හද සාගරේ – 20

0
8114

සමහර වෙලාවට මිනිස්සු කූඩැල්ලන් වාගේ කාගේ හෝ ඇඟේ එල්ලී ලේ උරා බොන්නට  බලා සිටිති. දිනේශ් හැසිරුණේ ද එසේ ය. ඔහු ගේ හිතේ කැකෑරෙන යමක් තිබිණ. ඒ පිට කරගන්නට ඔහු තැනක් වෙලාවක් බලමින් සිටියේ ය. අනවශ්‍ය දේටත් සාරධා ට කෑගැසුවේ ය.

අළු යට ගිනි පුපුරු වන බව ආදියා ගේ හදවතට දැනෙමින් තිබිණ. ඇය වෙනදා වාගේ කාමරයට වී නො සිට, බරාඳයෙහි හාන්සි පුටුවට වැටී සිටින තාත්තා අසලට වී සිටියේ එබැවිනි. තාත්තා හිතේ අමාරුවෙන් හිඳිනා බැව් ඈ දනී. විටෙක ආදියා ට තමන් සමගින් ම කේන්ති ය. ඇය දිනේශ් ගේ රණ්ඩුව වෙලාවේ පොලීසියට කතා නොකර සිටියා නම් මේ කිසිත් නැත. දැන් දිනේශ් හදන්නේ කෙසේ හෝ ගෙදර අයත් සමග පැටලෙන්නටයි. ඔහු කියනා කරනා දේවල් තාත්තා ට නො  ඇසෙනු වස් ආදියා නිශ්ශංක සමගින් වැඩකට නැති දේවල් කියවමින් සිටියා ය.

“පෝය ළඟයි වගේ නේද”

කියා අසමින් ජිනාදරී ද ඇවිත් බරාඳ පුටුවක අසුන් ගත්තා ය. සඳක් පිරෙමින් අහස අරා හිඳී. තඹ පාට සඳ පානෙන් තණ පලසත් පුළින තලාවත් නැහැවී ගොසිනි. කුළුණකට පිට දී බිම හිඳ සිටින ආදියා බොරුවට ඈනුමක් ඇරියා ය.

“නිදියන්න යමු නේ…”

“ඔව් මටත් හරි නිදිමතයි”

ජිනාදරී ද එහෙම කියන්නේ බොරුවට බව නිශ්ශංක නො  දන්නවා නොවේ. කාමර වලට ගිහින් දොරවල් වසාගන්නට මිස ඔවුන්ට ඇති නිදිමතක් නැත. නමුත් හැමදාමත් ඒ විදිහට ප්‍රශ්නයට මුවහ වෙමින් ද හැංගෙමින් ද සිටි නිසා මේ දේවල් මේ තරමින් ඔඩු දිවූ බව නිශ්ශංක ට පිළිගන්නට සිදු වී තිබේ. කාර්යාලයේ සගයෙකු කීවේ කන පැලෙන්නට දෙකක් දී බෑණා දොට්ට දැමීමෙන් මිස ඔය කරදරයෙන් ගැලවිය නො හැකි බවයි. කාලයක් තිස්සේ ම එහෙම කරන්නට බැරි  වෙන්නට හේතුව සාරධාටත් වැඩිය පොඩි කෙල්ල සිත්මි ය. ඇගේ බයාදු අහිංසක ඇස් දෙක දකිනා විට ළඟට ගෙන තුරුලු කරගන්නට මිස හිසට වහළක් අහිමි කරන්නට සිතෙන්නේ නැත. එසේ නො වන්නට නිශ්ශංක ගේ       ඉවසීම මීට කලින් නිමා වන්නට තිබිණ.

නමුත් දෙමව්පියන් කියන්නේ දරුවන්ගේ නාමයෙන් තවත්      ඉවසනවා කියා සිතන ජීවී කොට්ඨාෂයකි. නිශ්ශංක ද අද විතරක් ඉවසනවා යි සිතමින් බෝ කාලයක් තිස්සේ එය කරගෙන එයි. සාරධා ගේ අලුත් පවුල ගෙට ගත් දා පටන් ඔවුන් විඳිනුයේ සුළු පටු දුකක් නොවේ. වැදගත් විදිහට ජීවත් වූ මිනිසුන් වූ ඔවුන්ට මුලින් ඉවසා ගන්නට බැරි වූයේ අසල්වැසියන් ට මූණ දීමේ ලැජ්ජාවයි. ඥාතීන් අතරේ ද සාරධා ගේ සැමියා ගැන කසු කුසු පැතිර ගියේ ය. වැදගත් විදිහට දූවරුන්  දෙදෙනෙකු තැනූ නිශ්ශංක ගේත් ජිනාදරී ගේත් නම්බුව දිනේශ් විසින් පාවා දෙමින් සිටියේ ය. ඇතැම් රාත්‍රියක ජිනාදරී රහසේ හැඬුවා ය. තාත්තා කෙනෙකු වශයෙන්       නිශ්ශංක පත් ව ඇති අසරණ තත්වය ඇයට ඉවසාගන්නට ම බැරි දෙයයි. ඔහු ගේ ඉවසීම බිඳ වැටෙනා මොහොතක් ගැන සිතා ගන්නටත් ඇය බිය වූවා ය. නිශ්ශංක කියන්නේ සවි ශක්තිය ඇති දේහධාරී මිනිසෙකි. පණ නැති කෙසඟයෙකු වන දිනේශ් ට නිශ්ශංක ගෙන් පහරක් කෑ නො හැකි ය. ඒ ගැන බිය වෙන්නට හේතුවක් ජිනාදරී ට නොමැත. ඇය බිය දිනේශ් කුණකටුවෙකු වාගේ මිනිසෙකු බව හැඳිනගෙන ඇති නිසාවෙනි. නිශ්ශංක ට විරුද්ධව ඔහු තියුණු ආයුධයක් පාවිච්චි කරන්නට වුව බැරි නැත. එබැවින් නිශ්ශංකටත් වැඩිය ඉවසන්නට ජිනාදරී ට සිදු විය. ඇතැම් දරුවන් දෙමාපියන් ගේ ඉවසීම උර ගා බලනුයේ ඇතැම් විට ඔවුන්ගේ අවාසනාවට ය.

“යන්ද තාත්තෙ නිදියන්න… ඕගොල්ලො මෙතන ඉද්දි මට යන්න හිතෙන්නෙත් නෑ”

“ඒ මොකද… ඔයා ගිහින් නිදියන්න. මොකද මේ ගේ ඇතුළෙ අපිට ඕන තරං වෙලාවක් ඇහැරල ඉන්න හරි අපිට ඕන වෙලාවක නිදියන්න හරි බැරිද… ආ… කාගෙ තහනමක්ද…”

නිශ්ශංක එසේ කීවේ සිනහ වෙමින් විහිළුවට සේ ය. කුස්සිය පැත්තෙන් දිනේශ් ගේ උස් හඬ නැගුණේ එවිටයි.

“මේව කන්න පුළුවන්ද ඕයි… තමුසෙ හිතං ඉන්නෙ මං හරකෙක්  කියලද මේව කන්න… ගෑනියෙක් වුනාම දැනගන්න ඕනෙ මිනිහට කටට රහට කන්න පුළුවන් විදිහට කෑමක් හදල තියන්න”

බරාඳයෙහි උන් තිදෙනාගේ ම කන් මුළුතැන්ගේ පැත්තට යොමු වූයේ දෙගිඩියාවෙනි. අදත් පුපුරා යාමක් සිදුවෙන්නට යයි.

“මොකද්ද උඹ කියන්නෙ…”

සාරධා යමක් කියන්නට ඇත. ඒ නිශ්ශංකලාට ඇහුණේ නැත ද ඊට දිනේශ් ගේ කෲර ප්‍රතිචාරය නම් ඇසිණ. නිශ්ශංක හාන්සි පුටුවෙන් නැගිටගත්තේ ය. පපුව ගැහි ගැහී ජිනාදරී ද නැගිට්ටා ය. ආදියා තවමත් කුළුණට පිට දීගෙන බිම ගල් වූ ගමන් ය. අදත් දිගු නින්දකට ඉඩක්  නො ලැබෙනු ඇත. හෙටත් අවදි වන්නට සිදු වන්නේ විවර කරන්නට නො සිතෙන ඇස් දෙකකිනි. ඒ සියල්ලට වඩා, පොලිස් කූඩුවේ දැමූ එකට දිනේශ් කොයි විදිහේ වාඩුවක් ගනු ඇත්දැයි සිතාගත නො හැකි ය.

“මේ… උඹ එන්නෙපා මාත් එක්ක කට ගහගෙනනං… ලොකුකං කතා කරන්නෙ උඹ දෑවැද්දක් අරං ඇවිත්ද යකෝ…ගහන්නෙ තොට තොගෙ මහ උන්ට උණ ගන්න”

ඊලඟට ඇහුණේ සාරධා කෑගසනා හඬයි. දිනේශ් ඇගේ කෙස් වැටියෙන් අල්වාගත්තේ ගෙලත් හසු වන සේ ය. ඇය ගැස්සුණු නිසාවෙන් කුස ඔත් කළලය ද ගැස්සිණි. සාරධා ගේ කෑගැසීම නිසා තව දුරටත් බරාඳයට වී සිටිනට මව් පියන්ට හැකි වූයේ නැත. නිශ්ශංකට ද පෙර ජිනාදරී ඉස්සර වී අඩියට දෙකට කුස්සියට ගියා ය.

දිනේශ් ට ඕන වී තිබුණේ ම නිදිගෙන සිටි කොටින් අවදි කරගන්නට යි. ඔහු කිහිප වතාවක ම ඒ සඳහා උත්සාහ දැරී ද නිශ්ශංක හා ජිනාදරී සිටියේ නෑසූ කන් ව ය. නමුත් ගැබ්බර සාරධා ට හිංසා කරත්දී අඳ ගොළු බිහිරන් සේ සිටිත නො හැකි ය.

“සාරධා… මොකද මේ…”

ජිනාදරී විමසූයේ සිය දියණියගෙනි.

“අතෑරපං මිනිහො ඔය කෙල්ලව. තොට පේන්නැද්ද ඒකි ඉන්න තත්වෙ…”

නිශ්ශංක කෙලින් ම දිනේශ් වෙතට සිය තර්ජනාංගුලිය එසවූයේ ය.

“මේ මේ… එකෙක්වත් එන්නෙපා ඇඟිලි ගහන්න. මගෙ ගෑනිට ගහන්න බැරිනං මරන්න හරි මට අයිතිය තියනව”

“කවුද මිනිහො උඹට එහෙම අයිතියක් දුන්නෙ… මගෙ වහළ යට ඉඳං මගෙං කකා මගෙ දරුවට අත තියන්න මං උඹට ඉඩ දෙනව කියල හිතුවද… බැහැපිය බල් ල දොට්ට”

නිශ්ශංක සාරධා ගේ ගෙලෙන් දිනේශ් ගේ අත ඉවතට ඇද දැමුවේ ය.

“කිව්හම අහල බැහැපිය දොට්ට මගෙ වහල යටිං”

“මේව මටත් අයිතියි යකෝ”

කියමින් ඒ මේ අත දැඟලූ දිනේශ්, අතට හසු වූ පිහිය ගෙන නිශ්ශංක වෙතට එල්ල කළේ ය.

“තාත්තේ”

ආදියා කෑගසාගෙන නිශ්ශංක බදාගත්තා ය.

“ඇනපිය බලන්න… පිං… ගුත්තරය. චූටි දුව කෝල් කරන්න පොලීසියට. මූ මට්ටු වෙන්නෑ වගේ”

දිනේශ් මෙල්ල වූයේ ඒ පොලීසිය යන වචනයට ය. පෙර දා පොලීසියේ දී වැදුණු පහර කිහිපය තවමත් රිදෙනා තරම ය. පිහිය පැන්ට්‍රි මේසය මතට විසි කළ ඔහු නිශ්ශංක ව තල්ලු කරගෙන එතැනින් නික්ම ගියේ ය. කාමරයට ගොස් කමිසයක් දමා ගනිමින් දොට්ට බැස ගියේ “මං මේක ලේසියෙන් අරින්නෑ” යයි තර්ජනය කරමිනි.

“ලොකු දුව… මේං මේක හොඳට අහගනිං. ඔය අමනයට ආයෙ මෙහෙ එන්න බෑ. ඉන්නවනං උඹ දරුවත් එක්ක හිටපං. නැත්තං උඹත් පලයං”

ජිනාදරී වෙව්ලමින් සාරධා වෙත දබරැඟිල්ල දිගු කොට කීවා ය. ආවේගය විසින් ඇගේ හඬ පවා වෙව්ලුවමින් තිබිණ. ඒ  වෙලාවේ සාරධා කට හෙලවූයේ නැත. නමුත් උදයේ ජිනාදරී සමගින් එකට එක කීවා ය.

“අර පෝරිසාදය නිකමට හරි තාත්තට අර පිහියෙං ඇන්නනං එහෙම… කන්න දීපු අත හපාකන ජරා සතෙක්”

“ඉතිං අම්මල මොකටද අපේ   දේවල්  වලට මැදිහත් වෙන්න ආවෙ… ඒකනෙ මේ ඔක්කොම ප්‍රශ්න”

“ඈ මෝඩියෙ… එතකොට මේ බඩක් උස්සං ඉන්න උඹට අරූ තඩිබානකං අපිට ඇස් කන් පියං බලං ඉන්න කියලද කියන්නෙ…”

“ඒක අපේ පවුලෙ ප්‍රශ්නයක්නෙ. අම්මල අම්මලගෙ පාඩුවෙ ඉන්නකො. ඔයිං මෙයිං මගෙ පවුල කැඩිල යන එකයි වෙන්නෙ. එහෙම වුණොත් ඒකට වගකියන්න ඕනෙ අම්මල තමයි”

“අම්මප මේකිගෙ කට… මගෙ බඩෙං ඉපදිච්ච එකියක්ද කියලත් මට සැකයි”

ඒ දොස් පැවරීම් නිමා වූයේ ම නැත. සිය විවාහය අවදානමෙහි හෙළීම ගැන සාරධා විවිධාකාරයෙන් ආඩපාලි කීවා ය. දෙස් තීවා ය. ආදියා රැකියාවට ගියේ

“කතාවට යන්නෙපා අම්ම. එයා ඕන දෙයක් කියෝපුදෙන්”

කියා ජිනාදරී ට උපදෙස් දී ය. නමුත් සාරධා ගේ කතා පිහි තුඩු සේ විය. ජිනාදරී ගේ පමණකුදු නොව නිශ්ශංක ගේ පවා හිත් ඒ පිහි තුඩු වචන වලින් සිදුරු විය. නිදහසේ සැහැල්ලුවෙන් සිටිත යුතු ජීවිතයේ  සැඳෑ සමයේ දී     ඔවුන්ට සිදු වී තිබෙනුයේ දීග ගිය දරුවකු නිසා දුක් විඳින්නට යි.

 හිතට නිවනක් නැති තැන නිශ්ශංක පාරට බැස්සේ අරමුණක් ඇතිව නොවේ. දිනේශ් යකාට ගියත් කම් නැත. අඩු තරමින් සාරධාගෙන්වත් හොඳක් අසන්නට ලැබෙනවා නම් ඒ ප්‍රමාණවත් ය. නමුත් ඇය හැසිරෙනුයේ දුවක නොව ලේලියක පරිද්දෙනි. දියණියක වී පැමිණ ඇය ඔවුන්ගෙන් ඒ පිරිමහන්නේ සංසාරේ කවදාක කළ අකුසල කර්මයක් ද?

දෙව්රම් නිශ්ශංකව දුටුවේ  අහම්බෙනි. රිය නලා හැඬවූවාට කල්පනාවේ ගිලී පාරේ ගමන් කරමින් සිටි නිශ්ශංක ගේ අවධානය යොමු නොවුණෙන් දෙව්රම් රියෙන් බැස ඔහු වෙතට ආවේ ය.

“අංකල්… කොහෙද මේ…”

“අඩේ… මේ පුතානෙ… මං මේ පාරට ආව පුතා. පුතා කොහෙ යන ගමන්ද…”

“ඔෆිස් යන ගමන් අංකල්. ඇයි අද අංකල් ලීව්ද…”

නිශ්ශංක සුසුමක් හෙළමින් වුව මඳ සිනහවක් පෑවේ ය. නමුත් ඒ සිනහව යට හිත් කරදරයක් වන බව දෙව්රම් ට ඉවෙන් වාගේ දැනිණ.

“ලීව් ගන්න වුණා පුතා. කරදර ඉවරයක් නෑ”

එහෙම කියන්නට හිටියා නොවේ. නමුත් මේ තරුණයා මේ තරම් ළෙංගතු ලෙස කතා කරත්දී නිශ්ශංක ට ඉබේ එහෙම කියවිණ. එක අතකට හිතේ තියෙන හැම දේම කියන්නට, වටහා ගත හැකි හා අසා සිටින්නට ඉවසීමක් ඇති කෙනෙකු ඒ වෙලාවේ නිශ්ශංක ට උවමනා වී තිබුණා විය හැක.

“ඇයි අංකල්… මොකද්ද ප්‍රශ්නෙ…”

ඒ මොහොතේ දෙව්රම් ගේ හිතේ මැවුණේ ආදියා ගේ   රුවයි.

“ඇත්තටම මේ අපේ ප්‍රශ්නයක්මත් නෙවෙයි පුතා. අපේ ලොකු දුවගෙ මනුස්සයගෙ කරදර. හිතට හරිම කරදරයි පුතා. මට ඉන්නම බැරි තැනයි මං මේ ගෙදරින් කොට්ට බැහැල ආවෙ”

දෙව්රම් ට යම්  සැනසිල්ලක් දැනිණ.

“හරි හරි. අපි ඔය කොහෙට හරි ගිහිං තේ එකක් බොන ගමන් කතා කරමුකො අංකල්. එන්නකො… නගින්න”

දෙව්රම් නිශ්ශංක ව කැටිව විත් රියෙහි ඉදිරි අසුනට ගොඩ කරවූයේ ය. අනිත් පසින් විත් ඔහු රියට නැගෙන විට, ඔහු ගේ කාර්යාල ගමන ගැන නිශ්ශංක ට සිහි විය.

“පුතා ඔෆිස් යන ගමන් කිව්වනෙ… ලේට් වෙයි”

“නෑ අංකල් ඒකෙ අවුලක් නෑ. ප්‍රශ්නනං ඉතිං නැත්තෙ කාටද අංකල්… ඒව දරුණුවට අපි ඉස්සරහට එනකොට හයියෙන් අල්ලං ඉන්න එක විතරයි කරන්න තියෙන්නෙ. කාත් එක්ක හරි කතා කරල හිත නිදහස් කරගෙන බලං ඉන්න ඕනෙ. කාලෙ හැමදේම වෙනස් කරනව අංකල්. ප්‍රශ්න විසඳනව කොහොම වුණත් අපිව අනවශ්‍ය ප්‍රශ්න වලින් ඈත් කරනව. තේ  එකක් බොමු. එතකොට හිත හරියයි”

“පුතානං යස ඉලන්දාරියෙක් තමයි. හිත් හදන්න සූරයෙක් වගෙයි”

නිශ්ශංක සිනහ වෙවී එහෙම කීවේ අවන්හලක මේසයක්  දෙපස අසුන්‍ගත වෙන ගමන් ය.

“අංකල්ට මගෙ කන්ටැක්ට් නම්බර් එක දීලනෙ තියෙන්නෙ. ඕනකමක් වුණොත් මට කතා කරන්න. මගෙ තාත්තත් අංකල් වගේ. මං මේ සැරේ ගමේ ගියාමත් මගෙ ප්‍රශ්න ගැන කිය කිය තාත්ත එක්ක ගම වටේ ඇවිද්ද. මට අංකල්ව තේරෙනව”

ඒ වචන ම නිශ්ශංක ට මහත් සැනසිල්ලක් වූයේ ය. ලොකු දුවගේ පවුල් ජීවිතේ සාරංශ කතාව ඔහු දෙව්රම් සමගින් කීවේ කාලයක් තිස්සේ හදවතට ළඟින් සිටි මිතුරෙකු පරිද්දෙනි. දෙව්රම් ඒ සියල්ල අසා සිටියේ ය. නමුත් පොඩි දුව ගැන කිසිත් නාසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here