හද සාගරේ – 23

0
6208

අඩඳුරු මෝටර් රථය තුළ ආදියා ට තද සීතලක් දැනිණ. එය ඇගේ සිරුරටත් වැඩිය මනසට දැනුණකි. ඕ අත් දෙක ළයෙහි බැඳගත්තා ය. නියොන් එළි දැල්වෙන මාර්ගයෙහි කඩ සාප්පු ගොඩනැගිලි ආදිය වේගයෙන් පසු වේ. හැමදාමත් යන මග වී ද ආදියා ඒ කිසිත් හැඳිනුවේ නැත. පිට සක්වලින් උන් හිටි ගමන් කඩා පාත් වූ ජීවියෙකු සේ ඇයට ඈ ගැන දැනෙන්නේ මන්දැයි ඕ තනිව සිතුවා ය.
මෝටර් රථය තුළ නොයෙකුත් කතා සිදු විය. ඉදිරි අසුනේ හිඳ සිටින නිශ්ශංක දෙව්රම් සමගින් සියලු තොරතුරු කීවේ කාලයක් තිස්සේ ළඟින් ම ඇසුරු කරනා කෙනෙකුට සේ ය. ඔවුන් ගේ මිතුදම ඒ තරම් ලොකුවට වර්ධනය වූයේ කොහොමද කියා ආදියා ට සිතා ගැනීමටවත් නො හැකි තරමි.
“අර බේබද්දට නෙවෙයි අපේ එකීට පාඩමක් උගන්නන්නයි පුතා මං මෙහෙම කළේ. අපි මෙච්චර අනුකම්පා කරල මෙහෙම කරනව… ඒවයෙ කිසිම අගයක් නෑ. මොකද අර හෝතම්බුව මේකිටයි අර කෙලි පොඩ්ඩටයි කන්න බොන්න තියනවද කියලවත් බලනවද… නෑ. ඌ කොහෙං හරි ගන්න කුළියකින් කට ගොන්නක් බීගෙන එයි. බඩ කෑගහනකොටවත් දැනෙයිනෙ රඟේ. අම්මයි තාත්තයි නිසා බඩගින්න දැනුන්නෑ කියන එකවත් තේරෙයිනෙ”
“අංකල්‍ දැං ඔය ගැන හිතන්නෙපා. ඇත්ත ඔහොම මිනිස්සුන්ට ටිකක් දැනෙන්න අරින්න ඕන තමයි ආන්ටි. ලේසියෙන් දේවල් ලැබෙනකොට හුඟක් මිනිස්සුන්ට ඒවයෙ අගයක් නෑ”
ආදියා කවුළු වීදුරුවෙන් වඩාත් ඉවත බලාගත්තා ය. ජීවිත ගංගාව අමුතු රිද්මයකින් ගලන්නට පටන්ගෙන තිබේ. ටික දිනෙක සිට සිදු වන්නේ ම අමුතු දේවල් ය. ඒ අතරේ දරා ගන්නට ම බැරි ඇගේ රහස දෙව්රම් ට හසු වීමයි. ඒ මදිවාට දැන් ඔහු ගේ ගෙදරට ම යන්නට සිදු වී තිබේ. ඉරණමට ඇගේ ජීවිතයත් සමගින් කරන්නට ඕනෑ වී ඇති සෙල්ලම කුමක් ද?
නිශ්ශංක හා ජිනාදරී දෙව්රම් සමගින් ලොකු සංවාදයක නිරත වි සිටියහ. දැන් ඔවුන්ට දෙව්රම් යනු පිටස්තර කෙනෙකු නොවේ. පවුලේ ළඟ ම කෙනෙකු සේ ය. කිසිවක් රහසක් කර නො ගෙන ඔවුහු ඔහු සමගින් හැමදේම පවසති. ඒ සමීප වීම ආදියා තුළ දැඩි අපහසුවක් දනවයි.
මේ මොහොතේ ඇයට තිබෙන්නේ ග්ලැසියරීකෘත හදවතකි. රුධිර සංසරණය අත්හිටවී තිබේ. ඈ හුස්ම ගන්නවා ද කියා පවා ආදියා නො දනී. මෙයින් මතු එළඹෙන්නට නියමිත තත්පර කෙබඳු විය හැකි ද?
සුවිසල් මන්දිරය ඉදිරියේ රිය නතර විය. ජිනාදරී ට නම් ඒ දැක හුස්මත් නතර වූ තරමි. දෙව්රම් වාගේ සිටුවර කුමාරයෙකු ඔවුන් ගේ මිදුලේ තණකොළ කපන්නට ආවා කියා කොහොම විශ්වාස කරන්න ද?
වහ වහා රියෙන් බට දෙව්රම් පසුපස අසුනේ දොර විවර කළේ ය.
“බහින්න ආන්ටි”
ඔහු අනිත් පසින් පැමිණෙන්නට පෙර ආදියා රියෙන් බැසගත්තා ය.
“මගෙ ගෙදරට ඕගොල්ලො ආදරෙන් පිළිගන්නව. යමු යමු ඇතුළට”
ගමන් මලු ටික දෑතින් ගත්තේ ඔහු ය. ආදියාගේ හදවතට මහ මොකක්දෝ වාගේ දැනිණි. දෙව්රම් සන්දනායක කියන්නේ ඔවුන් ගේ ගමන් මලු ඔසවාගෙන යා යුතු පුද්ගලයෙක් ද?
ඒ වගේ මැදුරක හිමිකරු වූවා කියා දෙව්රම් කිසිදු ලොකුකමක් පෙන්වූයේ නැත. ඔහු ඔවුන් ගෙතුළට කැඳවාගෙන ගියේ හිතෛශිවන්ත කමකිනි. ඒ පිට තැනක් ය කියා ඔවුන්ට නො දැනෙණ තරමට ඔහු සුහදශීලී ආදරණීය බවක් පෙන්වූයේ ය. ඉක්මනින් ශීතකරණය හැර පලතුරු යුෂයෙන් ඔවුන් ට සංග්‍රහ කළේ ය.
“අපේ චෙෆ්ට මං කිව්ව අංකල්ලටත් එක්කම ඩිනර් රෙඩි කරන්න කියල. ටිකක් රෙස්ට් කරල එහෙම කෑම කමුකො නේද…”
“අනේ මොන බඩගින්නක්වත් නෑ පුතා. ඒත් දැන් හිතට පොඩි සැනසිල්ලක් දැනෙනව. කරදර තැනක ජීවත් වෙනකොට ඒ පීඩනේ අපේ රෝම කූපයක් ගානෙ දැනෙනව පුතා”
ආදියා දෙව්රම් අතින් බීම වීදුරුව ගත්දී ඇගේ ඇස් වල වූ කතාව ගැන ඇයට ම අවබෝධයක් නැත. ඇතැම් විට ඒවා හිස් සුදු කඩදාසි සේ වන්නට ඇත.
“මෙච්චර ලොකු ගෙදරක තනියම ඉන්න එක හරි අමාරු ඇතිනෙ පුතා”
ජිනාදරී එතැනට පෑහෙනු වස් දෙව්රම් සමගින් සිය හදවත විවර කළා ය.
“දැං පුරුදුයි ආන්ටි”
ඔහු එහෙම කීවේ සිනහ මුසුව ය. ආදියා ඒ සිනහව දෙස බලා වහා ඉවත බලාගත්තා ය.
“මං ඒත් අම්මලට කියනව ඇවිත් ඉන්න කියල. ඒත් එයාලට පුරුදු පරිසරේ අතෑරල කොළඹ එන්න අම්මයි තාත්තයි දෙන්නම එච්චර කැමති නෑ. මං ඉතිං බල කරන්නෙත් නෑ. තමන්ට වැඩියෙන්ම දැනෙන තැන තමයි කෙනෙක්ට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවං. ගෙවල් කොච්චර ලොකු වුණත් සැප සම්පත් කොච්චර තිබුණත් පුරුදු තැන දැනෙන සනීපෙ වෙන කොතනකදිවත් දැනෙන්නෑනෙ ආන්ටි”
“ඒකනං ඇත්ත තමයි”
තවමත් ආදියා මුව විවර කළේ හෝ නැත. ඇය ඔය විදිහට මුණිවත රකින්නේ දෙව්රම් ගේ ගෙදර පැමිණි නිසා බව ජිනාදරී දනී. නමුත් මේ වෙලාවේ මෙහෙම තැනක නවතින්නට ලැබුණ එක ලොකු දෙයකි. ආදියා ගේ තරහ ඉක්මනින් තුනී වී යනු ඇතැයි සිතා ඒ ගැන උනන්දු නොවී ඉන්නට ඇය තීරණය කළා ය. හැම කෙනෙකු ම සතුටු වෙන ආකාරයට හැම දේ ම කළ හැකි නොවේ. සාරධා ගේ කන්දොස්කිරියාව නැතිව ගෙවුණු මේ සුළු වෙලාව පවා ජිනාදරී ට නම් සහනයකි. පළතුරු යුෂ පාණය කරමින් ආ ගිය තොරතුරු කතා බහ කිරීමෙන් පස්සේ දෙව්රම් සිය අමුත්තන්ව ඔවුන් ගේ කාමර වෙතට කැටිව ගියේ ය.
“එක ළඟ කාමර දෙකක් රෙඩි කළා. එතකොට ආන්ටිලට බයකුත් නෑනෙ”
“අනේ මොන බයක්ද පුතා… මෙච්චර දේවල් අපි වෙනුවෙන් කරද්දි අපි මොකටද පුතා ගැන සැකයක් බයක් තියාගන්නෙ”
ජිනාදරී ගේ ප්‍රතිචාරය හදවතින් ම උපන්නකි. දැන් නම් දෙව්රම් සන්දනායක යනු ඇයට ඉටු දෙවියෙකු හා සමාන ය. ඔහු තරම් හොඳ ඉලන්දාරියෙකු ඇගේ මුළු ජීවිතයට ම හමු වී නැත. දිනේශ් වෙනුවට දෙව්රම් වාගේ තරුණයෙකු සිය බෑණා වූවා නම් කියා ඇය ආයාසයෙන් නො සිතා සිටියා ය.
“වොශ් දාගෙන එහෙම එහෙනං පහළට එන්නකො. ඩිනර් වලට”
ආදියා දෙව්රම් ගේ ඇස් හැකි තරම් මගහැර සිටියා ය. නමුත් ඒ දැනෙන අසරණ හැඟීම පහව යන්නේ නැත. කෙසේ වෙතත් කාමරයට වැදී දොර වසාගන්නට ලැබුණු එක නම් අවස්ථාවේ හැටියට ඇයට මහත් ම සැනසිල්ලක් විය. නාන කාමරයට වැදෙනු වෙනුවට ඈ කළේ යහනට වැටෙනා එකයි. දෙවියනි, මේ සිදු වෙමින් පවතින්නේ මොනවා ද? සිදු වීමට යන්නේ මොනවා ද?
ජංගම දුරකතනය නාද වන්නට විය. ඒ දෙදරවාගෙන එහි දිස් වෙමින් තිබුණේ දෙව්රම් ගේ නමයි.
“හ්… හෙලොහ්”
ආදියා ගේ උගුරෙන් ඒ වචනය හරියට බැහැර නො වුණ තරමි.
“චූටි දුව දොයි නෑ නේද…”
අසීරුවෙන් කෙළ බිඳක් ගිලගත්තා මිස ආදියා ට වචන සිහි නො විණි.
“බයවෙලාද ඉන්නෙ ඔයා…”
ඊට ඈ යන්තමින් හිස සැළුවා පමණි. ඒ බැව් දෙව්රම් ට නො පෙනෙන බව සිහි වූයේ පසුව යි.
“මං දන්නව ඔයා අවුලෙන් කියල. ආදියා… බී රිලැක්ස්. ඉතින් ළමයො මං ඔය දේවල් ගෙස් කරන්න අරං ටික දවසක්නෙ. එහෙමයි කියල ඔයාට මුකුත් වෙනසක් කළාද මං… හරි අපි ඒ ඔක්කොම අමතක කරමුකො දැං. හෙට ඔෆිස් යන්නෙ කොහොමද කියල ඔයා හිතනව ඇතිනෙ. ආ… මං ගෝල්ඩන් ලීව්ස් එකේ වර්ක් කරනව කියල අම්මල දන්නෑනෙ නේ… හරි ඉතිං මං ඒක කියන්නෑ එයාලට. දැං ඕකේද… වෙන මොනාද මගෙන් කෙරෙන්න ඕනෙ… අනේ ප්ලීස් අර කලින් ඔෆිස් එකේ හිටිය විදිහට හිනා වෙලා රිලැක්ස් එකේ ඉන්නකො. මං ඔයාගෙ බොස් කියන එක අමතක කරන්නකො. එතකොට ඔයාට කම්ෆටබල් වෙයි”
“තෑන්ක් යූ මිස්ට දෙව්රම්”
“ඕකේ! දැං වොශ් දාල එන්න ඩිනර් වලට”
පෙර දී පැවති හුස්ම හිර කරවනා අපහසුතාවය මඳක් සමහන් ව ගියා සේ ය. දිය නා ගත් කල ඒ ලිහිල් බව තවදුරටත් දැනිණ. දැන් ඉතින් සිදු වූ දේ සිදු වී අවසාන බව සිතන්නට ආදියා උත්සාහ කළා ය. කෙතරම් අපහසුයි සේ දැනුණත් ඔහු ට මුහුණ දිය යුතුව තියේ. එබැවින් හැකි තාක් සාමාන්‍ය තත්වයට පත් වෙන්නට ඕ සිතා ගත්තා ය.
දිය නාගැනීමෙන් පසු සිය කාමරයට පැමිණි ආදියා දැක ජිනාදරී ට ඇති වූයේ සතුටකි.
“ඔයා නළුවන්ට කැමති නැති වුණාට කමන්නෑ. මූණෙ කේන්තිය පුරෝගෙන ඉන්නෙපා. මොනා වුණත් ඒ ළමය අපිට උදව්වක්නෙ කළේ. අනිත් එක ටික දවසක්හරි ඔයාට නිදහසේ කනක් ඇහිල ඉන්න පුළුවන්නෙ චූටි දුව මෙහේ”
ආදියාගෙන් අයහපත් ප්‍රතිචාරයක් දැකිය හැකි වූයේ නැත. තෙත කොණ්ඩය පිටින් ඇය නිශ්ශංක හා ජිනාදරී පසුපසින් පහළ මහළට පැමිණෙන විට දෙව්රම් ගේ මුව මත හසරැල්ලක් පිපිණ.
“එන්න එන්න. කෑම ලෑස්තියි”
“අනේ අපි නිසා පුතාට හරි කරදරේ”
“අනේ මොන කරදරයක්ද ආන්ටි… දැන් බඩගිනිත් ඇතිනෙ. කාල ඉමු”
දෙව්රම් ආදියා ට පිඟානක් දිගු කළේ ය. ඇගේ හද ගැස්ම බෙහෙවින් වැඩි විය. ඈ ඒ දෑතින් ගත්තේ එහෙම ම පපුවට තුරුලු කරගනිමිනි. හිත මඳක් ලිහිල් වී තිබුණාට ඒ සම්පූර්ණ යථා තත්වයට පත් වීමක් නොවේ. දෙව්රම් කොහොම මොනවා කීවත් ආදියාට දැනෙන ආත්මීය ලැජ්ජාව පහසුවෙන් පහ කොට දැමිය නො හැකි ය.
“අපේ චූටි දුව වැඩිය ටෙලි නාට්ටි බලන්නෙ එහෙම නෑ. ඒ නිසා පුතාව වැඩිය දන්නෙ නැද්ද කොහෙද…”
කෑම කන ගමන් ජිනාදරී එසේ කීවේ ආදියා ගේ මේ විලාශය ආඩම්බරකමක් සේ දෙව්රම් හිතනු ඇතැයි දෙගිඩියාවෙන්, දියණිය ඒ වරදින් මුදවා ගනු වස් ය. ආදියා තිගැස්සී ගිහින් ඔහු දෙස බැලුවා ය. දෙව්රම් අඩ සිනහවක සිටියේ ය. ඇයට හිතුණේ මේසය යට හැංගී ගන්නටයි.
“සමහර ගෑනු ළමයි එහෙම තමයි ආන්ටි”
ඔහු ගේ වචන වලින් කියැවුණේ සිනහවෙහි වූ අරුත නොවේ.
“කන්න ඉතිං… ඔහොම අත ගගා ඉඳල රෑට බඩගිනි දැනෙයි”
කුසගින්නක් තුනීවට දැනෙමින් තිබුණත් පළමු බත් පිඬ ම උගුර මුළ හිරවිය. දෙව්රම් වහා ම වතුර වීදුරුවක් ඇය වෙත ලං කළේ ය. ඇගේ ඇස් වල තෙතමනයක් විය. ඔහු ගේ හිතේ අමුතු තෙතමනයක් ඇති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here