හද සාගරේ – 46 (අවසාන කොටස)

0
3875

“මං ඉක්මනට එන්නං”

ආදියා රූපලාවණ්‍යාගාරය ඇතුළට ගියේ එසේ මුමුණමිනි. දෙව්රම් ඇයට දොර විවර කොට දී, ඈ ඇතුළට ගිය කල විත් රියට නැගී ගත්තේ ය. හැඩ වැඩ වී ඇය පිටතට එන්නට තව හෝරාවක්වත් ගත වෙනු ඇත.

ආදියා දැන් ඇවිදින්නේ තාරාවක සේ ය. දරු ගැබක් දරාගත් ඕ පින් පාට ය. ඈ ළඟ මව්වත් සුවඳ ය. කම්මුල් පිරී ඇස් සිහින් වී ශරීරය තරබාරු වී අපහසුතා කන්දක් දරාගෙන සිටියත් ඇය මේ ගැබිණි සමය ආදරයෙන් විඳගනියි. ඉදිරියට නෙරූ කුසය මත පා පහර එල්ල කරනා දඟකාර පුතු ගේ චණ්ඩිකම් වලට අසීමිතව ආදරය කරයි. ඒ වගේ දඟකාර නිමේශයක දෙව්රම් ගේ අතක් ගෙන සිය උදරය මතින් තබා පුතුව ස්පර්ශ කරන්නට සලස්වයි. පුතුත් ඔහුත් වටා ඈ ගොඩනංවන ලෝකය ආදරයෙන් පිරි චමත්කාරජනක එකකි. දෙව්රම් ඇදෙස බලා සිටිනුයේ තෘප්තිමත් ස්වාමි පුරුෂයෙකු ලෙසයි. ඔහු ගේ ජීවිතය දැන් හිස් තැන් නොමැතිව පිරී ගිය එකකි. හැම මොහොතක් ම ජීවිතයේ අමරණීය සිහිවටන ය. ඉරණම ඔහු ඉල්ලුවාටත් වැඩියෙන් පූර්ණ වූ සැනසුමක් ලබා දී තිබේ!

ගර්භණී සමයේ අපහසුතා, මුලදී දරුණු බලපෑමක් ඇති කළෙන් ආදියා රැකියාවට සමු දුන්නා ය. අම්මලා දෙන්නා මාරුවෙන් මාරුවට ඇයට සත්කාර කරන්නට ළඟ රැඳුණහ.

“ඒ වුණාට මං ආයෙ ජොබ් එකක් හොයාගන්නව. මට ජොබ් එකක් ඕනෙ”

ඇය ආඩපාලි කියන්නේ වෙන කාගේවත් වරදින් ඇයට රැකියාව අහිමි වෙනවා වාගේ ය. දෙව්රම් එතකොට සිනහවක් නගාගනී.

“හරි හරි. අපේ චැනල් එක පටන් ගත්තහම ඔයාට දෙන්නංකො සීඊඕ පෝස්ට් එක”

“එහෙම නෙවෙයි. මට ඕනෙ පොඩිහරි සැලරි එකක් හම්බෙන ජොබ් එකක්”

“අපි පඩි ගෙවනව ඉතිං. නිකං වැඩට ගන්නව නෙවේ”

දෙව්රම් අඩ සිනහවකින් එකට එක කියයි. තවමත් ඔහු ගෝල්ඩන් ලීව්ස් හි සන්නාම තානාපතිවරයා ය. නමුත් ඔහු දැන් එහි සේවයෙන් ඉවත් වී තිබේ. මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටිනුයේ ඔහුගේ ම රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමටයි. ඒ කාලයක් තිස්සේ ඔහු ගේ හීනයකි. වසර ගණනාවක් පුරාවට දෙව්රම් මඳින් මඳ ඒ හීනයට ආසන්න වෙමින් සිටියේ ය. දැන් එහෙව් වගකීමක් හිස දැරීමේ පූර්ණ මානසික නිදහස ඔහු ට තිබේ. වෙහෙසී ගෙදර පැමිණි විට හිස පිරිමැද සුව සදනා මාහැඟි ප්‍රේමයක් ගෙදර බලා හිඳී.

දුරකතනය හැඬවිණි. ඇමතුම දිනේශ් ගෙනි.

“සම්මානයක් හම්බවෙයි නේද…”

දෙව්රම් හඬ නගා හිනැහුණේ ය.

“හම්බ නොවුණත් කමක්නෑ. නොමිනේට් වෙලා තියන එක මදෑ”

ඔහු එසේ කීවේ මූණිච්චාවට නොවේ. ඇත්තටමයි. සම්මාන ගැන කවදත් ඔහු ගේ  උනන්දුවක් තිබුණේ නැත. සම්මාන කාට හිමි වුණත් අත්පුඩි ගැසිය හැකි හදවතක් ඔහු ට තිබුණේ ය.

“දැං ඔය යන ගමන්ද…”

“අපේ නෝනා මේ සැලොන් එකකට ගියා. මහත්තය ඉතිං කාර් එකට වෙලා වේලි වේලි බලං ඉන්නව. ආපු වෙලාවක තමයි යන්න වෙන්නෙ”

“සම්මානෙ ලැබෙන්නම කියල ප්‍රාර්ථනා කරනව දෙව්රම්”

“තෑන්ක් යූ දිනේශ්. එහෙනං පස්සෙ කතා කරමුකො”

වෙනස් නොවෙතැයි අප අදහාගෙන සිටිනා ඕනෑ ම දෙයක් වෙනස් විය හැකි බවට දිනේශ් තරමට වෙන සාක්ෂි අවැසි නැත. ඔහු තමන් මත පැටවුණු රාජකාරිය හැකි උපරිමයෙන් ඉටු  කරන්නට උත්සාහ දරයි. ඒ වන විට ජීවිතයේ හැම පැත්තක් ම කඩා වැටී ඇති බව ඔහු ට පෙනෙන්නට තිබිණ. බන්ධනාගාරයේ දී ජීවිතයෙහි කටුක බව ඔහු මැනවින් පසක් කරගත්තේ ය. නමුත් කරන්නට රැකියාවක් නො මැති ය යන සත්‍යය අමතක කළ නො හැකි ය. රැකියාවක් නොමැති විට ආර්ථික ප්‍රශ්න එළඹේ. ඒ ප්‍රශ්න අමතක කරන්නට මිතුරන් පෙන්වන මාර්ගය වැටී තිබෙන්නේ මත් පැන් බෝතල ඔස්සේ ය. නමුත් මතකය අමතක කරන්නටත් වැය කළ යුතු මිලක් තිබේ. එතකොට ඔය සියල්ල ප්‍රශ්න වේ. ඒ ප්‍රශ්න බැහැර වන්නේ වෙන වෙන ආකාර වලිනි. එතකොට නැවත ද ප්‍රශ්න ම ය.

දිනේශ් හිටියේ මේ ප්‍රශ්න දාමයෙන් කෙසේ ගැලවීගන්න ද කියා නො දැනයි. එහෙම අවස්ථාවක දෙව්රම් පෙන්වූයේ දෙව් ලොවට යන මාර්ගයකි. ජීවත් වෙන්නට නම් කොතැනකින් හෝ ඇරඹිය යුතු බව දිනේශ් පසක් කරගෙන සිටියේ ය. එබැවින් මේ ලැබුණු අවස්ථාව කවර දුෂ්කර ක්‍රියාව කොට හෝ රැක ගන්නට ඔහු සිතාගෙන සිටියේ ය. මුදලක් අතට එත්දී ඔහු තවත් වැඩ කළේ ය. දරු පවුල ළඟ නො සිටීම හැරෙන්නට ඔහු ට එහි වෙන කිසිදු ගැටළුවක් ද නොවී ය. දෙතුන් මසකට පසු සාරධා ද දරු දෙදෙනා සමග අනුරාධපුරයට ගෙන්වා ගන්නට හෙතෙම කටයුතු කළේ ය.

“අනේ මන්දා මේ නොදරුවො දෙන්න ඔහේ අරං ගිහිං කොහොමද කියල”

සාරධා ලා යන එක ගැන ජිනාදරී තුළ කැමැත්තක් වූයේ  නැත. මිණිපිරියන් දෙදෙනා මේ වයසේ දී අත්තම්මා කෙනෙකු ගේ  ලෝකය ම වෙන එක ගැන පුදුම විය යුතු නැත.

“එහෙම කියල බෑ ජිනා. මොකද එහෙ ළමයින්ට හැදෙන්න බෑ කියලද… ඔය දෙව්රම් පුතා හැදුනෙ එහෙ නෙවෙයිද… පවුලක් විදිහට ඒ හතර දෙනා එකට ඉන්න එක තමයි වැදගත්. අපි අපේ පාළුව ගැන හිතල ආත්මාර්ථකාමී වෙන්න ඕන නෑ. අනික චූටි දුවටත් බබා හම්බවෙන්න තව ලොකු කාලයක් නෑනෙ. එතකොට අපිට ඒ මුණුබුරත් ඉන්නවනෙ”

නිශ්ශංක ජිනාදරී ගේ හිත හැදුවේ ය. ඇයව හඬවමින් වුව සාරධා දැරියන් දෙදෙනා ද කැටිව දිනේශ් සමගින් ගියේ කැමැත්තෙනි. මහ ගෙදරට යාබද ඉඩමක තිබූ කුඩා නිවසෙහි අලුත්වැඩියා කටයුතු කිහිපයක් සිදු කොට දරුවන් සමග ආරක්ෂිතව සිටිත හැකි සේ දෙව්රම් එය නවීකරණය කරවා දුන්නේ ය. නිවසක තිබිය යුතු සියලු පහසුකම් එහි සැපයිණ.

ආදියා දෙව්දුවක් සේ රූපලාවාන්‍යාගාරයේ දොරෙන් පිටතට ආවේ දෙව්රම් ඒ කල්පනා ලෝකයෙහි සරත්දී ය. ඔහු වහා රියෙන් බැස ගොස් ඇය අල්වාගත්තේ ය.

“මො… කද ඔහොම බලන්නෙ…”

ආදියා හුරතල් වූවා ය. ලා රෝස පැහැති මැක්සි ගවුමකින් සැරසුණු ඕ සැබවින් සුරංගනාවක් ම වූවා ය.

“කොහොමද ඉතිං බලන්නැතුව ඉන්නෙ… ඔයා හරිම ලස්සනයි. ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් මෙහෙම ලස්සනට ඉන්න එක… වාව්…”

“ඔයා මාව බොරුවට අන්දන්නෙපා”

කියමින් විත් ආදියා රියෙහි ගොඩ වූවා ය.

මේ සම්මාන උළෙල දෙව්රම් ට සුවිශේෂ ය. ඔහු ආදියා හා විවාහ වීමෙන් පසු සහභාගී වන ප්‍රථම සම්මාන උළෙල මෙයයි. මීට පෙර කිහිප වතාවක් ම ඔහු ජනප්‍රිය සම්මානය ජයග්‍රහණයකොට තිබේ. නමුත් මේ වතාවේ ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් වෙනුවෙන් හොඳම නළුවා සම්මානයට දෙව්රම් ගේ නම ද නිර්දේශ වී ඇත. නිර්දේශිත අනිත් නාමයන්, ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල පරිණත රංගධරයෝ වෙති. එබැවින් ජයග්‍රහණය ගැන කිසිදු විශ්වාසයක් දෙව්රම් ට නැත. එනමුත් මේ අවස්ථාවට සහභාගී වීමට ඔහු රිසි වූයේ ය.

වැදගත් ම හේතුව ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා තවමත් ආදියා ව සජීවී ව හමු වී නොමැති වීමයි. දික්කසාදයෙන් මාස කිහිපයක් ගත වෙත්දී ම ඔහු විවාහ වීම ගැන විවිධ කට කතා පැතිර ගියේ ය. ඇවිලෙන ගිනි වලට වැඩිපුර ම පිදුරු දැමූයේ සපූ ය. නමුත් දෙව්රම් ඒවා නො ඇසූ නො දුටු සෙයින් සිටියේ ය. රංගනයට සමු දෙන්නට සිටිනා එකේ, මේ අවස්ථාවට ආදියා සමගින් සහභාගී වීම අත්‍යාවශ්‍ය සේ ඔහු ට දැනිණ. ඇතැම් විට මේ ඔහු සහභාගී වන අවසාන සම්මාන රාත්‍රිය විය හැකි ය.

දෙව්රම් ගේ අතක එල්ලී උත්සව සභාවට පැමිණි සුන්දර ගැබිණිය කාගේත් අවධානයට ලක් වූවා ය. ආදියා ගේ මුහුණේ නිහතමානී තෘප්තිමත් සිනහවක් ඇඳී තිබිණ. හොඳ ම නළුවා වශයෙන් ඒ රාත්‍රියෙහි දෙව්රම් සන්දනායක සම්මානිත වීම සුවිශේෂී ම සිදුවීම විය.

සපූ ද ඒ උත්සව සභාවේ සිටියා ය. ඒ මොහොතේ ඈ සිටියේ වේදිකාව මත කුමක් සිදු වන්නේ දැයි නො දන්නා සෙයින් දුරකතනය දෙස බලාගෙන යි. සම්මානය රැගෙන පැමිණි දෙව්රම් එය ආදියා අතට දෙමින් ඇයට ඉක්මන් හාදුවක් දුන්නේ ය. ආදියා සම්මානය පපුවට තුරුලු කරගත්තා ය. ඔවුන් දෙදෙනා සිනහ වෙමින් යමක් මුමුණාගනු, පිටුපස සිටි සපූ ට පෙනිණ. ඇගේ හදවත ඊර්ෂ්‍යාවෙන් පිම්බීගෙන ආවේ ය. ඔහු මේ තරම් ඉක්මනින් විවාහ වී, පියෙකු වන්නට ද යන බව ලෝකයට පෙන්වන්නට ආදියාව ද සරසාගෙන පැමිණ තිබේ. ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂක දර්ශන ඈ විවාහ කරගන්නා බව සපූ ට මුලින් පවසා තිබිණි ද එය සිදු වූයේ නැත. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය ක්ෂේත්‍රය ට තව දුරටත් රහසක් නොවන තැනට කටයුතු සිදු විය. ඒ ගැන විවිධ කතා මුව මුව පැතිරිණ. පාසල් යන පුතුන් දෙදෙනෙකු ගේ මව වන දර්ශන ගේ බිරිඳ අවස්ථා කිහිපයකදී ම සපූ ට කතා කොට අවවාද කළා ය.

“ඔයා අනුංගෙ පවුල් කඩන්න හදන එක නවත්තන්න. දර්ශන ළමයි දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්. මං හිතන්නෑ එයාට අපිව අත්ඇරල ඔයාව ලං කරගන්න හේතුවක් ඇති කියල. රඟපාන්න චාන්ස් එකක් ගන්න ඕනකමට ඩිරෙක්ටර්ස්ලගෙ ඇඳට යන්න බලං ඉන්න නිළියො නිසා ඒ මිනිස්සු පවුල් කඩාගන්නෑ”

ඇය එසේ කීවේ දර්ශන ගැන ද නො දැන නොවේ. එළියේ කවර නාඩගම් නැටුව ද ඇය කිසි දා දික්කසාදයක් ලබා නො  දෙන බව අවධාරණය කොට තිබිණ. දර්ශන බිරිඳ ගේ වචනයකට පිටින් යන්නට බිය වූයේ ය. එසේ ම සපූ හලා දැමිය යුතු සීමාවේ දී ඔහු කළේ සිය නව නිර්මාණය වෙනුවෙන් වෙනත් නිළියක යොදා ගැනීමයි.

“මං දෙව්රම්ගෙන් ඩිවෝස් වුණේ තමුසෙව විශ්වාස කරල”

රූගත කිරීමක් කෙරෙනා තැනට ම ගොස් සපූ යකා නැටුවා ය. නමුත් ඇයට කිසිත් වෙනස් කරගත හැකි වූයේ නැත. අවසන රිදුණු බිඳුණු හා බලාපොරොත්තු සුන් වූ හදකින් කෙසේ හෝ මෙහි එල්ලී සිටින්නට ඇය තීරණය කළා ය. ළිඳට වැටුණු මිනිසා ළිං කටෙන් ම ගොඩ පැමිණිය යුතු ව තිබේ!

“දෙව්රම් සන්දනායක කියන්නෙ පහුගිය කාලෙ ගොඩක් කතාබහට ලක් වෙච්ච රංගන ශිල්පියෙක්. පෞද්ගලික ජීවිතේ ගොඩක් දේවල් නැති වෙද්දිත් ඔබ නිශ්ශබ්දව හිටිය අදහස් ප්‍රකාශ කරන්නැතුව. අද හොඳම නළුවා විදිහට සම්මානය අතට අරං ඉන්න වෙලාවෙ මොනාද කියන්න තියෙන්නෙ…”

සම්මාන ප්‍රදානයෙන් පසු, උත්සව ශාලාවේ ප්‍රවේශ දොරටුව අසලදී නිවේදක පිරිසකට දෙව්රම් හසු විය. ඔහු කල්පනාවක් සමගින් සිනහවක් නගා ගත්තේ ය.

“නරක දේවල් අපෙන් ඈත් වෙන්නෙ හොඳ දේවල් ලැබෙන්න තියෙනකොට වෙන්නැති නේද…”

ඔහු සමගින් ම නිවේදකවරු කිහිප දෙනා ද සිනහ වෙත්දී සපූ පිටතට එමින් සිටියා ය. දෙව්රම් ව ඇසුණ ද ඇය නෑසුණ සේ එතැනින් ඉවත් වෙන්නට ගියා ය. නමුත් එක් නිවේදකයෙකු මඳකට ඇය නතර කොට ගත්තේ ය. ඒ අතරේ ඊළඟ ප්‍රශ්නය යොමු වූයේ ආදියා වෙතටයි.

“දෙව්රම් රංගනයට සමු දෙන්න තීරණය කරල තියනව කියල කියන්නෙ… ඒක ආදියාගෙ තීරණයක්ද…”

“අම්මෝ මේ… මාවනං අල්ලගන්නෙපා ඕවට හරිද…”

ඇය හුරතලයෙන් එසේ කියා දෙව්රම් ගේ අතක එල්ලුණා ය.

“මං කවදාවත් කියල නෑ රඟපාන්න එපා කියල. එයාට ඒ ඕන දේකට නිදහස තියනව. මොනා කළත් එයාගෙ ආදරේ මං ළඟ කියල මං දන්නව”

සපූ නො සන්සුන් ලෙස වට පිට බැලුවා ය. නිවේදකයා ඔවුන් දෙදෙනාට සමු දී සපූ වෙතට යොමු වූයේ ය.

“සපූ… ඉතින් මේ අවුරුද්දෙ ඔයාගෙ විවාහය සිද්ධ වෙයිද… මේ ගැන පහුගිය දවස්වල ලොකුවට කතාබහ වුණා”

“මං හිතන්නෙ විවාහයක් ඇතුළෙ හිර වෙන සම්ප්‍රදායික ගෑනියෙක් වෙනවට වඩා මට ලොකු ගමනක් තියනව”

දෙව්රම් ආදියා ගේ අතින් අල්වාගෙන ප්‍රවේසමෙන් ඈ රිය වෙත කැටිව ආවේ ය. ආදියා සම්මානය තුරුලු කොටගෙන ආදරයෙන්  ඔහු දෙස බැලුවා ය.

“පුතාටත් සතුටු ඇති තාත්ති ගැන”

ඔහු ඇගේ උරහිස වටා සිය වමත දමාගත්තේ ය.

“ඕගොල්ලොන්ට මං ගැන සතුටෙන් හිතන්න පුළුවන් විදිහට ජීවිතේ ඉස්සරහ කාලෙ ගත කරන්න තමයි ආදි මට ඕනෙ. හුඟාක් දේවල් පස්සෙ දුවනවට වැඩිය අපිට මේ ලැබිල තියන පොඩි දේවල් ටික ඇති. මොකද මේක සදාකාලික ජීවිතයක් නෙවේනෙ. පොඩි කාලයයි අපිට තියෙන්නෙ. ඒ ටිකේ සතුටෙන් ආදරෙන් ඉන්නයි ඕනෙ”

“හ්ම්”

“අම්මට කෝල් එකක් දීල කියන්න අපි ඒ පැත්තෙන් එනව කියල”

ආදියා අසීමිත සැනසීමකින් සිය සැමියාගේ හිස කේ රැල් අතරින් අතැඟිලි යවා එහිස පිරිමැද්දා ය. වචන වලින් කිව යුතු නැති අප්‍රමාණ ආදර හැඟීමක් ඇයට දැනෙමින් තිබිණ.

වචන කතා නො කළාට දෙව්රම් සිත් සේ ඒ හැඟීම ඇගේ ඉරියව් තුළින් විඳ ගත්තේ ය.

සමාප්තයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here