සීත මාරුතේ -11

උත්සවයක් සඳහා නැටුම් පුහුණු වීමක් තිබූ බැවින් මා යන විටත් නංගී ගෙදර විත් තිබුණේ නැත. ඒ නිසා මුණිවර ගැන කේළම කියන්නට කෙනෙකු සිටියේ නැත. කෙසේ වෙතත් ඔහු පාසලේ කාර්යාලයට පැමිණීමත්, අප්පච්චි ව දන්නා බව හැඟවීමත් නිසා හදවතේ අමුතු කිතියක් ඇති ව තිබිණ. කිසියම් මොහොතක ඔහු ගුරු නිවාසයට ගොඩ වෙන්නට ද බැරි කමක් නැත. 

එහෙම ම මම උණු දිය නෑවෙමි. හතර අතින් සීතල වී එන වෙලාවක පුංචි කුටියක් තුළ උණු දිය දහරක් යටට වී සිටීම යනු වෙනම ම මිහිරක් දනවනා සංවේදනයකි. දිය බිඳු වල උණුහුම සම මතු පිටින් ඇතුළට උරා ගෙන සිරුරේ අංශුවක් ගානේ ඒ උණුහුම කාන්දු වෙමින් පැරතිරෙන්නට ගනී.  ඒ ආකාරයට හැම දිය බිඳුවකින් ම අවශෝෂණය වන උණුහුම ආත්මයේ යම් තැනෙක, ස්පර්ශීය නොවන ඉසව්වක ඒකරාශී වී සරාගී උණුහුම් මිහිරියාවක් අවුළුවනු  දැනිණ. මුණිවර තව මොහොතකින් ගෙට ගොඩ වනු ඇතැයි බලාපොරොත්තුවක් ද, උණුහුම්වත් සුවඳවත්වත් ඔහු පිළිගැනීමේ තිගැස්ම සපිරි ප්‍රමෝදී ආශාවක් ද මා තුළ දෝරෙ ගලමින් තිබිණ.

මා වරලෙහි තෙත පිසිමින් නාන කාමරයෙන් පිටතට එත්දී නංගී ගෙදර විත් සිටියා ය. සාරිය පිටින් ම තේ කෝප්පයක් තොල ගාමින් සිටි ඕ මා දුටුවන මා ඇදගෙන කාමරයට ගියා ය.

“දුවා මේ තේ එක බොන්න”

අම්මා කුස්සියේ සිට කෑගසනු ඇසිණ. නමුත් මා සිටියේ නංගිගේ දැඩි ග්‍රහණයට නතු වී ය.

“ඔයාගෙ බමුණු සිං..”

“මොකා…”

“අර මුණිවර බමුණු සිං…සුශන්ත් කියල හිතං හිටියට මිණිහ මනුස්ස ආස්සරයක් නැති බමුණෙක්. මහ ඔලමොට්ටල උගුඩුවෙක්. නිකංම බමුණෙක් නෙවෙයි ලේ කඳුළක් මූණෙ නැති ජූජක බමුණෙක්”

මම හඬ නගා සිනහ වෙන්නට ගතිමි. නංගී මදෙස ඔරවා බලා ගෙන සිටියා ය.

“දැං මොකද්ද ඔය වුණෙ…”

අවසන මම ඇය ළඟින් යහනේ හිඳ සිනහව ගිල ගෙන ප්‍රශ්න කළෙමි. තව දුරටත් ඇය සිටියේ නළල හකුලා ගෙන නෝක්කාඩුවක රළ නගනා මුහුණකින් යුතුව ය.

“ඔය බමුණා හවස ඉස්කෝලෙට ආව”

“හ්ම්. මං දැක්ක. මාත් එක්ක කතා කළා. මං එන වෙලාවෙමයි ආවෙ”

“දැක්ක ගමං මට මතක් වුණා බුවා තමයි කියල. මං හිනා වුණා. කියන්න බෑනෙ…මං වෙන්න නෑනද දන්නෙත් නෑනෙ. මූ බලා ගත්තෙ නැතෑ අනිත් පැත්ත”

වක්කඩ කැඩුවා සේ මගේ සිනහව දෝරෙ ගැලුවේ ය.

“දන්නවද…ඔය බමුණා තමයිලු ඕබීඒ එකේ ඩිපියුටි ප්‍රසිඩන්ට්”

පපුව මැද ඇති වූ කම්පනයක තරංග සිරුර පුරා පැතිර යනු මට දැනිණ. නමුත් මා කතා කළේ එවැන්නක් පෙනෙන්නට නොදී ය.

“අයියෝ…ඩිපියුටි ද…එයාගෙ ලොකු වංශෙ හැටියට ප්‍රසිඩන්ට් නෙ වෙන්න ඕනෙ”

“මෙහෙ ඕබීඒ එකේ ප්‍රසිඩන්ට් හෙඩ් මාස්ටර් ලු. ඒක ට්‍රැඩිශන් එකක්. ඒ වුණාට ඩිපියුටි තමයි ඉතිං තදය. ඕබීඒ එකේ ඇනුවල් ජෙනරල් මීටින්  එක ළඟලු. ඒකයි ඔය මෙයා කොලේජ් එකට ඇවිත් තියෙන්නෙ”

සෑම වාරයක ම මැද සතියක නිවාඩුවක් ගුරුතලාවේ සිසුනට ලැබෙන බව නංගී කීවා ය. සාමාන්‍යයෙන් එහි අධ්‍යාපනය ලබන්නේ ගුරුතලාව අවට සිසුන් ම නොවේ. ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් පැමිණෙන සිසුනට නේවාසික ව ඉහළ තත්වයේ ගුණාත්මක පාසල් වියක් ගෙවන්නට මෙහි දී අවස්ථාව සැලසී තිබේ. ක්‍රිස්තියානි නිකායකට අයත් පෞද්ගලික පාසලක් වන එහි නේවාසික දරුවන් ට සිය නිවෙස් වලට ගොස් සතියක නිවාඩුවක් ගත කොට එන්නට ඒ අනුව වාරය මැද දී අවස්ථාව උදා වේ.

වසරේ පලමු වාරය මැදදී ලැබෙනා ඒ නිවාඩුවේ දී ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ. පාසලේ ගුරුවරුන් වෙතින් දැන ගත් ආකාරයට නංගී කීවේ එය දින තුනක කාල සටහනකට සිදු වෙන බවයි. පළමු හා තෙවන දින දෙක පාසලට පැමිණීම හා ඉන් නික්ම යාම වෙනුවෙනි. මැද දිනයේ දී ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් පාසල තුළ අංග ගණනාවක් සංවිධානය වේ. ඒ සියල්ලෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ගුරුතලාවේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු හා වත්මන් ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපතිත්වය දරන මුණිවර අභිෂේක් බණ්ඩාර ය.

“ඒක තමයි එහෙනං අප්පච්චිව දන්නෙ…මං ඒත් බැලුව ඒ කොහොමද කියල”

“ආව් මූණෙ පෙම් පාට ඒ බමුණා ප්‍රසිඩන්ට් කියල දැන ගත්තහම”

නංගී එසේ කියමින් යහනින් නැගිට ගන්නා විට ය මා දන්නේ ඒ වෙත්දීත් මගේ මුවග සිනහවක් නලියමින් තිබි බව. 

මුණිවර ගුරුතලාවට ආවේ මා බලන්න ද මා ගැන තොරතුරු හොයන්නට ද කියා මසිත තුළ වූ සැකය මට ම ලැජ්ජාව දනවමින් දුරු වී ගිය ද මොකක් දැයි නිශ්චිත නොවන ඉසිහින් ප්‍රීතිමත් බවක් සිත තුළ ඉතිරි ව තිබිණ. මා ඔහු ට වසඟ වන්නට වූයේ ඔහු කවුදැයි නොදැන ම ය. ඔහු ගැන තොරතුරු අනාවරණය වන්නේ දැන් ය. ඒ ආඩම්බර පෞරුෂය සමග ඔහු ගේ නිලය මැනවින් සමපාත වෙතැයි මට සිතිණ. එය හදවත තුළ දැනවූයේ සාඩම්බර බවකි. ඔහු මගේ කෙනෙකු සේ මට දැනේ. නො එසේ ව මේ ආඩම්බරය විඳිත නො හැකි ය. දරුවෙකු ගේ ජයග්‍රහණයන් ඉදිරියේ මුව මඳහසකින් බලා ඉන්නා මවක සේ මට මාව දැනුණේ ය. ඊට වඩා ඒ හැඟීම විස්තර කිරීමේ හැකියාවක් මට නොමැත.

“අනේ…දෙනවකො ඕක..දැං කොච්චර වෙලාද ඕක අල්ලගෙන”

“ඉන්නවකො…මොන මළ වදයක්ද..දවසම ඔයානෙ මේක තියං ඉන්නෙ. දැන්නං දෙන්නෑ දෝණී”

නංගි ගේ හා මල්ලි ගේ කෑ ගසා ගැනීමක් මට ඇසුණේ කාමරයේ ඇඳට වී නෙට්ෆ්ලික්ස් ඇප් එකෙන් සිනමා පටයක් තෝරමින් සිටියදී ය.

“අම්මෙ මේ බලන්නකෝ…දෝණි මට ගහනවා..”

“මූ කියන බොරු”

“මේ බලන්න කොණ්ඩෙනුත් අදිනෝ”

“අදනං බෙල්ල මිරිකලයි නවතින්නෙ හැකරැල්ලගෙ”

“කැරපොත්ති. බලමුකො මිරිකන හැටි”

“ගොං අලිය”

“මැටි එළදෙන”

“දැන් දෙන්නම නවත්ත ගන්නවලා. දැන් අප්පච්චි එනව ඇතී”

අම්මා ආයේ ම කෑ ගැසුවා ය. ඔවුන් දෙදෙනා රණ්ඩු වෙමින් සිටියේ නංගීට මා ගෙනැවිත් දුන් ජංගම දුරකතනය බෙදා ගන්නට බැරිව බව මට දැනිණ. 

අප්පච්චි ආවේ මඳක් අඳුර වැටුණාට පසු ය. විවිධ ප්‍රසංගයක් සඳහා සූදානම් වන බැවින් පාසල තුළ වැඩ වැඩි වී තිබිණ. අම්මා කෑම මේසයට යවා දෙතුන් වරක් කතා කළත් අප සිටියේ අපේ ලෝක වල වන්නට ඇත. 

“හරි වැඩක් තමයි… මේගොල්ලො මේ ෆෝන් එකකට මූණ ඔබා ගත්තහම කතා කළත් ඇහෙන්නෙ නෑ”

අප කෑම මේසයට පැමිණෙත්දී අම්මා ඒ නෝක්කාඩුව කීවේ අප්පච්චිව ඇසෙන්නට විය යුතු ම ය කියා මට සිතිණ.

“අනිත් දෙන්නා ඉගෙන ගෙන ඉවරයි කියමුකො. මේ පොඩි හාදයත් දැන් ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්නෙ ඕක බලා ගෙන”

“ගේම් ගහන්න ඔය”

“කාලෙ කාල දාන වැඩ”

“දූලයි අම්මේ…ඔය ස්මාට් ෆෝන් එකක් නිසා මිනිස්සුන්ට තමන්වම අහිමි වීගෙන යනව කියලයි මට හිතෙන්නෙ. බලන්නකො…දැන් මේ අපේ අය වුණත් කතා කර කර ඉන්න සාලෙට එනවද…එනවනං ඒ කරන්ට් ගිය වෙලාවට. මේ ෆෝන් එකක් නිසා මිනිස්සු රටේ ලෝකෙ මිනිස්සුන්ට හරී ලං වෙලා තමයි. ඇඟිලි තුඩක දුරනෙ…හැබැයි ගෙදර ඉන්න මිනිස්සුන්ගෙන් ගව් ගාණක් ඈත් වෙලා…”

ඒ කතාව ඉතා තදින් මගේ පපුවට දැනුණේ ය. සැබවින් මා වුව ඉස්සර සේ නිදහස් වෙලාවට අම්මා අප්පච්චි සමගින් කතා බහ කරමින් සිටින්නේ නැත. ඒ වෙලාවට ජංගම දුරකථනයේ තිරයට මූණ ඔබා ගෙන සිටිමි. ඔවුන් ට තනි කමක් දැනෙනවා විය නො හැකි ද? අප්පච්චි නම් දවස පුරා පාසලේ වැඩ කටයුතු සමගින් කාර්ය බහුල ය. අප වෙනුවෙන් සිය ගුරු දිවිය කැප කොට ගෙදරට වූ අම්මා ට, අප වැඩිහිටි වෙත්දී හා ඇගේ තුරුලෙන් මිදී අපේ ලෝක වල හුදෙකලා වෙත්දී ඒ තනි කම වඩාත් දැනෙනවා ඇත. මින් මතුවට එසේ නොකරන්නෙමැයි මම සිතින් සිතා ගතිමි.

පසු දා ට යෙදී තිබුණේ දිසානායක මහතා සිය සේවයෙන් සමු ගැනීමේ දිනයයි. ඔහු වූ කලී මිස්ට් ෆීල්ඩ් හි පැරණි ම සේවකයෙකි. ඒ නිසා ඔහු ට සමු දීම සඳහා විශේෂ හමුවක් කැඳවිණි. එය පැවතියේ උද්‍යානයේ විශාල නිදහස් අවකාශයක තණ පලසේ ය. උද්‍යාන පුටු කිහිපයක් හා කුඩා මේසයක් ඉදිරියේ තබා තිබූ අතර එහි මුණිවර හා දිසානායක මහතා ද ගිණුම් අංශය භාර ප්‍රධානියා ද අසුන් ගෙන සිටි අතර මම ගිණුම් අංශයේ මට හිතවත් තරුණ තරුණියන් අතරේ ම සිටගතිමි. ඔවුන් සිටියේ පැත්තකට වන්නට ය. මේසයට ඉදිරියෙන් විශාල කම්කරු පිරිසක් සිට ගෙන සිටියහ. 

“මිස් මන්දාකිණී ඇවිත් මෙතනිං ඇවිත් ඉඳගන්න”

දිසානායක මහතා මදෙස බලා කීවේ ය. 

“කමක් නෑ මිස්ට දිසානායක. මං මෙහෙම ඉන්නං”

මම වහා ඒ ආරාධනය ප්‍රතික්ෂේප කළෙමි. මේ තරම් සේවක පිරිසක් සිට ගෙන සිටියදී නෝනා කෙනෙකු සේ ඉදිරියෙහි අසුන් ගන්නට මට සිතුණේ නැත. ඔවුන් සියලු දෙනා ම මට වැඩිය මිස්ට් ෆීල්ඩ් වලට පැරණි අය ය. ඊටත් වඩා මෙතනට වඩා හොඳින් මුණිවර ව පෙනේ. ඔහු අද වඩාත් කඩවසම් ය. සම්පූර්ණ ඇඳුම් කට්ටලයෙන් සැරසී ගෙන සිටියේ ය. 

මා දිසානායක මහතා ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළ ගමන් මුණිවර මදෙසට දෙළුවේ මා දවා හළු කරනා  විදිහේ බැල්මකි. මට එහෙම ම බිම බැලිණ.

“මන්දි යන්න එතනට”

ගිනුම් අංශයේ කෙල්ලක එසේ මිමිණුවේ මුණිවර ගේ බැල්ම දුටු නිසා ද කියන්නට මම නො දනිමි. කෙසේ වෙතත් මට සිහි වූයේ එදා ඔහු ගේ ගෝරනාඩුවයි. එය මේ මහ සෙනඟ අතරේ සිදු වූවොත් ආයේ මෙහි නෑවිත් ඉන්නා එක හොඳ ය. 

ඒ නිසා මම එහි ගොස් අසුන් ගතිමි. මට හිමි වූයේ කෙලවර අසුන ය. දිසානායක මහතා ට යාබද අසුන ය. ඒ අසුන් හතර අඩ කවයක් සේ තබා තිබුණෙන් මට ඔහු පහසුවෙන් දැක ගත හැකි විය. 

මගේ හදවත හදිසියේ බෝම්බ ප්‍රහාරයකට ලක් වූවා සේ ගැස්සී ගියේ මේසය මත තබා ගෙන උන් ඔහු ගේ දෑත් යුග දුටු විට ය. ඒ සුදු කමිස අත් වල රැඳී තිබුණේ මා තිළිණ කළ කෆ්ලින්ක්ස් යුවලයි. මම හිස හරවා ඒ දම් පාට ටයි පටිය දෙස බැලුවෙමි. ඒ ටයි පින් එක දුටු විට මගේ මුවෙහි මඳහසක් පිබිදෙන්නට ඇත. 

මට හරියට ම පැහැදිලි නැති එක මොහොතක මම ඔහු ගේ ඇස් දුටුවෙමි. මා ඒ වෙලාවේ කෙතරම් කලබල වූයේ ද යත් කඩිනමින් ඉවත බලන්නට ගොස් සියල්ල අවුල් කොට ගතිමි. මුණිවර ඒ දුටු වග ට සැක නැත. කෙසේ නමුත් අර මඳහස කිසි සේත් මගේ මුව අතැර ගියේ නැත. 

ඊළඟට කෙරුණේ කතා බහ කිහිපයකි. මුණිවර සේ ම ගිණුම් අංශ ප්‍රධානියා ද දිසානායක මහතා ගෙන් සිදු වූ සේවය ගැන කතා කළහ. ඊළඟට දිසානායක මහතා ගේ වාරය පැමිණි අතර සාමාන්‍ය ස්තූති කිරීම් වලින් පසු ඔහු එළඹියේ මා ගැන කතාවට ය. මා ඉතා දක්ෂ තරුණියක බවත්, ඔහු ගෙන් සිදු වූ සේවය ඊටත් වඩා කඩිනම් ලෙස මා ඉටු කරනු ඇති බවත්, මිස්ට් ෆීල්ඩ් වෙත ලැබුණ මැණිකක් සේ මා ගැන සලකන බවත් සිය කතාවේ දී කීවේ ය. කම්කරු පිරිස අත්පොලසන් දෙමින් මා වෙනුවෙන් සතුට පළ කළ අතර ඒ වෙලාවේ මගේ ඇස් කඳුළු බර වී ඇති සෙයක් මට දැනිණ. 

ඒ දවස හදවත බර කළ එකකි. මාසයකට මඳක් වැඩි කාලයක් පමණක් ඇසුරු කොට තිබුණේ වී ද දිසානායක මහතා සමු ගත්දී මගේ ඇසින් කඳුළක් වැටෙනා එක නවතා ගන්නට මට හැකි වූයේ නැත. ඔහු නික්ම ගිය පසු ටික වෙලාවක් මේසය මත නිකට තබා ගෙන දොම්නස සමග හුදෙකලා වී සිටි මා නැගී සිටියේ අද දවසේ ක්ෂේත්‍රය තුළ ගොස් බලන්නට බැරි වූ බව සිහි වීමෙනි. නමුත් මුණිවර මට හිස සලා කතා කළේ ය. මම ඉක්මන් කොට ඔහු ගේ කුටිය වෙත ගියෙමි.

“මන්දාකිණී ඉඳගන්න”

හෙතෙම තරමක් ආඩම්බර හඬකින් කීවේ ය. මම ඇස් බිමට හරවා ගෙන කෆ්ලින්ක්ස් දෙස ම බලා ගෙන සිටියෙමි. ඔහු ඒවා ට වටිනාකමක් දී තිබේ. ඒ කියන්නේ ඔහු මට වටිනාකමක් දුන් බව නොවේ ද? මුණිවර වාගේ කෙනෙකුට මේ වාගේ තිළිණයක් යනු මහ දෙයක් නොවේ. ඕනේ නම් ඔහු ට එය විසි කොට දමන්නට තිබිණි. නමුත් එසේ නො කොට අද වාගේ විශේෂ දිනක ම ඔහු ඒවා පැළඳ විත් තිබේ. 

ඒ හැඟීම තවත් හදවත බර කරන්නකි. 

මුණිවර සිය අසුන වඩාත් මේසය වෙතට සමීප කොට අත් දෙක මේසය මත එකිනෙක බැඳ ගත්තේ ය. ඔහු ගේ සුවඳින් පපුව පිරෙනවා මට දැනිණ. නමුත් පෙර දා හවස ගුරුතලාවේ දී ඔහු ත් එක්ක එකට එක කියූ මුඛරි කෙල්ල මේ වෙලාවේ පේන මානයක සිටියේ නැත.

“අම්…”

ඔහු කතාවකට රැල් බුරුල් හැරියේ ය.

“මේක ලොකුවට හිතන්නෙපා. ඔයා අවුලක් නැතුව වැඩ ටික කරං යයි. පොඩි පොඩි මිස්ටේක්ස් වුණත් අපි හෙමිහිට ඒව හදා ගමු. ඕකේ…”

මම හෙමිහිට ඔහු ගේ මුහුණ දෙස බැලුවෙමි. නමුත් මට කිසිත් සිතුණේ නැත. ඒ මොහොතේ මා හැඟීම් අතින් අයිස් සේ මිදුණ කෙල්ලක වී සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles