ධනංජයට කාමරය බෙදාගන්නට සිදුවූයේ නේපාල් ජාතික තරුණයෙකු සමගය.සියල්ලටම වඩා ඔහුට දරන්නට අපහසු වූයේ එම තරුණයාගේ අපිරිසිදුකමය.කඳවුරේ ජීවිතය ගෙවී ගියේ කාලසටහනකට අනුවය.වරින් වර ප්‍රශ්න කරන්නට පැමිණෙන නිලධාරීන් රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් හැරෙන්නට වෙනසක් නොවූ තරම්ය.නිර්මිතා ගැන බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියත් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර වූයේ කිසිවක් නොදන්නා බවය.ඔවුන් අසන ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ කලාතුරකින්ය.දින හයක්ම ගෙවී ගොස් තිබිණ.එහෙත් ධනංජය බලාපොරොත්තු වූ නියෝජිතයා හෝ නීතීඥයා පැමිණියේ නැත.
උදෑසන හතරට සියල්ලෝම අවදි විය යුතුය.ව්‍යායාම කිරීම් පටන් ගන්නේ එවේලෙහිය.හෝරාවක් පමණ එක දිගටම ව්‍යායාම් වල වේ.ඉන්පසු උදෑසන පැවැත්වෙන දේශනයකට සහභාගී වීමට සිදුවේ.රෙදි සෝදා ගන්නේත් ඒවා වේලෙන්නට දමන්නේත් ඉන් පසු ලැබෙන විවේකයේදීය.ස්නානය කිරීම ඇඟ සෝදා ගැනීම මුහුණ සෝදා ගැනීම වැනි කටයුතු සිදු වෙන්නේත් එවේලෙහිය. උදෑසන ආහාරය ලෙස ලැබෙන්නේ ධාන්‍ය වර්ගයක් හෝ තැම්බු අල වර්ගයක් හෝ ඕට්ස් වැනි යමකි.හරි හැටි කුසට අහරක් නොලද ධනංජය ඒ වන විටත් හෙම්බත්ව උන්නේය.දවස පුරාවටම දැනෙන්නේ කුසීත කම්මැලිකමකි.එකිනෙකා හා කතා කරන්නට භාෂාව නොදැන සිටීම හේතුවෙන් රැඳවියන් අතර ඒ සා සුහද බවක් ගොඩ නැංවී තිබුණේ නැත.ඔවුනොවුන් අතර සිදුවන කුඩා රණ්ඩු සරුවල් වචන හුවමාරු නිතරම දක්නට ලැබිණ.කිහිප වරක්ම ලබාදුන් සමහර ආහාර වර්ග අනුභව කිරීමෙන් පසුව ධනංජය වමනය කළේය.ඒවාට පාවිච්චි කරන තෙල් සහ සෝස් වර්ගවල වූ අමිහිරි රසය ඔහුට අප්පිරියා වී තිබිණ.ඒවායේ තුන පහ හෝ මිරිස් රසක් වූයේම නැත. සමහර ඒවායේ ලුණු බිඳක් කවලම් වී තිබුණේද නැත.පසුගිය දින කිහිපයේම බඩගින්න බඩේ දැවිල්ල ඔකාරය වැනි රෝගාබධ රැසකට මුහුණ දෙන්නට ඔහුට සිදුවිය.කිසිඳු මොහොතක දුරකථන පරිහරණය කිරීමේ ඉඩක් ඔවුන් ලබාදී නොතිබුණේය.පසුගිය දිනක කඳවුරට පැමිණියේ මුළු ශරීරය පුරාම තුවාල සහිත ඉන්දියානු ජාතිකයෙකි.ඔහු මාස දෙකකට අධික කාලයක් රෝහල් ගතව සිටි බව පැවසීය.ඒ වෙනත් රටක සිත ප්‍රංශයට හොර මාර්ගයකින් පැමිණීමේදී සිදුවූ අනතුරකින් ඇතිවූ තුවාලය.ඔහු ජීවිතය බේරාගෙන තිබුනේ නූලෙන්ය.සමහර මිනිසුන් දේශ සීමා පසුකරමින් කැලෑබද ප්‍රදේශයන් වලින් පැමිණීමේදී ජීවිත පවා අහිමි වනබව ධනංජය දැන ගත්තේ එවේලෙහිය.තමා මෙහි පැමිණියේ ජීවත් වීමට සුදුසු පරිසරයක් සොයා හෝ මිල මුදල් සොයාගෙන නොවනබව ධනංජයට පසක් වූයේ එවේලෙහිය.සැබවින්ම තමා පලා ආවේ තමාගෙන්මයැයි ප්‍රථම වරට ඔහුගේ සිත පවසන්නට විය.
බන්ධනාගාර නිලධාරීන් රැඳවියන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුුවිය.යම් තරමකින් හෝ සියල්ලන්ටම පොදු වූ ඉංග්‍රීසි භාෂාවෙන් යමක් හුවමාරු කර ගැනීමට පවා ඔවුනට ලැබුණේ තත්පර ගණනක ඉඩකි.ඔවුන් එකිනෙකා මිත්‍ර වනවාට නිලධාරීන්ගේ කැමැත්තක් වූයේ නැත.පැය විසිහතර පුරාම ඔවුන්ගේ අවධානය එකම විදිහය.
“ දැන් මං මෙහෙට ඇවිල්ලා අවුරුදු එකහමාරකට වැඩියි..”
පාකිස්තානු ජාතිකයෙකු පැවසූයේ පිරිස සෙල්ලම් කරමින් සිටියදීය.
“ සමහරු ඉන්නවා අවුරුදු තුන හතර මෙතන ඉන්න අය.”
ඔහු තවදුරටත් පැවසූයේ ධනංජයගේ කෙටි ප්‍රශ්නයකට උත්තර දෙමින්ය.
වතු වැඩ , දේශන වලට සවන් දීම් , සෙල්ලම් කිරීම තාක්ෂණ දැනුම ලබා ගැනීම වැනි ක්‍රියාකාරකම් සිදු කෙරුනේ කාලසටහනකට අනුකූලවය.
ඒ සමහරුන් මව් රටට යාමේ සිහින අතහැර දමා තිබිණ.
නිර්මිතාගේ තත්ත්වයද මින් වෙනස් වූ එකක් වූයේ නැත.ඇයට කාමරය බෙදා ගැනීමට සිදුව තිබුණේ චීන ජාතික කාන්තාවක සමඟය.ඇය එහි පැමිණි මුල් දිනයේ නිර්මිතාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලුවේ අවඥා සහගත සිනහවක් මුව මත තබාගෙනය.නිර්මිතා ලෙංගතුව හිනැහෙද්දී පවා තරුණ විය ඉක්මවා යමින් සිටි කාන්තාව ගස්සා ඉවත බලා ගත්තේ කිසිඳු මිතුරුකමකට තමා සූදානම් නොමැති බව ව්‍යංගාර්ථයෙන් පවසමින්ය.සිතූ සේම ඕ කලහකාරී විය.විටක නිර්මිතාගේ ආහාර පවා උදුරා ගෙන කෑවාය.ඇය මෙම කඳවුරෙහි සිරගතව වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති බව පැවසූයේ වෙනත් රැඳවියකි.එසේම ඕ ඩිප්‍රෙශන් රෝගයෙන් පීඩා විඳින තැනැත්තියක වූවාය.මධ්‍යම රාත්‍රිය වනතුරුත් ඈ තනිවම කියවමින් පසුවන අයුරු දැන් නිර්මිතාට අමුත්තක් නොවේ.ඇය මොනවා කියවනවාදැයි වැටහීමක්ද නිර්මිතාට නොවේ.කඳවුරට පැමිණි පසු ගෙවී ගිය සෑම රාත්‍රියක්ම ඕ නිදිවර්ජිතව ගතකර දැමුවේ බියෙන් හා සැකයෙන්ය.විටෙක ඈ කාමරයේ තිබෙන කෝප්ප පිඟන් පවා සීසී කඩ විසිකර දමයි.චීන ජාතික කාන්තාව තමා මෙම කාමරයේ සිටිනවාට අකමැති බව පවසන්නේ නිර්මිතාගේ ඇඳුම් ගුලි කොට ඇයටම දමා ගසමින්ය.මේ මිහිපිට අපායක් යැයි ඇයට සිතුනේ වේදනාත්මක රිදුමකින් ලය ඇවිලෙද්දීය.
බොහෝ දිනවල ඇගේ දවස ගතවන්නේත් නිරාහාරවය.අපිරිසිදු ගැහැණියගෙන් නැගෙන දුර්ගන්ධය ඉවසනු බැරි තැන ඕ දින කිහිපයක්ම වමනය කළාය.තම ජීවිතයට සිදුවූයේ කුමක්දැයි සිතෙන සෑම විටකම නිර්මිතා මහ හඬින් හඬා වැටුණේ සිය ලය මිරිකාගෙනය.ධනංජය විශ්වාස කරමින් තමා මේ ජීවිතයට කරගත් විනාශය ගැන දුකකට වඩා ඒ සිතෙහි වූයේ පසුතැවීමකි.සියල්ල අහවරයැයි සිතණු සිතුවිල්ල නිර්මිතාව ගිනි තබා තිබිණ.මරණය තෙක් මෙම කාමරයේ ජීවත් වීමට සිදුවනු ඇතැයි ඈ සිතුවාය.තමාත් චීන ජාතික කාන්තාව මෙන් උන්මත්තක ගැහැණියක බවට පත්වනු නියතය.මේ සා දුකක් තමා වැළඳ ගත්තේ හිතා මතාමයැයි යටි සිත ඇයට දොස් පවරමින් උන්නාය.අම්මාත් නැගණියත් සිහිවද්දී ඒ සිතට ඉවසුම් නොදෙන්නට විය.නැගණිය තවත් අවුරුදු කිහිපයක් අධ්‍යාපනය ලැබිය යුතුය.වසරක කාලයක් අවසානයේ නිවසෙහි කුලිය නිමවද්දී ඔවුනට යාමට ඒමට තැනක් නොවේ.නිවසේ වියදමට අධ්‍යාපන කටයුතුවලට නිර්මිතා මුදලක් වෙන්කර ආවේ මාස කිහිපයකට පමණි.නැගණියගේ අධ්‍යාපනය කඩා කප්පල්වනු නොඅනුමානය.තමා දැනටමත් හසාරාගේ කෝපයටත් සාප කිරීම් වලටත් ලක්ව ඇති බව විශ්වාසය.තමාට වැදි ඇත්තේ ඒ සාපයයැයි සිතද්දී නිර්මිතා බියෙන් වෙව්ලා ගියාය.නිර්මිතාගේ කාලය ගත වූයේම ඇඬූ කඳුලෙන්ය.තාත්තාත් නොමැතිව අම්මා තමාත් නැගණියත් පෝෂණය කර උගන්වන්නට ගත් වෙහෙස අපමණය.ඕ සිය ජීවිතයම දරුවන් වෙනුවෙන් වෙන්කර තිබුණාය.ඇය දරුවන්ගේ දියුණුව හැරෙන්නට කිසිඳු සතුටක් නොපැතූ ගැහැනියක වූවාය.
“ අනේ…අම්මේ..මට සමාවෙන්න..” දවසකට දහ පහළොස් පාරක් ඇගේ මුවින් එවදන් පිටවන්නේ දුක දරාගනු බැරිම වූ තැන්වලදීය.
=======*******======********-=======
මේසය මත වූ ජංගම දුරකථනය ඉන්දුමාගේ අංකය සඳහන් කරමින් නාද වද්දී හසාරා දෙවරක් නොසිතාම එය කන තබා ගත්තාය.පසුගිය දිනවල දිගින් දිගටම ඇගෙන් ලැබෙන ඇමතුම් ඕ ප්‍රතික්ෂේප කරමින් සිටියේ උවමනාවෙන්මය.කිසිවෙකු සමඟ කතා කරන්නට සිතක් හසාරාට වූයේ නැත.
“ මේ කෝල් එකටත් ආන්සර් කළේ නැත්නම් ඕන දෙයක් වෙද්දාවේ කියලා මම මෙහෙන් බස් එකට නගින්න හිටියේ.ඔයාට කොහොමද හසාරා..මේ වෙලාවේ තනි වෙන්න හදන්න එපා..ඒක මනසට හොඳ නෑ..”
‘ හොඳින් කියල බොරු කියන්න මට බෑ.අනේ සොරි ඉන්දු.මට ඔයාගේ විතරක් නෙමෙයි කාගේවත් කෝල්ස් වලට ආන්සර් කරන්න හිතක් තිබුණේ නැහැ.අනිත් එක මං ඔයාට කතා කලානම් හෝද හෝද මඩේ දානවා වගේ අපිට එකම එක දෙයක් තමයි කතා කරන්න වෙන්නේ”
“ ඒක ඇත්ත ඔයා කතා නොකර හිටියා කියලා මගේ තරහක් නැහැ.මට ඔයා ගැන තිබුණේ බයක්..ඔයා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලයි මට දැනගන්න ඕන උනේ..!
“ ලෝයර් සුරංජිත් ඇහුවෙත් ඕකම තමයි.ඉස්සරහට මොනවා කරන්නත් මං මේ අතීත මතක වලින් නිදහස් වෙලා ඉන්න ඕනේ.අද දවස ගෙවාගෙන ඉන්ව ඕනේ..මම රෙසිග්නේෂන් බාර දෙන්න හිතුවා.දැනට මම ගතපු තීරණය ඒක විතරයි…”
“ ඇයි ඔයා එහෙම කරන්නේ නිර්මිතා.ඔයාගේ ජොබ් එක ඔයාගේ තනතුර ලේසියෙන් කෙනෙක්ට ලබා ගන්න පුළුවන් කමක් නැහැ.කවද හරි දවසක ඔයාට පසුතැවීමක් දැනෙයි.ඔයාට ඔය දේවල් ලබා ගන්න ලොකු කාලයක් යන්න ඇති.ගොඩක් ලොකු කැපකිරීමක් කරන්න වෙන්නත් ඇති.නැති කරගන්න ලේසියි හසාරා ලබාගන්නයි අමාරුයි….”
“ ගැහැණියෙකුට ජීවිතේ නැතිවෙන්න පුළුවන් ලොකුම දේ තමයි තමන්ගේ ආදරේ.තමන්ගේ විශ්වාසය, රැකවරණය..මේ දේවල් ඔක්කොම එකතු කරලා එක තැනකට ගත්තොත් තමන්ගේ ස්වාමිපුරුෂයා.මට ඒ දේ නැතිවෙලා තියෙද්දි තවත් රැක ගන්න දෙයක් ඇති කියලා මං හිතන්නෙ නෑ.අනිත් එක මතක අවුස්සලා හිත පාරන තැනක තවදුරටත් රැඳෙන්න මට හිතක් නෑ.ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕන තමයි..එහෙම කියලා හිත රිද්දන තැනක රැඳෙන්නේ කොහොමද.ධනා වෛර කලේ මට නෙමෙයි මේ තනතුරු වලට මේ ජොබ් එකට කියලා හිතත්දී මං කොහොමද ඉන්දු මේ පුටුවේ වාඩි වෙලා හිතට එකඟව වැඩක් කරන්නේ “
‘ ඔයාගේ තීරණය හරි හසාරා.මේ වෙලාවෙ ඔයා ඔයාගේ හිත හදාගන්න යමක් කරනවනම් ඒක තමයි හරිම තීරණය.ඔයාගේ තියෙන උගත්කමේ හැටියට ඔයාගේ තියෙන ටැලන්ට්ස් වල හැටියට ඕනම කම්පැනි එකක් ඔයාට කතා කරයි.”
“ ඉන්දු ..ඔයාට පුළුවන්ද මං වෙනුවෙන් ට්‍රින්කෝවල හොටෙල් රූම් එකක් බුක් කරන්න.ලස්සන බීච් එකක් අයිනෙනම් වඩා හොඳයි.මට සතියක් දෙකක් නිදහසේ ඉන්න පුළුවන් තැනක්.ඔයාට ප්‍රී ටයිම් එකක ඇවිත් මමත් එක්ක ටිකක් කතා කර කර ඉඳලා යන්න පුළුවන් තැනක්.”
“ ඔය මෙහේ එන්නද හදන්නේ?..”
“ කලින් හිතුවේ නැහැ. ඒක මං මේ දැන් ගතපු හදිසි තීරණයක්.මට හිතෙනවා ටිකක් මේ පරිසරයෙන් ඈත් වෙලා නිවිහැනහිල්ලේ කල්පනා කරද්දි මොනවද කරන්න ඕනේ කියලා තීරණය කරන්න පහසුවේවි කියලා.මං දැනට හිතුවේ අම්මල ගාවට යන්න.ඒත්… ඒත් ඒක මට වගේම එයාලටත් මානසික වදයක් වෙයි කියලා බයක් තියෙනවා.”
“ අම්මලා ළඟට යනලඟට නම් එයාලට මානසික වදයක් වෙන එකක් නැහැ.ඒ උනාට ඔයා මේ වෙලාවේ ඒ විදිහට චුට්ටක් තනියම කල්පනා කරන්න ගතපු තීරණයට මං එකඟයි.ඔයා ඇයි වෙන තැනක නතර වෙන්න හදන්නේ.අපේ ඇනෙක්ස් එක තියෙනවනේ.කාගෙන්වත් ඔයාට කරදරයක් වෙන්නේ නැහැ…බාධාවක් නෑ..”
“ එපා ඉන්දු..මට ඕනේ තනියම ඉන්න තැනක්.ඒක මහ පුදුම හැඟීමක්.මට ඒ හැඟීම විඳින්න ඕනේ…”
අවසන දුරකථනය විසන්ධි වී ගියේ හසාරා එසේ පැවසුවාට පසුවය.
( යළිත් හමු වෙමු ආදරයෙන්…..)
ReplyForwardAdd reaction |