පෙත්මලීගේ උපන්දින සාදය වෙනුවෙන් ඉස්කෝලෙ යාලුවන්ට දෙන ට්‍රීට් එක වෙනදට වඩා ලොකුවටම කරන්න උවමනාව තිබ්බේ මේධාටය. ඒකට හේතුව උනෙත් වලාකුලුය.
“නිකන්ම කේක් එහෙම ගිහින් දෙනවට වඩා හොඳ නැද්ද අපි පොඩ්ඩිගෙ ෆොටෝ ටිකක් එහෙම ගමුකො” කියා වලාකුලු කියද්දි ඒක ඇත්තටම හොඳ දෙයක් බවත්, වෙනසක් තියෙන බවත් මේධාවිණී හිතුවාය.
“ඔව් අනේ එහෙම නම් මට ෆොටෝග්‍රැෆර් කෙනෙක්ව හොයල දෙන්නකො”
“ඉතින් වෙන කවුරුවත් ඕන නෑනෙ ළමයො ඔයගෙ ඔෆිශියල් ෆොටෝග්‍රැෆර් ඉද්දි” කියා වලාකුලු වඩා සුන්දරව හිනාවෙද්දි ඔහු ඒ කියන්නෙ ඔහු ගැන බව මේධාවිණීට නොතේරුනා නොවේ.
පෙත්මලීගේ උපන්දින සාදය තීරණය උනේ ඒ අනුවය. පෙත්මලී ආස උන රෝස පාට බාබි තීම් එකේ කේක් එක ගෙන එන්න අම්මා පොරොන්දු උනත් “තාත්ති කේකුයි අයිස්ක්‍රීනුයි ගේනවා” කියා පෙත්මලී උඩ පැන පැන කියද්දී මේධාට එයට සවන් නොදි ඉන්න පුලුවන් කමක් තිබුනේ නැත. මේධාවිණී චිරත්ට කතා කරේ ඒ අනුවය.
“ඔව් මම කේක් එකයි අයිස්ක්‍රීමුයි අරගෙන එන්නම්” කියා උත්තර දුන්නට පස්සෙ කියන්න ඕන වෙන දෙයක් ගැන චිරත් ඇත්තටම උන්නේ හිතාගන්න බැරුවය. එකිනෙකාට එකිනෙකාගේ මුහුන නොපෙනෙනා දුරකතන සංවාදයක් වුනත් දෙදෙනා අතර වූ ඒ නිහඬතාවය දරාගන්න අපහසු තරම් කටුකව දැනුන නිසාවෙන් මේධාවිණී ඒ නිහඬතාවය බිඳින්නට වචන එක් රැස් කරාය.
“මම මේ පාර පොඩ්ඩක් වෙනස් දෙයක් කරන්න හිතුවෙ”
“මොකද්ද?”
“මම හිතුවෙ ෆොටෝස් එහෙම ගන්න කියල ඉස්කෝලෙ යාලුවො එක්ක”
“ආහ් ඔව් ෆෝන් එකෙන්ද?”
“ම්ම් නෑ කවුරුහරි ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගෙන්නන්න කියල හිතුවෙ”
“ලොකු ගාණක් යාවි නේද?”
“නෑ, අනික ඉතින් මගෙ දරුවනෙ, ඔය වගේ දේකට වියදම් කරාට මොකද” කියා මේධා කියද්දී “අනේ ඔව් ඔයාලටද ඉතින් වියදම් කරන්න සල්ලි නැත්තෙ” කියා කියන්න හිතුණත් චිරත් උන්නේ ඒ හැඟීම වචනවලට හරවන්නේ නැතුවය. මේ අතීතයක අත හැර දමා ආ බැඳීමකි. දරුවා නිසාවෙන්ම විතරක් පවත්වාගෙන යන සියුම් රැහැන් පටකින් බැඳුණ බැඳීමකි. එහෙම තැනක අතීත කුණු ගොඩක් ගොඩගසා වර්තමාන්‍ය ගන්දස්සාර කරගන්න උවමනාවක් නැත. චිරත් විසින් කේක් සහ අයිස්ක්‍රීම් අරගෙන එනවා කියා කිව්වයින් පස්සේ මේධා කලේ පොඩි ලමයි කන්න ආස කරන කෑම ජාති සහ සැර අඩු සැන්ච්විච් වගේ සූදානම් කරන තැනකට කතා කර ප්ලැටර්ස් කිහිපයකට ඕඩර් එකක් දමන එකය. එක දෙක පංති දවල් වෙනකම් කරගෙන යන්නෙ නැති නිසාවෙන් දෙන දෙයක් ඉන්ටර්වල් එක වෙලේ දී අවසන් කල යුතු බව මේධාවිණී අත් දැකීමෙන් දනී. අනික කේක් සහ අයිස්ක්‍රීම් ගේන එකේ කොහොමත් පොඩි උන් වෙන දේවල් වලට වඩා කන්න යොමුවන්නෙ පැණි රස ජාති කියන එක මේධා නොදන්නවා නොවේ.
“චිරත් කේකුයි අයිස්ක්‍රීමුයි ගේනවා කිව්වා” කියන පණිවිඩය මේධාවිණී අම්මාත් තාත්තත් ඉස්සරහ තිබ්බේ හවස තේ මේසෙ වෙලාවේය. කමලිනී ඒකට මුකුත් කිව්වෙ නැතත් මනුර සුමතිපාල තේක බොන ගමන්ම නැගු නිහඬ සිනාව බොහෝ කතන්දර නොකියා කියන්නක් බව මේධාවිණී වගේම කමලිනීත් තේරුම් නොගත්තා නොවේ.
“දැන් ද ඒ යුතුකම් මිනිහට මතක් වෙලා තියෙන්නෙ?” කියා තාත්තා අහද්දී මේධාවිණී උන්නේ එයට දිය යුතු පිලිතුර කුමක්ද කියා හිතාගන්න බැරුවය.
“තමන්ගෙ දරුවා ගැන ඕනම තාත්තා කෙනෙක්ට කැක්කුමක් තියෙනවනෙ” කියා කමලිනී එවෙලෙ එහෙම කිව්වේ මොක උනත් ඔය කතන්දර පෙත්මලීගේ කනට වැටෙන එක නුසුදුසුයි වගේම මේ කතන්දර දැන් ඉතින් කතා කරල වැඩක් නෑ නේද කියන පණිවිඩය නොකියා කියන ගමන් ය.
“ඔය කැක්කුම් එන්න තිබ්බෙ කලින් නෙ” කියන ගමන් කා ඉවර උන කෙසෙල් ගෙඩියේ ලෙල්ල පීරිසය උඩ තබා මනුර සුමතිපාල තේ මේසයෙන් නැගිට යද්දිත් මේධාවිණිත් කමලිනීත් උන්නේ උන් තැනම වාඩි වී තේ කෝප්පය රස විඳින ගමන් ය.
“එදාට චිරත් එන එක ප්‍රශ්නයක් වෙයිද?” කියා අම්මා ඇහුවේ ඇයි කියන එක ඇත්තටම මේධාවිණීට හිතාගන්න බැරි උන එකම “ඇයි අම්මා එහෙම ඇහුවෙ?” කියා අහන්නට ඇයට දිරි දුන්නාය.
“නෑ ඉතින් ඔයා කාටවත් ඩිවෝස් එක ගැන කිය කිය ගියේ නැති උනාට මිනිස්සු ඕව දැනගන්නවනෙ බබා. අර පෙත්මලීගෙ ක්ලාස් වලමනෙ තේජාගෙ පුතාගෙ බබා ඉන්නෙත්. තේජා මට කතා කරල ඇහුව මේ කතාව ඇත්තද කියල. නෑ කියන්නය ඉතින්. මං ඇත්ත කියල කිව්වා. දරුවො දරුවො ඕව නොදන්නව උනාට අම්මල තාත්තල ඕව දන්නවා, ගෙවල් වල කතා බස් කෙරෙනවනෙ. ඉතින් ඩිවෝස් වෙච්ච මිනිස්සු දෙන්න දරුවගෙ බර්ත් ඩේ ට්‍රීට් එකේදි එකට දකින එක ඔය කට්ටියට කතා කරන්න හේතු හදනවනෙ”
“මමයි චිරතුයි තවදුරටත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නොවෙන එක ඇත්ත අම්මා. ඒ උනාට චිරතුයි මමයි කියන්නෙ ඊයෙ වගේම අදත් අද වගේම හෙටත් පෙත්මලීගෙ අම්මයි තාත්තයි. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට අපිට හැමදාම එකට ඉන්න බැරිඋනාට අපෙ දරුවගෙ දේකදි අපිට එකතු නොවී ඉන්න බෑනෙ. මිනිස්සු මොනව කිව්වත් ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි” කියා මේධාවිණී කියද්දී කමලිනීත් තේ මේසයෙන් නැගිට ගියේ “අනේ මන්දන්නෙ නෑ ළමයො” කියා කියන ගමන් ය.
උපන්දිනේ ලංවෙන්න ලංවෙන්න පෙත්මලී උන්නේ සන්තෝසයෙනි. බොහෝ කාලයකට පස්සේ තාත්තා තමන්ගේ දේකට ඉස්කෝලෙට එනවාය කියන සහතිකය පෙත්මලීව දවස් ගානකට පස්සේ වඩා සතුටට බර දරුවෙක් කරන්න හේතු වී තිබුණි. අම්මාගේ ෆෝන් එකෙන් තාත්තාට ගන්න දුරකතන ඇමතුම් හැම එකක්ම වගේ ඇරඹුණේත් අවසන් වුණේත් එකම එක පැනයකිනි.
“තාත්ති…තාත්ති ඔයා මගේ බර්ද්දේ ට්‍රීට් එකට එනවා නේද?” කියා පෙත්මලී අහද්දී එය වඩ වඩාත් තහවුරු කරනු පිණිස හැමතිස්සෙම වඩා ආදරයෙන් “ඔව් බබී, ප්‍රොමිස් තාත්ති කලින්ම එනවා ඔයාට ගිෆ්ට්ස් ගොඩක් අරගෙන” කියන්න චිරත් අමතක කලේ නෑ වගේම රාජකාරියෙත් බිස්නස් එකේත් වැඩ එහෙට මෙහෙට කර එදා දවසම ෆ්‍රී එකේ තබාගන්න වගේම පෙත්මලී වෙනුවෙන් වෙන් කරවාගන්න ඉඩ හදාගන්න චිරත් අමතක කලේ නැත. ඉස්කෝලේ පාටියෙන් පස්සෙ සුපුරුදු විදියට ඉස්සර තමන් සහ මේධාගේ ගෙදර නෑයන්ද අසල්වාසින්ද එකතු කරගෙන පැවැත්වුන උපන්දින උත්සවය මෙදා දවසෙ මේධාගේ මහගෙදර පැවැත්වෙන බව දැනගෙන උන්නත් එයට තමන්ට ආරාධනා නොලැබෙන බවත්, ආරාධනා කරත් තමන්ට එතනට ගොස් ඒ සුවිසල් මන්දිරයේ ධනවත් මිනිසුන් අතරේ කිසිත් වටිනාකමක්, හිමිකමක් නැති මිනිසෙකු සේ සැඟව ඉන්නට නොහැකි නිසාම භාරගන්නට බැරි බවත් චිරත් දැන උන්නේය.
ඒ නිසාම “ඉස්කෝලෙ ඉවර වෙලා මම බබීව පොඩ්ඩක් එලියට එක්කරගෙන ගියාට කමක් නැද්ද?” කියා චිරත් මේධාගෙන් ඇහුවේ ඒ නිසාය.
“අවුලක් නෑ, ඒත් දෙක තුන වෙද්දි ගෙනත් දෙනවද? හවස පාටි එක හතර වෙද්දිවත් ස්ටාට් කරන්න ඕනනෙ” කියා කිව්වා මිසක “ඔයා එනව නේද හවස පාටි එකට?” කියා මේධා නොඇහුව එක කොහොමත් දැන් උන් ඇත්තක් වඩා හොඳින් තේරුම් ගැනීමට උදව් කල බව චිරත් වටහා ගත්තේය.
හිත රිදුනේ එතනදීය.
මේ ලෝකයේ තමන්ව දැන් වටින්නේ තමන්ගේ දරුවට පමණක්ය යන හැඟීම රිද්දුවේ තාත්තා කෙනෙකුගේ හිත නොවේ.
බිරිඳත් කුලගෙයත් අහිමි වුණ සැමියෙකුගේ හිතය.
එහෙත් මේධා උන්නේ එවන් සිතුවිලි හඳුනාගන්නට හැකි තැනක නොවේ. නොඑසේඑනම් ඒ වේදනාබර සිතුවිලි තමන් විසින් හඳුනාගත යුතුයැයි සිතන මොහොතක නොවේ.
අතීතයේ අත හැර දමා ආ මිනිසුන්ව වර්තමානයේදි හමු වෙන්නෙ නැතැයි පොරොන්දු දෙන්නට හැකියාවක් නැතත් එවන් මිනිසුන් යලි හමුවුන මොහොතක නොදැක්කා, නොහැඟුනා, නොතේරුම්ගත්තා සේ යෑම තමන්ගේ වර්තමානය සහ අනාගතය වඩා සුන්දර කරන්නට හේතු වන බව තේරුම් ගනිමින් පරණ මේධාවිණීව මරා දමා අලුත් මේධාවිණියක බිහි කරන්නට නොඉවසිල්ලෙන් බලා හිඳිමින් ය.
ඒ අලුත් මේධාවිණියට තමන්ට හරි විදියට සලකන, ට්‍රීට් කරන කෙනෙකු හමුවෙන තෙක් ඉදිරියටම රැගෙන යන්නට පාර කපමින් ය.