තවමත් නමක් නො තැබූ බිළිඳිය නිදි කොට කොට් එකෙහි තැබූ ආදියා, නෙට් එක දමා මඳ වෙලාවක් ඇදෙස බලා හිඳ කාමරයට ගියා ය. යන ගමන් ඈ ජිනාදරී ට හා සාරධා ට ඇසෙන සේ “බබා කොට් එකේ නිදි. ඇහැරුණොත් බලන්න” කියා කීවා ය. වෙනදාට බිළිඳිය ගේ කෙඳිරිලි හඬක් වුව ඇසුණොත් මීටර සියය දුවනවා සේ දිවැවිත් අනිත් අයට පෙර ඇයට ළඟා වෙන ආදියා ගේ ඒ කතාව ජිනාදරී තුළ කුතුහලයක බීජ වපුරනා ලදී. නමුත් ඕ තොමෝ වදනකුදු නො බිනුවා ය.
ආදියා කාමරයේ ජනෙල් පියන් විවර කළා ය. නැවුම් වීමක අවශ්‍යතාව ඇයට දැනෙමින් තිබේ. මල්ෂා ගේ වදන් තවමත් හිත තුළ හොල්මන් කරයි. හැන්දෑවේ ඇය ඇවිත් ගියේ සැලකිය යුතු බලපෑමක් ආදියා තුළ ඇති කොට තබා ය. ඇය නික්ම ගියාට පසුත් යළි යළි හිතන්නට දේවල් ඈ කී කතාවල වේ. ඒ වෙලාවේ නිකං ම වචන සේ ඇසුණු යම් යම් කාරණා වල බරපතලකම ද දැනෙන්නේ පමා වී ය.
සිහිල් සුළඟක් කාමරය තුළට පැමිණෙයි. ආදියා ජනේලයේ යකඩ ග්‍රිල් මත මුහුණ තියාගෙන මල් සුවඳ ආඝ්‍රාණය කළා ය. මල්ෂා ගේ දීර්ඝ වූ දේශනය ඇගේ මනසෙහි පිළිරැව් නැගේ. ඇය සැබෑ මිතුරියක ලෙස කවදත් ආදියා පිළිගත්තා ය. මේ වෙලාවේත් ඇය පෙනී සිටියේ ඒ මිත්‍රත්වය වෙනුවෙන් ම බව අමුතුවෙන් කිව යුතු නැත.
“බලනව ඔයාගෙ හැටි. ළමයි දෙතුන් දෙනෙක් ළඟ ළඟ හම්බ වෙලා ඒ ළමයි එක්කම ඔට්ටු වෙන්න වුණ අම්ම කෙනෙක් වගේ ඇදිල ගිහිං. කෝ ඔයාගෙ ඇස් වල තිබුණ දිස්නෙ… කෝ ඔයාගෙ කලින් තිබුණ පෙනුම… චූ ගඳ ඇඳුමක් ඇඳං… කොණ්ඩෙ පීරල නෑ ඔහේ මුරිච්චියක් බැඳං… මූණෙ තියෙන්නෙ දඟකාර කෙල්ලෙක්ගෙ පෙනුම නෙවෙයි. ළමයි බමයි ඉන්න අම්ම කෙනෙක්ගෙ වගකීම. ඔයා ඔළුව උඩ බරක් පටෝගෙන ඉන්නෙ ආදියා. ඕක අනවශ්‍ය බරක්. අපි කොයිතරං අනුංගෙ දේවල් අපේ වගේ ඔළුව උඩ පටවං හිටියත් ඒව අනුංගෙම තමයි. දවසක ඒව අනුංගෙමයි කියල අපිට රිදෙන්නම තේරුං යන දවසක් එනව. අන්න එදාට රිද්දගෙන හිතෙං කඩං වැටෙනවට වැඩිය හොඳ නැද්ද අනුංගෙ දේවල් අනුංගෙමයි කියන එක තේරුං අරගෙන තමන්ගෙ පාඩුවෙ හිටියහම…”
“මල් ඒ බබා මගෙ අක්කගෙ…”
“මං තාම කතා කරල ඉවර නෑ ආදි. ඒක තමයි බබා අක්කගෙ. ඔයාගෙ නෙවෙයි. මේ ලෝකෙම දරුවො ඔක්කොම අපේ තමයි. අපි ඒගොල්ලොංව ආරක්ෂා කරන්න ඕනෙ රැකවරණෙ දෙන්න ඕනෙ තමයි. හැබැයි ඒ කොයි දේත් කෙරෙන පිළිවෙළක් තියනව. ලිමිට් එක පනින්නෙපා ආදි. ලිමිට් එක පනින්න ගියාම අපි කවුරුත් මානසික ලෙඩ්ඩු වෙනව. ඔයාගෙ අක්කට වුණෙත් ඒකනෙ. අක්කටනං එයාගෙ ප්‍රශ්න නිසා කිව්වැකි. ඒත් ඔයා…ඔයා ජොබ් එකට එන්නෑ. කොච්චර වටින ජොබ් එකක්ද… ඒක නැති වෙලා ගියොත් එහෙම… ආදි ඔයා දවසක දෙව්රම්ව බැඳල එයා කෝටිපතියෙක් වුණත්… බින්දු පහකට චුට්ටක් අඩු සැලරි එකක් තියන ඔයාගෙ ජොබ් එක පරිස්සං කරගන්න ඕන කියල හිතන්න. ඒක ඔයාට අභිමානයක්. ඔයාට හයියක්. බබාල හම්බුණ අම්මලත් මැටර්නිටි ලීව් ඉවර වුණ ගමන් ජොබ් එකට යනව එ්ක රැකගන්න ඕන නිසා. ඔයා මොකද්ද මේ කරන විහිළුව… අක්කගෙ බබා නිසා ජොබ් එක නැති කරගන්න යනව. ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ ආදි. ඔයාට ආදරේ නිසයි කියන්නෙ”
මල්ෂා එක දිගට කියවාගෙන ගිහින් මඳක් නතර වූයේ හති අරින්නට මෙනි. නමුත් ඇගේ කතාව අවසාන වී නැති බව ඒ ඇස් කියා පෑවේ ය.
“බලනව දෙව්රම් දිහා. ඩිවෝස් වුණ එකෙක් තමයි. ඒත් ඔය දෙන්න අතරෙ අෆෙයා එකක් ඇති වුණානෙ. ඒ කොල්ලත් අවුලෙන් වගෙයි ඉන්නෙ. ඔයා මේ අනුංගෙ ළමයෙක් බදාගෙන ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම අත්ඇරෙන්න අරිනවද… දෙව්රම්ට වුණත් මේක එපාවෙලා වෙන කෙල්ලෙක්ට ලං වෙන්න හිතෙන එකක් නැද්ද… ඒ මිනිහ ආවෙ ඔයාගෙං ආදරයක් බලාපොරොත්තුවෙන්. ඉනෆ් ඉස් ඉනෆ් ආදියා. දිසීස් ටූ මච්. අපි කරන්නෝනෙ අක්කව පුළුවන් තරං ඉක්මනට නෝමල් කරන්න බලන එක. එයාගෙ ළමයව එයාට ලං කරන එක. එයාව ළමයට ලං කරන එක. ඔයා මෙහෙම ඒ ළමයට බැඳිල… අන්තිමට ළමයත් ඔයාට බැඳෙයි ගැලවෙන්න බැරි තරමට. අක්ක සනීප වුණාට පස්සෙ ඔයා ළමයව දෙන්න බෑ කියන්නද… ඊලඟට අලුත් ප්‍රශ්න ටිකක් හැදිල තියෙයි. අර හිරේ ගිය මිනිහ ඇවිත් මෙතන මිණී මරාගන්න වැඩ සිද්ධ කරගන්නෙපා. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ එහෙමම කඩල අයින් කරගන්නව. ඔයාට ළමයි හදාගන්න පුළුවන්. ඊට කලින් අර කොල්ලව ඉග්නෝ කරනෙක නතර කරල ඔය දෙන්නගෙ ජීවිතේ අලුතෙන් පටන් ගන්නෙක ගැන හිතන්න. බලනව ඒ අම්මල. කොච්චර හොඳ මිනිස්සුද ඔයා නැති කරගන්න හදන්නෙ. ඉස්සෙල්ල තමන් ගැන හිතන්න ආදියා. මේ වෙලාවෙ ඔයා කරන්නෝනෙ ළමයට අම්ම වෙන එක නෙවෙයි. හැමදේම බැලන්ස් කරගෙන අක්කව සනීප කරගන්න මහන්සි වෙන එක”
මල්ෂා කතා කළේ තරමක ආවේගයකිනි. ඒ ආවේගය ඇති වන්නේ තමන්ගේකම නිසා බව තේරුං ගන්නට ආදියා ට බැරි නැත. ඇය කියා ගිය දේවල් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිහි කරමින් ආදියා ඒ යථාව වටහා ගන්නට වූවා ය.
සුසුමක් හෙළා යහනට ගිය ඕ, බොත්තම් දුරකතනයෙන් දෙව්රම් ගේ දුරකතනය අංකනය කළා ය. ඒ හැඬවෙත්දී ඔහු සිටියේ කාමරයේ සක්මන් කරමින් කල්පනාවකයි. නතර වී යහන මත වූ දුරකතනය දෙස බැලු ඔහු ගේ මුහුණ හරහා හමා ගිය හැඟුමන් රැල්ල ඔහුට ම වුව විශ්ලේෂණය කරගත නො හැක්කකි. දෙතොල් මඳහසකට අරෑඳුවේ ය.
‘හැපී පිල්’
මේ ඒ නමින් ඇමතුමක් එන්නේ සැලකිය යුතු කාලයකට පසුයි. දෙව්රම් වහා දුරකතනය සවනට ගනිමින් “හෙලෝ” කීවේ ය. නමුත් එහා ඉම නිශ්ශබ්ධ ය. නැවතත් වරක් ඔහු කලබලයෙන් “හෙලෝ” කීවේ ය. නමුත් පිළිතුරක් නැත. ඉනික්බිති කිහිප විටක් ඔහු ඉතා කලබලයට පත්ව ඇගෙන් වචනයක් ඇසෙනා තුරු “හෙලෝ” කීවේ ය. ඒත් ඇය නිහඬ ය. හදවතින් සුසුමක් අත්හරිමින් ඔහු යහන කොනක හිඳගත්තේ ඉන් පසුයි. ඒ කවුරුන්දැයි නො දන්නා අතීත දවස් වල මේ විදිහට ම ඈ ඔහු ගේ හඬ අසාගෙන නිහඬ වූ දවස් වල මතක තිගැස්ම හදිසියේ ම හිතට දැනෙන්නට විය.
“ආදියා”
අප්‍රමාණ හැඟුමන් පොදියක් ඒ තනි වචනය තුළ තිබුණාට සැක නැත. ඔවුන් අතරේ මඳ නිහැඬියාවක් පැවතිණ. කෑ ගසා හඬන්නට තරම් දුකක් ආදියාට දැනෙමින් තිබිණ.
“සො… රි…”
ඇය උගුර යටින් කොඳුරාගත්තා ය. දෙව්රම් ගේ ඇස් පිහාටු වලට තුනී තෙතමනයක් දැනෙන්නට ගති.
“මං පාළුවෙං හිටියෙ ආදියා”
දෙව්රම් ඒ වචන හතර උගුරෙන් එළියට ඇදගත්තේ අසීරුවෙනි.
“සොරි… සොරි… අයිම් සෝ සොරි”
“බබා නිදිද…”
“හ්ම්. ඔයා හොඳින් නේද… කෑවද… දොයියන්ද හිටියෙ…”
දෙව්රම්ගෙන් සුසුමක් ගිළිහිණ.
“කන්න බොන්න වුණත් මිනිහෙක්ගෙ හිත සැහැල්ලුවෙන් තියෙන්න ඕන ආදියා. සතුටක් නැතත් හිතේ සාමයක් තියෙන්න ඕන. ඒක බිඳුණහම හැමදේම ඇබ්නෝමල් වෙන්න ගන්නව”
“මට තේරෙනව. එ්කයි මං සොරි කිව්වෙ. හෙට ඉඳං මං ඔෆිස් එනව”
“මං එන්නද පික් කරන්න…”
“ම්හු. එපා. ඊට වැඩිය මං කැමතියි කලින් ඔෆිස් එකට ගිහින් ඇස් රිදෙනකල් ඔයා එයිද එයිද කියල බලං ඉන්න”
දෙව්රම් සිය නිකට මැදි වන සේ අතැඟිලි වලින් දෙකොපුල් තද කොට අල්වාගත්තේ ය.
ඒ රාත්‍රිය නො ඉවසිලිමත් ය. ආදියා උදයෙන් ම දිය නෑවා ය. පහුගිය දින වල ඈ ළඟ ම ඇයට දැනෙමින් තිබි බබාගේ මුත්‍රා වල ගන්ධය සියොලඟ දැවටී ඇතැයි සිතුණෙන් බෝ වෙලා සබන් පෙන නංවාගෙන සිටියා ය.
රැකියාවට යන්නට සූදානම් වෙත්දී දැනුණේ අලුත් ජීවිතයක් පටන් ගන්නට සූදානම් වන්නා සේ ය. ටික දවසක් සිය දින චර්යාව වෙනස් කරගෙන සිටි ජිනාදරී, සියලු කටයුතු අතරේ දුවමින් ආදියාට බත් කැව්වා ය.
“ඇති යාන්තං ඔයාට ඔෆිස් යන්න හිතුණා. අක්කයි බබයි ගැන බලන්න අපි ඉන්නවනෙ. ඔයා ඔයාගෙ වැඩ වෙනද වගේ කරගන්නකො. දෙයියංගෙ පිහිටෙන් අක්ක ටික ටික සාමාන්‍ය අතට හැරෙයි”
ආදියා සූදානම් වත්දී සිත්මි ඈ ළඟ දැවටී සිටියා ය. සුවඳ විලවුන් බිඳක් ඇයට ද ගල්වා ගැනීමට ඕනා විය.
“දැන් ඔයා ලොකු අක්කෙක්නෙ. නංගිව බලාගන්න ඕනෙ හොඳේ. ආච්චා ළඟපාතක නැත්තං නංගි ගැන බලාගෙන ඉඳල ටක්ගාල ආච්චාට කතාකරන්න හොඳේ”
ආදියා සිත්මි ව දැනුවත් කළා ය.
“මං බලාගන්නව. නංගිව අම්මට විසිකරන්න දෙන්නෑ මං”
ආදියා හා ජිනාදරී මුහුණෙන් මුහුණ බලාගත්තා මිස කිසිත් කියන්නට ගියේ නැත.
ලෝකය කොයි තරම් ලස්සන දැයි ආදියා ට දැනුණේ පුරුදු ලෙස තනිව මගට බහිත්දී ය. බස් වල හිර වී ගියත්, ගෙදර නීරස ලෙස ගෙවනා දවසකට වැඩිය සමාජයත් සමගින් මුහු වෙන දවසක් අගනේ ය. බලාපොරොත්තු සහගත ය. හිර වුණ බස් රථ තුළ උදේට විවිධ විලවුන් සුවඳ හමයි. ඇඟේ හැපීම්, තෙරපීම් ගැන චෝදනා වුව සිහි වූ විට සිනහ උපදවන සුළු ය. ආදියා ගෙන් බස් වල දී වැලමිට පහර කෑ පිරිමින් ගණන ඇයට සිහි කරගත නො හැකි තරමි.
ඇය කාර්යාල පරිශ්‍රයට පැමිණියේ බසයෙන් බසිත්දී ඇඳුම් පොඩි කරගෙන වී ද මලක් සේ සිනහවකින් පිපීගෙනයි.
“ඇති යාන්තං. අපි හිතුව ඔය සීට් එකට වෙන කෙනෙක් එයි ඉක්මනට කියල”
කවුදෝ විහිළුවක් කළහ.
“ඒව කොහෙද මං ඉන්නකල්”
ආදියා විහිළුවකින් ම පිළිතුරු දුන්නා ය. දෙව්රම් කලින් ම කාර්යාලයට පැමිණියේ ය. ලස්සන කහපාට කමිසයක් හැඳ සිටි ඔහු සඳ මඬල සේ දිස් විය. ආදියා ඇස් පිය නො හෙලා කැබින් එක වෙතට යන ඉක්මන් ගමන දෙස බලා සිටියා ය. ඔහු ඇදෙස යන්තම් හෝ බැලුවේ නැත. ආදියා ඉක්මනින් ම ෆයිල් එකක් ද උස්සාගෙන කියුබිකල් එකට රිංගා ගත්තා ය.
“යස්…”
දෙව්රම් ආඩම්බර පෙන්වූයේ ය. ආදියා අනවසරයෙන් ම අසුන්ගත වූවා ය.
“එහෙම බලන්නැතුව යන්න ඔට්ටු නෑ හරිද…”
නිරායාස සිනහවක් දෙව්රම් ගේ දෙතොලතර උපන.
“අපිව දැක්කෙත් නෑනෙ ගිය සති දෙක තුනේ”
“හරි ඉතිං දැං ඒව ඔට්ටු නෑ. අපි ඒව දන්නෙත් නෑ අපිට ඒව මතකත් නෑ”
අසුනේ හරි බරි ගැහී දෙව්රම් ඈ දෙස ම බලාගත්තේ ය. ඔහු ගේ දෑස් අරුණෝදය සේ ය. ඇයට ඒ නෙතු කැල්ම දරාගත නො හැකි තරම් විය.
“මට හිතාගන්න බැරි වුණා… මගෙ කෙල්ලට මොනා වුණාද කියල”
“මං හිතල මුකුත් කළේ නෑ. හැබැයි සමහර එහෙම මොහොතවල් ජීවිත වලට එන්න පුළුවන් කියල දැන් මට තේරෙනව. ඒ වෙලාවට කියල දීල අහන්නැත්තං කනට ගහල හරි ට්‍රැක් එකට ගන්න පුළුවං යාළුවො අපිට ඉන්න ඕනෙ. ඒ වගේම… මොන ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න වලට වැඩිය ලොකු… ඊට වැඩිය බරට දැනෙන… ඒ ප්‍රශ්න අතෑරල එක මොහොතකට හරි තුරුල් වෙන්න පුළුවන් ආදරයක් අපි කාටත් තියෙන්න ඕනෙ. නැතිවෙයි කියල බය හිතෙන ආදරයක්… දාල යන්න අත්ඇරගන්න බැරි ආදරයක්… මට එහෙම කෙනෙක් ඔයා”
“ඒ කියන්නෙ… ඒ බබාට වැඩිය මට ආදරෙයිද…”
දෙව්රම් ගේ ඇස් මත වූයේ අවිනිශ්චිත බවකි. ඔහු ගේ ඒ නොදරු බැල්ම ඉදිරියේ ආදියා සරල ලෙස හිනැහුණා ය.
“මොනාද අනේ කියන්නෙ… ඒ දෙක දෙවිදිහක්”
“ඔයාට ඕනමනං… අපි ඒ බබාව හදාගමු. මගෙ අකමැත්තක් නෑ. මට ඕනෙ ඔයා සතුටින් ඉන්න ජීවිතයක්. ඔයා සතුටෙන් ඉන්න තැනක මට සතුටෙන් ඉන්න පුළුවං වෙයි”
ආදියා ඔහු දෙස බැලූයේ තිගැස්සීගෙනයි. ගැහැනියක ජීවිත කාලය පුරා ම හදවතින් පතන්නේ එහෙව් පිරිමියෙකි. එහෙම ආදරයකි. යන්තමින් ඇගේ හිස දෙපසට සැළිණ.
“මටත් හිතිල තිබුණ එහෙම. ඔයා එහෙම කරන්න අකමැතිනං මං බබා හදං ඉන්නව කියලත් හිතිල තිබුණ. ඒත්… ඒ බබා අක්කගෙ. ඒ දෙන්න ආදරෙන් ඉන්නයි ඕනෙ. දවසක මං පණටත් වැඩිය ආදරේ කරන බබෙක් අපිට ලැබෙයි. අපේ බබෙක්…”
ඇගේ දෑස් මේසය මත ඇතිරූ වීදුරු තලාව මත පතිත වී තිබිණ. ඒවායෙහි තාරකාමය කාන්තියක් වූයේ ය. දෙව්රම් ඒ දෑස් වලට එබී බැලුවේ ය.
“කට්ටිය බලයි මෙච්චරවෙලා ඔයා මෙතන මොකද කියල”
“බලපුදෙං”
ඇය මුරණ්ඩු සරින් කීවා ය.
“මට ටිකක් වෙලා මෙහෙම ඉන්නෝනෙ”
“ඔයා දැං සීට් එකට යන්න”
“හරි නරකයි. හ්ම්”
“ගෙදර දුවන්න හදිස්සියක් නැත්තං හවසට චූටි ගමනක් යං”
“ගමනක්…”
“හ්ම්”
ආදියාගේ ඇස් තව තවත් කාන්තිමත් විය. ඈ දෙව්රම් වෙතින් නික්ම ගියේ අලුත් බලාපොරොත්තුවක් හදවත දරාගෙනයි.