“ඔයාට ගෙදර ගෙනියන්න සිප්පි කටු ඇහිඳලා දෙන්නද?” කියා වලාකුලු අංකල් හිනාවීගෙන අහද්දී පෙත්මලී මුලින් ඒකට කලේ ලැජ්ජාවෙන් හිනාවෙන එකය. අම්මාගේ යාලුවෙක් කියා දැනගෙන උන්නාට., උපන්දින උත්සවය දවසේ ඇවිත් ෆොටෝ ගනිද්දි හැපි බර්ත් ඩේ කිව්වට ඊට එහා දෙයක් තමන් වලාකුලු අංකල් ගැන දන්නෙ නැති හන්දා පෙත්මලී මුලින් වලාකුලු අංකල් එක්ක කතාකරන්න, හිනාවෙන්න, අංකල් දිහා බලන්න මුලින් ලැජ්ජ වුණාය. ඒත් වලාකුලු අංකල් සිප්පි කටු හොයා දෙද්දී, මූදේ ගැඹුරු තැන්වලට වඩාගෙන තමන්ව එක්කරගෙන යද්දී, අම්මා ඉස්සර වගේම ලස්සනට හිනාවෙද්දි තමන්ට සන්තෝස වෙන්න පුලුවන් බව තේරිච්ච හන්දාම ඒ බය, ලැජ්ජාව, කෝල ගතිය පෙත්මලීව හැර දා බොහෝ ඈතකට ගසාගෙන ගියාය.
“හා, අංකල්ට බැරිද මට සිප්පු කටු මාලයක් හදල දෙන්න?”
“පුලුවන්, ඒ උනාට ඉතින් දැන් හදන්න බෑ. ඔයා කොහෙද ඉතින් සිප්පුකටු මාලයක් දාගෙන යන්නෙ මං හදල දුන්නොත්?”
“ම්ම්ම්ම් ස්කූල් දාන් යන්න බෑනෙ. අම්මි එක්ක යද්දි දාන් යනව. තාත්තිව බලන්න යද්දිත් දාන් යනවා”
“හරි එහෙනම් අපි සිප්පු කටු මාලයක් ගෙදර ගියාම හදමු. ඉස්සෙල්ලා සිප්පි කටු ගොඩක් එකතුකරගමු බබාට”
“බබා නෙවෙයි මගෙ නම”
“එහෙනම්?”
“බබී”
“ආහ් බබී කියලද කියන්න ඕන?”
“ඔව් තාත්ති තමයි හැමතිස්සෙම බබී කියල කියන්නෙ. අම්මි නම් තරහ ගියාම පෙත්මලීඊඊඊ කියල කෑගහනව. තාත්ති නම් කෑගහන්නෙ නැ එහෙම”
“ඔයා නෝටි නිසා වෙන්නැති අම්මි කෑගහනවා ඇත්තෙ”
“මං නෝටි නෑ අංකල්” කියාගෙන පෙත්මලී ආයෙ වතාවක් දුවගෙන මෙන් බීච් එකේ තමන්ගේ සෙල්ලම් බඩු තියෙන පැත්තට යද්දී වලාකුලු හිමින් සැරේ ඇවිදගෙන ගියේ අහංගම සීක්‍රට් බීච් එකේ ගහක් යට හෙවණේ වාඩි වී අව් කණ්ණාඩි පැලඳ තමන් දෙසත් පෙත්මලී දෙසත් හිනාවෙමින් බලාගෙන ඉන්න මේධාවිණී දිහාවටය.
“ඔයත් මූදෙ නාන්නකො”
“අම්මෝ බෑ අනේ පිච්චෙනවා”
“මේ තාම උදේ අට හමාරයිනෙ ළමයො වෙලාවක්. මේ වෙලාවට තියෙන අව්වට ඔය කියන තරම් පිච්චෙනවද?”
“අනේ බෑ අනේ. මම කලින් වතාවක ඔහොම ඇඉත් පිච්චිච්ච පාර මාසයක් විතර ගියා ඒ ෆේඩ්වෙච්ච එක මැකෙන්න”
“හා හා හරි හරි මෙයා ඉතින් රූප සුන්දරීනේ”
“අනේ මේ. රූප සුන්දරියක් නොවෙන හන්දා තමයි ඉතින් මෙච්චර පරිස්සම් වෙන්නෙ. තියෙන ටිකත් අව්වට කලු වෙලා ගියොත්”
“බයවෙන්න එපා අපි දාලා යන්නෙ නෑ” කියා වලාකුලු තමන්ගේ කකුලේ ගෑවි තිබුන මූදු වැලි පිසදාමින් කියද්දි මේධා කරේ සිනාසෙන එකය. ආදරය ප්‍රකාශ කර දිනයෙන් පස්සේ වලාකුලු කියන මේ වගේ කතන්දර වල ආදරය ඕනවටත් වඩා හොඳින් තැවරී තිබෙන බව තේරුණද මේධා උන්නේ ඒවට පිලිතුරු දිය යුතු අන්දම කුමක්ද කියා වටහාගන්නට අසීරුවෙනි. තමන් ආදරයට නුපුරුදු අයෙකු නොවන බව ඇත්තක් නමුත් ඒ සුපුරුදු බව පරදවා ගිය එක්තරා අන්දමක බයකින් සහ අවිනිශ්චිතතාවයකින් තමන්ව ඒ ආදරය හදපුරා වැලඳ ගන්නට, ප්‍රතිචාර දක්වන්නට වලක්වන බවක් මේධාවිණීට තේරුණාය. මෙච්චර සුන්දර මිනිසෙකුගෙන් ලැබුණ එයාකාර සුන්දර ආදරයක් පිලිගන්නට තමන්ගේ හිත මෙච්චරම බයවෙන්නේ ඇයිද කියන ප්‍රශ්නයට උත්තරයක් මේධාවිනීට තිබුනේ නැත.
“බබාගේ හිතේ මාරම ලොකු තැනක තාත්තා ඉන්නවා නේද?”
“ඇයි මොනවහරි කිව්වද?”
“කියන හැම එකම වගේම ඉවර කරන්නෙ තාත්තා කියන මොකක් හරි එකකින් තමයි. දුවල ඉතින් තාත්තලටනෙ වැඩිපුර ආදරේ කියන එක ඇත්තක් වෙන්නැති නේද?”
“ඔව් නේ? මමත් අපේ අම්මට වඩා තාත්තා එක්ක තමයි ලොකුවටම ක්ලෝස්”
“ආහ් ඒක දන්න නිසා තමයි මම අංකල්ව හීන් සැරේ කතාවලට එහෙම අල්ලගත්තෙ”
“ආහ් ඇයි ඒ?”
“දූල ආදරෙයි තාත්තලට. තාත්තල ආදරෙයි දූලට. දූලට ආදරේ කරන කොල්ලො දූලව අල්ලගන්නව වගේම දූලගෙ තාත්තලවත් අල්ලගන්න ඕන. මොලේ තියෙන කොල්ලෙක් නම් ඉතින් මුලින්ම කරන්නෙ දූට ලයින් දානගමන් තාත්තටත් ලයින් පාරක් දාන එක තමා. මේව ඉතින් වෙන කොල්ලො නම් කෙල්ලන්ට කියන්නෙ නෑ. අනික ඉතින් මං වගේ හැම කොල්ලටම මොලෙත් නෑ” කියා වලාකුලු හිනාවෙමින්, දෙනෙත් අඩවන් කරගෙන කියද්දී ඒ සිනාවට එකතු නොවී ඉන්නටත් ඒ මින්දද හීසර විදින නෙත් කැල්මෙන් මිදෙනු පිණිස මුහුණ බිමට හරවාගන්නටත් මේධාවිණී අමතක කලේ නැත.
“ආහ් දැන් මෙයා මේ එක එක බිස්නස් කිය කිය අපේ තාත්තව හම්බුවෙන්නෙ එන්නෙ එතකොට බිස්නස් කරන බලාපොරොත්තුවකින් නෙවෙයි මේ අපේ තාත්තට ලයින් දාන්න බලාපොරොත්තුවෙන් නේද?” කියා අහද්දී මෙතෙක් වෙලා සුන්දර හිනාවකින් ආලෝකාවත් වී තිබුන වලාකුලුගේ මුහුණ වලාකුලකින් වැහුනාක් මෙන් අන්ධකාර විය.
“ම්ම්ම් එහෙමම කියන්න බෑ. ඇත්තටම මම අංකල් එක්ක ලොකුවටම එදා පාටි එක දවසෙත් කතාකරන්න පෙළඹුනේ ඔයා ගැන කැමත්තක් ඒ වෙද්දිත් මගෙ හිතේ තිබිච්ච හන්දා. මම ඒක එවෙලෙ ඔයාට කියල තිබ්බෙ නැතිඋනාට ඉතින් ඔයා මට ඔයාලගෙ ගෙදර විස්තර කලින් මැරේජ් එකේදි වෙච්ච දේවල් ඔක්කොම කියල තිබිච්ච හන්දා මම දැනගෙන හිටියා ඔයාව ලබාගන්න නම් මම ඉස්සෙල්ලම ඔයාගෙ තාත්තගෙයි අම්මගෙයි හිත දිනාගෙන ඉන්න ඕන විත්තිය.
ඒ වුණාට මම ඇත්තටම අංකල්ව හම්බෙන්න ආවෙ ඒක හන්ද නෙවෙයි. මට ඇත්තටම අංකල් එක්ක පාට්නර් අප් වෙලා කරන්න බිස්නස් අයිඩියා එකක් තිබ්බා. මම අංකල්ට ඒක කිව්වත් එක්ක. ඔයාලට ඔයාලගෙම රිටේල් බ්‍රෑන්ඩ් එකක් තියෙන එකේ ඔයාලා ඔයාලගෙම කියල ප්‍රඩක්ශන් හවුස් එකකට ගියා නම් ඔයාලටත් වාසියි වගේම අනිත් බ්‍රෑන්ඩ් වල ශූට්ස් වලට ඔයාලගෙ ස්ටුඩියෝ එක රෙන්ට් අවුට් කරලා තව ගානක් හොයාගන්නත් තිබ්බා. අංකල් අයිඩියා එකට කැමතිත් උනා. ඒත්…” කියා වලාකුලු කතාව අතරමග නතර කර දමා වෙරල සිපගන්නට එන නිරත්තරව හඬන මුහුදු රැල්ල දිහා බලාහෙන ගැඹුරු හුස්මක් හෙලද්දී ඒ හුස්ම කෙලවර බොහෝ දිග මෙන්ම බරසාර කතාවක් තිබෙන බව තේරුම් ගන්නට බැරිකමක් මේධාවිණීට තිබුනේ නැත.
“ඇයි එහෙම කිව්වේ?”
“එහෙම කිව්වෙ නේද ම්ම්ම්ම්. ඒක දැන් කියල මේ වෙලාවෙ අපි සතුටෙන් ඉන්න එක නැතිකරගන්න ඕන නෑනෙ. පස්සෙ අපි ඒ ගැන කතා කරමු” කියා වලාකුලු කිව්වද, ඔහු ඒ මොහොත ඒ කතාව මගහරින්නට කොතෙක් දේ කිව්වද හිත යටින් වලාකුලු උන්නේ ඒ කතාව කියා දමා හිත නිදහස් කරගන්නා අරමුණක බව මේධාවිණීට කිව්වේ වලාකුලුගෙ විසල් දෙනෙතය.
“නෑ ආයෙ පස්සෙ කියන්න තියාගන්න ඕන නෑනෙ. හිත් කරදරෙන් ඉන්න දෙයක් දැම්ම කියල දැම්මයින් පස්සෙ අපිට ඉතුරු කාලෙ ඒකට උත්තරයක් හොයන්න මහන්සි වෙන්න පුලුවන්, අනික මම මගේ ප්‍රශ්න හැම එකක්ම වගේ ඔයත් එක්ක කියනවා. එහෙම එකේ ඔයාට බැරිද මාත් එක්ක ඔයාගෙ ප්‍රශ්නයක් කියන්න. මං මගෙ ප්‍රශ්න ඔයාට කියල හිත නිදහස් කරගන්නවා වගේ ඔයාටත් පුලුවන්කමක් තියෙන්න ඕන නේද ඔයාගෙ ප්‍රශ්නයක් මට කියල හිත නිදහස් කරගන්න.
ඒ හන්දා ඕක කියන එක පස්සට දාන්න ඕන නෑ. ඔයා දැන් කියන්න”
“අපි දෙන්න මෙච්චර දවසක් කතාකරා. මම ඔයාට කියලා තියෙනවනෙ මේධා අපේ අම්මල කොළඹ මිනිස්සු නෙවෙයි. එයාලගෙ ගෙවල් කුරුණෑගල. අපි අර වලව්වල මිනිස්සු උනාට අපේ වලව් වලට දැන් අර ඉස්සර තිබ්බ තරම් දේවල් නෑ. මොකෝ ඒ ගොඩක් ඉඩකඩම් නඩත්තු කරන්න යන වියදමෙන් දහයෙන් පංගුවක්වත් ලැබෙන්නෙ නෑ අපිට ආදායම විදියට. දැන් වලව්වල ඉන්නෙත් රස්සාවල් කරල බිල් ගෙවලා සොච්චමක් ඉතුරු කරන මිනිස්සු. තාම අර නම්බුවයි වලව් නාමෙයි තිබ්බට අපෙ අම්මල තාත්තල එහෙම රස්සාවල් කර මිනිස්සු නෙවෙයිනෙ.
මං තමයි අම්මලට වියදමට පවා සල්ලි එහෙම යවන්නෙ. ඔයාගෙ තාත්තට මම අරහෙම අයිඩියා එකක් දුන්නෙ අංකලුයි මමයි දෙන්නම එක්කහු වෙලා ඒ බිස්නස් එක කරමු කියලා.
ඇත්තටම මට ඒක කරන්න ලොකුවටම උවමනාව තියෙනව. මොකද ඇත්තටම ඒක තමයි මේධා මට ඔයාගෙ ගෙදර අය එක්ක ක්ලෝසර් රිලේශන්ශිප් එකක් ගොඩනගා ගන්න තියෙන එකම පාලම. ඒත් මේ වෙලාවෙ ඒක කරන්න මං ගාව කීයක්වත් නෑ. අංකල් මගෙන් දෙපාරක් විතර කතාකරල ඇහුවා කොහොමද කවදද ඒකෙ ප්ලෑන් එක කියලා.
මට කියන්න බෑනෙ මං ගාව මෙවෙලෙ ඒකට යට කරන්න සල්ලි නෑ කියල. මං එහෙම දෙයක් කිව්වොත් චිරත්ගෙ තැනටම තමයි අංකල් මාවත් දාන්නෙ. එහෙම වෙන්න ඇරල මට ඔයාව නැතිකරගන්න බෑ මේධා.
මට ඔයාව නැතිකරගෙන ජීවිතෙ ඉස්සරහ ගැන හිතන්න බෑ. කොටින්ම පෙත්මලීව පවා මම සලකන්නෙ මගෙ දරුවෙක් විදියට”