සඳ ගංතෙර – 45

“මං හැමදාම කලු තාරාව වුණු කෙනෙක් අක්කා.ඇත්තටම ඔයාලව අම්මා මඟ ඇරපු තරමටම එයා මාවත් මඟ ඇරියා. සහස් වගේ කම්ප්ලීට් ළමයෙක් ළඟදි මං වගේ මෙලෝ රහක් නැති ළමයෙක් අම්මට මඟ ඇරෙන්න ඇති.”

විහස් එහෙම කියන්නේ වේදනාවෙනි. නමුත් රිදීම් අතරින් පවා තාරුකාට කියන්නට දෙයක් තිබිණ.

“අම්මා ජීවිතේ හැමදේම අතරින් කමල් අංකල්ව තෝරා ගත්තා. හැබැයි එයාගෙ සම්පූර්ණ කොපියක් වුණු ඔයාව අම්මට අත් ඇරුණු කාරණාව පුදුමයි.”

ඒ ගැන විහස්ට සැබෑවටම නොතේරේ. අයියා අම්මාව සහමුලින්ම අයත් කරගෙන තිබිණ. ඇතැම්විට අම්මාට ඕනෑ වන්නට ඇත්තේ දක්ෂ දරුවෙකි. කියනා හැටියට විහස්ට ඉගෙන ගන්නට ඕනෑකමක් තිබී නැත.

“ඔයයි අයියයි හොඳට ඉගෙන ගන්නකොට අම්මට ඕන වෙන්න ඇත්තේ අපි දෙන්නත් හොඳට ඉගෙන ගන්න.”

විහස්ට අනතුරුව හේතුවක් සිහිපත් විණ. එක අතකට අම්මාට එසේ වන්නට ඇත.

“ඔයා, මම, සඳරැස් විතරක් නෙවෙයි සහස් පවා බිඳුණු ළමයි මල්ලි. අම්මලා තාත්තලාට තමන්ටම කියලා තීරණ අයිති තමා.ඒත් එයාලා ගන්න ඒ තීරණ නිසා අපිව සහමුලින්ම අවුල් වෙන්නත් පුලුවං.”

තාරුකා පැවසුවේ කල්පනාකාරීව ය. බිඳුණු දැරියක වී වැඩෙන අතර ඇය බිඳුණු සහෝදරයාව දරා ගත්තා ය. සඳරැස්ට ඇයත් ඇයට සඳරැස් ද වූ නමුත් විහස් හැදී ඇත්තේ තනිව ය.

“අන්තිමට අම්මා අපි කාගෙවත් වෙලා නෑ. තාත්තලා දෙන්නා නැත්නම් අපි තුන් දෙනාම නෑ.”

තාරුකා එසේ කියා ඇස ඉනූ කඳුළ පිස දැමී ය. 

“මට ඇත්තටම හිතන්න බෑ අක්කේ. අපිට පවුලක් හැටියට එකට ඉන්න ලැබෙයි කියලා. සදාකාලිකව සඳරැස්ගෙ හොඳම යාළුවා විතරක් වෙන්න මට සිද්ධ වෙන්න පුලුවන්. මේ හින්දි ෆිල්ම් එකක් වුණානම් සඳරැස් ඔක්කොම අහකින් තියලා මාව බදාගෙන. ඒත් මේක එහෙම නෑනෙ.”

තාරුකාට වේදනාවක් දැනිණ. ජීවිතය කතාවක් හෝ චිත්‍රපටියක් වන්නේ නැත. ඒ හන්දා කරන්නට ඕනෑ මොනවාදැයි ඇයට ද අදහසක් නොවේ. 

“සහස් කියන්නේ අපේ අම්මා වගේ කෙනෙක්. දෙයක් ඕනනම් ඒක ඕන. එතනින් එහා කාට කොච්චර රිදෙනවද හිතන් නෑ. ඒත් මට පොරොන්දු වෙන්න පුලුවන් සඳරැස් අයියයි දුලා නංගියි මැද්දට සහස්ට නෑවිත් ඉන්න දෙන්න මට පුලුවන්.”

විහස්ට කතාව එතැනින් එහා ගෙන යන්නට ඉඩ නොලැබිණ. සඳරැස් කාය වර්ධන මධ්‍යස්ථානයට යන්නට සූදානම් වී පැමිණියේ ය.

“බලපං අපි උඹව ගණන් ගත්තු තරම..අඩුම ගේ ඇතුළටවත් ගත්තේ නෑනෙ.”

සඳරැස් එසේ කියද්දී විහස් ඔහු දෙස බැලුවේ අභියෝගාත්මක දෑසකිනි.

“අනේ මේ, උඹ හිතන් ඉන්න තරම තමා. තව ටික දවසකින් උඹ පිට මිනිහා වෙලා මං අක්කගෙ මල්ලි වෙනවා. දුලාගෙ අයියා වෙනවා. එතකොට උඹව ගණන් ගන් නෑ අපි.”

එසේ කියූ විහස් නැවතත් නැමී ගත්තේ කුඩා දියණිය වෙත ය. ඇය පුළුවන් තරමේ පුළුල් සිනාවක් දුන්නා ය.

“අනික මං ඔයාගේ චූටි මාමානෙ. නේද අනේ? අපි දෙන්නා සෙල්ලං කරමුකො.”

සඳරැස් විහස්ව ඇදගෙන පිටත් වූයේ නැවත ඔහුව මේ හතරමායිමට නොගෙනෙන පොරොන්දුවකිනි. තාරුකා තෙත් දෑසකින් බලා සිටියා ය. මල්ලිලා තුනක් හිඳින අක්කා කෙනෙකු කියන්නේ රැජිනකට සමාන චරිතයකි. නමුත් ඇයට ඒ පින මහා ලොකුවට නොවේ. විහස් කියන්නේ මල්ලිගේ යාළුවෙකි. එපමණකි.

“ඔයා වැඩක්ද සුදු බබා”

දුලන්‍යාට සෝදා පිරිසිදු වී තේ බොන්නට ඉඩ හැර තාරුකා ඇය වෙත ගියා ය. කියන්නට මහා කතාවක් වේ. විහස්ව හංගාගෙන ඉන්නට නොහැකි ය. එහෙත් දුලන්‍යා ද සිටියේ බරකරගත් දෙනෙතකිනි.

“අක්කට මට මොකුත් කියන්න තියද?”

තාරුකා හිස වැනී ය. තාරුකාට පවුල් ප්‍රශ්න හෝ නැන්දම්මා ප්‍රශ්න කිසිම දවසක නොවේ. අයියා කියන්නේ ලෝකයේ ඉන්නා හොඳම සැමියා ය. අම්මාට ලොකු දුවගෙන් එහා කෙනෙකු නැත.

“මටත් තියනවා.”

දුලන්‍යාගේ හඬ සියුම්ව ඇසිණ. ඇතැම්විට තමන් සහස්ගේ මල්ලී බව විහස් කියන්නට ඇත.

“විහස් ගැනද?”

තාරුකා විමසුවා ය. දුලන්‍යා අක්කා දෙස බැලුවේ පුදුමයෙනි. 

“අපි විහස්ව මුණ ගැහිලා නෑනෙ අක්කේ. විහස් අපිට අදාළ වෙන එකකුත් නෑ.සහස්ට වගේ පස්සපැත්තේ අමාරු එයාට නෑ කියලයි ගොඩක් අය කිව්වේ”

ඒ කියන්නේ දුලන්‍යා කිසිවක්ම නොදන්නී ය. සත්සර හෙවත් සඳරැස්ගේ හොඳම යාළුවා විහස් බව දන්නී තාරුකා පමණි. මල්ලී සමඟ ගැටුමක්දැයි තාරුකා ඉන් අනතුරුව ඇසුවේ ප්‍රවේසමෙනි. දුලන්‍යා හිස සැලුවා ය. සඳරැස් රණ්ඩු කරන්නට කැමති කෙනෙකු නොවේ.

“අනේ මගෙ අක්කේ. මේක අහලා අවුල් වෙන්නනම් බෑ. මට පොරොන්දු වෙන්න.”

සඳරැස්ගේ සීමාරහිත හැසිරීම් මතක් වෙද්දී තාරුකාට ඕනෑනැති දේ පවා සිතේ.නමුත් ඇය දුලන්‍යාගේ ලොකු ඇස් දෙස විශ්වාසයෙන් බලා සිටියා ය.

“සහස්ලගෙ අම්මා, මං කියන්නෙ අක්කලගෙත් අම්මා… ඒ ආන්ටි අද මාව හම්බ වෙන්න ආවා.”

දුලන්‍යා ඕනෑ නැති කතාවක් පැවසුවානම් මීට වඩා හිත නිවා ගන්නට තිබිණ. තාරුකා කලබලයෙන් මුසපත් වූවා ය.

(මේ ලියන්න අසීරු කාලයකත් හෙමින් ගොඩ නැඟෙන ආදර කතාවක්. මට මේ කාලයේ වැදගත්ම ඔයාලගෙ අදහස්. ඒ වගේම දුලන්‍යා සහ,සඳරැස්ගේ කතාව ශෙයා කරනවනම් ඒකත් මට සතුටක්. මේ කතාවට ඉදිරියට මොනවා වෙයිද කියලත් අනුමාන කරන්න බලන්න. දිගම දිග කමෙන්ට්ස් කියවන්න මං බලාගෙන ඉන්නවා – නිබා)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles