ලෝකෙ පුරා ජනප්‍රිය කෙසෙල් ෆ්‍රිටස් හදමු

විවිධ රස වල කෑම අත්හදා බලන්න කැමති ඔබ වෙනුවෙන්ම ඔන්න අපි තවත් රසවත් කෙටි කෑමක් ඔබත් එක්ක බෙදාගන්න තීරණය කරා.

කෙසෙල් ෆ්‍රිටස් කියන්නෙ කේරළය ඇතුළු දකුණු ඉන්දියාවෙ වගේම තවත් දකුණු ආසියානු රටවල් ගණනක දැකගන්න ලැබෙන බැටර් එකක තැවරූ ඉදුණු කෙසෙල් ගැඹුරු තෙලේ බැදගෙන හදන හරිම ජනප්‍රිය වීදි ආහාරයක්.

සමහර රටවල් සහ ප්‍රදේශ අනුව ඒ බැටර් එක පිළියෙල කරන විදිහ ටිකක් වෙනස් වුනත් බොහෝවිට එක සමාන අමුද්‍රව්‍ය භාවිතා කිරීම දැකගන්න පුළුවන්.

ඉතිං අපි ඕන කෙනෙක්ට හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කෙසෙල් ෆ්‍රිටස් හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියල මුලින්ම බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු කෙසෙල් 04 ක් 

පාන් පිටි කෝප්ප 01 ක් 

හාල් පිටි මේස හැන්ඳක් 

සීනි මේස හැන්ඳක්

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

කහ කුඩු තේ හැඳි ¼ ක් 

වතුර

තෙල් 

බබකියු ස්ටික් හෝ ඉරටු කැබලි කීපයක්

සාදාගන්නා ආකාරය

මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට පාන් පිටි, හාල් පිටි, සීනි, ලුණු කුඩු සහ කහ කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන්, මේ පිටි මිශ්‍රණයට වතුර ස්වල්පය බැගින් එකතු කර පිටි කැට නොසිටින සේ කලවම් කරමින් කෙසෙල් ගෙඩි වල තැවරෙන උකු පිටි මිශ්‍රණයක් සාදාගන්න. 

සාදාගත් උකු බැටර් එක පසෙකින් තබා කෙසෙල් ගෙඩි වල පොතු ඉවත් කරගන්න. 

ඔබ යොදාගන්නා කෙසෙල් දිගින් වැඩියි නම් දෙකට කපා හෝ දෙකට කපා දික් අතට දෙකට පලා භාවිතා කරන්නත් පුළුවන්.

පොතු ඉවත් කරගත් කෙසෙල් ගෙඩි බබකියු ස්ටික් ගසා සූදානම් කරගන්න.

තෙල් තාච්චියක් ලිප තබා තෙල් හොඳින් රත්වන විට බාබකියු ස්ටික් එකේ ගසා සූදානම් කරගත් කෙසෙල් උකු බැටර් එකේ ගිල්වා තෙලට දමා රන්වන් පාට වනතුරු බැදගන්න.

උකු බැටර් එක උස වීදුරුවකට දැමූ විට කෙසෙල් ගෙඩිය එහි ගිල්වා කෙසෙල් මත පහසුවෙන් බැටර් එක තවරා ගන්න ඔබට පුළුවන්.

දැන් ඔන්න කෙසෙල් ෆ්‍රිටස් සූදානම්. ඔබ කැමති නම් දියකරගත් චොකලට් ටොපින් එකක් හෝ පැණි ටිකක් වත්කරගෙන වුනත් රස බලන්න පුළුවන්.

මේ වගේම රසවත් කෑමකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles