ජීවිතය කවියක් නොවේ – 28

0
3637

කාලය අවම උනත්  ඒ පොඩි කාලය ඇතුලත ගොඩක් දේවල් සිද්ධ උනා.හසාරා මැඩම් ඊට පස්සේ ඔෆිස්  එකේ විතරක් නෙමෙයි මේ රටේත් ජනප්‍රිය චරිතයක් වුණා.බොහොම අඩු වයසකින් ජාත්‍යන්තර දුරකථන සමාගමක මුල් පුටුවකට ගිය ඔයා ගැන මිනිස්සු කතා කරන්න පටන් ගත්තා. ජනප්‍රිය චරිත ගැන කතා කරන යූ ටියුබ් චැනල් දිගටම ඔයාව ඉන්ටර්විව් කලා .ඉස්කෝලවල ඔෆිස්වල කාන්තාවන් දිරිගැන්වීමේ ප්‍රෝග්‍රෑම්වල මුල් පුටුවෙ හිටියේ ඔයා.ඒ හැම තැනකදිම ඔයා පවුල ගැන කතා කළා.යුතුකම් ඉටුකරන ස්වාමිපුරුෂයන් ගැන කතා කළා.පෙරලා යුතුකම් ඉටු කරන භාර්යාවන් ගැන කතා කළා.ඒ උනාට ඔයාට අමතක උනා ගෙදර ඉන්න ඔයාගේ ස්වාමි පුරුෂයාගේ කැමැත්ත අඳුන ගන්න.

‘ ධනංජය කෑවද මම කෑම ලෑස්ති කරල තියෙන්නෙ.මයික්‍රොවේව් එකට දාලා රත් කරගන්න.ඔයාගේ ඇදුම අයන් කරලා තියෙන්නේ ඒක ඇදගන්න.රෙදි ටික මැෂින් දාන්න මංහෝදන්නම්.’එහෙම කියන තැන්වල නෙමෙයි හසාර සතුට තිබුනේ.

අර ඉස්සර අපේ අතේ ගොඩක් සල්ලි නැති කාලේ අපි ඔහේ පාරවල් දිගේ ඇවිදගෙන ගියේ.පාර අයිනේ තියෙන කඩවල් වලින් වඩේ කෑවේ.සමහර වෙලාවට ඒ පාර අයිනෙම තියෙන බංකුවක් උඩ වාඩිවෙලා ජීවිතය ගැන කතා කර කර හිටියේ.එතකොට අපිට කතා කරන්න ඕන තරම් දේවල් තිබුණා.හැබැයි අද ඔයාට ඒ තරම් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න බෑ.පාරේ යද්දි ම්නිස්සු ඔයාව අදුන ගන්නවට ඔයා කැමති නෑ.ඒ නිසාම පාරක ඇවිදගෙන යන්න ඔයා කැමති නෑ..මට ඕනෙ සැහැල්ලුව..අපි දෙන්නම දන්නෙ නැතුව අපි දෙන්න පාරවල් දෙකක ඇවිදගෙන යනවා හසාරා.

හැමදාම මෙතනට වෙලා රෑ වෙනකල් ජීවිතේ ගැන කතා කරමු කියලා අපි දෙන්නා ලොකු ස්පේස් එකක් තියලා ඩිසයින් කරපු බැල්කනි එක පාළුවෙලා ගිහින්.සමහර දවසක මං තිනියම එතනට වෙලා ජීවිතේ ගැන හිතුවා.ඒ වෙලාවල් වලදි එක්කෝ ඔයා ටීවී එකේ නැත්නම් රේඩියෝ එකේ..

හසාරා..ඔයා ධනා ඔයා කොහේද කියලා අහගෙන ගෙට ඇතුල් වෙන එකම මගේ මනසට මහා වදයක් උනා.එහෙම ඇවිත් ඔයා කියවන දේවල් අහන් ඉන්න එක මට ඒ හැම දේකටම වඩා නීරස උනා.

ඔෆිස් එක පවා මට මහා කරදරකාරී තැනක් උනා.

මට දවසක හිතුණ තවදුරටත් මට මාව පාලනය කරගන්න බැහැ කියලා.ඔයාව දැක්කම මේ තියෙන බඩුවක් අරගෙන ඔයාට දමල ගහන්න මට හිතුනා.ඔයා කතා කරනකොට ඇවිල්ලා කම්මුලට ගහන්න  මට හිතුනා.ඔයාව ටීවි එකේ දැක්කහම ඔයාව ෆෝන් එකෙන් දැක්කහම මට ඒවා පොළවේ ගහන්න හිතුනා.අන්න එදා මං තේරුම් ගත්තා තවදුරටත් අපි දෙන්නා එක වහලක් යට ඉන්න ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා.එතනින් එහාට මගේ හිත පාලනය කරගන්න එක ලේසි පහසු දෙයක් වුණේ නෑ.දැන් ඉන්නේ ඉස්සර කැම්පස් එකේ ඉඳපු හසාරා නෙමෙයි.අම්මයි තාත්තයි අක්කා  ලඟට යන්න තීරණය කරපු වෙලාවේ මට කවුරුත් නෑ කියලා,  මට තියෙන්නේ මේ පපුව විතරයි කියලා , මගේ පපුවේ ඔලුව තියාගෙන අඬපු හසාරා නෙමෙයි.හරි ධෛර්‍යවන්ත  ගෑනියෙක්.ලෝකයක් කතා කරන ලෝකයක් ගරු කරන ගෑනියෙක්.

ඒත් හසාරා ධනංජයට කිසිම දෙයක් නෑ.මේ ඉන්නේ  නිකම්ම නිකං ධනංජය  කෙනෙක්.මේ ලෝකයා කතා වෙනවා ඇති.කවද හරි දවසක ලෝකයා ඔයාට කියාවි අපරාදේ හසාරා ඔයාට ඔයිට වඩා හොඳ කෙනෙක් මැරි කරන්න තිබුණා කියලා.ගවර්මන්ට්  ඔෆිස් එකක කුරුටු ගගා ඉන්න කෙනෙක් ඇයි ඔයා ඔයාගේ ජීවිතේට තෝර ගත්තේ කියලා මිනිස්සු අහන්න තිබුණා.සමහරවිට ඔයාටත් එහෙම හිතෙන්න තිබුණා.මට ඕන උනා අන්න ඒ දේ සිද්ධ වෙන්න කලින් ඔයාගේ ජීවිතෙන් පිටවෙන්න.

මට කසුන් අයියා  කිව්වා ඔයා මං වෙනුවෙන් ඔයාගේ ජොබ්  එක නැති කරගන්න ලෑස්තියි කියලා.හැබැයි හීන වලට පයින් ගහපු මිනිස්සු සතුටින් හිටියෙ නෑ කියල මං දන්නවා.එහෙම කැපකිරීමක් කරලා මට මාවත් එපා වෙන තරමට ඔයා මේ ජීවිතේ ඇතුලේ විඳවාවි.ඔයාට ඔයාගේ ගමන යන්න දීලා හැමදාමත් පිටිපස්සට වෙලා විඳවන පිරිමියෙක් වෙන්න තරම් ශක්තියක් මට තිබුණෙ නෑ.කොටින්ම කිව්වොත් ලෝකෙට පේන්න පවුලක් රැකගන්න වුවමනාවක් මට තිබුණේ නෑ.හැබැයි ඔයාට ඒ උවමනාව තියෙනවා. ඒක මම දන්නවා.හසරාගේ  හස්බන්ඩ්ගෙන් ඩිවෝස් උනා කියලා මේ ලෝකෙ මිනිස්සු දැනගත්තහම ඔයාට හිනා වෙයි.අපිට දේශනා දෙන ගෑනිට තමන්ගේ මිනිහව පරිස්සම් කරගන්න බැරි වුණා කියලා මිනිස්සු ඔයාට හිනාවෙයි..ඒක දැනගෙන හිටියත් මට ඒ තරම් දුර්වල මනුස්සයෙක් වෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.තව දුරටත් ඔයා වෙනුවෙන් කැප කිරීම් කරන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.

ඊළඟ කාරණය තමයි වැදගත්ම දේ…..

හසාරා මම මේ ගමන යන්නේ තනියම නෙමෙයි.නිර්මිතත් එක්ක..නිර්මිතා කියන්නේ මේ ජීවිතයේ සතුට කියන දේ අංශුමාත්‍රයක්වත් නොලැබුණු තනිවෙච්ච ගෑනියෙක්.මොකක්දෝ හේතුවකට මට ඔයා නැතිවුණා වගේම එයාට එයාගේ හොඳම යාළුවත් නැති වෙලා තිබුණා.හැබැයි මම දන්නවා නිර්මිතා අපි අතරේ තියෙන මේ අපැහැදීම නැති කරලා අපිව එකතු කරන්න ගොඩක් උත්සාහ කළා කියලා.දන්නේ නැහැ ඒක මගේ පවද පිනද එහෙම නැත්නම් මගේ ඉරණමද කියලා කාලයත් එක්ක අපි ඇවිත් එක තැනක නතර වුණා.

ඒක ආදරේ නෙමෙයි.ඒ බව මං හොඳටම දන්නවා.ඒක හැඟීමකුත් නෙමෙයි.ඒක වල් කමක් නෙමෙයි.තනිවෙච්ච මනුස්සයෙක් ළඟ තවත් ඒ වගේම තනිවෙච්ච මනුස්සයෙක් නතර වුනහම අපිට අපි විතරයි ඉන්නේ කියලා වගේ දැනෙන හැඟීමක්.මං⁣ මේ මාව නිවැරදි කරන්න සාධාරණ හේතු හොයනවා නෙමෙයි.එහෙම කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ..මොකද මං ඔයාගෙන් වෙන් වෙන්න තීරණය කරලා ඉවරයි.

මං දන්නවා. මේ අවසන් තත්පරය වෙනකම්ම නිර්මිතා එයාගේ හදවතින්ම දුක් වෙනම ඔයාට ද්‍රෝහී වුණාා කියලා.මං ඒ සිතුවිල්ල හරි කියන්නවත් වැරදියි කියන්නවත් උත්සාහ කළේ නෑ.අන්තිමට අපි දෙන්න තීරණය කළා මේ රටින් පිට වෙන්න.දන්නේ නැහැ අපි ඒ රටට ගිහිල්ලා හස්බන්ඩ්  ඇන්ඩ් වයිෆ් විදිහට ජීවත් වෙයිද යාළුවො දෙන්නෙක් විදිහට ජීවත් වෙයිද එහෙම නැත්නම්  නාඳුනන්නෝ වගේ දෙපැත්තකට වෙන් වෙලා යයිද කියලා.කොහොම වුණත් මේ හිත රිද්දන මතක අතෑරලා  දාලා යන්න උවමනාවක් අපි දෙන්නටම තිබුණා.අන්න ඒ වගේ සමහර තැන්වලදී අපේ උවමනාවල් එක සමාන වුණා.මනුස්ස හැඟීමකදී අපි එකතු උනා…

මේ ගෙදර මම උකස් තිබ්බා.ඒක ඔයාට බේරගන්න පුළුවන් කියලා  දන්නවා.මං එහෙම කරලා ගත්තේ මගේ කොටස විතරයි..මම වාහනේ විකුණුව හසාරා.එහෙම කරල ගත්තෙත් මගේ කොටස.ඔයාගේ කියලා වෙන කිසිම දෙයක් මං අරගෙන යන්නේ නෑ.

ඔයා ලස්සනට ජීවත් වෙන්න.මේ මොහොතේ මේ තත්පරේ ඔයාගේ සිතුවිලි වලින් මං මරලා දාන්න. මළකඳක් ළඟ තියාගෙන මිනිස්සු හැමදාම ඒ  දිහා බලන් ඉන්නේ නෑ.ඔයා පුලුවන් තරං ඉක්මනට මාව වළලාම දාන්න.

ගෙයි උකස සම්බන්ධව සහ අනිකුත් සියල්ල සම්බන්ධව මගේ ලියකියවිලි සියලුම දේ ලෝයර් සුරංජිත් ළඟ මම තියලා යනවා.ඒ වගේම ඔයාට දික්කසාදය ලබා ගැනීම සඳහා මගෙන් සිදු විය යුතු සියල්ල පිළිවෙලක් කර මම සුරංජිත්ට  බාර දුන්නා.ඔයාට මට වෛර  කරන්න පුළුවන් හසාරා.එහෙම නැත්නම් බයගුල්ලෙක්  කියලා හිනාවෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් මෝඩයෙක් කියලා අමතක කරන්නත් පුළුවන්.මේ හැම දේකටම වඩා මහා ඉරිසියාකාර මිනිහෙක් කියලා කේන්ති ගන්නත් පුළුවන්.ඒ හැම චෝදනාවකටම මං වැරදිකරුවෙක් කියලා මම පිළිගන්න කැමතියි හසාරා.දුක වේදනාව කලකිරීම ඉරිසියාව කේන්තිය මෙන්න මේ හැඟීම් එක පිට එක මට පහර දෙද්දී මට හිතුනා මේ තමයි මම ගන්න හොඳම තීරණය කියලා.නිවරදි තීරණය නොවුනත් මට සැනසීමක් ඕන කලා.

ඔයාගේ ජීවිතේට හොඳ කෙනෙක් ළං වේවි.ඔයාට වටින කෙනෙක් ළං වේවි.ජීවිතයේ අලුත් තැනකින් පටන් ගන්න හසාරා.මේ මතක පුච්චලා අළු කරලා දාන්න.ඔයාට තෙරුවන් සරණයි.

මම ධනංජය

හසාරා ලියුම කියවූයේ එක හුස්මටය.මග නතර කර සුසුම් හෙලන්නට ඇයට උවමනාවක් නොවීය.පුදුමය …ඇගේ දෑස් වලින් එකඳු කඳුලක්වත් ගලා  නොගියේය.ඒ වෙනුවට ඕ  නිවස තුළ එහෙටත් මෙහෙටත් ඇවිද ගියාය.හැඩි වී තිබූ සියල්ල එක හුස්මට අස්කර දැමුවාය.අවසන සිය දෙපා කකියද්දී ඕ ප්‍රධාන දොරට  පිට දීගෙනම බිම වාඩි  වූවාය.

ඇය යළිත් නිවස දෙස හොඳින් බැලුවේ එවේලෙහිය.මේ තෙමහල් නිවස පාළුවට ගොස් ඇත.අදින් පසු මේ නිවසේ ඔහුගේ සිනහහඬ කතාබහ නොඇසෙනු ඇත.විනාඩි කිහිපයක් තිස්සේම සියල්ල නිහඬ බවෙන් දරා උන් ගැහැනිය නිවස දෙවනත් වන්නට තරම් හයියෙන් කෑ ගසා හැඬුවාය.කාත් කවුරුත් නොමැති පාළු නිවහන පුරා ඒ ශබ්දය දෝංකාර දෙන්නට විය.අවසන ඕ අප්‍රාණික අයුරින් ටයිල් පොළොව මත වැතිරුණාය.මේ සිදු වූයේ ජීවිතයේ ලොකුම අහිමිවීම බව විශ්වාසය.පුදුමය ඇයට ධනංජය සමග හෝ නිර්මිතා සමග කෝපයක් උපන්නේ නැත.කෝපයක් උපන්නේ තමා ගැනය.කලකිරීමක් දැනුනේ තමා ගැනය.අසරණ කමක් දැනුනේ තමා පිළිබඳවය..පැය කිහිපයක් ඒ අයුරින්ම උන් හසාරා යළි නැගී සිටියේ සිය අප්‍රාණික දෙපාවලට සිතෙහි වීරිය පවරමින්ය.

හසාරා මුල් වරට මෙම නිවසට ඇතුළු වූ අයෙකු සේ බියෙන් සැකයෙන් කාමරයක් කාමරයක් පාසා ඇවිද ගියාය.නාන කාමරවලට එබී බැලුවාය.කවුරුන් හෝ විසින් මෙම නිවසේ කොතැනක හෝ ධනංජයව සඟවාගෙන සිටීය යන හැඟීමෙන් සොයා බැලුවාය..අවසන හෙම්බත්වූ ඕ  තම කාමරයෙහි යුගල යහන මත වැතිරුණාය.එහෙත් තරුණිය වොට් තිස් තුන් දහසක විදුලි සැරක් වැදුනා සේ එකවර නැගී සිටියේ තමාට හොඳටම හුරු  පුරුදු වූ ඒ විළවුන් සුවඳ ඇඳ ඇතිරිලි මතින් හමා එද්දීය.ඕ  රිදුම් දෙන පපුවට අත තබාගෙනම යළි යළිත් ඒ ඇඳ ඇතිරිලි නැහැයට ලං කර ගත්තාය.නිර්මිතා පාවිච්චි කරන බ්ලූ ලේඩ් පර්ෆ්යුම්  සුවඳ  හසාරාට හොඳටම හුරුපුරුදුය. හසාරා පසු පසට විත් කාමරයෙන් පිට වූයේ තවදුරටත් මේ තමාට හිමි තැනක් නොවන බව වැටහුම් වූ පළමු තත්පරයේමය.තමාත් ඔහුත් ජීවිතය බෙදාගත් නිදන කාමරය දොර අගුළු ලා  වසා දැමූ හසාරා  උඩුමහලේම  වූ සුවපහසු අසුනකට බර වූයේ වෙව්ලමින්ය.

ධනංජය සදහටම තමාගෙන් වෙන්ව ගියා යැයි ඇයට හරි හැටිම සිහි වූයේ දැන්ය.එක පිට එක හුස්ම ගනිමින් හසාරා තමාව සන්සුන් කරගන්නට වෙහෙස වූවාය.තම හදවතෙහි එක් අර්ධයක් ගැලවී ගියාක්වන් වේදනාවකින් ඒ  ගත  රිදුම් දෙන්නට විය.මේසා අහිමිවීම් මැදත් තමා ජීවත් විය යුතුදැයි හසාරා සිතුවාය.එසේ සිටි කාලය කොතරම් දිගු එකක්දැයි ඇයට වැටහීමක් වූයේ නැත.යලිත් හසාරා නැගී සිටියේ නිවසේ ස්ථාවර දුරකථනය එක දිගටම නාදවද්දීය.

ධනංජය…..

තමාටම එසේ පවසා ගත් හසාරා ජංගම දුරකථනය වෙත දිව කීයේ කලබලයෙන්ය.

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here