ජීවිතය කවියක් නොවේ – 15

0
4171

ධනංජය උන්නේ නාන කාමරයේ සිට පිටතට පැමිණෙමින්ය.ඒ වනවිටත්  හසාරා අවසර නොගෙනම ඔහුගේ කාමරයට පැමිණ අවසන්ය.ඇය විසින් දිගු කළ තේ කෝප්පය ධනංජය සිය දකුණතට  ගත්තේ කිසිවක් නොකියමින්ය.ඒ නිහඬකම පවා ඇගේ සිතෙහි බලාපොරොත්තු දහසක් දල්වන්නට විය.පසුගිය දිනවල ඔහු සිටියේ ඇය හැරුණත් වැරැද්දක් පවසන්නට බලාගෙනය.හසරා කාමරයේ වූ  ඇඳ මතින් අසුන් ගද්දී ධනංජය තේ කෝප්පයක් රැගෙනම සඳැල්ලට ඇවිද ගියාය.උඩුමහලෙහි වූ මේ කුඩා කාමරයට වෙන්ව  තිබුණේත් කුඩා සඳැල්ලකි.
තත්පර කිහිපයක් ඒ අයුරින්ම බලා උන් හසාරාත් ඒ කුඩා සැදැල්ලට පිවිසියේ ඔහු පසුපසින්ය.

ඔහු  උන්නේ සඳැල්ලෙහි සුදු යකඩ වැටට දෑත් තබාගෙන පහතට එබීගෙනය.දෙදෙනා අතර දුරස්ථභාවය වූයේ සෙන්ටි මීටර් කිහිපයක්  තරම් ය.එහෙත් දෙදෙනාගෙන් එක් අයෙකුවත් තම නිහඬතාවය බිඳ දමන්නට උත්සාහ කළේ නැත.එසේ ගෙවී ගිය කාලය දිගු වැඩියැයි සිතුණු පළමු තත්පරයේම හසාරා සිය හඬ අවධි කලාය.

“ මල් පැල වේලිලා ගිහිල්ලා.පහුගිය දවස්වල මටත් වෙලාවක් තිබුනේ නැහැනේ වතුර දාන්න.ඔයාට පුළුවන් උනොත්  හෙට අනිද්දා වැඩට කවුරු හරි හොයාගෙන වත්ත සුද්ස කරල දාන්න..”

“ මටත් වෙලාවක් නැති වෙයි….”

“ මං කිව්වේ පුළුවන්  උනොත්  කියලා..අපරාදේ ආයේ ගාර්ඩ්න්  එක හදාගන්න එකනම් ලේසි වෙන්නෙ නෑ..”

“ එහෙම තමයි…නැතිවෙලා යන දේවල් ආයේ හදාගන්න ලේසි නෑ.සමහරවිට ඔයා ගියාට පස්සේ මමත් ගෙදර ඉන්න එකක් නෑ..”

“ ඔයා කොහෙද යන්නේ….මමත් එක්ක  තරහා වෙලා එක එක තැන්වල නවතින්න යන්න එපා.මගේ හිතේ ඔයා ගැන තියෙන විශ්වාසය බිඳිලා ගියොත් ඒ විශ්වාසය  ගොඩනගන්න අමාරු වෙයි…”

“ මොන විශ්වාසයක් ගැනද ඔයා ඔය කතා කරන්නේ..”

“ අපි  අතර දැන්  තියෙන විශ්වාසය.ඔයා මගේ විතරයි කියල තියෙන විශ්වාසය…”

හසාරා ඒවා තැන් පැවසූයේ තම සැමියා දෙස බලාගෙනමය.ඔහු තිගැස්සෙන අයුරු ඇය හොඳටම දුටුවාය.මේ එළියට පනින්නේ ඕ සන්සුන් කරගෙන උන් ගැහැණු සිතය.මේ අයුරේ කතා බහක් ගොඩ නගා ගන්නට හසාරා  අපේක්ෂා නොකළත් සිය ගැහැණු සිත නවතා ගන්නට ඇයට සිතුනේ නැත.

“ මට මහන්සියි.තේ එක  බිව්වට කමක් නෑ.උයල තියනවනම් බෙදලා ගන්න කාලා නිදාගන්න ඕනේ..”

එවර ධනංජය පැවසූයේ අන්ධකාර අහස දෙස බලාගෙනය.

“ මං හිතුවා ඔයා ටිකක් මමත් එක්ක කතා කර කර ඉඳී කියලා.”

“ ඔයාටත් වැඩ ඇතිනේ නේද….”

“ නෑ එහෙමකට කියලා වැඩක් නෑ.මම ඊයේ බෑග්ස් රෙඩි කළා.ධනා  මං එනකං ඔයාගේ කෑම ප්‍රශ්නෙ  කොහොමද…”

“ දැන් මට කඩෙන් කාලා පුරුදුයි.ඒ දේවල් ගැන ඔයා හිතන්න ඕන නෑ…ඔයා ගමන ගිහින් අවශ්‍ය දේවල් හරියට කරගන්න…”

“ මම ටුවර් කීයක් මිස් කර ගත්තද..ඇත්තටම මේක මං ආසාවෙන් යන ගමනක් නෙමෙයි.ඉස්සර නං එහෙම ආසාවල් හිතේ  තිබුණා.අකමැත්තෙන් උනත් අද මේක මං යන්න ඕනම ගමනක් වෙලා.”

“ ඔයා ඔයාගේ හීන පාර දිගේ  ඇවිදගෙන ගිහිල්ලා අද ඉන්නේ ආපහු හැරෙන්න බැරි තැනක..ඒක හින්දා ආපස්සට කිසි දෙයක් ගැන හිතලා හිත සවුත්තු  කරගන්න ඕන නෑ.මට හිතුනොත් නිවාඩුවක් දාලා මහ ගෙදර යනවා…”

“ ධනා…”

යළිත් හසාරා ඔහුව ඇමතූයේ  මද වේලාවක් නිහඬ වී උන්නාට පසුවය.

“ ඇයි මොකක්ද ප්‍රශ්නේ ..”

“  මේ ටුවර් එක ගිහිල්ලා ආවට පස්සේ මම රෙසිග්නේෂන් බාර දෙනවා.”

 ධනංජය තම බිරිඳ  දෙස බැලුවේ තිගැස්සීගෙනය.පසුගිය සමයේ ඈ වරින් වර රැකියාවෙන් ඉවත් වන්නට අදහස් කරන බව පැවසුවත් එය සත්‍යයක් යැයි ඔහු විශ්වාස කලේ නැත.ඈ තම රැකියාවට , තනතුරට ආදරය කරනා බැව් ඔහු දැන සිටියේය.ඒවා ලබා ගන්නට වෙහෙස වූ තරමටම රැක ගන්නටද වෙහෙස වනබව දැන උන්නේය.

“ ඇයි එහෙම තීරණයක් ගත්තේ..”

ඔහු ඇසුවේ මහත් කරගත් දෑස් එහෙමම ඇගේ වත මත්තේ නවතමින්ය.

“ මගේ ජීවිතෙ  මට මොනවා හරි අතෑරුනා කියලා හිතෙනව ධනා..අද පැය ගානක් තිස්සේ මං කල්පනා කලා.මේ ගෙදර බිත්ති  ගඩොලින් ගඩොල  උස් වෙන හැටි දැක දැක අපි කොච්චර සතුටු වුනාද.ඉස්සර අපි හැමදාම හවසට අර මිදුගේ ගල් පඩියේ ගේ හදන හැටි බලන් ඉන්නවා…අපි ප්ලෑන් කලේ ගෙදර ලස්සනට තියා ගන්න විතරක් නෙමෙයි.. අපි මේ ගෙදර ජීවත් වෙන්න ඕන විදිහ ගැනත් හිතුවා.සතුට , සැනසුම….ඒත්..මොකක්දෝ  හේතුවකට අද අපි දෙන්න හරියට අඳුනන්නේ නැති දෙන්නෙක් ගානයි..මට එහෙම ඉන්න ඕනේ නෑ ධනා…මං දන්නෙ නැහැ මගේ අතින් ඔයාට වෙන්න තියෙන යුතුකම්, වගකීම් මොනවද මගහැරුනේ කියලා.මං හිතුවා මං හැමතිස්සෙම හොඳ වයිෆ් කෙනෙක් කියලා.ආපස්සට හැරිලා  බලද්දී මට හිතෙනවා මට කොතැනක හරි වැරදිලා කියලා..මට ඕනේ දැන් ඒ වරද හදාගන්න..සතුටින් ඉන්න…”

“ නෑ එහෙම එකක් නෑ…එහෙම දේවල් කරන්න එපා.එහෙම පරිත්‍යාගයක් මං දැන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ..කාලයට ඉඩ දෙමු.අමාරුවෙන් ඇති කරගතපු දේවල් නැති කරගන්න එපා.කාලය මේ ප්‍රශ්න විසඳයි..”

ඔහු පැවසූයේ ඉවත බලාගෙනය.ප්‍රශ්න මොනවාදැයි අසන්නට සිතුනත් ඕ එසේ නොකළාය.බොහෝ කලකට පසුව මේ ඔහු හා නිදහසේ යමක් කතා කලාමය.

“ මං දන්නවා..අදටත් ඔයා හිත යටින් හරි සතුටු වෙනවා ඇති මං ඉන්න තැන ගැන හිතලා.හැබැයි ඉතින් එහෙම වෙලා ඔයා තනි උනානම් මට මේ ලෝකෙම ලැබුණත් වැඩක් නෑ..නිර්මිතා හැමතිස්සෙම කියනවා වගේ මොකක්ම හරි වැරැද්දක් මගේ අතිනුත් වෙන්න ඇති…මං කැමතියි ඒ වැරැද්ද මොකක්ද කියලා ඔයාම කියනවනම්.”

“ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ හසාරා..ඔයා ඔය ටුවර් එක ගිහිල්ලා එන්නකෝ…”

“ධනා…”

එවර ඈ ඔහු දෙස බැලුවේ වඩා හොඳින් ඔහුට ලංවීගෙනමය.

“ හ්ම්…”

“ මේ ටුවර් එක ගිහිල්ලා එද්දි අපි පරණ ධනංජයයි හසාරයි වෙලා ඉමු…දකින හැමෝටම ලෝබ හිතෙන තරම් ආදරෙන් සතුටින් අපි හිටියා…”

අවසන් වදන් කිහිපය පවසද්දී හසාරාට ඉකි ගැසිණ..ඕ සිය දෑස් තදින් පියාගෙන සුදු යකඩ වැටට හොඳින් බර වූවාය.ධනංජය ඇගේ උරහිස අල්ලා ගන්නට සිය දකුණත දිගු කලත් ආපස්සට ඇද ගත්තේ දිගු සසුමක් මුදා හරිමින්ය.ඒ බවක් හසාරා නොදුටුවාය.තත්පර කිහිපයකට පසුව ඈ දෑස් අරිද්දී  ඔහු එතැන වූයේ නැත. හසාරා  වටපිට බැලුවේ කලබලයෙන්ය.ධනංජය උන්නේ කාමරයේ කුඩා මේසය මතට  දෑත් තබාගෙන ඊට බර වීගෙනය. ඒ ඔහු නොසන්සුන්ව සිටියදී ඉන්නා ඉරියව්වයි.

දිගු සුසුමක් මුදා හල හසාරාත්  අඩියක් දෙකක් පෙරට තබා කාමරය තුළට ඇවිද ආවාය.කාලාන්තරයක් තිස්සේ නොවූ සැහැල්ලුවක් ඈ අද විඳිමින් උන්නාය.පැය ගණනක් තිස්සේ කතා කරන්නට සිතා ගොණු කරගෙන උන් වදන් කෙටිකර තත්පරයෙන් දෙකෙන් පවසන්නට හැකි වීම සතුටකි.ඒ වදන්වල අරුත ධනංජයට දැනී ඇතුවාට සැකයක් නොවේ.

“ කෑම ලෑස්ති කරලා තියෙන්නේ අපි කමු…”

ඇය එසේ පැවසූයේ බිඳී ගිය හඬින්මය.තවමත් ඔහු පෙර වූ ඉරියව්වේමය.ඔහුට තුරුළු වන්නට ඒ පපුවේ හිස හොවාගෙන හඩා වැටෙන්නට සිතුණත් එසේ කල නොහැකි අයුරේ කුමක්දෝ දුරස්ථ බවක් හසාරාගේ සිතට දැනෙමින් තිබිණ.ඒ කීප වරක්ම තමා ඔහුගෙන් ප්‍රතික්ෂේප වීමේ දුක , වේදනාව බිය මුසු හැඟීමක්ව සිතෙහි ලැඟුම් ගත් නිසා විය යුතුය.වසර හතරකටත් එහා ගිය කාලයක් තිස්සේ තමා සමඟ එකම යහන බෙදාගත්තේ ඔහුමදැයි සිතෙනා තරමට ඒ දුරස්ථ බව වර්ධනය වීම පුදුම සහගතය.එනිසාම ඕ උත්සාහ දැරුවේ කිසිවක් නොකියා කාමරයෙන් පිටවන්නටය.

“ හසරා චුට්ටක්  නවතින්න….”

ඔහු පැවසූයේ ඈ අඩි දෙක තුනක් ඉදිරියට ඇවිද ගියාට පසුවය.ඕ නතර වූ ඉරියව්වෙන්ම ආපසු හැරුණාය.ඒ දෑස් මත වූයේ බලාපොරොත්තුවේ හසරැල්ලක් වුවත් ධනංජය එය දුටුවේ නැත.ඔහු තවමත් සිටින්නේ ඇයට පිටුපා මේසයට දෑත් බර කරගෙනය.

“ හසාරා…..මට සල්ලි ටිකක් ඕනේ..”

“ සල්ලි ටිකක්..”

හසාරා ඇසුවේ පුදුමයෙන්ය.මින් පෙර කිසිඳු අවස්ථාවක ඔහු ඇගෙන් මුදල් ඉල්ලා තිබුනේ නැත.

“ ඔව් මම බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා.මේ ගේ ඉඩමයි ඔයාගේ නමට ලියාගෙන මට සල්ලි ටිකක් දෙන්න..”

“ ඇයි ගේයි ඉඩමයි මගේ  නමට ලියන්නේ..ඔයාගේ මගේ කියලා දෙකක් නැහැනේ..ලෝන් වලට  කැපිලා ඉතුරු වෙච්ච පොඩි ගානක් මගේ එකවුන්ට් එකේ ඇති.ඔයාට කොච්චරක්ද ඕනේ…”

“ කෝටි එකහමාරක් විතර…”

“ අනේ ධනා….එච්චර ගාණක්…එච්චර ගානක් කොහෙන්ද මගේ ළඟ.මොකක්ද ඔයා පටන් ගන්න යන බිස්නස් එක.එකපාරටම ඇයි එහෙම දෙයක් හිතුනේ.ජොබ් එකෙන් අයින් වෙනවද….”

“ එක පාරටමත් නෙමෙයි. කාලෙක ඉඳලා හිතේ තිබුණු අදහසක්.තවදුරටත් ගවර්මන්ට් ජොබ්  එකක් කරන්න මගේ හිත දෙන්නෙ නෑ.මම යාළුවෙක් එක්ක එකතු වෙලා කරන්න  පොඩි බිස්නස් එකක් බැලුවා..”

“ මොන වගේ එකක්ද…”

“ ලෑන්ඩ් සේල් එකක්…දැනටමත් පොඩි ඩීල් එකකින් ගානක් මගේ අතට එන්න තියෙනවා.ඒකයි මේකයි එකතු උනහම ඇතිවෙයි.”

“ ඔයාට විශ්වාසයිද…”

“ ඔව් විශ්වාසයෙන්ම ගතපු තීරණයක්.මාස ගාණක් තිස්සේ හිතලා බලලා ගත්ත තීරණයක්..මේක තමයි නිවැරදිම තීරණේ කියලා විශ්වාසයෙන් ගතපු තීරණයක්..ප්‍රශ්න කරන්න එපා…මට කියන්නකෝ මොකක්ද කරන්න පළුවන් කියලා….”

“ එහෙනම් අපි බෑන්ක් ලෝන් එකකටට යමු.ඔයා ට්‍රයි කරන්න ප්‍රශ්නයක් නෑ..අපි මේ ගෙටවත් ලෑන්ඩ් එකටවත් ලෝන් එකක් අරන් නැති හින්දා ලේසියෙන්ම ගන්න පුළුවන් වෙයි.ඔප්පුයි අනිත් ඩොකියුමන්ට් ඒවා  තියෙන තැනම තියෙනවා.මට ඔයා විශ්වාසයි.ඔයා එහෙම බිස්නස් එකකට අත ගහනවනම් මං ජොබ් එකෙන් අයින් නොවී ඉන්නම් නේද…කොතනක හරි හිර උනොත් අපිට ඒවා නිරාකරණය කරගන්න ක්‍රමයක් තියෙන්න එපැයි…”

“ තැන්ක්ස්…..…”

ධනංජය පැවසුවේ ඇගේ වදන් නොඇසුණු ගණනටය.

“ ඇයි තැන්කියු කියලා කියන්නේ..අපි ජීවිතය අලුත් තැනකින් පටන් ගමු.හැමදේම….ඔයාට ඕනනම් අම්මා දීලා ගියපු ජුවලරිත් තියනවා ඒවටත් ලක්ෂ පනහක් විතර ගන්න පුළුවන් වෙයි..මගෙන් මොනවද කෙරෙන්න ඕන කියලා කියන්න..අපි හොඳ තැනක් වෙලාවක් බලලා වැඩේ පටන් ගමු..

“ අපි කමු..මට බඩගිනියි….”

හසරා පඩිපෙළ බැස පහත මාලයට ඇවිද ගියේ සම්පූර්ණයෙන් සැහැල්ලු වූ මනසකින් නොවේ.එහෙත් වසර එකහමාරකට පමණ පසු ධනංජය තම ජීවිතවල බරපතල තීරණයක් ගැනීමට මේ අයුරින් තමා සමග කතා කිරීමේ සතුට ඇය හදවතින්ම  විඳිමින් උන්නාය.

ධනංජය පහත මාලයට පැමිණියේ තවත් විනාඩි කිහිපයක් ඉක්ම ගියාට පසුවය.
කලකට පසුව ඔහු කෑම මේසයේ තමාට හුරු පුරුදු පුටුවෙන් අසුන් ගත්තේය.ඔහු ඉදි ආප්ප කිහිපයක් බෙදා ගත්තාට පසුව කිරි  හොඳිත් ,  පොල් සම්බෝලත්  , බිත්තරත් බෙදුවේ හසාරාය.වෙනදා සේ පළමු කට අනා තමාට කවාවියැයි සිතුනත් ඔහු එසේ කළේ නැත.ඒ වෙනුවට…

“ ගොඩ කාලෙකින් ඉදි ආප්ප කෑවේ….”

යැයි පවසමින් පළමු කට තම මුවටම  රුවා ගත්තේය. බිඳී ගිය දුරස්ථ බැඳීම් එකවරම යළි හා වේයැයි බලාපොරොත්තු තබා ගැනීම දුකක් පමණක් බව හසාරා විශ්වාස කළාය.එනිසාම  මුල සිට යළි ලියලන බැඳීමකට ඉඩ දිය යුතු යැයි ඕ සිතුවාය.

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here