වියෝ ගී ගැයෙනා හදේ – 41

0
3056

“තාත්ති නදීකා මිස් ඇහුවා තාත්තිට කෝල් කරන්න පුලුවන්ද කියලා” පෙත්මලී එසේ කියන අතරවාරයේ තාත්තා විසින් සකසා දුන් මැගි නූඩ්ල්ස් එක කන ගමන් බිම හාන්සි වී චිත්‍ර පොත පාට කරන ගමන් ය.  චිරත් එදා කෙල්ලව තමන්ගේ නවාතැනට එක්කරගෙන ආවේ මෙච්චර දවසක් පුරාවට එලියෙ අවන්හල් වලින් දේවල් කන්න අරගෙන දෙන්නට හේතු වෙච්ච එකේ අද මේ නිවාඩු දවසේ කෙල්ලට තමන්ගෙ අතින් රසට මොනවා හෝ සකසා දෙන්න හිතාගෙනය. 

“මං ඉතින් කොච්චර මොනව දාලා රසට හැදුවත් මෙයාට තාත්ති මොනව හරි හදල දුන්නොත් ඒක තමා ලොකු” කියා ඉස්සර ඉඳහිට දවසක නිවාඩුවක් ලැබිච්ච දවසක කුස්සිය දෙක කර රසට මොනව හෝ හැදුවාම මේධා කිව්ව විත්තිය පෙත්මලීට කන්නට ඒ නූඩ්ල්ස් එක හදද්දිත් චිරත්ට මතක් නොවුනා නොවේ.

“ආහ් ඔයා කියන්නෙ දැන් මං හදන ඒව හරි නෑ කියලද? ඇයි බබී විතරද රසට කන්නෙ? ඔයා කන්නෙ නැද්ද?” කියා කියන ගමන් එවෙලෙ චීස් පැස්ටා හදන ගමන් චීස් ගෑවිච්ච අතෙන් මේධාගේ දෙතොලේ චීස් ගෑ විත්තියත් චිරත්ට මතක් නොවුනා නොවේ.

“කනවා කනවා, කන නිසානෙ අනේ ඉතින් ඔයා කැම හදද්දි මං ඉඩ දෙන්නෙ. අඩුම සතියකට එක පාරක් හරි ඔයාට මොනවහරි හදලා දෙන්න පුලුවන් නම් මම කැමතියි. ඒ උනාට ඉතින් ඔයාට ගෙදර ඉන්න ඉඩ තියෙන්නෙත් කොච්චර කලාතුරකින් ද?” කියා මේධා එදා මූණ දුකෙන් බරකරගත් බව චිරත්ට අමතක නැත.

“මං දන්නවා සුදූ, ඔයා දන්නෙ නෑ මම කොච්චර ආසද කියල දවල් වෙනකම් පොඩ්ඩක් නිදාගෙන මොනා හරි රසට කාලා ඔයයි පොඩ්ඩයි එක්ක රවුමක් දාලා ඉන්න. ඒත් තාම මට එහෙම කරන්න ඉඩක් නෑනෙ. මං මේ උදේ දවල් රෑ වෙනසක් නැතුව මැරීගෙන වැඩ කරන්නෙ ඔයාටයි බබීටයි මේ දැන් ඉන්නවට වඩා පොඩ්ඩක් හරි සැප දෙන්න බලාගෙනනෙ කෙල්ලෙ. තව ටික කාලයක් ඉවසන්නකො. මේ ඔක්කොම සෙට්ල් උනාට පස්සෙ මම මුලු දවසම හරි ගෙදර ඉඳගෙන ඔයාට කන්න ආස දේවල් ඔක්කොම හදලා දෙන්නම්කො”  

අතීත මතකයන් හිත උඩට විත් හිත පාටවරවන්නට හේතුවෙන බව චිරත් පවා ඉගෙන ගත්තේ මේධා කුලගෙය අතහැර ආපසු තමන්ගේ ගෙදරට ගොස් විවාහය නතර කර දැමුවයින් පස්සේය. නූඩ්ලස් සැකසූ භාජන සෝදන අතරවාරයෙත් චිරත් උන්නේ වේදනාබර උනත් ඒ අතීත සිතුවිලි අතර සැරිසරමින් වේදනාකාරී සතුටක් ලබමිනි. තවදුරටත් මේධා තමන්ට අයිති නැති බවත්, ඇයව ආයේ කිසිම දවසක හමුවන්නේ නැතත් ඒ මතකයන් මතක් කිරීම පවා දැන් අහිමි උනත් තමන්ට කාලයකට පෙර හිමිව තිබූ සතුටක් නැවත වේදනාබරව මතක් කර දීමකි.  පෙත්මලී තමන් අමතා මොනවා හෝ කිව්ව බව චිරත්ට පලවෙනි වතාවේ නොඇසුනේ ඒ නිසාවෙනි. තාත්තා ඉන්නේ වෙන කල්පනාවක බව තේරුන හන්දාම පෙත්මලී ලඟටම විත් තාත්තාගේ කලිසමෙන් ඇද ආයෙ වතාවක් “තාත්ති” කියා ඇමතුවාය.

“තාත්තිට ඇහුනෙ නෑනෙ මම කතාකරනවා” කියා පෙත්මලී කියද්දී චිරත් බිමට නැවී පෙත්මලීව වඩාගත්තේය.

“අනේ මට ඇහුනෙ නෑනෙ බබී ඔයා කතාකරනවා. තාත්ති වෙන වැඩක් ගැන හිතන ගමන් උන්නෙ. මොකද්ද ඔයා කිව්වෙ?”

“නදීකා මිස් ඇහුවා තාත්තිට පුලුවන්ද කියලා මිස්ට කෝල් කරන්න” කියා පෙත්මලී කියද්දී පෙත්මලීව වඩාගෙන සාලය දිහාවට ගිය චිරත් කෙල්ලව සෙටියෙන් වාඩි කර ඊට එහා පැත්තෙන් වාඩි වෙන ගමන් පෙත්මලී මෙච්චර මෙලා පාට කරමින් උන් චිත්‍ර පොත අතට අරගෙන ඒ චිත්‍ර හරවා බැලුවේය. වෙනදා වෛවර්ණ පාටවලින් චිත්‍ර පාට කරන කෙල්ලා, වෙනදා පිලිවෙලට එක පාට ඉරක් එලියට නොයන පරිදි සැලකිල්ලෙක් චිත්‍ර ඇන්ද කෙල්ල මේ චිත්‍ර පාට කර තිබෙන්නෙ ඉතාම නොසැලකිලිමත්වය. පාට ඉරි එලියට යන පරිද්දෙන් මෙන්ම, එකමාකාරයක තද පාට වලින් ය.  ඒ ඇයි කියා අහන්නට උවමනා උනාත් ඊට කලින් පෙත්මලී කිව්ව කතාවට තමන් උත්තර දෙන්න ඕන බව චිරත්ට මතක් උනේය.

“ආ ඇයි ඒ ඔයා මොනවහරි නෝටි වැඩක් කරාද?” කියා අහද්දිත් වෙනදට ඔහොම දෙයක් ඇහුවම මූණ අඹරවමින් කට හදාගෙන හුරතල් වෙන කෙල්ල මෙදා පාර ඒ කිසිවක් නැතුව එක එල්ලේම “නෑ තාත්ති, මම නෝටි උනේ නෑ” කියා කියද්දිම මෙතන තමන්ට නොතේරෙන මොකක් හෝ දෙයක් තිබෙන බව චිරත්ට තේරී නොතේරී ගියේය.

“එහෙනම් ඇයි ටීච තාත්තිට එන්න කියලා කිව්වේ?”

“දන්නෙ නෑ තාත්ති, තාත්ති එනවද ටීචව හම්බුවෙන්න?”

“මං එනවා බබී, මම හෙට එන්නද ඔයාගෙ ටීචව හම්බුවෙන්න? ටීච කෝල් කරන්න කියල කිව්ව වෙලාවෙ මම ඉස්කෝලෙට ඇවිත් ටීචව හම්බ උනොත් ටීච තාත්තිට බනීවිද දන්නෙ නෑ නේද?” කියා චිරත් කෙල්ල දිහාවට හුරත්ල් බැල්මක් පා කරමින් අහද්දි උනත් පෙත්මලී උත්තර දුන්නෙ වෙනදා විදියට නොවන බව චිරත්ට නොතේරුනා නොවේ. මේ හැමදේටම උත්තරයක් හොයාගන්න ටික දවසක් යන බව දන්න හන්දාම තමන් පෙත්මලී දිහා මෙයට වඩා හොඳට බලාගෙන ඉන්න උවමනා බව හිත කියද්දි හෙටම දවල් වරුවේ පෙත්මලීගේ ඉස්කෝලෙට ගොස් ඇගේ ගුරුතුමිය හම්බුවෙන්න චිරත් හිතුවේය.

මේධාවිණීට කෙටි පණිවිඩයක් දමා හෙට පෙත්මලීව පාසලෙන් අරගෙන ගෙදරට ගොස් ඇරලවන රාජකාරිය තමන් කරන්නට කැමති බව පවසන්න චිරත් එදා රැයේ කටයුතු කලේය. වෙනදා නොමැති විශේෂත්වයක් හෙට ඇයි කියා විමසා මේධාවිණී ඒ පණිවිඩයට පිලීතුරක් එවා තිබුනද එයට උත්තර දෙන්න චිරත් ඇත්තටම හිතුවේ නැත. සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකුගේ ප්‍රශ්නයකට පාසලක ගුරුවරියක් කතාකරන්නෙ ඒ දියණියගේ අම්මාට උනත් මෙතනදි ගුරුවරිය තමන්ට කතා කරන්න යම් කිසි හේතුවක් තිබෙන බව චිරත්ට  නොසිතුනා නොවේ. එහෙත් එය තමන් හිතුවාටත් වඩා ලොකු ප්‍රශ්නයක් බව චිරත්ට පවා තේරුම් ගියේ පසුදා පෙත්මලීගේ පාසලට ගොස් නදීකාව හමු උන පසු ඇය විසින් කියන්නට යෙදුණ කාරණාව නිසාය.

“ඇතැම් වෙලාවට අපි හිතනවා අද කාලෙ දෙමව්පියන්ගෙ දික්කසාද වීම වගේ මාතෘකාවන් හරිම සුලබ හන්දා දරුවො ඒ වගේ දේවල්වට හොඳින් රියැක්ට් කරාවි කියල. ඒත් දෙමව්පියන්ගේ වෙන්වීම දරුවන්ට අහිතකරව බලපාන්න ලොකුවටම හේතුවෙනවා. මොකද දරුවො පොඩි කාලෙ ඉඳලා දැකලා තියෙන්නෙ ආදරය, කරුණාව පිරුණ පවුලක්. එහෙම පවුලක් වෙන්ව යාම දරුවන්ට බය, අවිනිශ්චිතබව සහ හිතට වේදනාවක් අරගෙන එන්න හේතු වෙනවා. අම්මාත් තාත්තාත් එකට ඉඳලා හදිසියේ වෙන්වෙනකොට, බොහෝ දරුවන්ට ලෝකෙම හුදකලා වෙලා දැනෙනවා.දික්කසාද වුණාට පස්සේ, බොහෝ විට දරුවන් එක් දෙමාපියෙක් එක්ක හෝ දෙපැත්තෙ මාරුවෙන් මාරුවට ඉන්න පුලුවන් කමක් තියෙනවා. මේ වගේම දික්කසාදයෙන් පස්සෙ මේ දෙමව්පියන් ආයෙම වතාවක් විවිධ සබඳතාවලට යද්දි දරුවන් ඒව දකිනවා. මේ හැම දෙයක්ම අස්සෙ දරුවන්ට “අනේ මං වෙනුවෙන් කවුරුවත් නෑ නේද?” කියන හිතෙන්න පුලුවන් සාධාරණ ඉඩක් තියෙනවා. මේක විශේෂයෙන්ම පුංචි දරුවන්ට වැඩි වශයෙන් වෙන්න පුලුවන් උනත් වැඩිමහල් දරුවන්ටත් නොවෙන්න ඉඩක් නැත්තෙ නෑ. බොහෝ දරුවන් ඔවුන්ගේ දෙමාපියන් වෙන්වීමේ හේතුව තමන් කියලා හිතනවා.සමහරු දික්කසාද වුණාට පස්සේ, දෙපැත්තටම වෛරයකින් කතා කරනවා. ඒත් දරුවො හරියට බලාපොරොත්තු වෙන දෙයක් තමයි දෙපැත්තේම ආදරය. දෙමාපියන් එකිනෙකාට වෛරය කරද්දී, ඒක දරුවන්ට පීඩනයක් වෙනවා.සමහර දෙමාපියන් දික්කසාද වුණාට පස්සේ, තමන්ගේම ජීවිතේ ගැන විතරක් හිතලා, දරුවන්ව අතහැරලා යනවා. මෙවැනි දෙයක් වෙන්න පටන් ගත්තම, දරුවන්ට හිතා ගන්නත් බැහැ. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ටම ආදරය නැතිවුණා වගේ දැනෙනවා” එදා රෑ අන්තර්ජාලය පීරමින් යූටියුබ් නරඹමින් චිරත් මුලු රැයම වෙහෙසුනේ කිරිල්ලියක මෙන් දුව පැන ඇවිදමින් උන් තමන්ගේ දරුවා මෙහෙම වෙනස් කෙනෙක් වන්නට තමන් සහ මේධා විසින් ගත් වැරදි, කලබල තීරණයක් හේතු උනා නොවෙද කියන කරුණ ගැනය.

ඒ වරද දැන් වැරදී හමාරය. ඒත් දෙමව්පියන්ගේ වැරදි මත දරුවන්ට දුක් විඳින්න ඉඩ දෙන්න ඕනද කියා හිතද්දි චිරත්ට මතක් උන එකම දේ නදීකා මිස් කිව්ව දේ ය.

“මං හිතනවා පෙත්මලීව චයිල්ඩ් කවුන්සලර් කෙනෙක් ලඟට එක්කරගෙන යන එක හොඳයි කියලා. මොකද අපිට වඩා හොඳට මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන විදිය එයාලා දන්න නිසා. තව දුරටත් අපි මේ වගේ තැනකදි සද්ද නැතුව ඉන්න එක පෙත්මලීට කරන ලොකු වරදක් කියලයි මම හිතන්නෙ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here