ගැහැණියකගේ දෙවැනි උපත විවාහය යැයි කීවාට බොහෝ ගැහැණුන් ඒ තුළ මැරි මැරී උපදිනවායැයි හසාරාට සිතුණේ නීතිඥ සම්පත්ගේ කාර්යාලය තුළ කල් මැරූ අඩ හෝරාවක් තරම් වූ කාලයේය. ඔහු යටතේ සේවය කළ නීතිඥවරුන් හමුවීමට සේවා දායකයන් පැමිණියේම දික්කසාද නඩු සඳහාය.
අවසන හසාරාත් දික් කසාඳය හිමි ගැහැණියක වූවාය. ධනංජය අකාරුණික ලෙස තමාව හැරදා ගිය බව දැන් නොදන්නා අයකු නැත. එහෙත් සමහරු හිත රිදේයැයි බියෙන් හසාරාගෙන් ඒ ගැන ප්‍රශ්න නොකළහ. තවත් සමහරු හිතා මතාම හසාරා රිදවීමට එය අවියක් කර ගත්තේය. එහෙත් ඕ මේ සියල්ලකටම සිනහවකින් මුහුණ දීමට සිත හදාගෙන සිටියාය. තමා පරිණත ගැහැණියක බවට පත්ව ඇතැයි ඉන්දුමා නිතරම පැවසූයේ එනිසාය. සැබවින්ම තමා පරිණත වූ ගැහැණියකදැයි හසාරා තමාගෙන්ම අසාගත් වාර ගණන අනන්තය. නැත…ඒ පරිණත බව නොව ගැහැණියකගේ දරා ගැනීමේ ශක්තිය යැයි අවසන ඈ විශ්වාස කළාය.
හසාරා තෙවන වරටත් ඉපදී උන්නාය. අලුතින් පටන් ගත් ජීවිතය අධික කාර්යබහුල එකක් විය. උදෑසන පාසලට යන ඇය යළි පැමිණෙන්නේ පන්ති පවත්වන නවීන පහසුකම් වලින් සමන්විත පන්ති කාමරය වෙතටය. එය ඉතා අර පරිස්සමට කළ යුතු කටයුත්තකි. එසේම වගකීම් සහගත කටයුත්තකි. දිනෙන් දින අලුත් වන ලෝකයේ නවීන ක්‍රම භාවිතයෙන් සිදු කළ යුතු කටයුත්තකි. ඒ කැපවීමෙහි ප්‍රතිඵල දුෂ්කර ගම්මානවල දරුවන් ලබමින් උන්නේය. හසාරාගේ බැංකු ගිණුමට බිංදු කිහිපයකින් සැදි මුදලක් මාස්පතා ලැබුණත් ඕ තෘප්තිමත් වූයේ ඒ මුදලින් නොවේ.
ඒ අවිවේකී ජීවිතය තුළ ආපසු හැරී යමක් සිතන්නට තරම් හසාරාට විවේකයක් වූයේ නැත. ගැහැණියක ලෙස තමා වෘත්තීය ජීවිතයෙන් කොතරම් ඉහළට ගියත් තම පුද්ගලික ජීවිතය තුල තමා අසමත් චරිතයක්ය යන සිතුවිල්ල මේ කිසිවකින් මකා දමන්නට හැකි වූයේ නැත. හසාරාත් ඊට උත්සාහ නොකළාය. ඇයට වූයේ ධනංජයව මේ සිතෙහි තබා ගැනීමේ වුවමනාවකි. කාලයක් ගෙවී යද්දී ඕ ඉන්දුමා සමගවත් ඔහු ගැන සිතුවිලි බෙදා ගන්නට උත්සහ නොකළාය. ඔහු වෙනුවෙන් හදවතෙහි වූ ඉඩ පරිස්සමට තබාගෙන ඇය තම රාජකාරිය උපරිමයෙන් සිදුකිරීමට වෙහෙස වූවාය.
ගෙවී ගිය කාලයේදී සිදු වූ එකම සුවිශේෂී සිදුවීමනම් නිර්මිතාගේ සොහොයුරිය කතාකොට අක්කා ගැන කිසිදු ආරංචියක් නැතැයි පැවසීමය. පුදුමය….ඇය තමාගේ අයවලුනුත් අමතක කර දමා තිබුණේ ඉක්මනටය. පහසුවටය….
“ අම්මවයි නංගිවයිත් අමතක වෙන්න තරම් එහෙනම් එයා මාර ජොලියෙන් ඇති. මතකද ඉස්සරත් එහෙමනේ වාසි තැනට ළං වෙනවා.”
ඒ බැව් අසා සිටි ඉන්දුමා පැවසූයේ හසාරාගේ සිත රිදවීමේ අරමුණින් නොවුනත් ලය රිදවන තරම් දුකක් ඇයට දැනෙන්නට විය. ඔවුන් පැතූ සතුටු ජීවිතය ඔවුන්ට ලැබුණා විය යුතුය. හසාරාත් ධනංජයත් එක්ව සිනාසෙන අයුරු ඇයට මැවී පෙන්නනට විය. කෙලෙස් දුරු නොකළ ගැහැනු සිතෙහි ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලක් ඉපිද තිබෙන අයුරු ඇයට දැනෙන්නට විය.
හසාරා බොහෝවිට විට රාත්‍රී ආහාරය වෙනුවෙන් සැහැල්ලු යමක් සකසා ගනී. කොතරම් එපා කීවත් ඇගේ උදෑසන ආහාරයත්, දහවල ආහාරයත් ඉන්දුමා රැගෙන ඒ. ඇගේ නැන්දණිය සකස් කරන කෑම කොහොමටත් රසවත්ය. ඉඳහිට ඇගේ නිවසේ රාත්‍රියට සැකසෙන තෝසේ, ඉට්ලි, රොටි වැනි යමක් හසාරාව වෙත රැගෙන එන්නේ ඉන්දුමාගේ සැමියාය. තමාව බරක් කර නොගන්නා ලෙස ඔවුනට කොතරම් පැවසුවත් ඔවුන් සිටින්නේ දැන් හසාරාව තමාගේම අයෙකු කරගෙනය.
හසාරා තමා රැඳී උන් නිවසේ කුඩා ආලින්දයට පැමිණියේ රාත්‍රී ආහාරය සඳහා සැන්ඩ්විච් පාන් පෙති දෙකක් සාදා ගෙනය. කාලයක සිට ඈ මස් මාළු වැනි යමක් ආහාරයට ගත්තේ ප්‍රියතාවයකින් නොවේ. එනිසාම ඕ ඊයේ පෙරේදා මස් මාංශ සම්පූර්ණයෙන්ම අතහැර දැමුවාය.
හසාරා ඇය ප්‍රිය කළ ආකාරයෙන්ම සරල සැහැල්ලු දිවි පෙවෙතක් ගෙවමින් උන්නාය. වර්තමානයේ ඇගේ සතුට වී තිබුණේ තමා විසින් සිදු කරන මේ රාජකාරියෙහි උපරිම ඵලය ලංකාවේ දරුවන් විසින් නෙළා ගනු දැකීමයි.
“ දවසකට අපිට එන ලියුම් ප්‍රමාණය, කෝල්ස් ප්‍රමාණය මැසේජ් ප්‍රමාණය කියල නිම කරන්න බෑ හසාරාා. ඒ හැම ලියුමකම ඒ හැම මැසේජ් එකකම තියෙන්නේ ස්තුතියි කියල. මේ අතරේ ඔයාට පින් දෙන මිනිස්සු සෑහෙන්න ඉන්නවා. දන්නෙම නැතුව අපි අත ගහල තියෙන්නේ ලොකු සමාජ සේවයකට. ඒක කියල නිම කරන්න බැරි තරම් ලොකු සේවයක්…”
දිනක් රාජ්‍ය නොවන සංවිධානයේ කාර්යාලයට ගිය හසාරාට බුවනෙකගේ මිතුරා පැවසූයේ පසෙක ගොඩ ගසා තිබූ ලියුම් මිටියක් පෙන්වමින්ය. බොහෝ කලකට පසු ඇගේ මුහුණට සැබෑම සිනහවක් නැගුනේ එදාය. ධනංජය විසින් හිස්තැනක් ඇතිකර ගිය ජීවිතය හෙමි හෙමින් පිරෙන්නට පටන් ගෙන තිබුණේ ඒ සතුටින්ය.
ජංගම දුරකථනය නාද වූයේ ඇය එක පාන් පෙත්තක් කා නිම වද්දීමය. උකුල මත තිබූ ලැප්ටොප් පරිඝණකය පසෙක තැබූ ඈ දුරකථනය අතට ගත්තේ ඒ නිර්මිතාගේ නැගණිය වූ නිසාය.
“හසාර අක්කේ ඇයි ඔයා අපිට කිසිම දෙයක් නොකිව්වේ..මෙච්චර අසාධාරණයක් ඔයාට වෙලා තියෙද්දිත් ඇයි ඒ කිසිම දෙයක් අපිට නොකියා හංගගෙන හිටියේ…”
එහා පසින් ඇසුණේ බිඳී ගිය හඬකි.
“ ඇයි නංගී….”
“ අපේ අක්ක කතා කරනකල් කිසිම හේතුවකට ඔෆිස් එකට යන්න එපා කියලා අම්මට කියලා තිබුණු නිසා අපි එහෙට ගියේ නෑ. හසාරා අක්කට කතා කරද්දිත් හසාර අක්කා කිව්වනේ අක්ක කතා කරයි කියලා. අපි ඒ විශ්වාසයෙන් මෙච්චර දවසක් බලාගෙන හිටියා හසාරා අක්කේ. මටත් මේවා ගැන කිසිම දැනුමක් තේරුමක් තිබුණෙ නැහැ. ඇත්තටම අපේ ගෙදර හැම දෙයක්ම කලේ අක්කා. අපි එයා කියපු විදිහට ජීවත් වුණා විතරයි…ලයිට් බිලක් වතුර බිලක් ගෙවන්නවත් මං දැනන් හිටියේ නෑ..”
“ ඇයි නංගී දැන් මොකක්ද වෙලා තියෙන්නේ?…”
හසාරා ඇසුවේ හැකිතාක් සාමන්‍ය ස්වරයෙන්ය.එහා පසින් ඇසුණු කලබලකාරී හඬින් ඈ යමක් වටහා ගත්තාය. යුවතිය කතා කරන්නේ යමක් දැන ගෙනය.
“ අම්මයි මමයි ඔෆිස් එකට ගියා හසාරා අක්කේ..එහේදී අපි හැම දෙයක්ම දැනගත්තා.”
“ ඒ කියන්නේ…”
“ අපේ අක්කා ගිහිල්ලා තියෙන්නේ ඔයාට ලොකු වරදක් කරලා හසාරා අක්කේ..ඇයි කිසි දෙයක් නොදන්නා වගේ කතා කරන්නේ.”
“ වරදක් කළා නං ඒ කළේ ඔයාගේ අක්කා විතරක් නෙමෙයි නංගී. මං හිත හදාගෙන ඉන්නේ…”
“ අනේ අක්කේ ඒ උනාට..”
“ ඒ ගැන ආයේ කතා නොකර ඉමු නංගි. ඒ දෙන්නම නූගත් මිනිස්සු නෙමෙයි. ඒ නිසා මේ තීරණය ගන්න ඇත්තෙ හොඳට හිතලා බලලා වෙන්න ඇති. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ජීවිතය ඒ ගොල්ලන්ට ලැබිලා ඇති.”
“ අක්කා ඔෆිස් එකෙන් අයින් වුනෙත් ඒ නිසා නේද..”
“ නෑ කියන්න බෑ. මතක පිරිච්ච තැන්වලින් අයින් වුණහම හිත හදාගන්න ලේසියි නංගි. අනිත් එක දැන් මං මේ කරන ජොබ් එකේදී මට විවේකය හරි අඩුයි. ආපස්සට හැරිලා ඒ දුක හිතෙන අතීතයේ ජීවත් වෙන්න තරම් මට වෙලාවක් නෑ…”
“ අපේ අම්ම හරි වේදනාවකින් අක්කේ ඉන්නේ. අනේ අර දරුවට මෙහෙම කළා නේද කියලා අපේ අක්කට සාප කර කර ඇඬුවා..”
“ කමක් නෑ නංගී… මිනිස්සු අකමැති තැනක විඳව විඳව ජීවත් වෙනවට වඩා ඒගොල්ලෝ කැමති තැනක සතුටින් ජීවත් වෙන්න එයාලට අයිතිය තියෙනවා. අක්ක ඉක්මනටම කතා කරයි…”
“ දැන් එයා අපිට කතා කරන්න ඕන නෑ අක්කේ. අම්මත් ඒක කිව්වා. හැබැයි එයා අපිට මේ කරලා ගියපු අපරාධෙට එයාට හොඳක් වෙන්නෙත් නෑ. අක්කේ මට හැමදේම අතරමග නවත්තන්න සිද්ධ වෙනවා. මං දැන් මගේ අම්මා ජීවත් කරවන්න ඕනෙ අක්කේ…අපි දැන් අපි ගැන බලාගන්න ඕනේ. එයා එයාවත් නැති කරගෙන අපිට තිබුණු හැමදේමත් නැති කළා අක්කේ..”
හසාරා දිගු සුසුමක් මුදා හැරියේ එහා පසින් ඈ ඉකි බිඳිද්දීය. ඊයේ පෙරේදාත් ඕ මේ ගැන සිතුවා මතකය.
“ මට බය මේ දේවල් ගැන හිතලා අම්මා අසනීප වෙයි කියලා අක්කේ..අපේ අක්ක මහා ගුණමකු ගෑනියෙක්. ඔයාගේ සතුට නැති කරලා අපේ ජීවිතත් අනතුරේ දාලා එයා මොකක්ද අක්කේ හොයාගෙන ගියපු සතුට..එහෙම කරන්න පුළුවන් ද මනුස්සයෙකුට..එයාට හිතන්න තිබුණා.”
“ දැන් සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කරන එකේ තේරුමක් නැහැ නංගී. ඒවා අපිට ආපස්සට වෙනස් කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි නේ.”
“ ඔෆිස් එකට ගිහිල්ලා ආපු වෙලාවේ ඉදලා අපේ අම්ම අඬනවා අක්කෙ..ඇත්තටම මීට වඩා හොඳයි එයා අපි දෙන්නගෙ බෙල්ල මිරිකල මරලා දැම්මනම්. මේක දරන්න පුළුවන් වේදනාවක් නෙමෙයි අක්කේ. ඔයා කොහොමද දරා ගන්නවද කියලා අපිට තේරෙන්නේ නෑ. ඇත්තමයි එයාලට කොහොමද හොඳක් සිද්ධ වෙන්නේ..අම්මා කියන්නෙම අපේ අක්ක මැරුණ කියලා හිත හදාගන්නවා කියලා.”
“ ඒ දේවල් අමතක කරන්න පුලුවන්නම් අමතක කරලා දාන්නේ නංගි. ඔයා ඉගෙන ගන්න. තව පොඩි කාලයයිනේ තියෙන්නේ අන්තිම මොහොතේ හැම දේම අතාරින්න හිතන්න එප. ඒවට යන වියදම මං ඔයාට දෙන්නම්.”
“ බෑ අක්කේ මට තවත් කැම්පස් යන්න බෑ. මම මොකක් හරි ජොබ් එකක් හොයා ගන්නවා..සමහරවිට මේක අපේ ලැබීම වෙන්න ඇති. අම්මා කියන්නෙත් එහෙම. අපි දැන් කොහොමහරි මේ දෛවයට මුහුණ දෙන්න ඕනේ.”
“ නෑ ඔයාගේ ලැබීම මේක නෙමෙයි. ඔයා ඒ දවස් වල කැම්පස් යන්න ඕනේ කියන අරමුණ හිතේ තියාගෙන කොච්චර මහන්සි උනාද කියලා මං හොඳටම දන්නවනේ. පටන් ගත්ත දේ අතාරින්න බෑ නංගි. එහෙම වුණොත් අපි පරදිනවා. නිර්මිතා අක්කා තාවකාලිකව හරි ඔයාට නැති වුණාට හසාරා අක්කා ඔයාට නැති වෙලා නෑනේ. සමහර තැනක මේ දේවල් ඔයාට කියාගන්න බැරුව මම අසරණ වුණා. ඉක්මනින්ම කොළඹ ආපු දවසක මං අම්මව බලලා යන්න එන්නම්. ඔයා එක දවසක්වත් කැම්පස් ගමන පාඩු කරගන්න එපා. අක්කා අවුරුද්දකටම ගෙවල් කුලී ගෙවලා ගියා කිව්වා නේද. තව මාස තුනක් තියෙනවනේ නංගි. ඉන්න තැන ප්‍රශ්නෙ අපි පස්සේ විසඳගමු. එතකල් ඔයාලගේ වියදමට මම මාස් පතා මුදලක් දෙන්නම්. සමහරවිට හෙට අනිද්දම නිර්මිතාට පුළුවන් වෙයි ඔයාලා වෙනුවෙන් යමක් කරන්න.”
“ අක්ක දන්නවද එයාලා ඉන්න තැන ඒගොල්ලෝ අක්කට කතා කළාද…ප්ලීස් එඩ්‍ර්රස් එකක් දෙන්න මට. මට අහන්න ඕනේ මේ තරම් ලස්සනට අපිව රැවැට්ටුවේ කොහොමද කියලා..”
“ නෑ නංගි…අයියා ලියුමක් ලියල ගිහින් තිබුණා.මං ඒ නිසයි දන්නේ අයියලා වෙන රටකට ගියා කියලත්. එයාලා කොහේ ඉන්නවද මොනව කරනවද කියන්න මම දන්නෙත් නෑ..ඇත්තටම මං ඒ ගැන හෙව්වෙත් නෑ.. මං ඔයාට ආපහු කියන්නේ මේ තීරණය එයාලා හොඳට හිතලා බලලා ගතපු තීරණයක් වෙන්න ඇති. අපිට කාවවත් බලෙන් අපි ළඟ රන්ද ගන්න බෑ නංගි. ඔයාට අක්ක ගැන හිතන්න තියෙන්නෙත් එහෙම මට අයියා ගැන හිතන්න තියෙන්නෙත් එහෙම…තේරුණා නේද ඔයාට..හෙට ඉදලා පුරුදු විදිහට කැම්පස් යන්න පටන් ගන්න. බොහෝ දුරට ලබන සතියේ සඳුදා වගේ මට කොළඹ එන්න වෙයි. ඒ ආවහම අප ඉස්සරහා කටයුතු ගැන කතා කර ගනිමු….”
හසරා දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. දුකක් වේදනාවක් වෙනුවට ඒ සිතට දැනෙමින් තිබුණේ සැනසුමකි.
( යළිත් හමු වෙමු ආදරයෙන්….)
ReplyForwardAdd reaction |