල මුල, මැද, අග සිතා ගැනීම පහසු ය. ඒවා සාමාන්‍ය කතා වන නිසාවෙනි. සාමාන්‍ය ඕනෑ ම කතාවක වන්නේ සමානාකාර ගලා යාමකි. නමුත් මගේ කතාව වෙනස් වන්නේ අව පීඩන කලාපයක කැළඹීමක් මෙනි. දැන් එ් හරහා කොහේ සිට එන සුළං කුණාටු ලෙස කොයි අතට ගසා ගෙන යා දැයි කිව නො හැකි ය. 

ලොකු තාත්තා මගේ මේසය වෙත විත් අසුන් ගත්තේ උතුරා හැලෙන කෝපයෙනි. තැන් තැන් වලින් සුදු වූ හිස කේ පිළිවෙලකට උඩට පීරූ, කමිසයේ උඩ බොත්තම් දෙක නො පියවූ, බිම ගෑවෙන තරම් දිගට සරම හැඳ බඳ පටිය දැමූ පුහුල්පොල මිනිසා  ගේ ඇස් වල කෝපය දිළිසිණි.

“මේ ගෑනිව තියන්න වටින්නෙ නෑනෙ. මෙච්චර තේරුං කරල කියද්දිත් මේ කසාදෙ ඉක්මන් කරන්න දඟලන්නෙ රටේ ලෝකෙ වෙන කොල්ලො නැතුව නෙවෙයිනෙ. රජ්ජුරුවන්ගෙ බිස්නස් එකට තියන තන්හාවෙ. හරි කමක් නෑ කියමුකො. ඒත් ඕන දෙයක් කෙරෙන පිළිවෙලක් තියනව. මූගෙ මේ මතකය අමතක වෙලා තියෙන වෙලාවෙ අර උඩැක්කිය කරේ එල්ලන්න හදන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නනෙ. ඔන්න කොල්ලට ටිකක් කල් දීල ආයෙ මතකය ලැබෙයිද කියලවත් බලලනං කමක් නෑ”

“ලොකු තාත්ත කලබල වෙන්න එපා. ඒ ආන්ටිගෙ පැත්තෙන් එයා හරි”

මම මා තුළ ම සන්සුන් වෙමින් ලොකු තාත්තා ව ද සන්සුන් කිරීමට උත්සාහ කළෙමි.

“කොහොමද හරි වෙන්නෙ…කපටි අම්මණ්ඩි කෙනෙක්”

“ඉරණම කොයි විදිහට ලියවිලා තියනවද කියල අපි දන්නෙ නෑනෙ ලොකු තාත්තෙ”

“මං ලියන්නං ඉරණම. මට ඕන විදිහට”

ඒ අව් අස්සේ සන්තාප කඳුළු අතරින් මගේ මුහුණට සිනහවක් ද ආවේ ය. මේ වූ කලී බෙහෙවින් අවිනිශ්චිත මොහොතකි. මුණිවරගේ මතකයේ මා උන් පරිච්ඡේදය මැකී ගොසිනි. නමුත් ධාරා ව ඔහු ට යෝජනා වී තිබූ බව මුණිවර දනී. ඔහු මට පෙම් කළ බවක් කවුරුන් කීව ද මොන සාක්ෂි තිබුණ ද ඔහු ගේ මතක ඉතිහාසයෙහි එවන් සඳහනක් හෝ නොවේ. ඒ අතින් ධාරාට වඩා මෙතැන අවාසනාවන්තිය මා ය. වරක් ඔහු ධාරාව ප්‍රතික්ෂේප කළ බව හෝ ඔහු ට අමතක ව ගොස් ඇති නිසාවෙනි.

මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස, ධාරා ගේ මව නික්ම යාමට මුණිවර ගේ කුටියෙන් පිට වෙත්දී ලොකු තාත්තා අසුනින් නැග්ට ඇය වෙත ගියේ ය.

“අනේ ලොකු තාත්තෙ”

මගේ කට හඬ, ඒ වෙලාවේ කුණාටුවක් වූ ඔහු ට හීන් හඬක් සේ හෝ ඇසුණේ නැත.

“මං ඔය කටයුත්තට අකමැතියි”

ලොකු තාත්තා ඇය ට කෙළින් ම කීවේ ය. මා කළින් ම අසුනින් නැගිට සිටිය ද එහඬින් මුණිවර ද නැගිට ගත්තේ ය. ධාරා ගේ මව ඉද්ද ගැසුවා සේ නතර වූවා ය.

“මේක හරියට නොදන්න කිරිසප්පයෙක්ව අල්ලල මහණ කරනව වගේ වැඩක්. ඌට තේරෙන කාලෙදි ඌ කැමති විදිහට ජීවත් වෙන්න හදනකොට මිනිස්සු කරන්නෙ ඊළඟට ගල් ගහල මරා ගන්න හදන එක. ඒ වගේ මේකාටත් ඔය කසාදෙන් පස්සෙ දවසක නැතිවෙලි ගිය මතනෙ ආවොත් මොකද කරන්නෙ…එහෙම වෙලා ඒ කසාදෙ එපා කියල ආයෙ මේ කෙල්ලව ඕන කිව්වොත් මොකද කරන්නෙ..එදාට මූට දොස් කියල ඌව මරාගෙන කාලවත් වැඩක් වෙයිද…නිකං අපරාදෙ ගෑනු ළමිස්සියො දෙන්නෙක්ගෙම ජීවිත නාස්ති කරල දාන්න හදන්න එපා නෝනා. මොකද්ද මේ කළබලේ…පොඩ්ඩක් ඉවසල ඉන්නකො”

“එහෙම ඉවසන්නෙ කොහොමද..”

ධාරා ගේ මව ද කර බාගෙන යන්නට සූදානම් වූයේ නැත.

“මගෙ දුව ලංකාවට ආවෙ මේ පුතා ගැන යෝජනාව නිසා. පුතා ධාරාව බඳින්න අකමැත්තක් නෑ කියලයි තිබුණෙ. ධාරා ඇවිත් කසාදෙට කැමැත්ත දුන්නට පස්සෙ පුතා බෑ කිව්ව. වෙන සම්බන්දයක් තියන නිසා. අපි ඒත් කමක් නෑ කියල ඉවසුව. දැන් මේ ළමයට එහෙම සම්බන්දයක් නෑ. එහෙම සම්බන්දයක් ගැන මතකෙකුත් නෑ. ඔයිට වැඩිය සම්බන්ද තිබිල කැඩිල වෙන කසාද කර ගන්නෙ..ඉතිංමේක මොකද්ද…සිහිය ආවත් එයාට හිතන්න මොළයක් තියනවනෙ…ඒක පරණ සම්බන්දයක්ය දැන් ධාරාව බැඳලය ඉන්නෙ කියල හිතන්න එයාට පුළුවන්නෙ”

“ඉතිං ඇයි මේ කොල්ල පස්සෙම වැටිල ඉන්නෙ…නෝනා ගෙ දුවට වෙන තැනකින් දෙයක් කර ගන්න බැරි කමක් නෑනෙ”

“ලොකු තාත්තෙ”

එවර මුණිවර සිය නිහඬ බව බින්දේ ය.

“ඔය දේවල් මේ විදිහට කතා කරන එක හරි නෑනෙ. අනික මෙතන මේ වර්කර්ස්ලත් ඉන්නව”

“මගෙ දුවට වෙන තැනකින් කටයුතුතක් කර ගන්න පුළුවන් තමයි. ඒත් අපි අපේ නෑයින්ටත් කියලයි තියෙන්නෙ දුව බඳින්න ඉන්නෙ මේ පුතාවයි කියල. අපිට ලැජ්ජ වෙන්න බෑ. මුණිවර පුතා. ඔයා හොඳට කල්පනා කරල බලන්න. ඔයාට මතකවත් නැති කෙනෙක් නිසා ඔයා කලින් බඳින්න කැමැත්ත දීල තිබුණ ධාරාට අසාධාරණයක් කරන එක හොඳද කියල”

ඇය අවධාරණයෙන් යුතු ව එපමණක් කියා ගොස් කුළී රියෙහි නැගුණා ය. මුණිවර සිය අතකින් හිස කේ පිටුපසට කරමින් ඇස් පියවමින් ඉහල ට මුහුණ හරවනා හැටි මම බලා සිටියෙමි. මගේ හිත පිච්චී ගියේ මා වෙනුවෙන් නොව ඔහු වෙනුවෙනි. මතකයක එක කොටසක් අහිමි වූ මිනිසෙකු වෙතින්, මතකය ඇති අප විසින් බලාපොරොත්තු වන්නා වූ ඇතැම් දේවල්, ඔහු ට කරනා අසාධාරණයක් වන්නට පුළුවන. 

ආපසු හැරී සිය අසුන වෙත ඇවිද ගිය මුණිවර ඒ මතට වැටුණේ ය. මම හෙමිහිට ඇවිද මගේ මේසය වෙත ගියෙමි. ලොකු තාත්තා ඔහුත් සමග වාද කරනා හැටි මට පෙනිණ. මුණිවර අසරණ ලීලාවෙන් බලා සිටියේ ය. ඔහු ගේ හිතට වදයක් නොවෙනා පරිදි රිසි දෙයක් කර ගන්නට ඉඩ දී ඔහු ට නො පෙනෙනා තැනක සැඟවී ගන්නට මට සිතිණ.

සමනල උයනත් ළඟට වී එදා මම හුඟක් කල්පනා කළෙමි. විටෙක ඇසින් කඳුළක් ඉහිරී ගියේ ය. විටෙක හදින් සුසුමක් ගිලිහී ගියේ ය. මේ මිස්ට් ෆීල්ඩ් හි හැම තැනක ම තියෙන්නේ අපේ මතක සටහන් ය. නමුත් මුණිවර ට ඒ කිසිත් මතක නැත. මුලදී මන්දාකිණී කියා කෙනෙකු නො පිළිගත්තත්, බොහෝ සාක්ෂි නිසා මා එහි සේවය කළ බව පිළිගන්නට ඔහු ට සිදු විය. ඇතැම් දේවල් ඒත්තු ගන්නට හෑන්ඩ්ලූම් පැරඩයිස් ද මගේ ඇඳුම් මෝස්තර නිර්මාණ ද මිස්ට් ෆීල්ඩ් ඔන්ලයින් ෆ්ලවර් බුටික් ද ද නිහඬව සාක්ෂි දැරුවේ ය. ඒ නිසා මිස්ට් ෆීල්ඩ් වෙත මගේ දායකත්වය ගැන ඔහු මට ලැබිය යුතු ගෞරවය ලබා දුන්නේ ය. නමුත් මගේ හදවත හිස් ව තිබිණ.

“මන්දාකිණී”

මා සමනල උයන වට කරනා දැලෙහි එල්ලී ගෙන ඊට මුහුණ හොවා සිටියදී පසුපසින් ඔහු ගේ හඬ ඇසුණේ ය. මම වහා දැලෙන් මෑත් වීමි.

“අයිම් සොරි මන්දාකිණී. ඔයා ගැන හිතද්දි මට මාර අවුල්. අම්..මන්දන්නෑ මං මොකද්ද කරන්න ඕන කියල. මේ වෙන දේවල් නිසා ඔයාට දුක ඇති. මට ඒක තේරෙනව. ඇයි දෙයියනේ මට ඔයා මතක් වෙන්නැත්තෙ..”

“මං ගැන දුක් වෙන්න එපා මිස්ට මුණිවර. පුළුවන්නං මට එක උදව්වක් කරන්න”

“උදව්වක්…”

“පුළුවන්නං මාත් එක්ක ගාල්ලෙ යන්න එන්න. මිස්ට මුණිවරට ඒක අවුල් වගේනං අපි ලොකු තාත්තවත් එක්කං යමු. එදා ඇනුවල් ට්‍රිප් එක ගිහිං අපි නතර වුණ හොටේල් එකට…මිස්ට මුණිවරගෙ රූම් එක එක පැයකට බුක් කරං අපි ඒකට යමු…අඩු ගානෙ එතනදිවත් මිස්ට මුණිවරට අපිව මතක් වෙයිද කියල බලමු. ඒත් මතක් නොවුණොත්…ආයෙ කවදාවත් ඒ ගැන බලාපොරොත්තු වෙලා වැඩකුත් නෑ”

“අම්..ඔයා කියන්නෙ…ඒ රූම් එකේ..අම්..මේ..”

“එදා රෑ එළි වෙනකල් අපි ඒ රූම් එකේ බැල්කනි එකට වෙලා කතා කර කර හිටිය. මට ඒ වගේ අමතක කරන්න බැරි මතකයක් දීල ඉරණම ඔයාගෙ මතකෙ අමතකම කරල දාන්න හිතලනං…කරන්න දෙයක් නෑ. මං තනියම ඒ මතක ටිකත් අරං මිස්ට් ෆීල්ඩ් වලින් ඈතකට යන්නං. ඊට කලින්..මට මේකට විතරක් ඉඩ දෙන්න”

මා නො හඬා කතා කළේ කොහොමද කියන්නට මා දන්නේ නැත. ඔහු හිස සලා එකඟ වූයේ ය. මම හඬා ගෙන මල් සාප්පුව වෙත දිව ගියෙමි. 

කිසි දාක මම දෙවියන් ගෙන් කිසිත් ඉල්ලා නොමැත්තෙමි. මට අවශ්‍ය කළ සියල්ල අවශ්‍ය මොහොතේ දී මට ලැබී තිබිණ. අඩුපාඩු වලින් තොර ළමා වියක් ද පරිපූර්ණ යොවුන් වියක් ද මට උරුම වී තිබුණේ ය. ඕනේ කියනා වෙලාවටම දුන්නේ නැත ද අපට ඕනෑ වූ යමක් අප්පච්චි නොදී සිටියේ නැත. ඔහු ට ඕනෑ වූයේ අප තෘප්තිමත් වැඩිහිටියන් ලෙස සමාජගත කරන්නට යයි කිහිප වර කියනු ද මම අසා ඇත්තෙමි. ඒ නිසා, ඕනේ යයි කියූ දෙයක් අද ම නැත ද හෙට අනිද්දාට හෝ ලැබෙනා බව කල් යත්දී මම අවබෝධ කොට ගතිමි. ඒ අවබෝධය ලබත්දී යමක් ඕනේ යයි කියමින් පාරේ හෝ සාප්පු වලදී හෝ බිම පෙරලෙමින් හඬා වැටෙන්නට මා පෙළඹුණේ ද නැත.

මුණිවර කෙරේ හිත බැඳුණු වෙලේ ද මම හිතට අවැසි මිහිර ලබා දෙන්නට දෙවරක් නො සිතුවෙමි. මට ඔහු ගේ ප්‍රේමය ලැබුණේ ය. නමුත් අන්තිමට ඒ මතකය ඉරණම ඔහු ගෙන් සොරා ගත්තේ ය. හිස් අතින් හැරී යන්නට පෙර ඒ අවසාන උත්සාහය ගෙන බලන්නට මගේ පැරදුම ට රිසි නැති හිතට ඕනේ වූයේ ය.

“ඒක හරියයි. ඒක හරියන්නම ඕනෙ”

නංගී කීවා ය.

“අපි බෝධි පූජාවක් තියමු. මන්දිල එහෙට යනකල් පිරිත් කියමු. දෙයියො බුදුන්ට මිස අපිට වෙන කියන්න කෙනෙක් නෑනෙ”

“ඊට පස්සෙ මං මොනාද කරන්නෙ කියල හිතන්න ඕනෙ”

“ඒ කියන්නෙ…”

“මං තව දුරටත් මෙහෙ ඉන්නවද නැද්ද කියල”

“අක්ක…”

“ෆැශන් ඩිසයිනර්ස්ලට ලෝකෙ හොඳ ඉල්ලුමක් තියනව. එහෙම වුණොත් මං කොහෙහරි රටකට යනව. ඒක මං මුණිවරටයි ධාරාටයි කරන උදව්වක් වෙයි. පස්සෙ කාලෙක මතකය ආවත්…ඒ මතකය අමතක කරල දාන්න එතකොට මුණිවරට පහසු වෙයි. ධාරාට වුණත්…ගිල්ටි ෆීලින් එකක් නැතුව මුණිවර එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයි. එයාල වෙනුවෙන් මට කරන්න පුළුවන් හොඳම දේ ඒක”

 අප ගාල්ලේ යන්නට යොදා ගත්තේ සෙනසුරාදා ය. මේ ගමන ගැන අම්මා තුළ ඒ තරම් කැමැත්තක් වූයේ නැත. ඇය සිටියේ අතීත මතකය අමතක වී ද මුණිවර කැමති නම් මා ඔහු හා විවාහ වූවාට කම් නැත යන අදහසේ ය. මේ ගමනත් අසාර්ථක වූවොත් මා ගන්නට නියමිත තීරණය ගැන අම්මා කෙනෙකු වශයෙන් ඇය බියක පසු වන්නට ඇත.

“අනික මෙච්චර මෙහෙ දේවල් අමතක එකේ ඔය ට්‍රිප් එකක් විතරක් මතක් වෙයිද..”

ඒ රාත්‍රිය ගැන අම්මා දන්නේ නැත. කියන්නට ද නො හැකි ය. කෙසේ වුව ද මා තුළ වූ ධෛර්යය බිඳ හෙළිය නො හැකි බව ඇය දැන සිටියා ය.

 ධාරා ද ගමනට එක් වෙන්නට අවසර පැතුවා ය. ලොකු තාත්තා ඒ ගැන කලබල වූව ද මම ඇය ට ඉඩ දී නිහඬ වීමි. දැන් සියල්ල තීරණය කිරීමේ හැකියාව ඇත්තේ මුණිවර ගේ අතේ ය. ධාරා කිසි සේත් තීරණාත්මක සාධකයක් වන්නේ නැත.

මේ ගමන වේදනාත්මක එකකි. එදා සේ මුණිවර ගී ගැයුවේ නැත. ඔහු හා මා එක් ව ගැයු ‘අහසින් එහා තරු මං දිගේ’ ගීතය මගේ හිස පුරා දෝංකාර දෙමින් තිබිණ. රාවණා දිය ඇල්ල ද අපි කෑම කන්නට නතර වූ වැව ද අපේ අතීත මතකය දරා ගෙන  අප දෙස බලා සිටියේ සංවේග ප්‍රාප්තව ය. නමුත් මුණිවර ට ඒ කිසි තැනක දී කිසිත් මතක් වූයේ නැත. 

හංසිකා කතා කොට අප වෙනුවෙන් ඇය සුරුවම ඉදිරියේ යාඥා කරන බව කීවා ය. කසුනි පිරිත් කීවා ය. නංගී පඬුරක් ගැට ගසා තිබිණ.

“මට මාර දුකයි මන්දි ඔයා ගැන…අපේ අම්ම මොනා හිතේ තියං හිටියත් මං හැම මොහොතකම විශ් කරනව මුණිවරට හැම දේම මතක් වෙන්න කියල”

අප නවාතැන් ගත් සමුද්‍රාසන්න හෝටල ඉදිරියේ රියෙන් බැසි ඉක්බිති ධාරා මගේ අතක් අල්ලා ගෙන කීවා ය. මම ලොකු හුස්මකින් පපුව පුරවා ගතිමි. ඒ හුස්මට අමතර ව එහි වූයේ එක ම එක පැතුමකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles