වියෝ ගී ගැයෙනා හදේ – 39

0
380

වලාකුලුත් මනුර සුමතිපාලත් ඔවුන්ගේ අලුත්ම ව්‍යාපාරය අරඹන්නට පිඹුරුපත් සකසමින් ඉද්දී චිරත්ගේ අලුත්ම රෙස්ටුරන්ට් එක ඕපන් කරන උත්සවය වෙනුවෙන් ඉන්විටේශන් එක මේධාගේ අතට ආවේ ඒ සති අන්තයේ තාත්තා හමුවෙන්නට ගොසින් නැවත ගෙදර ආ පෙත්මලී අතේය. 

ඉතාම සුන්දරව තනා තිබූ ඒ ඉන්විටේශන් එකේ තමන්ගේත් පෙත්මලීගේත් නම ලියා තිබුනේ චිරත්ගේ අතින්ම බව ඒ අත් අකුරු දැක්ක ගමන් අඳුරගන්න මේධාවිණීට පුලුවන්කම තිබුණාය. එහෙත් “මං මේකට යනවද නැද්ද?” කියා මේධාවිණී උන්නේ දෙගිඩියාවකය.

“චිරත් එයාගෙ රෙස්ටුරන්ට් එකේ ඕපනින් එකට එන්න කියල මටත් ඉන්විටේශන් එකක් එවල තියෙනවා” කියා මේධාවිණී ආලෝකාට කිව්වේ කොහොමත් ඔය කතාව ගෙදර මිනිස්සු එක්ක කතාකරන්න පුලුවන්කමක් නැති හන්දය.

“ඉතින් යන්නෙ නැද්ද?”

“මට තේරෙන්නෙ නැත්තෙ මෙහෙම අපි දෙන්න ඩිවෝස් උනාට පස්සෙත් චිරත් ඇයි මට එයාගෙ රෙස්ටුරන්ට් එකේ ඕපනින් එකට ඉන්වයිට් කරේ කියලා”

“ඒකෙන් පේන්නෙ ඒ මනුස්සයගෙ තියෙන මනුස්සකම නෙවෙයිද?”

“මට නම් ඒකේ පේන්නෙ මනුස්සකමකට වඩා චිරත්ට කොන්ද පණ නෑ කියල හිතෙන එකක්” කියා මේධාවිණී කියද්දී ආලෝකා රැඳී උනේ දුරකතනයෙන් එහා පැත්තෙ උනත් පුලුවන් නම් දුරකතනය අස්සෙන් අත දමා මේධාවිණීගේ බෙල්ල හොල්ලා අහන්න තිබ්බා නම් හොඳයි කියල හිතිච්ච දේ ආලෝකා එහෙම කරන්න බැරිකම හන්දා නිකන්ම අහලා දැම්මාය.

“චිරත්ගෙ කොන්දෙ පණ තියෙනවද නැද්ද කියන එක උඹට තේරෙන්න ගත්තෙ ඌව කසාද බැඳලා ළමේකුත් හදලා ඩිවෝසුත් උනාට පස්සෙද? මේධා මේ උඹ ඌව ඩිවෝස් කර එක ඇත්ත. තවදුරටත් ඌ උඹේ මිනිහ නොවෙන එකත් ඇත්ත හැබැයි නිකන් කිසිම ක්ලාස් එකක් නැති ගෑණියෙක් වගේ හැසිරෙන්න එපා. හරි කැතයි. ඒ මනුස්සය උඹට එන්න කියල ඉන්විටේශන් එකක් එවලා තියෙන්නෙ උගෙ හිතේ උඹ ගැන තරහක් නැති හන්දනෙ. ඒ හන්දා උඹ හිතේ තරහක් තියාගන්නෙ නැතුව යන්න. අනික මමත් එනවා. චිරත් මටත් ඉන්විටේශන් එකේ ඩිජිටල් කොපි එකක් වට්සැප් කරලා තිබුනා” කියා ආලෝක දුරකතනය තැබුවාය.

අම්මාටත් තාත්තාටත් මේ විත්තිය කියන්න කලින් තමන් මේ ගමන යා යුතුද නැතිද කියා අසනු පිණිස මේධාවිණී ඊලඟ ඇමතුම ගත්තේ වලාකුලුටය.

“ඔයා ගියාට මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. අනික මම හිතන්නෙ නෑ ඉතින් ඒ මනුස්සය ඔයාට එන්න කියල තියෙන්නෙ මුකුත් වැරදි අදහසකින් කියල. එයා ඔයාට එන්න කියන්න ඇත්තෙ බබාව තනියෙන් එවන්න බැරි හන්දා. අනික ඔයාගෙ යාලුවත් යනවනම් ඔයාට ඇත්තටම අවුලක් නෑනෙ”

“නෑ  මම හිතුවෙ ඔයාට අවුල්ද දන්නෙ නෑ කියල මම එහෙම යන එක මොක උනත් එයා මගේ එක්ස් හස්බන්ඩ් නෙ”

“පිස්සු මට ඔයාව පොඩ්ඩක්වත් සැක නෑ. ඒ නිසා බය නැතුව යන්න. ලස්සනට යන්න අනික මට ආඩම්බරයි මිනිහගෙ හිතේ පොඩ්ඩක් හරි දුකක් ඇති වෙනවනම් ඔයා වගේ ලස්සන කෙල්ලෙක්ව අතෑරගත්ත එක ගැන”  කියා වලාකුලු හිනාවෙද්දි මේධාවිණී චිරත් ගේ රෙස්ටුරන්ට් එකේ ඕපනින් එකට යන්න සූදානම් උනේ නිදහස් හිතකිනි.

චිරත් තනිවම මෙච්චර දෙයක් කරගත්තේ කොහොමද කියන දේ ඇත්තටම ප්‍රශ්නයක් උනේ රෙස්ටුරන්ට් එකේ ඕපනින් එක වෙනුවෙන් ආ මේධාවිණීට පමණක් නොවේ. රෙස්ටුරන්ට් එකේ ඕපනින් එක වෙනුවෙන් පැමිණ උන් සියලු දෙනාම චිරත් විසින් වෙනස්ම විදියකට ගොඩනගන ලද රෙස්ටුරන්ට් එක ගැන., එහි වයිබ් එක, කෑම වර්ග, කෑම වල රස මෙන්ම සියලුම දේ ගැන බොහෝ අගය කිරීම්වලට චිරත්ව හසුකරගනිද්දි මේ දික්කසාදය නොඋනානම් අද ඒ අගය කිරීම්වලින් කොටසක් තමන් වෙත එනවා නොවේද කියන අදහස මේධාගේ සිතට නොආවා නොවේ.

වෙනදාටත් වඩා සුන්දරව තද නිල් පාට කලිසමට, සුදු පැහැ ශර්ට් එක යටකර කලු සපත්තු දමා පෙත්මලීව වඩාගෙන දන්න හඳුනන මිනිසුන් එක්ක සිනාසෙමින් කතාකරමින් උන් මිනිසා තමන්ගේ විවාහයද, බිරිඳ සහ දරුවා සමග ගෙවන්නට තිබෙන කාලයද වැය කර ගොඩ නගා ඇති සුන්දර රෙස්ටුරන්ට් එකේ පුටුවක වාඩි වී ඒ දෙස බලාගෙන කල්පනා කරන්න බොහෝ දේ මේධාවිණීට තිබුනත් ආලෝකා උන්නා මේධාවිණීට තනියම කල්පනා කරමින් ඉන්න ඉඩ දෙන හිතකින් නොවේ.

“චිරත් මේ ඔක්කොම තනියෙක් කරගත්ත කියන එක මට නම් ඇත්තටම හිතාගන්නවත් බෑ’ කියමින් බීම වීදුරුවක් අතින් අරගෙන තමන් ඉස්සරහෙන් වාඩිවෙන ආලෝකා දිහා බලා මේධාවිණි මද සිනාවක් නැගුවාය. ඒ සිනාව යට සැංගී තිබුන එක්තරා විදියක වේදනාවක් ඇහැට කෙසේවුව නෙත ගැටුණද ආලෝකා ඒ ගැන හාරවුස්සා වැඩිය හිත රිද්දන්න හිතුවේ නැත.

“මොකෝ උඹට අවුල්ද මං එහෙම කිව්ව එක”

“මං මොකටද අවුල් ගන්නෙ, අනික ඉතින් මේ රෙස්ටුරන්ට් එක බිල්ඩ් කරන්නනෙ චිරත් ගෙදර එන්නත් පරක්කුවෙලා ගෙදර ආවත් ඔෆිස් රූම් එක අස්සෙම රිංගගෙන අන්තිමේ අපිට ඩිවෝස් එකකට යන්න උනේ”

“ඇයි උඹ ඒ කතාවෙ අනිත් පැත්ත ගැන හිතන්නෙ නැත්තෙ?”

“මොකද්ද අනිත් පැත්ත?”

“ඩිවෝස් එක ගන්න හදිස්සු උනේ උඹනෙ. උඹ ඇත්තටම තව මාස කීපයක් ඉවසගෙන හිටියනම් ඩිවෝස් එකකට යන්නෙ නැතුව අද උඹට අර අතන ළමයව වඩගෙන ඉන්වයිටීස් ල එක්ක කතා කර කර ඉන්න චිරත් ලඟට වෙලා හිනාවෙවී ඉන්න තිබුනා නේද කියල හිතෙන්නෙ නැද්ද?” කියා ආලෝකා ඇහුවට එයට දෙන්න ඕන උත්තරයක් මේධාවිණීට තිබුනේ නැත. 

“අනිත් එක ඉතින් සන්තෝස වෙයන්කො. කවදහරි මේ ඔක්කොම අයිතිවෙන්නෙ උඹල දෙන්නගෙ ළමයට. චිරත් කෙල්ලට පණ වගේ කියන එක මං උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ”

“ඒව ඉතින් එහෙම වෙන්නෙ චිරත්ට වෙන ළමේක් නැත්තන් නෙ”

“ඇයි චිරත්ට වෙන ළමේක් ඉන්නව කියල කවුරුහරි උඹට කිව්වද?”

“නෑ බං මම කිව්වෙ චිරත් කවදහරි ආයෙ කසාද බැඳලා ළමේක් හදපු කාලෙක ඉතින් චිරත් මේ රෙස්ටුරන්ට් ඒව මේවා පෙත්මලීට ලියන එකක් නෑ. එයාගෙ අලුත් ළමයින්ට ලියාවි”

“අතෑරියට උඹ හිතෙන් නම් අතෑරල නෑ නේද මිනිහව. හිතෙනුත් අතෑරියනම් ඉතින් ඔච්චර චිරත් ආයෙ බඳීවි, ආයෙ ළමයි හදාවි, ඒ ළමයිට මේ දේපල ඉඩකඩම් ඔක්කොම ලියල දේවි කියල හිතන්නෙ නෑනෙ. කොච්චර කිව්වත් උඹේ හිත අස්සෙ තණ්හාවක් තියෙනව චිරත්ව අතැරගත්ත එක ගැන. මම කලින්ම උඹට කිව්වා ඉතින් කලබල වෙලා තීරණ ගන්න එපා කියල.උඹ හිටියෙ පස්ස කාපු කඩියා වගේනේ. මේ ඔන්න චිරත් මේ පැත්තට එනවා. ඔය මුස්පේන්තු පාට අයින් කරලා ඒ මනුස්සයට හිනාවෙල අකතාකරලා විශ් කරපං. හිත රිදෙන මුකුත් කියන්න එපා” කියමින් ආලෝකා පුටුවෙන් නැගිටිද්දී ඒ හා සමගම පුටුවෙන් නැගිට්ට මේධා හිස හරවමින් බලද්දී එක් අතකින් පෙත්මලීව වඩාගෙන හිනාවෙමින් චිරත් උන්නේ එදෙසට පියවර තබමිනි.

“හායි ආලෝකා, ගොඩ දවසකින් නේ අපි හම්බුවෙන්නෙ?”

“ඒකනෙ, ෆේස්බුක් එකේ ඔය උඩ පහල යද්දි පෝස්ට් එකක් ෆොටෝ එකක් දැක්කම ලයික් එකක් කමෙන්ට් එකක් දානව ඇරෙන්න ඇත්තටම වෙලාවක් නෑනෙ චිරත් අයියා අපිට හම්බුවෙන්න. ඒක නෙවෙයි රෙස්ටුරන්ට් එක නම් ටොප් ක්ලාස් හොඳේ. හැමෝම වගේ කතාකරනවා ඒක ගැන මාරම වෙනස් වයිබ් එකක රෙස්ටුරන්ට් එකක්. කපල්ස් ලා නම් මාරටම ආස වෙයි එන්න” 

“තැන්ක්‍යු අනේ, කෑම එහෙම හොඳයිද? කලුතර පැත්තෙ බෝයි කෙනෙක් හෙඩ් චෙෆ් ඉන්නෙ”

“ඔව් කෑමත් හොඳයි අනික ඔයාගෙ මෙනු එක මරු. මාරම හොඳට හිතල ඔයා හැමදේම ප්ලෑන් කරලා තියෙනවා”  කියා ආලෝකා කියද්දි එයාට සිනාසුන චිරත් ඉන්පසුව තමන් වෙත හැරෙද්දී මේධා උන්නේ “ග්‍රේට් ජොබ්” කියා කියන්නට කට හදාගන්න හිතමින් ය.

එහෙත් චිරත් උන්නේ ඊට කලින් දෙයක් අහන්න හිතාගෙනය.

“මේධා තනියෙන්ද ආවේ?”

“පෙත්මලියි ආලෝකයි එක්ක ආවෙ”

“නෑ මං ඇහුවෙ වලාකුලු ආවෙ නැද්ද කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here