(අ) හිමි සිහින -117

ප්‍රේමයෙන් පිරී ගිය ජීව්තයක් හිමි වූ විට කාලය ගලා යන්නේ අපිටත් නොදැනීමයි.දහතුන් වියැති පුංචි කෙල්ලක කාලයේ ලිපියක් යවා හාද කරගත් ආදරවන්තයා සමඟ එක නිවසක වෙසෙන්නට මට ලැබුණේ මැදි වියේදී.ඒත් ආදරය වයින් වලට සමාන වග මම අසා තිබෙනවා.

පරණ වෙන්න වෙන්න රහ වැටෙන ආදරයක්!

ඔව්,අපේ ආදරය එහෙම කතාවක්.අපි ආදරයෙන් සහ සැනසීමෙන් ජීවත් වෙන්නට පටන් ගත්තා.

සුධාරක මගේ මහ ගෙදරට යන්න එන්න පටන් ගත්තා.අපේ ගෙදර කළ යුතු කාර්යයන් පවා සොයා බලමින් කරන්නට පටන් ගත්තා. එහෙත් මගේ අම්මා සහ තාත්තා ඔහුව පුතෙකු ලෙස පිළි ගත්තේ නැහැ.අතීත දවස්වල දියණිය ඉල්ලාගෙන ආ තරුණයා පිටුදකින්නට ගෙන ගිය ක්‍රියාපටිපාටිය ඔවුන්ට මතකයේ තියෙන්නට ඇති.එනිසාම ඔවුන් ඒ අතීත දවස්වල වාගේම සුධාරකට සමීප නොවී ඉන්නට පරිස්සම් වුණා.ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙන්නටත් ඇති.ඒ නමුත් මම ඔහුට ආදරය කරන බවත් ඔහුගෙන් තොර ජීවිතයක් මට නැති බවත් ඔවුන්ට වැටහෙන්නට පටන් ගත්තා.ඒ නමුත් ඔවුන් සුධාරකගේ නිවසට කිසිම දවසක නොඑන්නට ප්‍රවේසම් වුණා.

“මැණිකේ,ඔයාගේ අම්මටයි තාත්තාටයි එන්න කියන්නකො.කෑම වේලක් දෙන්නකො ගෙන්නගෙන.”

සුධාරක මට එසේ අනන්තවත් කියා තිබෙනවා.ඒත් අම්මා හෝ තාත්තා ඒ ආරාධනා පිළිගත්තේ නෑ.එක්තරා තීරණාත්මක දිනයක ඔවුන් මේ නිවසට පැමිණියත් ඒ පැමිණීම කිසිම වැඩකට නැති වග මම අදටත් හිතනවා.ඒ දවස ගැන දිගු කතාවක් මම ඉදිරියේදී ඔබට කියන්නම්.

ඒ දවස්වල සුධාරක මගේ සෑම වැඩකටයුත්තකටම උදව් දෙන ආදරණීය සහකරුවෙක් බවට පත් වී සිටියා.අපි ඒ දවස්වල ගෙදරට අවශ්‍ය කළමනා ගන්නට පොළට යනවා.

“මේවා උයන්නෙ කොහොමද මැණිකේ? මේවා උයමුද මැණිකේ?”

ඒ වගේ දාහක් ප්‍රශ්න ඔහුට නැඟෙනවා.මම ඔහුට පිළිතුරු දෙන්නේ ආදරයෙන්.ඔහු කන්නට ප්‍රිය කරන දේවල්,එළවළු,මාළු ගන්නට අපි පොළේ බොහෝ වෙලා ගත කරනවා.ඒ අතර හිතවතුන් මුණ ගැසුණු විට ඔහු ඒ අයට මා හඳුන්වා දෙන්නටත් අමතක කළේ  නෑ.

ඒ මගේ හිතේ තිබූ ඉටු කර ගන්නට ආශාවෙන් සිටි සිහිනයක්.

තමන් ආදරය කරන මිනිසා සමඟ කඩේ පොළේ යන්නට බඩු මලු ඔසවාගෙන ගෙදර එන්නට ඔහුට රසමසවුළු පිස දෙන්නට ඕනෑම ගැහැනියක ආශා කරනවා.මටත් ඒ සිහිනය ඉටු කරගන්නට ඕනෑ වුණා.මම කොහොමටත් උයමනට හපනිය නිසා විවිධාකාර කෑම බීම සකසන්නට මම ආශා කළා.

සුධාරක තමයි මට “සැමියෙකුගේ සෙනෙහස සහ කුටුම්භයක ජීවිතය”ලබා දුන් මිනිසා.පවුලක බර ඔහේ ඔසවාගෙන ගිය පවුල් ජීවිත දෙකක් ගෙවූ මට සුන්දර බිරිඳකව ජීවත් වෙන්නට ලැබුණේ ඔහු සමඟ ජීවිතය ආරම්භ කළ පසුවයි.මට තිබූ සියලුම සිහින ඔහු සමග සැබෑ කර ගන්නට මට හැකි වුණා.මට මගේ ජීවිතයේ අහිමි වූ සියළුම තැන් ඔහුගෙන් නැවත ලැබෙමින් තිබුණා.සුධාරකටත් එසේම බව මම දන්නවා.ඔහුටත් බිරිඳකගේ ආදරය ලැබුණේ මගෙන්.

කරදර බාධක ජීවිතයට ඕනෑතරම් ආවා.එහෙත් “ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ” යන්න හරියටම අත් විඳින්නට මට ලැබුණේ ඒ කාලයේදීයි.අංගසම්පූර්ණ පවුල් ජීවිතයක මිහිරියාව මම විඳ ගනිමින් හිටියා.ඒ අසම්මතය බව මම හිතන්නේ නෑ.කොළ කැබැල්ලක ලියා හිමිකම නැතත් අපි හදවතින් බැඳී සිටියා.නීතියට රාමුවක් තිබුණත් හදවතට රාමු නැහැ.හදවතට ඇත්තේ හැඟීම් දැනීම් පමණයි.ඒ නිසා අපි අපේ ජීවිතය සැනසිල්ලේ ගෙවා දැමුවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...