නිවසේ ගැටලුවක් රණ්ඩුවකින් කෙළවර කර ගන්නෙ නැතිව සැමියා එක්ක සාකච්ඡා කරන්නෙ මෙහෙමයි.

විවාහ වුන මුල්ම කාලෙ නම් දෙන්නට කතා කරන්න දේවල් ගොඩයි . ඒත් විවාහ වෙලා ටික දවසක් ගියාම බොහෝ සැමියන් නිහඩ චරිත බවට පත් වෙනවා. මේ තත්වය කොයිතරම් නරක අතට පත් වෙනවද කියනව නම් දෙදෙනාගේ ගැටලුවක් කතා බහ කිරීමට වුනත් හැකියාවක් බොහෝ බිරින්දෑවරුන්ට නැතිවෙලා.

බොහෝ සැමියන්ගේ මේ නිහඩ වෘතය රැකීම නිසාම ඔබේ ජීවිතේ මෙරිගෝ රවුන්ඩ් එකක හිරවෙලා වගේ ඔබට දැනෙන්න පටන් අරන් ද? .. එහෙමත් නැත්නම් ඔහු ඔබ ගැන අවබෝධයකින්, සැලකිල්ලකින්, හැඟීමකින් කටයුතු කරනවා කියල ඔබට නොහිතෙන තරමට ම ඔහු දුරස් වෙලා ද? එකතු වෙලා පටන් ගත්ත ජීවිතේ බෙදාගන්න දැන් ඔහු ඔබ ළඟින් නෑ කියල ඔබට හිතෙන්න පටන් අරන් ද?

ඉතින් මේ ගැන ඔබ කී වරක් ඇත්තටම ඔහු එක්ක කතා කළා ද? ලැබුණෙ හිස් ප්‍රතිඵල නිසා ඔබටම ඔහු තේරුම් ගන්න බැරි තරම් තත්වය අයහපත් වෙලා ද? ඔහු එක්ක දැන් යමක් ගැන කතාකරද්දි ඒ සංවාදෙ අවසන් වෙන්නෙ කාට හෝ දොස් පැවරීමකින්, චෝදනාවකින්, ඇනුම් පදයකින්, හිත් රිදවීමකින්, හෝ බරපතල ගෝරනාඩුවකින්, රණ්ඩුවකින්, අඩදබරයකින් ද

එහෙම නම් ඔබේ සම්බන්ධතාව පරිස්සම් කරගන්න හුඟක් මහන්සි වෙන්න මේ තමයි වෙලාව.

ගොඩක් අඹුසැමි ප්‍රශ්නවලට මුල වෙන්නෙ එක්කො සල්ලි, එහෙමත් නැත්නම් වෙනත් සම්බන්ධතා, එහෙමත් නැත්නම් දෙදෙනාට දෙදෙනා ගැන ඇතිවන අවිශ්වාසයන්. ඉතින් මේ කවර ආකාරයේ ගැටළුවක් වුණත් ඔබ ඊට ස්මාර්ට් විදියට මුහුණ දෙන්න දැනගත්තොත් ඒ සියල්ල හරිම පහසුවෙන් පලවා හරින්න පුළුවන්. මේක කරන්න පුඵුවන් ඔබට ම මිසක් නොපෙනෙන දෙවියන්ටවත්, දේවාරූඪයෙන් සාස්තර කියන කාට හරිවත් නෙවෙයි. කසාදය දික්කසාදයකින් කෙළවර කරන්න තරමට ම ඇතැම්විට ඔඩු දුවන පුංචි පුංචි ගැටළුවල දී ඒවා විසඳගන්න ඔහු එක්ක ඇත්තට ම ඔබ කතාබහ කරන්න ඕනේ කොහොම ද?

හොඳින් සවන් දෙන්න. වචන සොඳුරු කරන්න.

සන්නිවේදනය හරියාකාරව පවත්වාගන්න බැරිවීම ගොඩක් අඹුසැමි ගැටළුවලට මුල බව මනෝ වෛද්‍යවරුන් පවා පෙන්වා දෙන කරුණක්. දෙදෙනෙක් අතර සන්නිවේදනයේ දී එකිනෙකාට අවධානයෙන් ඇහුන්කන්දීම, කතාකරන්නට අවස්ථාව ලබාදීම, කතාවට බාධා නොකිරීම, එකිනෙකාගේ අදහස් ඉවසීම, අතරමැද දි බාධා නොකිරීම වගේ මූලික සිද්ධාන්ත ඕනම කෙනෙකුට පොදුවේ හුඟක් වැදගත්. සහකරු එක්ක සංවාදයේ යෙදීම සංවාසයේ යෙදෙනවාටත් වඩා පරිස්සමින් සැලකිල්ලෙන්, අවධානයෙන් සහ සුන්දර ව කළ යුතු බව බොහෝ උපදේශකයන් අවධාරණය කරන්නේ, එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කරන්නට දෙදෙනා පිට කරන හැම වචනයකට ලොකු බලයක් පවතින නිසාමයි. වචනවලින් කාට හෝ වෙඩි තියන්නට පුළුවන්. වචනවලින් කවුරුන් හෝ රවට්ටන්නටත් පුළුවන්. ඒත් වචනවලින් ඔබ කළ යුත්තේ ඒ දෙකම නොවෙයි.. කෙනෙකුගේ හිත ආකර්ෂණය කරගැනීමයි. කතාකරන හැම වචනයකින් ම ඔහු ආකර්ෂණය කරගන්න ස්මාර්ට් කාන්තාවකට හරිම පහසුයි. එහෙම කළොත් ඔබට ඔහු එක්කවත්, ඔහුට ඔබ එක්කවත් රණ්ඩු වෙන්න වෙන්නෙම නෑ කවදාවත්.

ඔහුගේ සපත්තුව දාගෙන බලන්න

හුඟක් රණ්ඩු ඇතිවෙන්නෙ මේ හැකියාව නැතිකමින්. තමන්ගෙ මතය හැම වෙලාවෙම හරියි කියල හිතාගෙන ඉන්න එපා. උදාහරණයක් හැටියට ඔහුට ඔබේ වියදමට ලබාදෙන මුදල මේ මාසයේ අඩු කරන්නට සිදුවුණේ, අනපේක්ෂිතව ඔහුට මුහුණ දෙන්නට සිදුවූ රැකියා ස්ථානයේ අවශ්‍යතාවක් හේතුවෙන් විය හැකියි. ඒ ගැන නොවිමසා හෝ ඔහුට ඒ ගැන පැහැදිලි කරන්නට අවස්ථාවක් පවා ලබා නොදී ඔබේ චෝදනා ඔහුට එල්ල කරන්නට යාම නුසුදුසුයි. වෙනදාට වඩා කලින් නිවසට එන බවට පොරොන්දු වුණත් ඔහුට එය ඉටු කරන්නට නොහැකි වුණේ ආයතන ප්‍රධානියා ඔහුට එදා දවසේ පැවරූ අමතර කටයුත්තක් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කරන්නට වූ නිසා විය හැකියි. ඉතින් වැරැද්ද වෙනුවෙන් නිදහසට කරුණු දක්වන්නටත් නොදී ඔහු එක්ක ආරවුල් හදාගන්න එපා. ඔහුගේ සපත්තුව දාගෙන බලන්න. ඒක ඔබට ගැළපෙන්නේ නැහැ. ඒත් ඒක ඔහුගේ පාදයේ හැඩය. ඔහු කියන්නේ ඔබ නොවෙයි. මින් පෙර ලිපියකදීත් මා සඳහන් කළ කරුණක් නැවත සිහිපත් කරනවා නම්, ගැළපීම කියන්නේ දෙන්නාට දෙන්නා සමාන වෙනවාට නෙවෙයි.

නිතර නිතර මැසිවිලි නැඟීම නවත්තන්න

හැමදේකටම නහයෙන් අඞන බිරින්දෑවරුන්ට කිසිම සැමියෙක් කැමති වෙන්නෙ නෑ. ඔහුට එය බරපතල මානසික කරදරයක්. මැසිවිලි, චෝදනා නිතර නිතර නඟමින් ඔහුගේ සියල්ල පාලනය කරන්න දඟලන එක නවත්වන්න. ඔහුගේ වැරදි ම මතු කර දැක්වීම වෙනුවට ඔහු දෙස සුබවාදීව බලන්න. ඔහු අගය කරන්න. ඔබ අපේක්ෂා කළ අයුරින්ම ඔහු විසින් ඉටු කළ යම් යම් වගකීම්, යුතුකම් සිහිපත් කරන්න. ඇගයීම, ප්‍රශංසාව පොඩි දරුවාගේ පටන් හැම වැඩිහිටියෙකුටමත් දිරිගැන්වීමක් ඇතිකරවනවා.

සැලැසුමකට එකඟ වෙන්න. ප්‍රශ්න කතාබහ කරන ප්‍රවේශයන් වෙනස් කරන්න

කතාබහ ඉතාම හොඳින් ආරම්භ කළත් ඔබ විසින් මතු කළ කිසියම් කරුණක් හේතුවෙන් ඔහුගේ කේන්තිය ඇවිස්සුණොත් ඉතා කල්පනාකාරී විය යුතු මොහොත ඒ මොහොත බව හිතන්න. දැන් ඔබ දෙදෙනා ම තවදුරටත් ඒ මාතෘකාව කතාකිරීම කිසිසේත් නුසුදුසුයි. මේ වෙලාවෙ ඔයාට තරහ ගිහින් ඉන්නෙ.. හරි.. අපි ඒක පස්සෙ කතා කරමු. වැනි යෝජනාවක් ඒ මොහොතට ඔහු සාමකාමී කරන්නට ඇතැම්විට සමත් වේවි. එහෙත් කල්දැමූ කරුණ කිසි දිනක කතා කරන්නට ඔබට පසුබිමක් හදාගන්නට බැරිවුවහොත් ඔබ අසාර්ථකයි. ගැටළුව ඉදිරිපත් කරන මුහුණුවර වෙනස් කර බලන්න. ඔහු වඩාත් ප්‍රිය කරන තැනකින්, එකඟ වන තැනකින් නැවත කතාව අරඹන්න. ප්‍රශ්නයේ හැඩය වෙනස් කළ විට ඔහුගේ කේන්තියාම වෙනුවට සැනසිල්ලේ ඊට සවන් දෙන මට්ටමට ඔහු පත්කරගන්නට ඔබට හැකිවේවි.

අරමුණට ම ඉලක්ක වෙන්න

කතාබහේදී බොහෝ දෙනාට වැරදෙන, එහෙමත් නැත්නම් ඒතරම් සැලකිලිමත් නොවන කරුණක් තමයි අරමුණට ඉලක්ක වනන්ට ඇති නොහැකියාව. සිදුවීමක් විස්තර කිරීමේ දී හෝ ගැටළුවක් පැවසීමේ දී හෝ ඔබේ අවශ්‍යතාවක් පිළිබඳ ඔහුට පවසනවිට ඉර හඳ අහස පොළව තරම් දුරස්ව පවතින කරුණුත් ඈඳාගන්න එපා. සමහරවිට ඔබට කියන්නට අවශ්‍ය ම කරුණ කියන්නටත් පෙර ඔහුගේ අවධානය ඔබ වෙතින් ගිලිහේවි. එහෙමත් නැත්නම් ඔබේ කරුණු දැක්වීම් ඉතා නොවැදගත් සේ ඔහුට හැඟීයාමෙන් ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා සිටීමටත්, ඒ නිසා ඔහු ඔබ ගැන සැලකිලිමත් නොවන බවට ඔබට වැරදි හැඟීමක් ඇතිවන්නටත්, කතාබහ කළ යුතු කරුණ පසෙක තිබිය දී ඒ වෙනුවෙන් අලුත් ආරවුලක් දෙදෙනා අතර පටන්ගන්නටත් ඒ තත්වය කදිම හේතුවක් වේවි. මේ නිසා හරියටම ඔහුට කියන්නට ඕනෑ දේ ඔබ නිශ්චය කරගන්න. ගැටුම් වෙනුවට ආදරය එක්ක කතාබහ නඩත්තු කරන්න. කරුණු දක්වන්නට අවශ්‍ය තරම් කාලය ගන්න. හැබැයි ඉලක්ක මතක තබාගෙන කතාකරන්න.

දුර්වලතා, අතීත වැරදි, වැරදි තීන්දු ගැන චෝදනා නතර කරන්න

හැම කෙනෙකු සතුවම නොයෙකුත් දුර්වලතා පවතිනවා. සර්වසම්පූර්ණ මිනිසුන් නැහැ. වැරදීම් අතපසුවීම්, මඟහැරීයාම්, අමතකවිම් පොදු මිනිස් ස්වභාවයන් මිස කෙනෙකුට පමණක් ආවේණික වූ දෝෂ නොවෙයි. අතීතයේ කළ වැරදි හෝ ගනු ලැබූ තීන්දු, ඒ නිසා සිදුවූ පාඩු, මූල්‍යමය ගැටළු, ඔබ ව පීඩාවට පත්කළා වන්නට පුළුවනි. එහෙත් නැවත නැවත ඒ අමිහිරි අතීතය නඩත්තු කිරීමට ඔබ දෙදෙනාගේ කාලය නිකරුණේ අපතේ යැවීම ප්‍රතිඵල රහිතයි. දුර්වලතා හඳුනාගැනීම ඉදිරිය එසේ නොවන ලෙස වගබලාගැනීමට උදව් වන බව ඇත්තක් වුණත් දිගින් දිගටම වූ අසාර්ථකත්වන් ගැන චෝදනාත්මක ස්වරූපයෙන් සිදුකරන ප්‍රකාශ, මත ගැටුම්, එකිනෙකා වෙත එල්ල කරන ඇනුම් පද හෝ ආරවුල්වලින් අවසන් වන්නට බොහෝදුරට ඉඩ තිබෙනවා. Gone has gone (ගිය දේ ගියා) න්‍යාය අනුගමනය කරන්න.

ඉවසීම ප්‍රගුණ කරන්න.

ඔබ ඔහු සමඟ වෙසෙන නිවසේ පවුලේ වෙනත් සාමාජිකයන් ඉන්න පුළුවනි. ඔබේ දරුවන් ඔබේ කතාබහට සවන් දෙමින් දසිටිනවා විය හැකියි. මේ නිසා එකිනෙකාට අපහාස කිරීම, අසභ්‍ය වදන් භාවිතය, සැක කරමින් චෝදනා කිරීම හෝ කවර ආකාරයේ හෝ බලපෑම් සහගත තර්ජනාත්මක ප්‍රකාශ දෙදෙනා අතර හුවමාරුවීම නිරෝගී විවාහ සම්බන්ධතාවකට ගැළපෙන්නේ නැහැ. ඔබේ සම්බන්ධතාවයේ පලුදු අනික් අයට පෙන්නන්නට අවශ්‍ය ම නැහැ. ඔබ ඔහුට සිටින විශ්වාසනීය ම හා ඕනෑම දෙයක් කතාබහ කළ හැකි හොඳම යෙහෙළිය වීම තමයි මීට හොඳම විසඳුම් වන්නේ. හොස්ස ළඟින් මැස්සා යන්නට බැරි සැමියන් හෝ බිරින්දෑවරුන් වෙනුවට ඕනෑම කරුණක් කූල් එකේ කතාබහ කරගන්න පුළුවන් යුවළක් බවට පත්වෙන්නට නම් ඔබ දෙදෙනා ඉවසීම ප්‍රගුණ කරගැනීමත් ඉතා වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles