හද සාගරේ – 32

0
6870

ආදියා යහනේ මුනින්තලා වැතිරී සිටියා ය. කාමරය තද අඳුරේ ය. මන්දාලෝකී විදුලි පහනවත් නො දැල්වේ. තවමත් වැස්ස මුළුමනින් නතර වී නැත. වරින් වර උස් වෙමින් ද අඩු වෙමින් ද නැවතෙමින් ද දිගට ම වහී. වැස්සේ හඬත්, වැහි සීතලත්, අඳුරත් එක් වූ විට ආදියා ගේ රස මතක වලට අත්තටු දෙයි. කුස තුළ සියුම් සමනල චලන ද සිත තුළ ඉසියුම් පිරිමි සුවඳ ද රතදර මත නිමක් නැති මඳහස් රැලි ද එහෙ මෙහෙ වෙයි.

“අනේ… මට හරිම හරිම සතුටුයි ආදියො”

කියමින්, දිවා ආහාර ගැනීමට භෝජනාගාරයට යන ගමන් කෙටියෙන් උදේ වූ සිදුවීම ගැන දැනගත් මල්ෂා, යෙහෙළිය වැළඳගත්තා ය.

“ඒක නිකං සංසාරයක් බලං හිටපු ප්‍රාර්ථනයක් ඉෂ්ට වුණා වගේ. බෝධි පූජා තියල… අපේ කොව්වගෙ උසට මල් මාලා දහස් ගාණක් ගොතල… සෙත් කවි කියල… ඉල්ලපු දෙයක් ඉෂ්ට වුණා වගේ. කාටවත් කිසි කරදරයක් නොකර… කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු නොවී ඔයා තනියම හදාවඩා ගත්ත ආදරේ. ඒක කොච්චර අහිංසක ආදරයක්ද… ඔයාට හරියන්න ඕනෙ ආදි… ඔයාට දවසක උතුරන්න හරියන්න ඕනෙ. ෆිසිකල් දේවල් ගැන නෙවේ මමං කියන්නෙ. හිතේ සතුටයි ආදරෙයි හැමදාම ඔය දෙන්න ළඟ හිඳෙන්නැතුවම තියෙන්න ඕනෙ. එයා දන්නව ආදරේක වටිනාකම. ස්පෙශලි ඔයා දරාගත්ත ආදරේ වටිනාකම. කවමදාකවත් එයා ඔයාව නැතිකරගන්නෙකක් නෑ. ඔයා එහෙම කරන්න හේතුවක් දෙන එකකුත් නෑ. මොකද ඔයා දන්නව එයා ඔයාට කොච්චර වටිනවද කියල. එයා වෙනුවෙන් ඔයා කොච්චර දේවල් දරාගත්තද කියල. ඔය දෙන්න හැමදාම සතුටෙන් ඉන්නයි ඕනෙ. ඒ ආදරේ ගැන දැනං හිටිය එකම සාක්ෂිකාරි විදිහට… අපි වයසට ගිය කාලෙකත් කෝපි එකක් බිබී ඒ ගැන කතා කරන්න තිබුණොත් ඇති ආදියා…”

“අනේ ඔයා මාව අඬෝනවනෙ ඉතිං…”

“ගෑනු අපි සතුට වැඩි වුණාම කරන්නෙ අඬන එක තමයිනෙ. අද සතුට සමරන්නත් ඕන්නං අඬමු”

දෙදෙනා ම සැහැල්ලු ලෙස සිනහ වෙත්දී ය දෙව්රම් භෝජනාගාරයට පැමිණියේ. සාමාන්‍යයෙන් දිවා ආහාර ගැනීමට ඔහු මෙහි එන්නේ නැත. ඒ වෙලාවට කාර්යාලයේ සිටිනවා නම් පිටතට ගොස් කෑම ගෙන එන එක ඔහු ගේ ක්‍රමය විය. බොහෝ විට ඒ වෙලාවට ඔහු එහි සිටියේ නැත.

“මාත් මෙතන ඉඳං ලන්‍ච් ගත්තට කමක් නෑනෙ…”

කියමින් ඔහු ගෑනු ළමයින්    දෙදෙනා කෑම කන්නට සූදානම් වූ හතරැස් මේසය අසලින් අසුන්ගත වූයේ අනුමැතිය ලැබෙනා පිළිතුරක් ලැබෙන්නට පෙරයි.

“අද මාත් ඕඩර් කරල ගෙන්නගත්ත”

යුවතියන් දෙදෙන මුහුණෙන් මුහුණ බලාගත්තා පමණකි. කුමක් පැවසිය යුතු දැයි ඔවුන්ට වැටහීමක් වූයේ නැත.

“මොකද ඔය දෙන්න බය වෙලා වගේ ඉන්නෙ…”

විනාඩි කිහිපයකට පසු දෙව්රම් එසේ විචාලේ ඔවුන් ගේ නිහඬ බව නිසාම ය.

“බය නෙවේ ගොළු වෙලා”

මල්ෂා එසේ කියා හඬ නගා සිනහ වූවා ය.

“දැං ඉතිං ගොළු වෙලා හිටිය ඇති කියල මං උදේ යාළුවට කියල තියෙන්නෙ. මල්ෂාට කිව්වද…”

“කිව්ව කිව්ව”

ආදියා ගේ මූණට ලේ පුරමින් රතු වෙමින් තිබිණ.

“අපේ කෙල්ලව බලාගන්නෝනෙ මිස්ට දෙව්රම්”

“අම්මයි තාත්තයි බලාගත්ත වගේම බලාගන්නව… ඊටත් වැඩිය හොඳට පුළුවන්නං එහෙම කරනව”

“කෙල්ලගෙ ඇස් වලට කඳුළක්නං දෙන්න ඔට්ටු නෑ”

“මෙයා ඉතිං සතුටටත් ටක් ගාල කතා කරගන්නෙ කඳුළු වලට තමයි”

“ඒකනං ඇත්ත”

කියමින් මල්ෂා නැවත ද සිනහ වූවා ය. ප්‍රේමයක ඇරඹුමෙහි වන ඒ නැවුම් මිහිර,  ආදියා විඳිමින් සිටිනුයේ ප්‍රථම වතාවට යි. සිය ඒක පාර්ශ්වික ප්‍රේමය යම් දිනෙක ද්වී පාර්ශ්වික ප්‍රේමයක් ලෙස පිළිගන්නට හැකි වෙතැයි ඇය කිසිදාක සිතුවේ නැත. දැන් මේ මොහොතේත් එය විශ්වාස කරගත නො  හැකි තරම් ය.

“නංගි”

ආදියා ගේ කල්පනා සිහිනය බිඳ වැටුණේ සාරධා ගේ හඬිනි. වහා යහන මත හිඳ ගනිමින් ඈ අක්කා දෙස බැලුවා ය. සාරධා ට තිබෙන්නේ හැඟීම් තද වූ මුහුණකි. එහි මාංශ පේශීන් පවා සිනහවක පහසක් නැතිව තද වී තියේ. ඒ බැල්ම තුළ ආදියාට කිසිත් වටහාගත හැකි වූයේ  නැත.

“ඇයි අක්කෙ…”

“මට රුපියල් පන්දාහක් දෙනවද…”

“දෙන්නං”

ආදියා වහා කීවා ය. සාරධා තිර රෙද්ද අතැර විත් යහන කොනක හිඳගත්තා ය.

“ඒත් මොකටද… ඔයාට ඕනදෙයක් තියනවනං කියන්න මං ගෙනත් දෙන්නං”

“මට නෙවෙයි”

“එහෙනං…”

“දිනේශ්ට”

ක්ෂණිකව ආදියා තුළ උපන්නේ කේන්තියකි. මේ  මිනිහා ගෙදරින් පිටත් වී සිටියාට සිය සෙල්ලම නතර කර නැතිය යන්න මුලින් ම ඈ තුළ උපන් සිතිවිල්ලයි.

“කෝ එයා ඇවිත්ද…”

“නෑ කෝල් කරල උදේ ඉඳන්ම සල්ලි ඉල්ලල කරදර කරනව. මං ළඟ නෑ කිව්වට අහන්නෑ. කාගෙන්හරි ණයට ඉල්ලල දෙන්නලු. නැත්තං සිත්මිව අරං යනව කිව්ව”

“මො… කක්…”

ආදියා යහනෙන් බිමට පැන්නේ ඒ වෙලාවේ ය. දිනේශ් කියන්නේ එහෙව් මිනිහෙකු ය කියා පුදුම විය යුතු නැත. ඔහු වූ කලී සිය බේබදුකම් වෙනුවෙන් බිරිඳව වුව පාවා දිය හැකි මිනිසෙකි. දරුවන් විකිණිය හැකි මිනිසෙකි. එහෙම පිරිමින් නිසා ඔහු ගේ  බිරිඳටවත් දෙමාපියන්ටවත් දරුවන්ටවත් සැනසීමක් නොවේ.

“දෙන්න නරකයි ඔය යකාට එක සත පහක්. බලමුකො සිත්මිව අරං යන හැටි”

ආදියාගෙන් පිට වූ වදන් එසේ ය. නමුත් සාරධා ගේ මූණ දුටු විට ඇයට අමුතු බියක් දැනිණ. මේ වෙලාවේ ඇය සිටිනා තත්වය මත, කායික හා මානසික වෙනස්වීම් මත ප්‍රතිචාර හා ප්‍රතික්‍රියා තරමක් වෙනස් විය හැක. පෙර දා සිදුවීම වහා සිහි වූයෙන් ආදියා ට මඳ බියක් නො දැනුණා නොවේ.

“පන්දාහක් නෑ. ඕන්නං දෙදාහක් දෙන්නං. ගෙදරටනං ගෙන්න ගන්නෙපා ආයෙ ඔන්න… අපිටත් පොලීසියෙන් බැනුං අහගන්න වෙයි”

හිතේ කේන්තිය තද කරගෙන ය ආදියා එසේ කීවේ. හැඟීම් විරහිත මුහුණෙන් සාරධා වියළි ලෙස බලා සිටියා ය.

වැස්ස දිගට ම වහිමින් තිබිණ. ආදියා කුඩා බරාඳය දෙසට ගියා ය. නිශ්ශංක බරාඳය කොනේ සිටගෙන, අඩඳුරේ ම මිදුල දෙස බලා සිටියි. ආදියා හෙමිහිට ගොස් තාත්තා ගේ සුවඳ දැනෙන තරම් ළඟින් සිටගත්තා ය.

“එක වැස්සට ඉඩෝරෙ ඉවරයි”

ඔහු කීවේ ය. ආදියා ට එහි වගක් වූයේ නැත. ඇයට ඕනෑ වූයේ තාත්තා ළඟට වී මොහොතක් හිඳින්නටයි. පෙම්වතියක ලෙස අභිසෙස් ලැබූ දියණියක ගේ ගැස්ම ඇගේ හද තුළ වේ. වැරදිකාර හැඟීමක් හිතේ දුර ඈතක හෝ නැතිවායි කිව නො හැක. තාත්තා නො දැන පෙම්වතෙකු ඇසුරු කිරීමේ දෙගිඩියාවක් ඕනෑ ම දුවකට දැනී ඇතිවා විය යුතු ය. තාත්තා වූ කලී මල් උයනක් රකිනා උයන් පල්ලෙකි. සිය මල් උයනෙහි සුපිපි මල් ඇස් දෙක සේ රැක බලාගන්නට දිවා රෑ වෙහෙසෙන්නෙකි. ආදියා හා සාරධා නව යොවුන් වියට එළඹි පසු නිශ්ශංක ඒ වගකීම වඩාත් හිතට ගත්තේ ය. ඇහැට කනට පේනා දූවරුන් ඔබ මොබ සරනා සළෙල බමරුන්ගේ ඇස් වලින් වහන් කොට තබනා එක පහසු නැත. ඒ කාලේ නිශ්ශංක ට දියණියන් දෙදෙනා පස්සෙන් වැටී ඔවුන් රකින්නට සිදු විය. උපකාරක පන්ති ගොස් ඔවුන් ගෙදර පැමිණෙන වෙලා වල ඔහු හැකි තාක් බස් නැවතුමේ බලා සිටියේ ය. ඔහු ට යා නො හැකි වෙලාවක නම් ජිනාදරී ව යැව්වේ ය. යොවුන් දරු දැරියන් ගේ හිත් අයාලේ යන ගැටවර විය වැඩියෙන් ම භයානක බව දැන සිටි හෙතෙම, හැකි තරම් ඔවුන් ගේ මනස පෝෂණය කිරීමට උත්සුක වූයේ ය.

“පාරවල් ගානෙයි බස් හෝල්ට් වලයි පාලං උඩයි කල්ලි ගැහිල කාලෙ කන කොල්ලො කවදාවත් ජීවිතේ ගැන වගකීම් ගන්න අය නෙවෙයි. උන්ගෙ ඉඟි බිඟි ගණන් ගන්න ඕන්නෑ. ගෑනු ළමයි දවසක තමන්ට ගැලපෙන කෙනෙක් තෝරගන්න ඕනෙ තමයි. හැබැයි ඒ ගැලපෙන කෙනෙක්. තාම ඕගොල්ලොන්ට ඒ ගැලපෙන කියන වචනෙ තේරුම තේරෙන්නෑ. ගැලපෙනවයි කියන දේට පෙනුම කියන දේ අවශ්‍යයි. හැබැයි අත්‍යවශ්‍යම නෑ. මේ වයසෙදි ඕගොල්ලංගෙ වයසෙ ළමයි ගැලපෙනව කියල හිතන දේ… තව අවුරුදු පහ හයක් යනකොට කොහොමවත් ගැලපෙන්නෙ නෑ. මේ වයසෙදි සම්බන්දයක් පටං ගත්ත කියමුකො ඔය පාලමක් උඩ ඉන්න සරුව පිත්තල කොල්ලෙක් එක්ක. තව අවුරුදු පහ හයකින් ඔයා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරද්දි ඒ තොරොම්බල් කොල්ල කුඩු කාරයෙක් ගංජා කාරයෙක් වෙලා ඉන්න පුළුවන්. ඉගෙනගන්නෙ නැතුව රස්තියාදු ගහල අන්තිමට රස්සාවක් නැතුව දුක් විඳින්න වෙන එකෙක් වෙන්න පුළුවන්. ඒකයි කියන්නෙ සම්බන්දකං හදාගන්න පුළුවං වයසක් නෙවෙයි මේ කියල. නිසි වයසට ඇවිත්… හැම අතින්ම තමන්ට ගැලපෙන කෙනෙක් තෝරගන්න පුළුවන් වෙන වයසෙදියි ඒක කරන්න ඕනෙ”

තාත්තා විටින් විට කියූ කතාවේ තේරුම ඇය වැඩිහිටි වෙත්දී ආදියා ට වඩාත් තේරුම් යන්නට විය. විශේෂයෙන් ම සාරධා දෙස බලත්දී, තාත්තා කියූ දේවල අරුත රත්තරං වාගේ දිළිසෙන්නට ගනී. ආදියා නව යොවුන් ප්‍රේමයක පැටළුණේ ම නැත. තාත්තාට වන බිය ද ඊට ප්‍රධාන හේතුවක් වූවාට සැක නැත. තුරුණු වියෙහි දී ඇගේ හද බැඳගත්තේ දෙව්රම් සන්දනායකයි. ඒ ප්‍රේමය කිසි දා හිමි කරගත නො හැකි යයි සිතූ නිසා, දිනෙක තාත්තා තෝරා දෙන කෙනෙකු සමගින් පති කුළයට යන්නට ඇය හිත හදාගෙන සිටියා ය.

“මොකද මේ තාත්තයි දුවයි මෙතන…”

පිටුපසින් ජිනාදරී ගේ හඬ ඇසිණ.

“තාත්තයි දුවයි වැස්ස බලනෝ”

ආදියා නිශ්ශංක ගේ බඳ වටා දෑත ම යවාගත්තා ය.

“මේ… බදාගන්න බෑ දැං. තාත්තට කළගෙඩි බඩක් ඇවිත්. එක්සර්සයිසස් කරල බඩ අඩුකරගන්න වෙයි හොඳේ”

“එක්සර්සයිස් නේන්නං”

“දැං ඉතිං මෙයාවත් ඔහොම හුරතල් කර කර හිටිය ඇති. මට ඔය වයසෙදි මේ දෙන්නම හම්බවෙලා ඉවරයි”

ආදියා වහා හැරී අම්මා දෙස බැලුවා ය. ඇගේ මුවෙහි වූ සිනහව ද තුනී ව යමින් තිබිණ.

“දැං හොඳ තැනකින් කටයුත්තක් බලල චූටි දුවව පිළිවෙළක් කරන්න ඕනෙ”

“මො… කද මේ හදිස්සියෙ…”

ඒ ප්‍රශ්නය හෙමිහිට මුවින් පිටවූවාට මුළු මහත් ඇය ඒ විමසමින් තිබිණ.

“හදිස්සියක් නෙවෙයි. දැං ඉතිං කලවයස හරිනෙ”

ජිනාදරී ඇඟට පතට නො දැනී කීවා ය. යටි පතුල් වල සිට සීතලක් ඉහළට නැගෙන්නේ ඇයි ද කියා පවා ආදියා නො දත්තී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here