ජීවිතය කවියක් නොවේ – 23

0
4788

කුසගින්නක් දැනී දිගහැර ගත් කෑම පාර්සලය යළි වසා තැබූ ධනංජය නැගී සිටියේ කෝපයෙන්ය.ඔහු මුළුතැන් ගෙය තුළ එහා මෙහා ගියේත් සිය දකුණතේ අතැඟිලි වලින් නළලත මිරිකා ගත්තේත් ඒ කෝපය පිට කරන්නටය

“ ෂික්… ජරා ගෑණි “

එක වරක් දෙවරක් නොව හත් අට වතාවක්ම ඒ මුවගෙන්  එසේ මුමුණන්නට   ඇත.

ඔහු ව්‍යාපාරයක් ආරම්භ කරනවා යැයි පැවසූයේ ඈ රවටන්නට පමණි.එහෙත් ඇය එහිත් මූලිකත්වය ගැනීමට සිතා සිටීම ඔහුට ඉවසුම් නොදෙන්නට විය.එය සැබෑවක් වීනම් ඇය එතනත් උත්සාහ කළේ  තමාව යටත්කොට පාගා දමන්නට යැයි ධනංජය සිතුවේය.අවසන ඔහු නිර්මිතාට දුරකථන ඇමතුමක් ලබාගත්තේය.ඔහුට ඕනෑ වූයේ මේ රිදුමත් කෝපයත් ඈ හා බෙදා ගන්නටය.

“ දැන් නම් බාගෙට මැරිලා ධනංජය මං ඉන්නේ.හප්පේ ..අම්මා මොනවා ගේ ඇතුලේ ගොඩ ගහගෙනද මන්දා .ඒවා කවද හරි ඕන වෙනවා ලොකු දුව කියනවා මිසක් කිසි දෙයක් විසි කරන්න දෙන්නේ නෑ.”

එහා පසින් ඇසුණේ ඇගේ වෙහෙසකාරී හඬය.

“ ඔයා කෑවද කියලවත් අහන්න මට බැරුව ගියා.මොනවද ඩ්නර් එකට  කරගත්තේ…”

“ අර ගෑනි  මගේ ඔළුව කෑවා….මට දැන් කන්න හිතෙන්නේ වහ..”

නිර්මිතාට සවන් දීගෙන සිටියාට පසුව ධනංජය පැවසූයේ උස් හඬින්ය.ඒ ස්වරය පවා වෙව්ලමින් තිබිණ.

“ ඇයි මේ කේන්ති අරගෙන මොකද වුණේ?”

“ ඒකි කතා කරල මට කියනවා බිස්නස් එකක් පටන් ගන්නවානම් එයාගේ නමින් පටන් ගන්නලු.එයාට ඒකෙ මූලික තැන දෙන්නලු.”

“ ඔයා මේ මොනවද කියන්නේ…”

“ මේ දැන් මට කියපු දේවල් තමයි මං කියන්නේ…බිස්නස් කතන්දරේ බොරුවක් නොවුණනම් මම…”

“ ඒ කියන්නේ ඔයා කියපු හැම දෙයක්ම ඇත්තද ධනංජය.”

“ මොනවද ඔයත් මේ අහන්නේ?..”

“ නෑ එහෙම නෙමෙයි…ඇත්තටම මං හිතන් හිටියේ වෙනම දෙයක්.”

“ වෙනම දෙයක් කියන්නේ..”

“ හසාරා ඒ තරමටම නරක නෑ කියලා..”

“ එයාට හැමදාම ඕන වුණේ මාව එයාට වඩා පහත් තැනක තියාගන්න.පිරිමියෙක් විදිහට මගේ පිරිමිකම නොපෙන්නපු එක මගේ වැරැද්ද.ඒ වැරැද්දට තමයි මං අද මේ දඬුවම් විඳින්නේ.ඔයත් පිස්සු කතා කරන්න එපා නිර්මිතා මගේ ඔලුව අවුල් වෙනවා.”

“ අනේ නෑ මං එහෙම හිතලා කිව්වා නෙමෙයි.ඇත්තටම කිව්වොත් ධනංජය ගෙවිල ගිය   තත්පරෙත් මගේ හිතේ මාර පසුතැවීමක් තිබුණා. මම හසාරාට කරන්නේ ලොකු වැරද්දක් කියලා.ඒ උනාට ඒ පසුතැවීම මේ දැන් නැති වුණා.මොකද මට සමහර වෙලාවට හිතුණා ඔයාට හසාරගෙ දියුණුව දරාගන්න බැරි උනා කියල.ඔය ගේ ඇතුලෙදි ඔයා මේ තරම්ම මානසික පීඩනයකින් ජීවත් වුණා කියලා මං හිතුවේ නෑ.ඔයා මොන විදිහට කිව්වත් මගේ හිත දෙපැත්තට දෝලනය වුණා.”

“ තව ටිකක් කල් මං එයා එක්ක ජීවත් උනානම් මට පිස්සු හැදෙනවා නිර්මිතා.පිස්සු හැදෙනවා…”

“ මට තේරෙනවා දැන් ඔය හැම ප්‍රශ්නයක්ම ඉවරයිනේ.එකට ජීවත් වෙන්න බැරිනම් වෙන් වෙන එක තමයිි හොඳම දේ.මිනිහගෙන් ගුටි කාගෙන බැනුම් අහගෙන ජීවත් වෙච්ච අතීතයක් මටත් තිබුනා.තමන්ගේ ගෑනිට අත උස්සන මිනිහෙක් හරි පිරිමියෙක් කියලා මං අදටත් හිතන්නෙ නෑ.ඒ තත්ත්වයට පත්වෙන්න කලින් ඔයා හසාරාගෙන් අයින් වෙන්න ගතපු තීරණය හොඳම තීරණය වෙන්න ඇති.මං දන්නෙ නෑ ඒ ජීවිතේට අතරමගින් මං සම්බන්ධ වෙච්ච එකත්  හොඳම දේද  නරකම දේද කියලා.හැබැයි ඉතින් මේක අපේ වෙලාව.මේ වෙන්න තිබුණු දෙයක්…”

නිර්මිතා වචන වලට පෙරලූයේ සිය සිත තුළ උපන් සැබෑම සිතුවිලිය.අවසන් තත්පරය දක්වා වද දුන් සිතැඟි යම් තරමක සන්සුන් තත්ත්වයකට පත්ව තිබේ.තමා ධනංජයට ආදරය කරනවාදැයි තමාගෙන්ම ඇසූ සෑම විටකම ඇයට පිළිතුරු ලැබුණේ නිහඬකමකින්ය.එක් තැනකදී තමාගේත් ඔහුගේත් සිතිවිලි ගැලපුණු බව සැබෑය.හසාරා ගැන කෝපයක් ඊර්ෂ්‍යාවක් මේ හදවතෙහි වූ බවද සැබෑය.කලක් නිර්මිතා සිතා සිටියේ කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් මාරුවක් ලබාගෙන වෙනත් කාර්යාලයකට අනුයුක්තව සේවය කරන්නටය.ඒ හසාරාව මගහැර සිටීමේ උවමනාවෙන්ය.එහෙත් ඊට හේතුවක් සොයා ගැනීමට ඈ අපොහොසත් විය.ධනංජයගේත් හසාරාගේත් ප්‍රශ්නයට තුන්වැනියෙකු ලෙස මේ අයුරින් සම්බන්ධවීමට සිදුවූයේ ඇය නොසිතූ මොහොතකය.තමාට ධනංජයගේ පාර්ශවය ගැනීමට හේතු තිබුණායැයි  නිර්මිතා විශ්වාස කළාය.ගැහැණියෙකුට පිරිමියෙකුට ඇතිවන්නා වූ පොදු අවශ්‍යතාවයකදී එකට බැඳුනත් , මේ රටින් නික්ම ගොස් වෙනත් රටක එක්ව වාසය කිරීමට තීරණය කළත් ඔවුනොවුන්ගේ සිතැඟි ගැන කිසිවෙකු කතා කර තිබුණේ නැත.ධනංජය තමාට ආදරය කරනා බැව් හෝ තමා ධනංජයට ආදරය කරනා බැව් ප්‍රකාශ කර තිබුණේ ද නැත. එහෙත් කුමක්දෝ බැඳීමකින් තමාත් ඔහුත් අතර සම්මුතියක් ඇතිව ඇති බව විශ්වාසය.නිර්මිතාට ඕනෑ වී තිබුණේ තම ජීවිතයේ ඉදිරි කාලය සිතූ හැටියට ගෙවා දමන්නටය.මේ එක්වීම තුළින් හසාරාට රිදුමක් ලබා දෙන්නට වරෙක ඕ සිතුවත් දැන් ඈ සිටින්නේ තමා එවන් වරදක් කරන්නට පෙළඹුණේ ඇයිදැයි යන සිතුවිල්ලේය.

දුරකථන සංවාදය නිමා වූ ඕ ඇඳෙහි වැතිරුණේ කොට්ටයක් තුරුලු කරගෙනමය.ලංකාවේ රැඳී සිටින්නට ඇයට ඇත්තේ සතියකටත් වඩා අඩු කාලයකි.ඒ කාලය පුරාම සොහොයුරිය සමඟ මෙම කාමරය බෙදා ගැනීමට නිර්මිතාට සිදුවේ.ප්‍රංශයට ගොස් වසර දෙකක් පමණ යද්දී අම්මාටත් නැගණියටත් කොළඹට නුදුරු ආරක්ෂක තට්ටු නිවාසයකින් නිවසක් මිලදී ගෙන දෙන්නට නිර්මිතා සිතුවාය.

ප්‍රංශයට යාමට අවශ්‍ය සමහර ලියකියවිලි නිවැරදිම ඒවා නොවූ නිසා කෙටි කලක් ගත වෙනතුරු ඔවුනට සැඟවී සිටීමට සිදුවෙතැයි නාලක කියා සිටියේය.මෙම ගමන සැලසුම් කරන්නේ ඔහුය.ඒ කෙටි කාලයට ජීවත් වීමට මුදල් තිබිය යුතුය.තවත් ලක්ෂ තිහක මුදලක් නාලකගේ ප්‍රංශයේ සිටින නියෝජිතයා වෙත ලබාදිය යුතුය.

හසාරා ගැන වෙනදා  නොමැති අයුරේ කළකිරීමක් නිර්මිතාගේ සිතට දැනෙන්නට පටන් ගත්තේ ධනංජය කතා කළාට පසුවය.ධනංජය පැවසූ සියල්ලක්ම සැබෑවක්යැයි  ඇයට සිතෙන්නේ දැන්ය.මේසා කාලයක් පුරා ඔහු එම නිවසේ කෙතරම් පීඩාකාරී ජීවිතයක් ගෙවා ඇත්දැයි  නිර්මිතා සිතුවාය.හසාරාට අවැසි වන්නේ සිය කාර්යාලයේ මෙන්ම පුද්ගලික ජීවිතයේත් මුල් තැන ලබා ගන්නටය.එවන් ගැහැනුන්ට හරියන්නේ කෙසේදැයි ඕ අසාගත්තේ තමාගෙන්මය.වෙනදා නොවූ අනුකම්පාවක් ධනංජය පිළිබඳව ඇගේ සිතට දැනෙන්නට වූයේ එතැන් පටන්ය.

“ ලොකු දුවේ….”

අම්මා කාමරයට පැමිණි බව නිර්මිතා දුටුවේ එවේලෙහිය.ඈ උන්නේ නිර්මිතා දෙස බලාගෙනය.

“ ඉඳගන්නම් අම්මේ..ඇයි….”

“ තව දවස් කීයද ලොකු දුව ලංකාවේ ඉන්නේ.අනේ මන්දා අදටත් මේ ගමනට මගේ හිත කැමති නෑ.මොන ප්‍රශ්නෙ තිබුණත් එකට වැටීගෙන ජීවත් වෙනවා මිසක්කා ඔය දේශ දීපංකරවල ගිහිල්ලා කවුද හදිස්සියකට  තනියට ඉන්නේ.”

“ එකට වැටීගෙන හැමදාම ජීවත් වෙන්න බැරි හින්දා තමයි අම්මේ මෙහෙම ගමනක් යන්නේ.එකට වැටීගෙන හිටියා කියලා අපිට මොනවද හම්බ වුණේ?..
නංගි උනත් හැමදාම මෙහෙම ජීවත් වෙන්නෙ නෑනේ..”

“ දැන් අවුරුදු කීයකින්ද ලංකාවට එන්න හිතන් ඉන්නේ “

“ ඉස්සර වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලන්න ඕනනේ අම්මේ.”

“ අනේ මන්දා තාත්තා හදපු මහ ගේත් නැති කරගත්තා.ඔෆිස් එකෙන් අනිවාර්‍යයෙන්ම යන්න කියන ගමනක්නම් හසාරා දුවට කියලා ටික කාලෙකින් එන්න පුළුවන් විදිමට හදාගන්න බැරිද.”

“ මං මේ ගමන යන්නේ මං වෙනුවෙන් නෙමෙයි .මට එහේ සෙට්ල් වෙන්න පුළුවන් වුනොත් අනිවාර්යෙන් නංගිටත් ඒ චාන්ස් එක හම්බ වෙනවා.අම්මවත් ගන්න බැරි කමක් නෑ”

“ මං ගැන හිතන්න ඕන නෑ උඹලට යහපතක් වෙනව නං එච්චරයි..ඒ උනාට මගේ හිතට හරි මදි.”

“ ඕකනේ කියන්නේ අම්මත් එක්ක දෙයක් කරන්න බෑහැ කියලා.මොනවා හරි දෙයක් කරන්න පටන් ගත්තට පස්සේ ඒක වෙන පැත්තට කතා කරනවා නෙමෙයි. නොවෙන පැත්තටම තමයි කතා කරන්නේ.”

“ උඹ  ජීවිතය දෙපාරක්ම වැරදිච්ච ගෑනියෙක් ලොකු දුවේ.එහෙම අය තීරණ ගන්න ඕනේ හොඳට හිතල බලලා බුද්ධිමත්ව.රට රාජ්‍යවල ගිහිල්ල තනිවුනොත් උඹට  මමත් නෑ නංගිත් නෑ.”

“ රටවල් වල යන ඔක්කෝම ඔහොම හිතුවනම් අම්මේ කාටවත් මේ ජීවිතේ ගොඩ යන්න බැරි වෙනවා.”

“ මාමලත් අහනවා ..”

“ මාමල අපිට මොනවද අම්මේ කලේ.එහෙනම් මාමලට තිබුණනේ අපේ අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්න.මේක පොඩි කාලේ ඉඳලම මගේ තිබුණු හීනයක්.අනිත් එක මොකක්ද මගේ ජොබ් එකේ තියෙන හොඳේ.මේ ඇඳලා පැළඳලා ගියාට ඒකට පඩියෙන් බාගයක්ම යනවා කියලා මාමලා දන්නේ නැහැනේ.තනි මනුස්සයෙකුට යන්තම් කාල බීල ජීවත් වෙන්න පුළුවන් පඩියක් විතරයි.ඕව ලෝකෙට කිය කිය අඬ බෙර ගහන්න මට බැහැ.මේක මං අපි හැමෝගෙම හොඳට යන ගමනක් අම්මේ..”

“ මං ගැන නොබැලුවත් කමක්  නෑ නංගි ගැන බලපන්.ඒකිටත් කාත් කවුරුවත් නැහැනේ.”

“ අම්ම කලබල නොවී ඉන්න. ඉස්සරහටත් මේ දේවල් ඒ කලා වගේම සිද්ධ වෙයි.බඩගිනියි අම්මේ  මොනවද කන්න හැදුවේ…”

“ කරවල තෙල් දාලා පොල් සම්බෝලයක් හැදුවා.උඹට ඕන්නම් පපඩමක් බැදලා දෙන්නම්.”

“ බඳින්නකෝ…මගේ ඇඟට හරි අමාරුයි මේ බඩු එහෙට මෙහෙට ඇදලා.අද වේලාසනින් නිදාගන්න ඕනේ…”

නිර්මිතා එසේ පැවසූයේ දෑස් හංගාගෙනය.ඇයට වුවමනා වූයේ අම්මාව හැකි ඉක්මනින් කාමරයෙන් පිටත් කරවන්නටය.ඇය කවදත් තම කඳුළු ලෝකයෙන් වසංගන්නට කැමති ගැහැණියක වූවාය.ඒ කඳුළු අම්මා ඉදිරිපිටදීවත් ගලා යනවාට ඕ කැමති වූයේ නැත.

( හෙටත් හමු වෙමු ආදරයෙන්..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here