ජීවිතය කවියක් නොවේ – 38

0
2616

ධනංජය දින කිහිපයක්ම එරට රෝහලක සිටියේ උණ රෝගයක් වැළඳීම නිසාය. පරඩැලක්  සේ කෘෂව උන් ඔහු යළි කඳවුරට පැමිණෙද්දී බාහිර පෙනුමෙන් සම්පූර්ණයෙන්ම වෙනස්ව උන්නේය. තමා මිහිපිට අපායක ජීවත්වනවා බඳු හැඟීමක් ඔහුට දැනෙන්නට විය. තම නිවසේ අයවලුන් තමාව සොයා වෙහෙස වනවා ඇතැයි ඔහුට සිතිණ. ඒ සිතුවිල්ලම පපුවට රිදුමක් ගෙන ආවේය. තමා තවමත් මේ රටට සැකකරුවෙකි. නීති විරෝධීව පිටරට වලින් පැමිණෙන සියල්ලෝම ඔවුන් හඳුන්වන්නේ සැකකරුවන් ලෙසින්ය. එනිසාම කිසිවෙකුට පණිවිඩයක් යවා ගත හැකි ක්‍රමයක් වූයේ නැත.

හසාරා කුමන ආකාරයකින් මේ දුරස්වීම දරාගනු  ඇත්දැයි සිතද්දී ඒ දෑස් වලට උනා ආවේ කඳුලකි. තමාට සෙම් ප්‍රතිෂ්‍යාවක් වැළඳුනත් කලබල වන්නේ ඈය. ඒ සොයා බැලීම කෙතරම් ආදරණීය එකක්දැයි ධනංජය සිතුවේ දෑස් වලට උනා ආ කඳුළු වලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්ය. කාමරය බෙදාගෙන උන් පිලිපීන ජාතික තරුණයා මෙම වෛරස් උණ රෝඟයෙන්ම මියගියේ මීට දෙදවසකට ඉහතදීය. තමාටත් මේ කාමරය තුළදී එවන් ඉරණමක් අත්වනු ඇතැයි ධනංජය සිතුවේය. එහෙක් ඔහුගේ සිතෙහි ඇති වූයේ බියක් නොවේ. 

ඉන් පෙර එකම එක වතාවක් හසාරාගෙන් සමාව ගැනීමට වුවමනාවක් ඔහුට විය. සිත තුළ මතුව ආ යම් යම් ආත්මාර්ථකාමී සිතුවිලි තීරණ ගැනීමෙහිලා තමාව ඉක්මන් කළ වග විශ්වාසය. හදිසියේ ගත් ඒ  තීරණවලට තමා අද නිදහසේ පසුතැවෙමින් සිටින වගද විශ්වාසය. එකම එක් වරක් තම සිතැඟි පිළිබඳව හසාරා සමග කතා නොකළේ මන්දැයි ඔහු සිතුවේ පුදුමාකාර පසුතැවිල්ලක් දරාගෙනය. ඈ ළඟ සෑම ප්‍රශ්නයකටම විසඳුම් වූ බව මතකය. ඒ ඇගේ කැපකිරීම වෙහෙස වීම සහ ලැබීම බව විශ්වාසය. ඕ ඒ සියල්ල ළඟා කරගත්තේත් රාත්‍රීන් ගණනක් නිදිවරා වෙහෙස වී දරා ගත්තාට පසුවය. තමා ඒ සාම ආත්මාර්ථයෙන් යුතු පුද්ගලයෙකු වූයේ කෙසේදැයි ධනංජයට නොතේරේ. තමා ඇයව නොසලකා හරිද්දීත් ඕ කීප වතාවක්ම තමා හා කතා කරන්නට උත්සහ කළ බව ධනංජයට මතකය. එහෙත් තමා ඇයට අකාරුණික වූයේය. ඒ දෑස් රතුව කඳුලින් පිරී තිබුණා ඔහුට මතකය. අන් කවරදාකවත් නොවූ අයුරේ පසුතැවීමකින් ඔහු පීඩා වින්දේ එතැන් පටන්ය. මේ මේ තනිකම උහුලා ගත  නොහැකිි තරම් වේදනාවකි.

තමා විශ්ව විද්‍යාලයේදී දුටු ලස්සනම යුවතිය ඇයයි. එසේම ඇයට වූයේ කලාතුරකින් ගැහැණියකට පිහිටන අන්දමේ පෞරුෂයකි. විශ්ව විද්‍යාලය තුළ වුවත් ඈ කැපී පෙනුනාය. තමා ඒ පෞරුෂයටත්, ඒ ලස්සනටත්,  කිසිවෙකුට වරදක් නොකරන ඇගේ සිතැඟි වලටත් කොතරම් ආදරය කලාදැයි  ධනංජයට සිතුනේ කුඩා මෙට්ටය මත වැතිර සිටියදීය. දෑස් දෙපසින් ගලා ගිය කඳුළකින් මෙට්ටයේ පදාසයක්ම තෙත්ව තිබිණ. ඒ සිතෙහි වූ  දුක, වේදනාව, කළකිරීම කොතරම් ප්‍රබල වූවාද යත් වරෙක ඔහු මේ කාමරය තුළදීම ජීවිතය නැති කරගතහැකි මගක් සෙව්වේය.

බොහෝ ගැහැණුන් තම ස්වාමි පුරුෂයන්ගෙන් යැපීමට උත්සහ කරද්දී ඈ ස්වාධීනවීම වරදක් දැයි ධනංජය කිහිප වරක්ම තමන්ගෙන් අසා ගත්තේය. ඇයට ආලෝකය දී ඒ ආලෝකයෙන් තමාත් බැබලුනු වග විශ්වාසය. ආත්මාර්ථකාමීබවේ,  ඉරිසියාවේ යක්ෂයා,  මදින් මද තම සිතුවිලි ඔහුගේ ග්‍රහණයට ලක්කර ගැනීමට උත්සාහ කළ අයුරු ධනංජය සිහිකලේ වේදනාවෙන්ය. වරෙක ඒ වේදනාවෙන්ම ඔහුගේ පපුව රිදුම් දෙන්නට විය.

ආදරයෙන් වෙලී නව නිවසේ ගත කළ ගෙවී ගිය කාලය  සිහිවද්දී ඔහුගේ සිතට දැනුනේ මහා ලෝබ කමකි. ඇය කාරුණික ගැහැණියක වූවාය. සියල්ලටම වඩා ඈ උත්සාහවන්ත ගැහැණියක වූවාය. ඒ සියල්ලටම වඩා ඇය තමාට කීකරු ගැහැණියක වූ බව විශ්වාසය. අසාර්ථකයෙකු වූයේ තමා මිස ඈ නොවේ.

තම ජීවිතවල සතුට සුරකින්නට ඕනෑ තරම් අවස්ථා තිබියදීත් ඒවා ගිලිහී වැටුනේ තම දෑගිලි අතරින් බව විශ්වාසය. පිරිමියෙකු ලෙස ඇයට ආදරයත්, රැකවරණයත් සපයනු වෙනුව⁣ට තමා ඇයව රිදවූවායැයි සිතත්දී ධනංජයගේ සිතෙහි ඇති වූයේ තමා පිළිබඳවම කෝපයකි.

ඈ දෙමව්පියන් පවා අතහැර දමා පැමිණියේ තමාව විශ්වාස කරගෙනය.

“”හසාරා……මට ස..මා..වෙ..න්න..මැණි..ක…”

ඔහු යළිත් තමාටම මුමුණා ගත්තේ ඒ දෑස් වලින් කඳුළක් ගලා යද්දීය. සිතෙහි වූ කලකිරීම ප්‍රබල වී තිබිණ.

*****=====****=====****=====****=====

සොයුරිය විසින් අම්මාටත් තාත්තාටත් සියල්ල පවසා තිබිණ. ඔවුන් හිටිහැටියේම ලංකාවට පැමිණෙන්නට උත්සහ කලත් හසාරාට ඒ ගමන  වලකා ගන්නට හැකි විය. ඒ තමා  ඉතා ඉක්මනින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන බවට පොරොන්දු  ලබාදෙමින්ය. ඔවුන් මෙහි පැමිණ සිතෙහි වන සැනසීම අහිමි කරගනීයැයි ඈ තුළ වූයේ බියකි. 

රාජ්‍ය නොවන සංවිධානයක ශ්‍රී ලාංකික නියෝජිතයෙකු වූ  බුවනෙකගේ මිතුරාගේ මාර්ගයෙන් එම රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානීන් හඳුනාගත් හසාරාට ඔවුන් සමඟ සාකච්ඡා වට කිහිපයකටම සහභාගී වීමට සිදුවිය. ඒ කීපයක් මාර්ග ගත ක්‍රමය යටතේත් අවසන් සාකච්ඡාව කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකත් පැවැත්විණ. ඒ ගමනට ඇයත් සමග ඉන්දුමාත් සහභාගී වූවාය. හසරා අත්සන් තැබුවේ ලංකාවේ දුෂ්කර පළාත්වල දරුවන්ට  ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම සඳහා සිදු කරනු ලබන  මුදලින් කෝටි ගණනක් වටිනා වැටපිළිවෙලකටය. එය සාර්ථක ව්‍යාපෘතියක් වන බවට විශ්වාසයක් හසාරාගේ සිතෙහි විය. එසේම හසාරා පසුගිය දිනවල  දරුවන් වෙනුවෙන් සැකසූ ප්‍රාථමික අංශයේ නිබන්ධන පෙළ දහස් ගණනින් මුද්‍රණය කිරීමේමේ  ව්‍යාපෘතියකටද ඕ  අත්සන් තැබුවාය. ඒ සඳහා කතෘ භාගය ලෙස විශාල මුදලක් ඇයට එකවර ලැබිණ.

එම රාජ්‍ය නොවන සංවිධානය මගින් ඇගේ  සේවයට සරිලන උසස් අන්දමේ වැටුපක් ගෙවීමටද එකඟ වී තිබිණ. .

මේ දෛවය  අවසන තමාව ගෙනවිත් නතර කළේ පුදුමාකාර සන්ධිෂ්ඨානයක යැයි හසාරාට සිතුනේ ඇයටත් ඉන්දුමාටත් වෙන්කර තිබූ හෝටල් කාමරයේ සිට ක්ෂිතිජය දෙස බලා සිටියදීය. ජීවිතය යනු පුදුමාකාර එකකි. ඒ ගමනේ ගමනාන්තය වූයේ දුෂ්කර ඉසව් කිහිපයක අවසානයේය. ඒ අසීරු ගමන ජයගත් මිනිසුන් සංසාරයද ජයගනු නියතය. තමා ඒ ගමනාන්තය සොයා යන ගමනේදී තවත් දුෂ්කර ඉසව් කීයක් පසුකළ යුතුදැයි හසාරා දැන සිටියේ නැත. ජීවිතය යනු දුක, කඳුළ, වේදනාව, කලකිරීම සේම සතුට, සිනහව, තෘප්තිය වන් හැඟීම් රැසක එකතුවක් බව විශ්වාසය.

ඇය උන් හෝටල් කාමරයට ගාලු මුවදොර  පිටිය හොඳින් පෙනේ. එදවස විවේකය ලැබෙන මොහොතක ධනංජයගේ අතෙහි එල්ලී ඉස්සෝ වඩේ කමින් ගෝල්ෆේස් පිටියේ විවේකීව කාලය ගත කළ අයුරු ඇයට සිහි වූයේත් ඒ හදිසියේය. අමතක කළ නොහැකි බොහෝ මතක වූයේ මේ කොළඹ ය. පසු කලෙක තමාට ලැබුණු අවිවේකී ජීවිතයේදී තමාට සතුට මඟහැරී ගියායැයි ඕ සිතුවාය. 

“ මොනවද කල්පනා කරන්නේ?….”

නාන කාමරයේ සිට පැමිණි ඉන්දුමා ඇසුවේ යුවතියගේ   උරයට උඩින් එබී ගෙනය. 

“ ජීවිතය ගැන…”

“ ඒ මොනවා උනත් මං දන්නේ එක දෙයයි. ඔයාව කාටවත් නවත්තන්න බෑ. කවද හරි දවසක ඔයාගේ නමත් අපේ ලංකාවේ දරුවොන්ගේ හිත්වල අමතක කරන්න බැරි මතකයක් වේවි. ඔයාට පුළුවන් අපේ දරුවන්ට අලුත් ජීවිතයක් දෙන්න. මේ අපි කැම්පස් එකේදි ඇති කරන්න බලාපොරොත්තු වෙච්ච වෙනස. පුදුමේ කියන්නේ ඒ වෙනස අද ඔයාවම හොයාගෙන ඇවිත්..”

“ මේ මං හීනෙකින්වත් හිතපු පැත්තක් නෙමෙයි.”

“ ඒ උනාට ඔයාට සතුටින් කරන්න පුළුවන් දෙයක් නේද..”

“ ඔව්.. අරමුණු හොඳ මිනිස්සු එකට එකතු වෙද්දී ඒ හැම තැනකම පිරෙන්නේ ආදරේ විතරයි. ඔයා බුවනෙක සර් බුවනෙක  සර්ගේ  යාළුවා මිස්ටර් මහේන්ද්‍ර…ඒ විතරක් නෙමෙයි. මේ එන් ජී ඕ එකේ ලීඩර්ට  පවා තියෙන්නේ මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමේ වුවමනාවක්. අර කියන්න වගේ අපි හැම කෙනෙක්ම පෞද්ගලිකව තම තමන්ගේ සතුට විතරක් ළං කර ගන්න උත්සාහ කරද්දි දන්නෙම නැතුව අතර මං වෙච්ච පිරිසක් මේ ලෝකේ ඉන්නවා. එයාලට උවමනාව තිබුණට ක්‍රමයක් නෑ. අවස්ථාවක් නෑ.”

“ එයාලගේ ඉන්දියාවේ ව්‍යාපෘතිය සීයට සීයක්ම සක්සස් කියලා කිව්වනේ. මට විශ්වාසයි ඔයාට පුළුවන් ලංකාවේ ප්‍රොජෙක්ට් එක සීයට දෙසීයක් සක්සස් කරවන්න. ආපහු හසාර ගැන මිනිස්සු කතා කරන්න පටන් ගනියි. ඔයා දන්නවද හසාරා ඔයා කියන්නේ දෙවියෝ ගොඩක් දේවල් දීලා උපද්දවපු කෙනෙක්. ඔයාට වුවමනාවක් තිබුණත් ඔයාට හැංගිලා ඉන්න දෙවියො ඉඩ දෙන්නෙ නෑ.”

එවර ඉන්දුමා පැවසූයේ යෙහෙළියව තමා දෙසට හරවාගෙන ඒ දෙවුරහිස් වලින් අල්ලාගෙනය. ඒ දෑස් වල වූයේ ගලායන්නට පොර බදන කඳුලකි.

“ ඇයි මේ….ධනංජය මතක් උනාද..

ඔයා කියනවා වගේ එයා ගියේ එයාගේ සතුට හොයාගෙන නම් ඇයි මේ කඳුළු..”

“ මං දන් නෑ. මට මොකක්දෝ දෙයක් දැනෙනවා. මට හිතෙනවා ධනංජය සතුටින් නෙමෙයි කියලා. එයාට එයා හොයාගෙන ගිය ලෝකය ලැබුණේ නෑ කියලා..”

“ ඒක එහෙම උනත් ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ධනංජය තමන්ගේ ජීවිතයේ ඉස්සරහ කාලේ ජීවත් වෙන්න තෝර ගත්තේ ජීවිතේ  ලැබෙන කිසිම දේකින්  සෑහීමකට පත් නොවෙන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ඇත්තටම එයා වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු මානසික රෝගියෙක්..”

ඉන්දුමාගේ දෑස් දිලිසෙමින් තිබුණේ කෝපයෙන්ය. ඈ කොහොමටත් නිර්මිතාට අකමැතිය.

“ මං එයාල ගැන හොයලා නොබලපු එක වරදක්ද..”

“ඔයා ත්‍රින්කෝ වලට ආවෙ මේ මතක වලින් ඈත් වෙන්න ඕන නිසා. එයාල ගැන හොයලා බලලා එයාලගේ ප්‍රශ්න තවදුරටත් මේ ඔලුවට වදයක් කරගන්න එපා. හසාරා අද  ඔයා මේ බාර ගත්තේ දවසකට පැය දෙක තුනක්වත් සැනසිල්ලේ  ඇස් දෙක පියා ගන්න බැරි තරම් ලොකු වගකීමක්. මෙතන ඉඳලා අපි සතුට හොයමු. ඔයාගේ ජීවිතේ කවද  හරි මේ හිස්තැන සම්පූර්ණ කරන්න කෙනෙක් ඔයාට හම්බවෙයි. හැබැයි මං කියන්නේ නැහැ ඔයා තවත් පිරිමියෙක් ජීවිතේට ලං කර ගන්න ඕනෙමයි කියල. ඒ වගකීම ඒ තීරණය ගැනීමේ අයිතිය තියෙන්නේ ඔයාට. එතකල් ඔයා මේ අද බාර ගතපු වගකීමත් එක්ක ඇත්තටම කිව්වොත් මේ උතුම් පුණ්‍ය කර්මයත් එක්ක සතුටින් හිත හදාගෙන ජීවත් වෙන්න..”

හසාරා හිස වැනුවේ  යෙහෙළිය දෙසෙස බලාගෙනය. කෙටි කලකින් ඈ තම ජීවිතයේ සිදු කළේ පරිවර්තනීය වෙනසකි. එවන් යහළුවන් සියල්ලන්ටම හමුවිය යුතුය. ඇගේ සැමියා පවා හසාරාව පිළිගෙන තිබුණේ තම පවුලේ සාමාජිකාවක ලෙසය. මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මිනිසුන්ය.

ගම්මාන රැසකම නවීන තාක්ෂණයෙන් යුත් දේශන ශාලා ඉදි කෙරුණේ බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මනටය. දිනපහ පුරාම පැවැත්වෙන දේශනවලට දරුවන් අඩුම තරමේ  දින තුනක්වත් සහභාගී විය යුතුය. මේ ගැන පාසල් මට්ටමෙන්,  දහම් පාසල් මට්ටමෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් දරුවන් දැනුවත් කෙරුනේ රජයේ මැදිහත්වීමත් ලැබුණාට පසුවය. හසාරා පන්ති මෙහෙය වූයේ ත්‍රිකුණාමලයේ ඇය වෙනුවෙන්ම ඉදිකළ නවීන පහසුකම් සහිත පන්ති කාමරය තුළදීය.

ඒවා අධීක්ෂණය කරන්නට ඒ ඒ ගම්මාන වලට පත් කළ වෙනම ගුරු මණ්ඩලයක් ද විය. දරුවන්ට අවශ්‍ය වූ පහසුකම් සහ උදව් සපයා දුන්නේ ඔවුන් විසින්ය. 

ළමයි දහස් ගණනක් පිරිවරා ගත් ප්‍රථම මාර්ග ගත දේශනයේදී හසාරා පවසා සිටියේ විශ්ව ගම්මානයක සිටින අපි ලෝකයත් සමඟ ගණුදෙනු කරන්නට අවැසි වන ඉංග්‍රීසි භාෂාව ඉගනීමේ වැදගත්කම පිළිබඳවය. දේශන කාල සීමාව තුළ  අධීක්ෂණයෙන් බලා උන් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා පුද්ගලිකවම දුරකථන ඇමතුමක් ලබාගෙන ඇයට පැවසූයේ ඉතා සාර්ථකව දරුවන් අධ්‍යාපනය ලබන බවට විශ්වාසයක් තම සිතෙහි ඇති වූ බවයි. ඔහු ඊට සුබ පැතුම් එක් කලේ සතුටින්ය. මේ කර්තව්‍යයට මුල් පියවර  තැබූ බූවනෙකත් ඔහුගේ මිතුරාත් පැවසූයේ තමන් කාලීන සමාජ සත්කාරයකට දායක වූවා යන සතුටින් පසුවන බවයි.

( යළිත් හමු වෙමු ආදරයෙන්…)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here