වියෝ ගී ගැයෙනා හදේ – 18

0
3608

“තාත්ති අපි ආයෙ ගෙදර යන්නෙ කවද්ද?” කියා පෙත්මලී අහද්දී චිරත්ට හිතුනේ හයියෙන් කෑ ගසා හඬා හෝ හිත සනසගන්න තිබුණා නම් කොච්චර හොඳද කියාය. එහෙත් මේ විදියට පෙත්මලීව බලන්න ඉඩක් හම්බුවෙන්නෙ මාසෙකට වාර කිහිපයකදී පමණකි. එයද තමන්ට පෙත්මලීව ඇනෙක්සියට අරගෙන යන්න පුලුවන්කමක් නැති නිසාවෙන් එලියෙ කොහේ හේ කිඩ්ස් ෆ්‍රෙන්ඩ්ලි තැනකදීය. එහෙම තැනක හඬා වැලපෙන්න හැකියාවක් නැත. අනෙක් අතට තමන් හඬා වැලපී කොහොමත් මේ පුංචි හිතට තේරෙන්නෙ නැති බරක් දෙන්න උවමනාවක්ද චිරත්ට නැත. බොරු කීප පාපයක් බව ඇත්තකි. එහෙත් මේ තමන්ගේ දරුවාය. තමන්ව තාත්තෙක් කල දරුවාය. ඒ අහිංසක දරුවගේ හිත රිදෙන දෙයක් කියනවට වඩා බොරුවක් කියා හිත සනසන එක වඩා හොඳ බවට චිරත් තීරණයක් ගත්තේ ඒ අනුවය.

“ඉක්මනට යන්කො බබී.තාත්ති ටිකක් බිසී නිසා ගෙදර ඉන්න වෙන්නෙ අඩුවෙන්නෙ. ඒකයි අම්මි ඔයාව ආච්චිලගෙ ගෙදර තියල තියෙන්නෙ. අපි ඉක්මනට ආයෙ ගෙදර යමු” කියා කිව්වට ඒ වනාහී ආයෙ කවදාවත් ඇත්තක් නොවන ඇත්තකි. ආයෙ එක ගෙදරක තමන්ට පෙත්මලී සහ මේධාවීණී එක්ක ජීවිතයක් ගෙවන එක ගැන හිතන්න පුලුවන්කමක් නැත. ඒත් ඒ ඇත්ත පෙත්මලීට තාම තේරුම්ගන්න අමාරු, බර ඇත්තකි. නොකියා  හිඳීමට තරම් හොඳ ඇත්තකි.

“අපේ ස්කූල් එකේ ටීච කිව්වා මේ පාර කොන්සර්ට් එකටවත් තාත්තිට එන්න කියන්න කියල. අපේ විතරයි තාත්ති ආවෙ නැත්තෙ කියලා” පෙත්මලී කුඩා මූණ දුකට හරවගෙන කියද්දී වෙනම පුටුවක වාඩි වී උන්නු පෙත්මලීව උකුලට අරගෙන චිරත් තාමත් කිරි සුවඳ හමන ඒ කැරලි කෙස් අතර මූණ සඟවා ගත්තේය.

“මේ පාර තාත්ති අනිවාර්‍යෙන්ම එනවා කියල ටීචර්ට කියන්න. අපි ඔයාගෙ බර්ත් ඩේ එකටත් මේ පාර ස්කූල් එකේ යාලුවන්ට ට්‍රීට් එකක් දෙමු. ලාස්ට් ඉයර් බර්ත් ඩේ එක ආවෙ නිවාඩු දවසකනෙ. මේ පාර අපි යාලුවන්ට මොනවහරි දෙමු. බබී ආස මොනව දෙන්නද?”

“අයිස්ක්‍රීම්”

“අයිස්ක්‍රීම්?”

“ඔව්, ක්‍රිශීගෙ බර්ත් ඩේ එකට එයාලා දුන්නෙ බටර් කේක්. ඒ උනාට අපි අයිස්ක්‍රීම් දෙමු. රිතුගෙ බර්ත් ඩේ එකට එයාගෙ තාත්ති අයිස්ක්‍රීම් කෝන් අරගෙන ඇවිත් ඒවට අයිස් ක්‍රීම් දාලා දුන්නා. තාත්ති ඇවිත් මගෙ යාලුවන්ට කෝන් වලට අයිස් ක්‍රීම් දාලා දෙනවද?”

“දෙන්නම්, අපි කේකුයි අයිස්ක්‍රීමුයි දෙකම දෙමුකො. එතකොට කේක් කන අය කේක් කාවි, අනිත් අය අයිස්ක්‍රීම් කාවි. බබීට පුලුවන් දෙකම කන්න”

“හා” කියා පෙත්මලී කියන්නේ චූට් රවුම් ඇස් දෙක ලොකු කරගෙන කට කණ ලඟට යනතුරුම හිනාව දිග්ගසාගෙනය. ඒ හිනාවත් ඒ ලා කහ පාට මූණත් තමන්ට ඉතින් ඉස්සර වගේ නිතර දෙවෙලේ දකින්න ලැබෙන්නෙ නැති එක ඇත්තක් නමුත් හිතේ තියෙන දුක මේ පොඩි කෙල්ලකගේ හිතට කාන්දු කර වැඩිහිටි ලෝකයට අයිති වේදනාකාරි හැඟීම් සමනල තටුවක් උඩ තියන්න චිරත්ට හිතක් නැත. ඒ නිසාම හිතේ වේදනාව කොච්චර වුණත් ඒ බව මදක්වත් නොපෙනෙන හිනාවකින් පෙත්මලිගේ හිනාවට එකතුවෙන්න චිරත් පුලුවන් තරම් උත්සහ ගත්තේය.

පෙත්මලීට තාත්තා හමුවන්නට යන්නට වාහනය දෙන්නට මනුර සුමතිපාල කැමති උනත් මේධාවිණී පෙත්මලී එක්ක චිරත්ව හමුවන්න යනවාට මනුර එච්චර කැමැත්තක් දැක්වුවේ නැත. අනෙක් අතට එහෙම ගමනක් යන්නට, නැවත වතාවක් අත හැර දමා ආ ඒ දෙනෙත් ඉදිරියට යන්නට උවමනාවක් මේධාවිණීට තිබුණෙත් නැත. ඒ නිසා පෙත්මලීව චිරත් හමුවට එක්කරගෙන යන රාජකාරිය භාරවුණේ සුමතිපාල නිවසේ නිත්‍ය රියදුරු වූ ගුණරත්නයට. මේධාවිණීව පවා පරිස්සමෙන් ඉස්කෝලෙ එක්කරගෙන ගිය   මනුස්සයාට පෙත්මලීව භාර දෙන එක ගැන දෙපාරක් හිතන්න හෝ වද වෙන්න හේතුවක් තිබුනෙ නැති හන්දම මේධාවිණී තාත්තා ගත් ඒ තීරණයට එක පයින් එකඟ වුණාය.

පැය දෙක තුනක් පෙත්මලී එක්ක කාලය ගත කරයින් පස්සේ ආපහු වතාවක් ඇයව මේධාවිණීගේ ගෙදර වාහනයට ගොස් ඇරලවන අතරවාරයේම පෙත්මලී වෙනුවෙන් අරගත්ත තෑගි සහ කතන්දර පොත් සහිත පාර්සලය වාහනයෙ පිටුපස අසුනෙන් පෙත්මලීට එහා පැත්තෙන් තියන්න චිරත් අමතක කලේ නැත.

“මේකෙ මම ඔයාට ලේඩිබර්ඩ් පොත් ගොඩක් ගත්ත බබී. ප්‍රින්සස් කලරින් බුක් එකකුත් තියෙනව. කලර් කරල නෙක්ස්ට් ටයිම් එද්දි මට බලන්න අරන් එන්න බබී” කියා තාත්තා කියද්දි සමුගන්නට පෙරාතුව දෙන කිස් එකත් හග් එකත් දෙන්න පෙත්මලී සපත්තු දෙක දාගෙනම කාරෙකේ සීට් එක උඩට නැග්ගාය.

“චුකුලට් එකත් බබාටද?” කියා පෙත්මලී අහන්නෙ හුරතලයෙනි. 

“ඔව් හැබැයි තනියෙන් කන්න එපා, අම්මිට ආච්චිට සෝමාට දීල තමයි කන්න ඕන හොඳේ” කියා චිරත් කියද්දී හොර කෙල්ල හිනාවෙන්නෙ හොරටය. ඒ හොර හිනාවේ තේරුම කෙල්ල ඕක තනියෙන් කන්න ප්ලෑන් කරගෙන ඉන්න බව දන්නවා උනත් චිරත් ඉස්සර වගේ ඒකට මුකුත් කියන්න හිතුවේ නැත. අනෙක් අතට තාත්තලා කොහොමත් දූවරුන්ට වැඩියෙන් ටිකක් ආදරේය. දූවරුන්ට මෙයාකාරව හුරතල් වෙන්න ඉඩක් ලැබෙන්නේ තාත්තා ලඟ ගෙවන කාලයේ පමණක් බව චිරත් නොදන්නවා නොවේ.

මේධාවිණී එදා ගෙදර එද්දී වෙනදට වඩා රෑ වුනේ කාර්‍යාලයේ වැඩ රාජකාරිවලින් පස්සේ මාකටින් ටීම් එකේ පොඩි කෙල්ලකගේ උපන්දින ට්‍රීට් එකක් වෙනුවෙන් එලියට යන්නට වූ නිසාවෙනි. මේධාවිණී ගෙදර එද්දිත් පෙත්මලී උන්නේ සාලයේ බිම තාත්තා විසින් අරගෙන දුන් ප්‍රින්සස් කලරින් බුක් එක එලාගෙන පැස්ටල් වලින් ඒ ප්‍රින්සස්ලාව පාට කරමිනි. ඔය වයසෙ කෙල්ලන් ආසම පාට රෝස පාට හන්දා කලරින් බුක් එකෙ උන්නු හැම ප්‍රින්සස් කෙනෙක්ගේම ඇඳුම්ද සපත්තුද තිබුනේ රෝස පාටින් පාට වෙලාය. අම්මා ආවයින් පස්සේ අම්මට දෙනු පිණිස තාත්තා අරගෙන දුන්න කජු දැමු චොකලට් එක කාටවත් අල්ලන්න නොදී පෙත්මලී ලඟ තබාගෙන උන්නේ අම්මා කන්න කලින් ඒක ආච්චි හෝ වෙන කවුරුහරි කාවි කියන බය හින්දාය. අම්මා දැන් දැන් එතැයි කියා සිතුවත්, “අම්මා එන්න පරක්කු වෙන හන්දා අපි ඇඟ සෝදලා නිදාගන්න යන් බේබි” කියා සෝමා ආච්චි ඇවිත් කිව්වත් පෙත්මලී ඒකට එකඟ නොවී පොඩ්ඩක් විතර මුරණ්ඩු වෙන්න හිතුවේ තමන්ගෙ අතින්ම චොකලට් එක අම්මාගේ අතින් තියන බලාපොරොත්තුවෙනි.

මහන්සියෙන් උනත් කට්ටිය එක්ක එලියට ගොස් විනෝද වෙන්න ඉඩක් හම්බුවීම නිසා හිත පිරිච්ච සතුටින් ගෙට ගොඩ වුණ මේධාවිණි පෙත්මලී චිත්‍ර අඳින තැනට ලං වුනේත් ඒ සන්තෝසයෙන්මය. 

“ශා, ඔයා ඔක්කොම ප්‍රින්සස් ලව කලර් කරාද?” කියා අම්මා වෙනදා වගේ මහන්සියි කියා තමන්ව මගහැර යන්නෙ නැතුව ලඟ රැඳීම ගැන සතුටු හිතුන නිසාවෙන්ම පොතේ පාට කල හැම ප්‍රින්සස් කෙනෙක්වම දිග හැර පෙන්වමින් ඒ ප්‍රින්සස්ලා ගැනද, ඔවුන්ගේ කුමාරවරුන් ගැනද කතාව කියන්න පෙත්මලී මද වෙලාවක් ගත්තාය. චොකලට් එක අම්මට තාම දුන්නෙ නැති බව මතක් වුනේ එක ප්‍රින්සස් කෙනෙක්ව ඒ ප්‍රින්සස්ව පැහැරගෙන ගිය නපුරු බීස්ට්ගෙන් බේරගන්න කුමාරයා ආව කතන්දරේ කියාගෙන එද්දිය.

“ඔයා කන්න බබී මට එපා” කියා තමන් පෙත්මලී දුන්නු චොකලට් පෙත්ත මග හැරියෙ ඒක චිරත් විසින් අරගෙන ආ එකක් නිසාද කියන සිතුවිල්ල හිත උඩට ආවත් මේධාවිණී ඒ සිතුවිල්ලට බොහෝ වෙලාවක් හුස්ම ගන්නට ඉඩ නොදී හිත ඇතුලෙන්ම මරා දැම්මාය. චිරත් සම්බන්ධ සිතුවිලි දැන් තමන්ට තහනම් ය. ඒව තමන් දැන් හිතන්න හිත වෙහෙස නොකල යුතු සිතුවිලිය. චිරත් සම්බන්ධ දේවල් වලින් තමන් ලඟ තිබෙන්නෙත් තිබිය යුත්තේත් එකම එක බැඳීමක් පමණකි. ඒ පෙත්මලීය.

“තාත්ති කිව්වා අම්මිටයි ආච්චිටයි සෝම ආච්චිටයි දීල කන්න කියල” කියා පෙත්මලී කියද්දිත් මේධාවිණීට හිතුන එකම දේ “චිරත් හැමදාම හිටියෙ අපෙ තාත්ති එක්ක කැත්තට පොල්ල වගේනෙ. තාම ඒක එහෙමමයි. තව අවුරුදු ගාණක් ගියත් චිරත්ගෙ හිතෙන් අපෙ තාත්ති ගැන තියන තරහව නම් නැතිවෙන්නෙ නෑ” කියන එකය.

“නෑ බබී කන්න, බබීනෙ ආස චොකලට් කන්න” කියා මේධාවිණී එතනින් නැගිට්ටේ ඇඟ සෝදාගන්න යන්නය. 

අනෙක් අතට උදේ වරුවේ වලාකුලු වීරවර්ධන එවූ වට්සැප් පණිවිඩය තිබුනේ හිත අමුතුම ආකාරයකින් බර කරය. චිරත් ගැන සිතුවිලි නිසා ඇතිවන වේදනාකාරී බරට වඩා වලාකුලු වීරවර්ධනගේ කෙලිලොල් වට්සැප් පණිවිඩය නිසාවෙන් හිතට පිවිස තිබෙන බර වඩා සුන්දරය.

“යු ආර් සෝ ෆොටෝජෙනික්” කියා වලාකුලු වීරවර්ධන ගාල්ලේ ශූට් එකේදි තමන්ට හොරෙන් ගත් ජායාරූපයක් සමග එවන්නට යෙදුණ ඒ කෙටි පණිවිඩයට යැවිය යුතු පිලිතුර කුමක්ද කියා සිතාගන්නට බැරි හන්දාම උදේ එවූ කෙටි පණිවිඩයට පිලිතුරු යවන්නට තමන් පමා වූ බව දන්නේ තමන් පමණකි. කාර්‍යාලයෙදීද වැඩ අතර නිදහසක් ලැබුණ නිමේශයන්වල ඒ කෙටි පණිවිඩය දිහාත් ඔහු විසින් ඒ පණිවිඩය සමග අමුණා එවූ තමන්ගේ ජායාරූපය දිහාත් බලමින් තමන් බොහෝ දේ හිතූ බව වලාකුලු වීරවර්ධන නොදන්න එක ඇත්තකි.

“මැසේජ් එක සීන් කරල පැය ගාණක් ගිහිල්ලත් රිප්ලයි කලේ නැත්තෙ ලොකු සීන් ද?” කියා අමනාපය හඟවන එමොජියක් එක්ක ආයෙම වතාවක් ඔහු විසින් පණිවිඩයක් ලියා එවා තිබෙන්නේ ඒ නිසාය.

“මගේ ලඟ නැතිම දේ තමයි ලොකු සීන් කියන්නෙ” කියා වොශ් එකක් දාගන්න කලින් යැවූ කෙටි පණිවිඩයට පිළිතුරක් ආ බව දුරකතනය කිව්වේ හඬ නගා ය. ශවරය යට සීතල වතුරට තෙමෙද්දීඒ පණිවිඩයේ තිබෙන්නේ කුමක් විය හැකිද කියා මේධාවිණී නොහිතුවා නොවේ. ඒ හැඟීම හිත කිතිකවන්නකි. එහෙත් නිරුවත් වතින් බාතෘම් එකේ කණ්ණාඩිය ඉස්සරට වී තමන්ට තමන්ගේ රුව පෙනෙද්දී කල්පනා කරන්න දෙයක් මේධාවිණීට තිබුණාය.

“ඒ වගෙ වට්සැප් මැසේජ් එකකට මෙච්චර කලබල වෙන්න මම දැන් කෙල්ලෙක් නෙවෙයි නේද?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here