ජීවිතය කවියක් නොවේ – 39

0
3093

කාලය ගෙවී යන්නේ ඉක්මනටය. කිසිවකුගේ ජීවිත වලට අවනතව කාලය මග නතර වෙන්නේ නැත. සතුට දුක සමබර කරගත් ලැබීම් නොලැබීම් අතරේ ජීවත්වන මිනිසුන් කාලය නැමැති ඔසුවෙන් තම සිතුවිලි සනසා ගත්තාය. හදවතේ කොණක වූ රිදුමක් එසේම තිබියදී හසාරා තමා බාරගත් වගකීම නිසි අයුරින් ඉටු කරන්නට උත්සාහ දරමින් උන්නාය. ආපස්සට හැරී කිසිවක් ගැන සිතන්නට විවේකයක් ඇයට නොවූ තරම්ය. එහෙත් ඕ ඒ අවිවේකයට කැමති වූවාය.

“ සෙනුල් කියනවා මේ ලෝකේ එයා දැකපු ධෛර්යවන්තම ගෑනි ඔයා කියලා. ඇත්තමයි නංගි මට හිතාගන්න බෑ වෙලාවකට ඔයා කොහොම මේ දේවල් කරනවද කියලා. ඔයා වගේ ගෑනියෙක් අහිමි කරගතපු ධනංජය මහා මෝඩයෙක්…ඒ ඉවසීම, ඒ දරා ගැනීම, හැම දේකටම වඩා වෛර නොකරන ඔය හිත…”

දුරකථනයෙන් කතා කරන සොයුරිය වරෙක එසේ පැවසුවාය. තමා ඕස්ට්‍රේලියාවට  යාමට වූ පොරොන්දුව දිනෙන් දින කල් යද්දී අම්මා තාත්තාත් සිටියේ නම් සතුටකින් නොවේ. එහෙත් දවසට එක් වරක් හෝ ඇය ඔවුන් හා කතා කරමින් දුක සැප බෙදා ගත්තාය.

අවසන හසාරා කොළඹ පිහිටි නිවස විකුණා දමන්නට  තීරණය කළාය. තමාගේ ගමන් පහසුව සඳහා කුඩා කාරයක් මිලදීගත් ඕ යළි කොළඹ ගියේ එම නිවස මිලදී ගැනීමට යුවලක් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබියදීය. සියලු ගණුදෙනු සිදු වූයේ නීතිඥ සම්පත් දන්නා හඳුනන ආයතනයක් හරහාය.

අපි දෙන්නා කොරියාවේ  ඉඳලා ලංකාවේ පදිංචියට ආවේ මෑතකදී. අපි දෙන්නම ඩොක්ටර්ස්ලා. අපිට බබාලා තුන්දෙනෙකුත් ඉන්නවා.මගේ අම්මා හස්බන්ඩ්ගේ අම්මා තාත්තා අපිට ඕනෙ මේ ඔක්කොමත් එක්ක එක ගෙදරක ඉන්න. එහෙම බැලුවහම අපි ටිකක් ලොකු ෆැමිලි  එකක්. ගෙවල් කීපයක්ම බැලුවා. අන්තිමට අපිට හිතුනා මෙතන හරි ලස්සන තැනක් කියලා. අනික මිස් හසාරා ඔයා හරි ලස්සනට මේ දේවල් මේන්ටේන් කරලා තියෙනවා. අපිට අමුතුවෙන් හදන්න බලන්න කියල දෙයක් නැහැ. ඒක තමයි අපි මේ ගේ ගන්න හිතපු මුල්ම හේතුව. බැලූ බැල්මටම මේ ගෙදර තියෙන්නේ අමුතුම ලස්සනක්…”

නිවස මිලදී ගැනීමට ආ කාන්තාව පැවසූයේ හසාරා සමග උඩුමහලට නගිමින්ය. ඈ පිටුපස ඇගේ සැමියාත් විය. කාන්තාව කියවන තරමටම ඔහු නිහඬය.එහෙත් ඔහු හොඳ සවන් දෙන්නෙකුයැයි හසාරාට සිතිණ.

“ ඇත්තටම ඇයි ඔයා මේ වගේ තැනක් විකුණන්න තීරණය කළේ..”

“ මම දැනට වර්ක්  කරන්නේ ට්‍රින්කෝ වල..හස්බඩ්නුත් ලංකාවේ නැහැ. ඒ නිසා මට චුට්ටක් එන්න යන්න අපහසුයි. බොහෝ දුරට මටත් ලඟදිම ලංකාවෙන් යන්න වෙයි..ඒ ඔක්කොම හේතු නිසා අන්තිමට තීරණය කල මේක විකුණන්න..”

 හසාරා පැවසූයේ දෑස් අග වූ  කඳුළක් ඔවුනට නොපෙන්වමින්ය. දැන් ඈ දුක දරාගෙන හිනැහීමේ කලාව හොඳින් ප්‍රගුණ කළ තරුණියක වූවාය. තම ජීවිතයේ සොඳුරුම පරිච්ඡේදය ගෙවී ගියේ මෙම තෙමහල් නිවස තුළ වග විශ්වාසය. එදවස හසාරා දුක යන අකුරු දෙකේ තේරුමවත්  හඳුනාගෙන නොසිටිි තරම්ය. 

අවසන් වතාවට සිය තෙමහල් නිවස තුළ එකදු හිස් තැනක්වත් නොතියා හසාරා ඇවිද ගියාය. පැය කිහිපයක් ගතකරමින් අතීතාවර්ජනයක යෙදුනාය. මාස කිහිපයකට පසුව ඕ වසා දමා තිබූ නිදන කාමරය යළි විවර කළාය. ඇතිවී නැති වී යන ලෝක ධර්මතාවයට අනුව මේ සියල්ල තාවකාලික හැඟීම් බව තේරුම් ගන්නට තරම් ඕ තම සිත දියුණු කරගෙන සිටියාය. එනිසාවෙන්දෝ පෙර මෙන් රිදුමක්, දුකක් ඒ ලයෙහි වූයේ නැත.

නිවස විකුණා තබන්නට තීරණය කළේ ලී බඩු ද සමඟින්ය. මේ සියල්ලෙහිම මුදල්මය වටිනාකමට වඩා වූයේ මතකය.

එනිසාවෙන් හසාරාට රැගෙන යන්නට තිබුණේ ඇඳුම් පැළඳුම් කිහිපයක් පමණි. ඒ අතරිනුත් ඕ ධනංජයගේ ඇඳුම් සියල්ලම එක උරයක බහාලූයේ නිවස අතුගා සුද්ද පවිත්‍ර කර බලාගත්  දමිළ ජාතික තරුණයාට දීම සඳහාය.

එදා අවසන් හමුවේදී   ධනංජය ගුවන් තොටුපලට ඇදගෙන ගිය නිල් පැහැ පසුබිමේ සුදු පැහැ කොටු වැටුණු කමිසය පමණක් ඕ  තම පපුවට තුරුලු කරගත්තාය. ඔහුගේ උණුසුම ඉල්ලමින් සොයමින් සුසුම් ලමින් තමා මේ යුගල යහනාවේ රැය පහන් කළ ආකාරය හසාරාට සිහිවූයේ එවේලෙහිය.  එය ගැහැණු සිතකට දැරිය නොහැකි තරම් වූ වේදනාවකි. ඒ කමිසයේ තවමත් ඔහුගේ සුවඳ තැවරී ඇතැයි හසාරාට සිතිණ.නැහැයට ලංකරගත් කමිසයේ තැවරුනේ කඳුළකි. තත්පර කිහිපයකට පසු පරිස්සමට නවාගත් කමිසය මදක් විසල් වූ ගමන් බෑගයෙහි උඩින්ම තැබුවේ යළිත් වරක් දෑස් පියාගෙන නැහැයට ලං කර ගනිමින් එහි සුවඳ විඳ ගත්තාට පසුවය.

තමාගේ මේ ජීවිතයට ළංවන  එකම පිරිමියාත් අවසන් පිරිමියාත් ඔහුම  පමණක් විය යුතු බව හසාරා තීරණය කර අවසන්ය.

“ ඔයා  හිතනවද ධනංජය කවද හරි එයි කියලා…”

ඉන්දුමා එසේ විමසද්දී  තමා නිහඬ වූවා හසාරාට මතකය. ඔහුගේ යළි පැමිණීමක් ගැන ඇගේ සිතෙහි විශ්වාසයක් වූයේ නැත. මේ තනිවීම ඔහු යළි පැමිණේයැයි අපේක්ෂාවෙන්ද නොවේ. ප්‍රේමය මියගියායැයි මිනිසුන් පවසන්නේ තම සිත රවටා ගැනීමට පමණි. සැබෑ ප්‍රේමය මිය යන්නේ නැත. හසාරා ඒ බැව් දැන  උන්නේ අත්දැකීමෙන්මය. 

අවසන ඕ නිදන කාමරය තුළ පසෙකට තල්ලු කර තිබූ ඔවුන් දෙදෙනාගේ සේයාරුව දෑතින් අල්ලා ගත්තාය. ඒ දෑගිළි වෙව්ලමින් තිබිණ. 

“ සතුට හොයාගෙන ගියපු ඔයාට සතුටම ලැබෙන්න ඕනේ ධනා…”

සිය දෑස් වල උපන් කඳුළු වලට පිටාර ගලා යන්නට ඉඩ දෙමින් හසාරා එසේ පැවසූයේ සිය ඇඟිලි තුඩු ධනංජයගේ  රූපය පුරා  ඇවිද්ද වමින්ය. ඔහු මියා යුතු මතකයක් ද නොවේ.

ප්‍රේමය යනු එකිනෙකාගේ සතුට පැතීම මිස අල්ලා සිරකරගෙන තබා ගැනීම  නොවන වග  විශ්වාසය. ඕ ඒ සේයාරුවත් ගමන් මල්ලේ තැම්පත් කළේ නිහඬවය. තමාට අවශ්‍ය දෑ පමණක් රැගෙන කාමරයෙන් පිටවන්නට ගිය හසාරා යළි හැරුනේ බරැති යමක් පපුවේ තබාගෙනය.

සතුට පමණක්ම හඳුනාගෙන උන් අනුරාගී රැයවල් ගණනාවක් මේ කාමරය තුළ ගෙවී යන්නට ඇත. ඒ සියල්ල දැන් අතීතයක් වී හමාරය. ඒ ජීවිතයයය. ලැබිම් නොලැබීම් සමබර වූ දෛවයය.

යළිත් වරක් හැරී නොබැලූ ඕ නිවසින් පිට වූයේ සිය හදවතේ අඩක් ගැලවී ගියාක් බඳු වේදනාවක් දැනෙද්දීය. හසාරා සමඟ මෙම ගමනට ඉන්දුමාත් පැමිණීමට සූදානම් වුවද  ඕ  උවමනාවෙන්ම ඇයව මගහැරියාය. හසාරාට උවමනා වූයේ නිදහසේ හඬා වැටෙන්නටය.නිදහසේ දුක් සුසුමක් මුදා හරින්නටය. යළිත් තමාගේ නොවන සතුටු මන්දිරයතුල වූ මතක එකතු කරන්නටය.

අම්මාත්  තාත්තාත්  ඔස්ට්‍රේලියා ගමනට සූදානම් වී ලංකාවෙහි ඇති ඉඩම් කිහිපයක් විකුණා දැමුවේ ඒවා නඩත්තු කිරීම  හසාරටත් ධනංජයටත් අපහසු වූ නිසාය. පවුලේ දේපළ දරුවන් අතර සමසේ බෙදී යා යුතු වුවත් සොයුරිය ඒ මුදලින් එකඳු  සතයක්වත් ලබාගත්තේ නැත. ලක්ෂ අසූවක්  වූ ඒ  මුදල සම්පූර්ණයෙන්ම නැගණිය වෙත ලබාදෙන්න යැයි  ඈ පවසා තිබිණ. 

ඒ හසාරා වෙනුවෙන් ධනංජය වෙත ලැබුණු මුදල්මය දයාදයයි. ලක්ෂ විස්සක මුදලක් ගෙවා මෙම ඉඩම  මිලදී ගත්තේ විවාහයෙන් පසුවය. ඒ දිනවල  ධනංජයත් හසාරාත් වූයේ මෙම නිවස ආසන්නයෙන්ම කුලී පදනම මත ලබාගත් නිවසකය. කාර්යාලයේ සිට දෙදෙනාම පැමිණෙන්නේ අලුත් නිවස ඉදිවන තැනටය. රාත්‍රී දහය එකොළහ වෙනතුරුත් වේලාව ගතව යනවා දැනුනේ නැත. බඩගින්නක් හෝ තිබහක් නොදැණුන තරම්ය. විටෙක කාර්යාලීය ඇඳුම්වල පවා දූවිලි,  මඩ,  සිමෙන්තිය. එදවස දෙදෙනාට උවමනාවී  තිබුණේ ඉක්මනින් මෙම නිවසේ පදිංචි වන්නටය. 

නිවසේ ඉතිරි වැඩ  කර ගැනීමට ණය මුදලක් ලබාගත්තේ ධනංජයය. වසර පහක් තිස්සේම ඔහුගේ වැටුපෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් එම ණය මුදල සඳහා ගෙවීමට සිදුවිය. එදවස ඔවුනට ආර්ථික අපහසුතාත් නොතිබුණාම නොවේ.

“ ඒ අවුරුදු පහත් ඉක්මනට ගෙවිල යයි හසාරා.ඒ උනාට ආපස්සට හැරිලා බලද්දි අපි සල්ලි නාස්ති කරලා නෙමෙයිනේ. දැන් අපිට හැමදේම තියෙනවා…”

නිවසට පදිංචි වී වසරක් පමණ ගතව යද්දී ධනංජය වාහනයක් ගැනීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කරද්දී හසාරා මදක් පසු බා ගත්තේ ඒ වනවිටත්  ඔවුන් ණය මුදල ගෙවා නිම කර නොතිබූ නිසාය. තමාට වටා ධනංජයට මූල්‍ය පාලනය පිළිබඳව දැනුමක් ඇති බව හසාරා දැන උන්නාය. ඔහු ගණන් මිමි  ඉදිරිපත් කරමින් පවසා සිටියේ මේ අවුරුදු පහක  සැලැස්මක් බවය.

වාහනයක් ගන්නවා යැයි පැවසූ විට එහි මූලික ගෙවීම් සඳහා සොහොයුරියද යම් මුදල් ප්‍රමාණයක් එවා තිබිණ. ධනංජයගේ පියාද ඔහු විසින් ඉතිරි කරගෙන උන් මුදලක් ලබාදී තිබිණ. මුල් කාලය මදක් අසීරු වූ බව සැබෑය. එහෙත් ආපසු හැරී බලද්දී  ඔහුගේ  සැලසුම් සහ මුදල් පාලනය පිළිබඳව හසාරාට දැනුනේ පුදුමයකි. ඔහු සියල්ල සමබර  කරගන්නට සමත්  වූයේය. සැබවින්ම ඔහු දක්ෂයෙකි.

දුකකට ඇත්තේ එවන්  සැලසුම් සහගත වූ දිවියක් අතරමග නවතා දමන්නට සිදුවීමය. පසු කලෙක හසාරා විසින් ආසාවෙන් රැකබලාගත් ඕකීඩ් පාත්තිය වියලී ගොස් තිබිණ. ආවරණය කරමින් සාදා තිබූ ඕකීඩ් පැළවලට වතුර පොහොර පමණක් ප්‍රමාණවත් නොවේ. ඒවා රැකබලා ගත යුත්තේ කුඩා දරුවන් සේය.

වයසින්, දැනුමෙන් වැඩි වූවත් අත්දැකීම් වලින් වැඩි වූවත් සොයා බැලීම්,  ආදරය කිරීම්, රැකවරණය ලැබීම්,  අභියස මිනිසුන් සැමදාමත් කුඩා දරුවන් සේයැයි හසාරාට සිතුනේ සෙමින් අඩි තබමින් ගෙවත්තේ ඇවිද යද්දීය. පිරිමින් ගැහැණුන් කියා වෙනසක් නොවේ. සැවොම ඒ රැකවරණයට, ආදරයට එකිනෙකාගේ ඇල්මබැල්මට ලොබය. මිනිසුන් ලං වෙන්නේත්,  වෙන් වන්නේත්,   සතුටු වන්නේත්,  දුක් වන්නේත් ඒ නිසා බව විශ්වාසය. මිනිසුන්ගේ  ජීවිත තුල උගත්කම සේම, ඉවසීම සංයමය නොවේනම් බැඳීම් පුපුරා යනු ඇත. ඒවාට වෛර කර හෝ පලිගැනීමෙන් ඵලක් නොවන බව හසාරා උගත්තේ කාලයත් සමඟය. 

අවසන නිවසේ සියලු යතුරු නීතිඥ සම්පත් වෙත භාරදුන් හසාරා අවශ්‍ය ලියකියවිලි  වලට  අත්සන් තැබුවේ කළු ගලක් සේ තද කරගත් සිය ගැහැණු සිත ඉස්සර කරගෙනය.

( යළිත් හමු වෙමු…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here