වෙනස්ම රසකට සුදුළූණු අච්චාරු හදමු

පොටෑසියම්, සෙලිනියම් සහ මැංගනීස් වගේ සංඝටක වලින් පරිපූර්ණ සුදුළූණු කියන්නෙ අපේ හදවතේ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වගේම සන්ධි හා පේෂි වල ක්‍රියාකාරිත්වය ක්‍රමවත්ව පවත්වා ගන්නත් හේතුවෙන ගොඩක් ඈත අතීතයේ ඉදලම භාවිතා වෙන ස්වභාවික ආහාර රසකාරකයක් වගේම ඖෂධයක් කියලත් ඔබ දන්නවා.

අපි අද කියල දෙන්න යන්නෙ වෙනස්ම රසයකට සුදුළූණු වලින් අච්චාරුවක් හදාගන්නෙ කොහොමද කියලයි.

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුළූණු 350 g ක් පමණ

අමු මිරිස් කරල් 05 ක් 

අඟලක පමණ ඉඟුරු කැබැල්ලක් 

අඟලක පමණ කුරුඳු පොතු කැබැල්ලක්

කරාබුනැටි 03 ක් 

කරදමුංගු 02 ක් 

සූදුරු තේ හැන්ඳක් 

අබ කුඩු තේ හැඳි 01 ½ ක් 

කෑලි මිරිස් කුඩු

මිරිස් කුඩු 

ගම්මිරිස් කුඩු

වතුර අඬු කෝප්ප 02 ක් 

සීනි 

සාදාගන්නා ආකාරය

මුලින්ම, සුදුළූණු වල පොතු ඉවත්කර සෝදා පිරිසිදු කරගෙන වතුර බේරීමට තබාගන්න.

ඒ අතරතුර අමු මිරිස් වෙන් නොවෙන සේ දෙකට පලාගන්න.

ඉඟුරු වෙනමත්, කරදමුංගු, කරාබුනැටි සහ එනසාල් වෙනමත් තලාගෙන පසෙකින් තබාගන්න.

දැන්, තෙල් භාජනයක් ලිපතබා තෙල් රත්වූ පසු සුදුළූණු ලා රන්වන් පාටක් වනතුරුත් අමු මිරිස් දීප්තිමත් කොළ පාට වනතුරුත් බැදගෙන ලිපෙන් ඉවත් කරගන්න.

දැන් තවත් මැටි භාජනයක් ලිපතබා එයට විනාකිරි එකතු කර විනාකිරි රත්වන විට තලාගත් ඉඟුරු, කරදමුංගු, කරාබුනැටි සහ එනසාල් එකතු කර හොඳින් කලවම් කරගන්න.

විනඩියක් පමණ තබා එයට අබ කුඩු, ඔබේ රස අනුව කෑලි මිරිස්, මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

දැන් මේ කලවම් කරගත් මිශ්‍රණයට වතුර එකතු කර නැවත හොඳින් කලවම් කර වතුර නටන තුරු තබාගෙන නටන වතුරට ඔබේ රස අනුව සීනි එකතු කරන්න.

සීනි සම්පූර්ණයෙන් දියවුණ පසු බැදගත් සුදුළූණු සහ අමුමිරිස් එකතු කර හොඳින් කලවම් කර විනාඩි දෙක තුනක් තබා ලිපෙන් ඉවත්කරගන්න.

ඔන්න දැන් රසම රස සුදුළූණු අච්චාරුව ලෑස්තියි.

උණුවෙන් බෙදාගත්ත කැකුළු බත් ටිකක් කාල බලමු නේද එහෙනම්.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles