විහඟ පියාපත් 33

0
4257

බන්ධනා ගේ එල්ලීම් වලින් මිදීමට ලැබීම සැහැල්ලුවක් වුවද, රූගත කිරීම් අවසාන වෙමින් පැවතීම  නිසා හිතට යම් කණස්සල්ලක් දැනෙමින් තිබුණි.  අකලංක ලෙසින් , ඇයව සමීපව නොදන්නා වග පෙන්වමින් හෝ ඇය අසල දැවටෙන්නට ඉඩ ලැබීමේ ප්‍රහර්ශණීය හැඟීමේ මඟ හැරීම  ඔහුට දැනෙන්නට පටන් ගෙන තිබුණි. 

ඉතිරි විකල්පය වඩා තීව්‍ර ලෙසින් භාවිතා කරන්නට අකලංක තීරණය කලේ දවස තිස්සේම කාමරය තුල එහෙට මෙහෙට ඇවිදිමින් සිට අවසානයේය. 

අමයුරු දිසානායක  ලෙසින් පසුගිය සති දෙක තුනේම ඇය හා දොඬමලු වූයේ අතිශය සාමාන්‍ය කාරණා වුවද, තිළිණි ගේ ගැටලුව විසඳා ගන්නට අකලංක වෙතින් නොව අමයුරු වෙතින් උපදෙස් පැතීම තුළ අමයුරු සහ ශයිනි අතර වූ සබඳතාවය වඩා තහවුරු ව තිබුණි.

 අකලංක ඇය හා යම් දුරස්ථ බවක් නඩත්තු කරමින් උන්නේ, අකලංක ලෙසින් ඇයට සමීප වන්නට යම් ඉඩක් ලැබේවිදැයි කල්පනාවෙනි.  

ඒහෙත්, අකලංක ට එයට ඉඩක් නොලැබුන නිසා දැන් කල යුතු වන්නේ අමයුරු ව ජීවත් කිරීමය. 

ඇය අහිමි කර නොගන්නට අකලංක නොහොත් අමයුරු දිසානායක තීරණය කර අවසන් ය. 

ශයිනි සිටියේ තිළිණි පිළිබඳව කල්පනා කරමිනි. සති තුනක් ඇතුලත ඇයගේ ජීවිතය තුළ මහා අහිමිවීමක් සිදුව ගියේය. ඕ ඉන් බින්දුවටම ඇද වැටුණාය. ඉන් පසුව ඉතා ඉක්මනින් කිසිවක් සිදු නොවනවා ලෙසද සිටින්නේය. ඇයට පැවරෙන්නට නියමිත සියළු  දේ පැවරීමකින් තොරවම ඉටු කරමින්ද ඉන්නේය. 

එහෙත්, ඕ ගත කරන්නේ අතිශය ගුප්ත ජීවිතයකි. කිසිවකු සමඟ කිසිවක් බෙදා ගන්නට උත්සාහ කරන්නේ හෝ නැති වග සියල්ලන්ම පවසති. ජංගම දුරකථනය ඇත්තේම ක්‍රියා විරහිතවය. සති දෙකක වෙලේ පටන් ඇය හා එක් කාමරය බෙදා ගන්නට තමා ඉදිරිපත් වීම ඇය ඉවසා උන්නද, ඒ සිටින පැය කිහිපය පවා ගත කරන්නේ ගොලු වූ අයෙකු ලෙසිනි. 

මැසෙන්ජරයේ හඬින් ශයිනිගේ කල්පනාව බිඳුණි 

“හොඳින්ද ?…”

තිළිණි ගේ නින්දට බාධාවක් නොවන්නට ශයිනි ජංගම දුරකථන ගෙන බැල්කනියට ගියාය. 

“නැහැ…”

ඇය පෙරළා පිළිතුරු යැව්වාය. අකලංක යහනේ අනෙක් පසට පෙරලුණේය 

“කුස පිරිලාද ?”

“කන්න හිතක් නැහැ…..”

“ප්‍රශ්න විසඳගන්න විදිය ඔහොම නෙවෙයි …”

අමයුරු  දිගින් දිගටම කීවේය.  ශයිනි සිතෙහි වූ කලබලය ඔහුට දැනෙන්නට හැරියාය. 

“තිලිණිට ටිකක් ඉඩ දෙන්න.. සමහරවිට එයා හිත හදාගෙන වෙන්නත් පුළුවන් … අපි එයාව කවුන්සලින් දාමූ…”

“එයා කියන්නේ කවුන්සලින් ඕනි නැහැ කියලා …”

“එහෙනම් එයාව විශ්වාස කරලා ඉන්නකෝ ඔයා… තේරුනාද ?..”

ශයිනි එකඟ වූවාය. තිළිණි තමා සිතනවාට වඩා ශක්තිමත් වනවා ද විය හැක. එවිට ඇයට මේ සියල්ල වටහාගෙන යලි හිස ඔසවා ගැනීම මෙතරම් පහසු වන්නටද ඇත. 

ඉන් පසුව අමයුරු හෝටලයේ වෙනස්කම් පිළිබඳව ශයිනිගේ අදහස් විමසුවේය. ශයිනි ඉන් උද්‍යෝගීමත්ව ඔහු හා විස්තර පවසන්නට සූදානම් වූවාය. මැදියම් රැය වනතුරුම ඇය සිටින්නේ බැල්කනියේ යන වගවත්, නින්ද පවා අහිමි කරගෙන මේ දොඬමළු වන්නේ නන්නාදුනන අහම්බකාරයෙකු සමඟ බවත් ඇයට අමතකය. 

ඇතැම්විට මෙය ප්‍රේමය වන්නට ඇත.  ශයිනි එහෙව් ප්‍රේමයක වගක් හෝ සිතන්නටවත් සූදානමක් නැතැයි කියා නම් පවසන්නට නොහැක. 

එහෙත්, අමයුරු දිසානායකව සන්තක කරගන්නට රිසි හැඟීමක් නම් ඇය තුළ පිළිසිඳගෙන අවසන් වග නම් ඔබ වටහා ගත යුතුය.

ශයිනි නින්දට පිවිසියේ සැහැල්ලුවෙනි.

ඒ නිසාම ඉන් පසු සතිය පුරාම ඕ  ඒ සැහැල්ලුව  සමඟම වැඩ කටයුතු කලාය. තිළිණි ව පමණට වඩා විමසන්නට යෑමෙන් වැලකුණාය. ඒ වෙනුවට තිළිණි ට ඉඩ දී බලා උන්නාය.

අමයුරු සමඟ දිනපතා දොඬමලු වීමද අඩුවක් වූයෙ නැත. දිනය බෙදා ගැනීමෙන් ඔබ්බට යමින්, අනාගතය සැලසුම් කිරීමද ඔහු සමඟම සිදු කරන්නට ශයිනි උත්සාහ කරමින් උන්නාය

කොහොමටත් ශයිනි සමඟින් වන අනාගතය පිළිබඳව සිහින තිබු අකලංක, ඒ සිහින වල සේයාවන් අමයුරු මතින් ඇය මතට වැටෙන්නට හැරියේය.  

චරිත් පිළිබඳව කිසිවක් දැනගන්නට ඉඩක් තිබුණේ නැත. ශයිනි කිසිවක් සෙව්වේද නැත. එහෙත් ඕ විටින් විට අමයුරු ට යැවූ කෙටි පණිවිඩ වල, චරිත් පිළිබඳව සිතෙහි වන තිගැස්ම සටහන් කර යවන්නට ඇය අමතක කලේ නැත. අමයුරු ඒ ඒ වෙලාවලදී ඇයට ලබා දෙන විසඳුම් කෙරෙහි ඇය අවධානය යොමු කලාය.

ඉන් නිවුණාය.

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here