හද සාගරේ – 17

0
5111

තේ උගුරක් බී සුදු පෝසිලේන් කෝප්පය පීරිසිය මත තබනා ගමන් සංකේත් පුටුව මඳක් කරකවා වීදුරු පවුරෙන්   ගිනුම් අංශයෙහි හිඳිනා ආදියා දෙස බැලුවේ ය. ඈ සිටියේ මල්ෂා වෙතට බර වීගෙන අතින් යන්තම් මුව වසා සිනහ වෙමින් මොනවාද කියමිනි. යුවතියන් දෙදෙනා ගේ ම දෑස් කැල්ම වරින්    වර වීදුරු පවුර විනිවිද පැමිණියේ ය.

“ඒ ගමන මොකද… ආදියාට හිත ගිහින්ද…”

“තණකොළ කන හරකො… තොට තේරෙන්නැද්ද මට නෙවෙයි ඒකි බොට වශී වෙලා ඉන්නෙ කියල”

එවර දෙව්රම් සැහැල්ලු සිනහවකින් සිය තේ කෝප්පයෙන් උගුරු කිහිපයක් ම හිස් කළේ ය.

“ගෑනු ළමයි ඕන තරං එහෙම වශී වෙලා ඉන්නවයි කියල මං දන්නවනෙ බං”

“ඔක්කොම එවුං වශී වුණයි කියල උං ඔක්කොම සහේට අරං අන්තඃපුරයක් දාගන්න උඹ ශක්‍ර දේවේන්ද්‍රය නෙවෙයිනෙ”

“ඇත්තට බං ඔය රජවරු අන්තඃපුරයක් ගෑනු ආම්බාං කරන්න ඇත්තෙ කොහොමද… අපිට මේ එකාව පරිස්සං කරගන්න බැරිවුණානෙ”

“අපිට නෙවෙයි තොට. බහු වචනෙං කියල මේ මගෙ පිරිකමත් නෝන්ඩි කරන්නෙපා. මං වගේනං අරකිට කන පුරෝල දෙකක් දීල කකුල් දෙකත් කඩල ගෙට දාගන්නව අඩියක් හෙල්ලෙන්න බෑ කියල. කොහෙද ඉතිං උඹ”

“අයියෝ සංකේතයා… උඹත් අර මැක්කගෙ කතාව වගේ කොතනිං පටන් ගත්තත් සපූගෙන්මනෙ ඉවර කරන්නෙ. අනේ මට ඕක ආයෙ මතක් කර කර ඉන්න නෙවෙයි බං ඕනෙ. ඔතනිං එහාට අඩියක් තියාගන්න…”

“අන්නේකම තමයි මාත් කියන්නෙ. එතනිං එහාට අඩියක් තියන්නනං…”

සංකේත් නැවත ද පුටුව කරකවා ගිනුම් අංශය දෙස බැලුවේ ය. ආදියා පරිගණක තිරය වෙත නෙතු යොමාගෙන වැඩක නිරත වී සිටියා ය.

“මේකි කවුද කින්ද මන්ද ඉන්නෙ කොහෙද ආවෙ කොහෙන්ද කියල සුලමුල හොයාගන්න අමාරු නෑනෙ බං… එච් ආර් එකෙන් කෙල්ලගෙ පර්සල් ෆයිල් එක ගෙන්නගනිං”

“අඩෝ අඩෝ මේ…”

දෙව්රම් වහා අසුනෙන් නැගිටගත්තේ ය. දෑත් කලිසම් සාක්කු වල ඔබාගෙන ඔහු කැබින් එකේ වටයක් ඇවිද නැවත ද අසුන්ගත වූයේ ය.

“ඕක කීයටවත් මං කරන්නෑ සංකේත්. අර කෝල්ස් ගන්න ගෑනු ළමය ආදියාද කියල ලාවට හිතුණ නිසා මං නිශ්ශංක අංකල්ගෙ ගෙදරටත් ගියා තමයි. ඒත් මීට පස්සෙ මං එහෙම කරන්නෙත් නෑ කියල හිතං ඉන්නෙ”

“හේතුව…”

“හෙවනැල්ල වුණත් අපි පස්සෙං යනකොට අපෙං ඈතට යනව බං. ඒකයි ඇත්ත. මන්දා… මට හිතෙනව පන්නගෙන ගිහිං හොයාගන්න දෙයක් අන්තිමට නැතිවෙයි කියල. ඊට වැඩිය හොඳයි වගේ වෙන දේකට වෙන්න ඇරල බලං ඉන්න එක. දෙයක් බලෙන් කරවගන්නවට වැඩිය ඒක ඉබේට වෙන එකේ  වෙනම ලස්සනක් තියනව. මලක් වුණත් ලස්සන එයාම පිපුනහම මිසක් අපි පෙති දිගඇරල පිප්පුවහම නෙවෙයිනෙ”

“හරි හරි. එහෙනං පුප්පන්නැතුව ඉමුකො”

ඊළඟ දෙතුන් දින ගෙවී ගියේ නිවී සැනසිල්ලේ ය. නිශ්ශංක එදා දිනේශ් ට තදින් කතා කළාට පස්සේ ඔහු බීමත්ව පැමිණිය ද වැඩිපුර කෑකෝ ගැසුවේ නැත.

“කරන දෙයක් කරගන්න පුළුවං වෙන්නෙ කෑ ගහල රංඩු කරල නෙවෙයි මනුස්සයො. යාප්පුවෙං ඉඳල. මං හෙමීට අම්මට කියන්නංකො. තව දරුවෙක් එන්න ඉන්න නිසා කීයටවත් අම්මල අහක බලන්නෙ නෑ. නංගිට රස්සාවක් තියනවනෙ. එයා මේව ඉල්ලන එකක් නෑ. ඒක නිසා දවසක මේ ගේ අපිට තමයි. ඒක නිසා දෙයියංගෙ නාමට පැටලෙන්න යන්නැතුව ඉන්නව”

ඒ සිදුවීමෙන් පස්සේ සාරධා ද දිනේශ් ට අවවාද කළා ය. අම්මා මෙන් නොව තාත්තා ට කේන්ති යාම භයානක බව ඇය කුඩා කල පටන් දැන සිටි බැවිනි. ඇල්කොහොල් ටිකක් දේහගත වූ විට සිංහ සෙයියා පෑවාට එදා නිශ්ශංක කෑ ගසත්දී දිනේශ් ට බියක් නො දැනුණා ද නොවේ. එබැවින් ඔහු ද තමන් පාලනය වී හොඳ බෑනෙකු වීමේ භූමිකාව රඟදක්වන්නට උත්සාහ කළේ ය. කෙසේ වෙතත් මේ තාවකාලික සටන් විරාමය වුව ආදියාට නම් ලොකු සැනසිල්ලක් විය.

දෙව්රම් විසින් ඇය හා රහසිගත ඇමතුම් දෙන්නිය එක්කෙනෙකු යයි සැක කරනවායි මල්ෂා විසින් තහවුරු කිරීමෙන් පසු බයට ම ආදියා ඒ දින කිහිපයේ ඔහු ට ඇමතුම් දෙන්නට ගියේ නැත. නමුත් දිගින් දිගට ම එහෙම හිත හදාගෙන ඉන්නා එක ද ඇයට පහසුවක් වූයේ නැත. එබැවින් එක රාත්‍රියක, එදාට පමණක් එක මොහොතකට පමණක් ය කියා ඇය පුරුදු විදිහට දෙව්රම් ගේ දුරකතනය අංකනය කළා ය.

දැනෙන නො දැනෙන පාළුවක් දෙව්රම් ද අත්නොවින්දා නොවේ. නමුත් ඔහු ද පාඩුවේ ඉන්නා තීරණයක් ගෙන තිබිණි. කෙසේ වෙතත් ඒ ‘හැපී පිල්’ ඇමතුම නිරායාස සිනහවකින් ඔහු විකසිත කරවනා ලදී.

“චූටි දුව… “

දෙව්රම් ගේ ආමන්ත්‍රණයට ආදියා ගේ සිනහව පිපිරිණි. ඒ සිනහව, ගෝල්ඩන් ලීව්ස් හි ගිනුම් අංශයේ ආදියා මත සමපාත වන්නේ ඇයිද කියා දෙව්රම් නො සිතා සිටියේ ය. නමුත් දැන් ඔහු ගේ හිතේ මැවී තිබෙනුයේ ඇගේ රුවයි.  

ආදියා මුව අතින් තද කරගෙන දුරකතනය සවනට ඔබාගෙන සිටියා ය.

“ඉතිං ඉතිං… කොහොමද කාලෙකට පස්සෙ…”

දෙව්රම් ගේ මිත්‍රශීලී හඬ මිහිරි ලෙස ආදියා ගේ සවන් තුළින් රිංගා යත්දී ඕ දෑස් පියාගත්තා ය. මේ මායාවකි. මායාව මනබන්ධනීය ය. මිහිරි ය. සොඳුරු ය. නමුත් ඉන් අල්ප මාත්‍රික දුරක වන සැබෑව මිහිරි නැත. සියුමැළි ද නැත. ආදියා ඒ බැව් දැන, මේ මොහොතක මායාවේ සුන්දරත්වය තුළ ගිලී සිටියා ය.

“ඔයා කැමති නැත්තං මං ඉස්සරහට එන්න… බය වෙන්නෙපා. මං ඔයා කවුද කියල හොයන්න මහන්සි වෙන්නෙත් නෑ”

එතකොට නම් සියුම් රිදුමක් හද කොනක් කොනිති නො ගැසුවා නොවේ. නමුත් එක අතකට එය ඇගේ නිදහස්  සුවපහසු කලාපය ආරක්ෂිත කරනා හේතුවක් බව ආදියා දැන සිටියා ය.

නමුත් ඇයට ඒ සිහිලැල් මනෝ රාජ්‍ය තුළ තවත් වැඩි වෙලා සුවෙන් සිටිත නො හැකි වූයේ දිනේශ් බීමතින් පැමිණ මහ හඬින් ගෙදර දොරට තඩිබාන්නට පටන් ගත් නිසා ය. ආදියා වහා දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.

“ඇරපල්ල ය කෝ…උම්බලගෙ මහ ලොකු මාළිගාවෙ දොර…”

එහඬින් නිශ්ශංක ඇඳෙන් බිමට පැන්නේ විදුලි වේගයෙනි. ඔහු කාමරයේ දොර හැරගෙන පිටතට එත්දී සාරධා මහ දොර ළඟ ය. නිශ්ශංක වහා එතැනට ගොස් දොර අගුලට අත තබත්දී සාරධා පසෙකට වූවා ය. දොරට දෑත් බර කරගෙන වාරු වී සිටි දිනේශ්, නිශ්ශංක වේගයෙන් එය විවර කරත්දී ඉදිරියට වැටී බිම හොත්තේ ය. සාරධා කෑගැසූ අතර එහඬින් ආදියා ද කාමරයෙන් පිටතට ආවා ය. දිනේශ් බිම බඩගාමින් නැගිට ගන්නට උත්සාහ කරමින් සිටියේ ය.

“මොකාද යකෝ මාව වට්ටපු එකා…”

ඒ අතරේ ඔහු දෙඩවූයේ ය. නිශ්ශංක ට හිතුණේ ඔහු පිටතට විසි වෙන සේ පයින් අනින්නට ය. නමුත් ඔහු තවත් වතාවක් මනුස්සකම ගැන හිතුවේ ය.

“උඹ ගෙට එනවනං කට පියාගෙන ගිහිං නිදාගනිං. තව එක වචනයක් හරි කියෙව්වොත් මං නරක මිනිහයි කියන්නෙපා”

“ඇයි ඇයි… උඹල හිතං ඉන්නෙ උඹල මහ ලොක්කො කියලද… මං කරුමෙකට කර ගැහුව යකෝ… උඹල පානිය දාල නිකංම මේ ගෑනිව මගෙ කරේ එල්ලුව”

“දිනේශ්… යං කාමරේට”

සාරධා ඔහු ගේ අතකින් අල්ලන්නට ගියා ය. නමුත් දිනේශ් ඇගේ අත ගසා දමා නො සරුප් වදන් වැලකින් නිශ්ශංක ට බැණ වදින්නට ගත්තේ ය. අවට ගෙවල් වලට ද ඒ හඬ ඇසී ගෙවල් වලින් ඇස් ඉස් එබිකම්    කරන්නට ගති. ආදියා ලැජ්ජාවෙන් ද වේදනාවෙන් ද කේන්තියෙන් ද නැහැවී යන්නට වූවා ය. ඒ සියල් හැඟුමන් එක්වී ඉකියක් ලෙස පිට විය. ඇය කාමරයට දිව ගියා ය. කාමරයේ දොර වසාගෙන එකසිය දහ නවය පොලිස් අංශයට දුරකතන ඇමතුමක් ගෙන දිනේශ් ගේ කෝලහලය ගැන පැමිණිලි කළා ය. පොලිස් අංශය විසින් නිවස පිහිටි ප්‍රදේශය ගැන විස්තර ලබාගන්නා ලදී. ඔවුන් අයත් පොලිස් වසමට අදාල පොලීසියේ ජීප් රියක් ගෙදොරකඩ නතර වෙන්නට මහ වෙලාවක් ගියේ නැත. ඒ වෙත්දීත් දිනේශ් සාලයේ වැනි වැනී නොසරුප් වදනින් බැණවදිමින් සිටි නිසා අලුතෙන් යමක් කියා සිටින්නට අවශ්‍ය නොවී ය. පොලිස් නිලධාරීහු දිනේශ් ව ඇදගෙන ගොස් රියට දමාගත්හ.

“යංකො… පොලිස්සියෙදි වෙරි හිඳෙයි”

“අනේ සර්… එයාව ගෙනියන්න එපා සර්…  “

කියමින් සාරධා පොලිස් නිලධාරීන් ඉදිරියේ කන්නලව් කළා ය.

“මේ තමුන්ගෙ දෙමව්පියො නේද… මනුස්සය මෙහෙම ඒගොල්ලොන්ට කරදර කළාට තමුන්ට ගාණක් නැද්ද… මේ  වගේ අයට දෙන්න ඕන බෙහෙත් පොලීසියෙ තියනව. ඒව දීල එවන්නංකො”     

පොලිස් ජීප් රිය නික්ම ගියේ     සාරධා ගේ විලාපය මැද ය. ඇයව සනසන්නට ගිය ජිනාදරී ගේ  අත ඈ පසෙකට ගසා ඇමුවා ය.

“පොලිස්සියෙං ගුටියක් කෑවයි කියල ඕකා මැරෙන්නෑ. එක අතකට ඔහොම වුණ එක හොඳයි. හැදෙන එකෙක්නං දැංවත් හැදෙයිනෙ”

නිශ්ශංක සාරධා ට තදින් කීවේ ය. කෙසේ වෙතත් ඇගේ කුසයෙහි කළලයක් වැඩෙනා බැවින් ඈ හිත රිදවන්නට ඔවුන්ට ඕනෑ වූයේ ද නැත.

“හෙට උදේට අවවාද කරල එවයි. ලොකු දුව දැන් නිදියන්න”

“මං නිදියන්නෙ කොහොමද එයාව පොලිස්සියට කුදලගෙන ගියාට පස්සෙ” යි කියමින් සාරධා වැළපෙන්නට වූවා ය.

“පොලිස්සිය නිකං එන්නෑනෙ. මේ ගෙදර කෙනෙක්මනෙ පොලිස්සියට කතා කරන්න ඇත්තෙ. ඇයි අපිට මෙහෙම කරන්නෙ… මගෙ මිනිහව හිරේ යවල මාව අනාත කරන්නද හදන්නෙ…”

සාරධා දුක කියවමින් හඬන්නට වූවා ය. අක්කා ගැන ආදියා ගේ හදවත රිදුම් දුනි. නමුත් ඈ නිසාවෙන් වුව මේ තරම් දේවල් ඉවසා දරා සිටිත හැකි ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here